UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මිහින්තලා පුදබිමට ආලෝකයක් වූ නාමල්වැවේ රතනසාර හිමි

මිහින්තලා පුදබිමට ආලෝකයක් වූ නාමල්වැවේ රතනසාර හිමි

මිහින්තලා රජමහා විහාරයේ හිටපු විහාරාධිපතිව වැඩවිසූ නාමල් වැවේ රතනසාර හිමියෝ ඉකුත් 4 දා අපවත්වූහ.

1954.11.20 වන දින මිහින්තලේ, නාමල්වැව ග්‍රාමයේදී හෙට්ටි ආරච්චිගේ කරුණාරත්න සහ ඩී. නන්දහාමි යන මාපියන්ට දාව උන්වහන්සේ උපත ලැබූහ.

ගිහිකල හෙට්ටිආරච්චිගේ සුභසිංහ යන නමින් හැදින්වූ අතර පසුව වයස අවුරුදු දාහතේ දී එනම් 1971 වර්ෂයේදී පැවිදි දිවියට ඇතුළත්ව තිබේ. 1978 වර්ෂයේ උපසම්පදා ලැබූහ.

විහාරාධිපතිව වැඩවිසූ වළවාහැංගුනවැවේ ශ්‍රී රතනජෝති නාහිමියන් යටතේ පැවිදි දිවියට පත් රතනසාර හිමියන් (40) වසරක් පුරාවට සිදු කළ ශාසනික මෙහෙය අපිරිමිතය. අපවත්වන විට හැට හය වන වියේ පසුවූ උන්වහන්සේ මිහින්තලා රජමහා විහාරස්ථානයේ භාරකාර ධුරයට පත්වන්නේ 1989 වර්ෂයේ දීය.

1991 වර්ෂයේ මිහින්තලා රජ මහා විහාරයේ විහාරාධිපතිධුරයට පත් රතනසාර හිමියන් 2011 වර්ෂය පමණ වන තෙක් වසර විසිඑකක කාලයක් විහාරාධිපති ධුරයේ කටයුතු කළහ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ වර්තමාන දියුණුවේ ගෞරවය හිමිවන්නේ උන්වහන්සේටය. පැවිදි දිවිය තුළ සිදුකළ සමාජයීය සහ ශාසනික සේවාව අගයමින් උන්වහන්සේ 1994 වර්ෂයේදී මල්වතු මහා විහාරය මගින් උතුරු මධ්‍යම නුවරගම්පළාතේ උප ප්‍රධාන අධිකරණ සංඝනායක යන ධුරයෙන් පිදුම් ලැබූහ.

ලේක්හවුස් ආයතනය පනස් වසරක් පුරාවට සිදුකරන ලේක්හවුස් - මිහින්තලා ආලෝක පූජාවට පුරා වසර හතළිහක් උන්වහන්සේ දායකත්වය ලබාදී තිබේ.

ලේක්හවුස් ආයතනය සමඟ සම්බන්ධ වීී විහාරස්ථාන ගොඩනැගීමට, පෙර පාසල් ඉදි කිරීම, මිහින්තලේ ප්‍රදේශයේ පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ට අවශ්‍ය පහසුකම් සැලසීමට මෙන්ම බැතිමතුන්ට නවාතැන් ගැනීමට හැකි විශ්‍රාම ශාලා ඉදිකරලීමටත්, මිහින්තලා පුදබිම සංවර්ධනය කිරීම ඇතුළු ශාසනික හා සමාජයීය සේවාවන් රැසක් මතක් කර දිය හැකිය.

මේ පිළිබඳ අදහස් දක්වන මිහින්තලේ රජමහා විහාරාධිපති වළවාහැංගුනවැවේ ධම්මරතන නාහිමිි අපවත්වූ නාමල් වැවේ රතනසාර නාහිමියන් මිහින්තලේ රජමහා විහාරස්ථානයේ දියුණුව ප්‍රාර්ථනා කළ හිමිනමක්.

උන්වහන්සේ ආගමික කටයුතු සඳහා නිතරම කැපවෙමින් ශාසනික හා සමාජීය දියුණුවට සුවිශාල සේවාවක් සිදුකළ නාහිමිවරයෙක් බව පැවසූහ.

මේ පිළිබඳව අදහස් දක්වන අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය වළවාහැංගුන වැවේ මහින්ද රතන හිමි අප නාහිමියන් වහන්සේ සිදුකළ ආගමික සේවාව සුවිශාලයි.

උන්වහන්සේගේ ශිෂ්‍ය හිමි පහළොස් නමක් සිටිනවා. පැවිදි වූ දා සිටම උන්වහන්සේ ආගමික කටයුතුවලට කැපවීම නිසා වැඩිදුර අධ්‍යාපනය හැදෑරීමට නොහැකි වූ නිසා නිතරම අනෙකුත් භික්ෂූන් වහන්සේලාට සිහිපත් කර සිටියේ හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමට උත්සාහ කළ යුතු බවයි. උන්වහන්සේ අද වන විට කථිකාචාර්යවරු පාසල් ආචාර්යවරු, විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් ඇතුළු ශිෂ්‍ය පරපුරක් බිහිකර ඇත.

විශේෂයෙන් උන්වහන්සේ සිදුකළ ආගමික සේවාව පිළිබඳ අවධානය යොමු කිරීමේදී අහිමි වී ගිය විහාර සතු දේපළ යළි විහාරස්ථානය හිමි කර ගැනීමට කටයුතු කළ බවද මහින්ද රතන හිමියෝ පැවසූහ.

එසේම මිහින්තලා රජමහා විහාරස්ථානය සතුව පවතින පන්සල් දොළහ මෙන්ම අනෙකුත් විහාරස්ථාන පිළිබඳ සොයා බලා එම පන්සල කිසිදු පරිහානියකට යටත්වීමට ඉඩ නොදී රැකගැනීමට කටයුතු කළා.

ලේක්හවුස් ආයතනය මිහින්තලා ආලෝක පූජාව ආරම්භ කරන සමයේ වල් බිහි වී පැවති මිහින්තලා පුදබිම එම ආයතනය සමඟ එක්ව යළි ගොඩ නංවා වර්තමානය තෙක් විශාල සංවර්ධන ඇති කිරීමට දැරූ උත්සාහය අගය කළයුතු බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ. දීර්ඝ කාලයක් දියවැඩියා රෝගයෙන් පෙළුන නාමල් වැවේ රතනසාර හිමියන් එම රෝගය උත්සන්න වීමෙන් පසුගිය 04 දා අනුරාධපුර ශික්ෂණ රෝහලේ දී අපවත්වූහ.

මිහින්තලා රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ උන්වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට දහස් සංඛ්‍යාත ජනතාව පෙළ ගැසී සිටියහ.

07 වැනිදා පස්වරු 3.00ට උන්වහන්සේගේ දේහය මිහින්තලා රජමහා විහාරයේ ඓතිහාසික ආදාහන මළුවේ තැන්පත් කෙරිණ. උන්වහන්සේ සිදුකළ ශාසනික හා සමාජීය මෙහෙවර වෙනුවෙන් උන්වහන්සේට නිවන්සුව අත්වේවායි ප්‍රාර්ථනය කරමු.

 

උඳුවප් අමාවක පෝය

උඳුවප් අමාවක පෝය ජනවාරි මස 11 වැනි දා සිකුරාදා පූර්වභාග 04.37 ට ලබයි.
12 වැනි දා සෙනසුරාදා පූර්වභාග 01.16 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 11 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
ජනවාරි 18 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජනවාරි 11

First Quarterපුර අටවක

ජනවාරි 18

Full Moonපසෙලාස්වක

ජනවාරි 26

Second Quarterඅව අටවක

පෙබරවාරි 03


2013 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2013 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]