UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මඟඵල අස්වනු දෙන ආර්ය ගොවිතැන

මඟඵල අස්වනු දෙන ආර්ය ගොවිතැන

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
සද්ධා බීජං තපො වුට්ඨි
පඤ්ඤ මෙ යුගනඞගලං
හිරි ඊසා මනෝ යොත්තං
සති මෙ ඵාල පාචනං

ශ්‍රද්ධාවන්ත කාරුණික සුපින්වතුනි,

අද ධර්ම දේශනාවට මාතෘකා කළේ සුත්ත නිපාතයේ උරග වර්ගයට අයත් ගාථා ධර්මයක්. ජීවිතයේ සියලු දුක් නැතිකර ගන්නට පුළුවන් ගොවිතැනක් ගැන විස්තරයක් මෙයින් කියැවෙනවා. මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ මේ ආර්ය ගොවිතැන හරි හැටියට කර ගතහොත් අපගේ සියලු දුක් නැතිකරගත හැකියි. අනෙක් ගොවිතැන්වලින් ප්‍රයෝජන ලබන්න දින ගණන්, මාස ගණන් ගතවෙන්න ඕනෑ. එහෙත් මේ කියන ගොවිතැන අකාලිකයි. එවෙලේම ප්‍රයෝජන ලැබෙනවා.

බුදුරජාණන් වහන්සේ මෙම ධර්ම දේශනාව සිදු කරන්නේ රජගහනුවර දක්ඛිණගිරි විහාරයේ වැඩවසන සමයේ ඒකනාළ ගම්දනව්වේ කසීභාරද්වාජ බමුණා අරභයායි. පින්වතුනි, කසීභාරද්වාජ බ්‍රාහ්මණයාට මවුපියන් තැබූ නම වූයේ ‘භාරද්වාජ’ යන ගෝත්‍ර නාමයයි. ‘කසී’ යන වචනය ඔහුගේ නමට එකතු වුණේ ගොවිතැන් කරන, කරවන නිසායි. කලින් භාරද්වාජ යන නමින් සිටි බමුණා ඉන් පසුව කසීභාරද්වාජ කියා ප්‍රසිද්ධ වුණා.

දිනක් කසී භාරද්වාජ බ්‍රාහ්මණයා පන්සියයක් නඟුල් හා තුන්දහසක් ගොනුන් ද රැගෙන පන්සියයක් ගොවින් සහ තවත් යහළු මිත්‍ර බ්‍රාහ්මණයන් ද සමඟ හී හාන්නට වෙළට බැස්සා. බ්‍රාහ්මණයා මේ වී වැපිරීමේ උත්සවය මඟුල් කෑමක් වගේ ඉතා අලංකාරවත්ව සිදු කරනවා. සියලුම ගොනුන්ගේ අංවල රත්රන් කොපු දමා කුරවලට රිදී කොපු දමා රන් රිදී මාලවලිනුත් මල් මාලවලිනුත් ඒ ගවයන් සරසා තිබුණා. සියලුම ගොවීන් සුදුරෙදි ඇඳගෙන රන් රිදී ආභරණවලින් සැරැසී සිටියා. බ්‍රාහ්මණයා දැලි රැවුල් කපා සුවඳ පැන් නාගෙන සුවඳ විලවුන් ඇඟේ තවරාගෙන මසුරන් පන්සියයක් වටිනා වස්ත්‍රයක් හැඳගෙන මසුරන් දහසක් පමණ වටිනා වස්ත්‍රයක් ඒකාංශකොට පොරවාගෙන රන් මුදු විස්සක් පමණ ඇඟිලිවල දමාගෙන කනකර ආභරණවලින් සැරැසී ගොවිපොළද ධජපතාකවලින් අලංකාර කොට වප් මඟුල ආරම්භ කළා. බමුණාගේ භාර්යාවත් නොයෙක් අයුරින් වටිනා වස්ත්‍රාභරණයෙන් සැරැසී සුවඳ සහලින් කිරිබත් පිසගෙන ගිතෙල් මී, සකුරු ආදියත් රැගෙන වැඩකරන පිරිසට කෑම පිළියෙළ කරගෙන පිරිවරත් සමඟ කුඹුරට පැමිණියා.

මුලින්ම බ්‍රාහ්මණයා රන් තැටියකට කිරිබත් ආදී සෑම ආහාරයක්ම බෙදවාගෙන දෙවියන් වෙනුවෙන් පූජාවක් පැවැත්වූවා. පසුව බැමිණිය රන් රිදී තැටිවලට ආහාර බෙදවා වැඩකරන උදවියට කෑම දෙන්නට පටන් ගත්තා. බ්‍රාහ්මණයා පූජාව පවත්වා පැමිණ අන්‍යයන්ට ආහාර බෙදීම සංවිධානය කරමින් සිටින විට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතය පිණිස එම ස්ථානයට වැඩම කළා. බුද්ධ අසිරිය දුටු සියලු දෙනා ආහාර ගැනීම නවතා බුදුරදුන් පිරිවරා ගත්තා. ඒ දුටු කසීභාරද්වාජ බමුණාට මෙබඳු අදහසක් ඇති වුණා. ‘මේ ශ්‍රමණයන් මෙතැන සිටියහොත් මගේ වැඩේ මේ මිනිසුන් ලවා කරවා ගන්න ලැබෙන්නේ නැහැ. මෙතරම් උස මහත තේජස් සහිත ශරීරයක් තිබියදී ගොවිතැන් කරගෙන අප වගේ කන්නට බැරිද?’

ඒ නිසා බ්‍රාහ්මණයාට වූවමනා කළා බුදුරජාණන් වහන්සේ එතැනින් ඉක්මනට යවා ගන්නට. ‘ශ්‍රමණයෙනි, මම කන්නේ හාලත් වපුරලත් තමයි. ඔබත් ඔය තරම් හැඩි දැඩි ශරීරයක් තබාගෙන අලසකමෙන් නිකම්ම නොඉඳ සීසා වපුරා අනුභව කරන්න.’ බමුණා මේ විධියට කිව්වේ බුදු හාමුදුරුවෝ ලජ්ජා ඇතිවී එතැනින් ඉක්මනට වඩීවි යන අදහසින්. නමුත් උන්වහන්සේ එතැනින් වැඩියේ නැහැ. බුදුරජාණන් වහන්සේ බමුණාට මෙබඳු උත්තරයක් දී වදාළා. “බ්‍රාහ්මණය, මමත් හානවා, වපුරනවා, හාලත් වපුරලත් තමයි මාත් අනුභව කරන්නේ.”

බ්‍රාහ්මණයා පුදුම වී මෙසේ කල්පනා කරනවා. ‘මේ ගෞතමයන්ට යුග නඟුල් , හරකා බාන ආදී හී හාන්නට වුවමනා කරන උපකරණ කිසි දෙයක් තිබෙන බව පෙනෙන්න නැහැ. නමුත් මේ විධියට කියන්නේ යම්කිසි හරයක් තිබෙන නිසා තමයි. බ්‍රාහ්මණයා එසේ සිතුවේ ඔහු ඥානවන්තයෙක් නිසයි. ඒ නිසා බුදු හාමුදුරුවන්ගේ කතාවේ ගැඹුරු තේරුමක් ඇති බව කල්පනාකර මෙන්න මේ ගාථාව කියනවා.

කස්සකො පටිජානාසි
න ච පස්සාම තේ කසිං
කසිං තෝ පුච්ඡිතෝ බ්‍රෘහි
යථා ජානේම තේ කසිං

‘ගොවියෙක් කියා කීවත් ගොවිකමක් නම් පෙනෙන්නට නැත. ඒ නිසා අපේ දැනගැනීමට ඔබේ ගොවිතැන කියාදෙන්න’. යන තේරුම ඒ ගාථාවේ තිබෙනවා. ස්වභාවයෙන්ම බමුණන් මාන්නක්කාරයි. විශේෂයෙන්ම මේ බමුණා පොහොසතෙක් නිසාත් අනෙක් බමුණන්ට වඩා මාන්නක්කාරයෙක්. එසේම මේ බමුණා නුවණක්කාරයෙක් වුවත්, ශ්‍රද්ධාවන්තයෙක් නොවේ.

කොයිතරම් නුවණ තිබුණත් ශ්‍රද්ධාව නැති උදවියට බුද්ධධර්මයෙන් ප්‍රයෝජන ගන්නට අමාරුයි. මේ සර්වඥ ශාසනයට ඇතුළුවන්නට තිබෙන ප්‍රධාන දොරටුව ශ්‍රද්ධාවයි. ඒ වගේම තම තමන්ගේ චිත්ත සන්තාන නමැති කුඹුර වපුරන්නට තිබෙන බිජුවටත් මේ ශ්‍රද්ධාව තමයි. ඒ නිසා අමාමෑණියන් වූ බුදුරජාණන් වහන්සේ ඒ ශ්‍රද්ධාව නමැති බිජුවට මුලින්ම බමුණාට පෙන්වා වදාළා. ශ්‍රද්ධාව පමණක් නොව ආර්ය ගොවිතැනෙහි යෙදෙන සෑම උපකරණයක්ම පෙන්වා වදාළා. තව විධියකින් කියනවා නම් ගොවිතැන කියා දෙන්න යැයි බ්‍රාහ්මණයා කළ ආරාධනාවේ හැටියට උන්වහන්සේගේ ගොවිතැන විස්තර කොට වදාළා.

‘සද්ධා බීජං තපෝ වුට්ඨී පඤ්ඤ මේ යුගනංගලං’ බුදුරජාණන් වහන්සේගේ ගොවිතැනට ඕනෑ කරන ප්‍රධාන කරුණු තුනක් තිබෙනවා. ඒවා නම් ශ්‍රද්ධාව, තපස් ගුණය හා ප්‍රඥාවයි. මෙයින් බුදුරජාණන් වහන්සේ ශ්‍රද්ධාව බිජුවට හැටියටත්, තපස් ගුණය වර්ෂා ජලය හැටියටත් , ප්‍රඥාව විය නඟුල් හැටියටත් පෙන්වා වදාළා.

මේ පින්වතුන් දන්නවා බිත්තර වී වපුරන්නේ මහ පොළොවේ තිබෙන කුඹුරුවල බව, එහෙත් මේ කියන ගොවිතැන කරන්නේ මනුෂ්‍ය චිත්ත සන්තානවලයි. සිත නමැති කුඹුරෙ කරන ගොවිතැනට වුවමනා කරන ප්‍රධාන ධාන්‍ය වර්ගය නම් ශ්‍රද්ධාවයි. නැතිනම් ශ්‍රද්ධාව නමැති බිජුවටයි. සිත නමැති පොළොවේ පිහිටන ශ්‍රද්ධාව නිසා ශීලය නමැති මුලත් සමථ විදර්ශනා නමැති පැළත් ඇති වෙනවා. ‘සීලේ පතිට්ඨාය නරො සපඤ්ඤො චිත්තං පඤ්ඤංච භාවයං’ ඥානවන්තයා ශීලයෙහි පිහිටා හිතත් නුවණත් දියුණු කර ගන්නවා. ශ්‍රද්ධාව නමැති බීජය සිත නමැති පොළොවේ පිහිටියොත් සමථ විදර්ශනා නම් ඵලය ඇති වී ආර්ය මාර්ග නම් දණ්ඩේ සෝවාන් නමැති ඵල හටගන්නවා. බීජයෙන් අස්වැන්න ලැබෙන්නා වාගේ ශ්‍රද්ධාවෙන් නිවන් ඵල ලබා ගන්නට පුළුවන් නිසා ශ්‍රද්ධාව බීජයකට උපමා කළ බව වටහාගත හැකියි.

මීළඟට ‘තපෝ වුට්ඨි’ යන වචනය විමසා බලමු. තපෝ යනු කෙලෙස් නිවන,අඩුකරන, කෙලෙස් නැති කරන උසස් ප්‍රතිපදාවයි. ශ්‍රද්ධා බීජ රෝපණය වීමට තපස් ගුණය නමැති වර්ෂාව තිබෙන්නට ඕනෑ. ‘පඤ්ඤ මේ යුග නංගලං’ මගේ විය දණ්ඩත් නඟුලත් ප්‍රඥාවයි. නඟුලක් කොටස් කිහිපයකින් යුක්ත වෙනවා. එනම්, විය දණ්ඩ නඟුලිය නගුල හී වැල යනාදියයි. එහි ප්‍රධාන කොටස් දෙකක් වෙනවා. එහි මුල් කොටස විය දණ්ඩයි.පසු භාගයෙන් තිබෙන්නේ නඟුලයි. ඒ වගේ ලෞකික ප්‍රඥාවත් ලෝකෝත්තර ප්‍රඥාවත් යන කොටස් දෙකෙන් යුක්ත වූ විශිෂ්ට ඥානය සියලු කුශල ධර්මයන්ට ප්‍රධානව මෙම ශාසනික කෘෂිකර්මාන්තයට යෙදෙනවා. ‘පඤ්ඤයුත්තරා සබ්බේ කුශලා ධම්මා’ ප්‍රඥාව සියලු කුශල ධර්මයන්ගේ ප්‍රධානියා බව පෙනෙනවා. ‘හිරි ඊසා මනෝ යොත්තං සති මේ ඵාල පාචනං’ හිරි කියන ලජ්ජාවත් මන කියා දැක්වෙන සිතත්, සති නම් සිහියත් ඒ කාරණා තුනයි.මෙයින් ලජ්ජාව නඟුලිය හැටියටත් සිත ලණු හැටියටත් සිහිය කෙවිට හැටියටත් බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළා.

‘සති මේ ඵාල පාචනං’ කුඹුරක් හාන වේලාවේදී හී වැලෙනුත් කෙවිටෙනුත් කරන කටයුතු සතිය, එනම් සිහියෙන් ශාසනික ගොවිතැනේදී කෙරෙනවා.කෙවිටේ උදව්වෙන් නඟුල නිසි තැනට ගන්නවා. ඒ විධියට උදව්ව ආධාරය නිසා බුදුරජාණන් වහන්සේගේ ශාසනික ගොවිතැනත් පහසුවෙන් කෙරෙනවා. මේ කියන සිහිය සතිපට්ඨාන සූත්‍රයේ පෙන්වා තිබෙන හැටියට සතර සතිපට්ඨානයයි.

ඉහත ගාථා පාඨයෙන් බුදුරජාණන් වහන්සේ ශාසනික ගොවිතැන ශ්‍රේෂ්ඨවන අයුරු පෙන්වා වදාළා. ‘ බ්‍රාහ්මණය, මගේ සී සෑම පිණිස නඟුල් දණ්ඩ හැටියට හිරි ඔත්තප්පයත්, රැහැන් ලණූ හැටියට සමාධි චින්තනයත් හී වැල සහ කෙවිට හැටියට සිහියත් යොදා ගන්නවා යැ’යි වදාළා.

තථාගතධර්මයේ ඉගැන්වෙන ආර්ය ගොවිතැන නිවැරැදිව හැඳිනගෙන, සැබෑ ගොවිකම ජීවිතයට මුසු කොට ගෙන, ඉහළම අස්වැන්න ලබා ගැනීමට එනම් ආර්යත්වයට පත්වෙන්නට අධිෂ්ඨාන කර ගන්නා ලෙස සිහිපත් කරමි.

තෙරුවන් සරණයි!

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]