UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

පොත් පුවත්

ක්‍රිස්තියානි මූලධර්මවාදී – මිථ්‍යා දෘෂ්ටික

බෞද්ධ දර්ශනය විෂය - 1

කර්තෘ – එස්.පී. ලංකාපුර රත්නකුමාර
ප්‍රකාශනය – නුවණි පි‍්‍රන්ටර්ස් ඇන්ඩ් පබ්ලිසර්ස් 86 /3 ඒ
පහළ ඉඹුල්ගොඩ – ඉඹුල්ගොඩ
මිල – රුපියල් 600/-

ථේරවාදී බුදුසසුනෙහි චිරස්ථිතියට අදාළ ඓතිහාසික සංධිස්ථාන අටකුත් ථේරවාදී බුදු සසුනෙහි පරිහාණියට හේතු වූ කරුණු තුනකුත් කතුවරයා හඳුනාගනී. අපේ රටේ සම්භාවනාවට පත් ඇතැම් හිමිවරුන්ගේ අදහස් ද මෙම කෘතිය මගින් අභියෝගයට ලක්කර ඇත්තේ විවිධ මූලාශ්‍ර උපයෝගී කරගෙන ය. එය විද්‍යාත්මක වෙයි. සමස්තයක් වශයෙන් ගත් විට ලංකාපුර රත්නකුමාර මහතාගේ මෙම කෘතිය ථේරවාදි බුදුදහම හා එහි යථාර්ථ ස්වරූපය නැවතත් මෙරට ස්ථාපිත කිරීමට තුඩුදෙන කෘතියක් වශයෙන් අගය කළ යුතු වෙයි. කෘතියට ප්‍රස්ථාවනාවක් සපයන මහාචාර්ය ටෙනිසන් පෙරේරා එසේ අදහස් ඵල කර සිටියි.

ග්‍රන්ථයට පෙරවදනක් සපයමින් විනයාචාර්ය මහා කම්මට්ඨානාචාර්ය ශ්‍රී‍්‍ර ලංකා ස්වේජින් නිකායේ මහා නායක ඉඟුරු වත්තේ පියනන්ද මහා නා හිමියන් පවසන්නේ ලංකාපුර රත්නකුමාර මහතා බොහෝ උගතුන් වියතුන් බෞද්ධ ධර්මය පදනම් කර ගනිමින් පළ කර ඇති ග්‍රන්ථ පමණක් නොව අනිකුත් ශාස්ත්‍රීය ග්‍රන්ථද පරිහරණය කර ඇති බව දැකිය හැකිය. එතුමා හුදු ලේඛකයකු, උගතකු පමණක් නොව එකී තත්වයන් ඉක්මවා ගිය බුදු සසුනෙහි ප්‍රායෝගික වූ උසස් ප්‍රතිඵල ලබා භාවනාමය ඤාණය ඇතිව සිටින විශේෂ දුර්ලභ අයෙකු සේ සිතෙන බවය. පසු පිටුවට පරිච්ඡේදයක් එකතු කරන මහාචාර්ය දයාරෝහණ අතුකෝරල මෙසේ සටහනක් තබයි. බුදුදහමේ සැබෑ සත්‍ය යටපත් වීමට, විකෘති වීමට බලපාන ලද විවිධ බලපෑම්, විවිධ ඉගැන්වීම් හා මිශ්‍රවීම නිසා අප සැබෑ බුදු දහමින් ඈතින් ඈතට ඇදී යන ආකාරය ලංකාපුර රත්නකුමාර මහතා තාර්කිකව , ඓතිහාසිකව හා සමාජ විද්‍යාත්මක සාධක ද වටහා දෙමින් පැහැදිලි කරදෙයි.


සම්බුදු දහම‍

(ප්‍රශ්න සහ පිළිතුරු)

කර්තෘ - අනුර සී. පෙරේරා
ප්‍රකාශනය – සරසවි ප්‍රකාශකයෝ 30, ස්ටැන්ලි තිලකරත්න මාවත
නුගේගොඩ
මිල - රු. 275 /-

සිද්ධර්ථ කුමාරෝප්පත්තියේ සිට සම්බුද්ධ පරිනිර්වාණය දක්වා සිදුවූ සන්සිද්ධීන් මෙන්ම සම්බදු දහම ශාසනික සේවාව ආදී කරුණු අලලා ප්‍රශ්න 1050 ක් සහ ඒවාට පිළිතුරු මෙන්ම අටවිසි බුදුවරුන්, බුදුන් වහන්සේ වස් විසූ ස්ථාන, අසූ මහා ශ්‍රාවකයෝ, ආදිය ද මෙම ග්‍රන්ථයෙන් හඳුන්වා දී තිබෙයි.

පොතට පෙරවදනක් සපයන මහාචාර්ය ජේ.බී. දිසානායක මහතා පවසන්නේ ශාස්තෘන් වහන්සේගේ චරිත කතාව උන්වහන්සේ දෙසා වදාළ ධර්ම ස්කන්ධය සංඝ ශාසනය ශාසනික වංශ කතාව හා චාරිත්‍ර වාරිත්‍ර ප්‍රධාන වන බවයි. මේ දැනුම බෞද්ධයන් වෙත ගෙන ඒම ද කීප විධියකින් කළ හැක්කකි. ඉන් එක් මාර්ගයක් නම් ප්‍රශ්න හා උත්තර අනුසාරයෙන් ඒ දැනුම දීමය. මේ මාර්ගයෙන් බෞද්ධයා දැනුවත් කිරීමට ගත් වෑයමක් හැටියට මේ පොත හඳුන්වා දිය හැකිය.

මේ පොතේ කතුවරයා වන විද්‍යාකීර්ති අනුර සී. පෙරේරා මහතා තාරකා විද්‍යාව හා අභ්‍යවකාශ විද්‍යාව සිංහල පාඨකයාට හඳුන්වා දීමට පුරෝගාමි වුවෙකි.මෙවර ඔහුගේ වෑයම නවීන විද්‍යාවේ විෂය ක්‍ෂේත්‍රයක් හඳුන්වාදීම නොව නවීන විද්‍යාව් සීමාවෙන් ඔබ්බෙහි වූවක් කෙරෙහි ඔබේ අවධානය යොමු කිරීමයි. එසේම එහි සඳහන් වන්න් බුදුන් වහන්සේගේ ජීවන දර්ශනය ගැන තව තවත් සොයා බැලීමට මෙම පොත අනුබලයක් වේවා! යන්නය.


ධම්මගවේසී

(සම්බුදු දහම පිළිබඳ ගවේෂණයකි)

කර්තෘ – ගෞරව, ශාස්ත්‍රවේදී, රාජකීය පණ්ඩිත
මහරැඹෑවැවේ පාලිත හිමි
ප්‍රකාශනය – තරුණ බෞද්ධ සංගමය –ජනේන්ද්‍රාරාම රජ මහා විහාරය වෙහෙරගල, පළුගස් වැව
මිල - රුපියල් 400/-

පුද්ගල විභේදනයන් ත්‍රිත්වයක් පිළිබඳව ධර්ම කරුණු ඉදිරිපත් කරන සූත්‍ර ධර්මයන් 28 ක් මෙම ග්‍රන්ථයෙන් විස්තර වෙයි.

පාලි සූත්‍රවල ඇති අදහස් නොමැකෙන සේ සිංහලට පෙරළීමට දරා ඇති ප්‍රයත්නය ප්‍රසංසනීයය. විශේෂයෙන්ම ඒ ඒ සූත්‍රයේ දේශිත ධර්ම කරුණු ජීවිතයට සම්බන්ධ කරගත යුතු ආකාරය දක්වමින් හැම සූත්‍රයක් අගටම භාවිතය නමින් එක්කර ඇති කොටසද ඉතා වැදගත්ය. පොතට හැඳින්වීමක් සපයන ශාස්ත්‍රපති පණ්ඩිත කහගල සාරානන්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ එසේ සටහන් කර තිබෙයි.

මෙහි පසු වදන සපයන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යායනංශයේ මහාචාර්ය කොටපිටියේ රාහුල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසන්නේ මහරැඹෑවැවේ පාලිත හිමියන් ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් පාලි භාෂාව පිළිබඳව ගෞරව උපාධියක් ලබා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශ්චාත් උපාධි පර්යේෂණ කටයුතුවල නිරතව සිටින ධර්ම ශාස්ත්‍ර පිළිබඳ ශික්‍ෂිත යතිවරයකු ලෙස මම දැන හැදින හිඳිමි. ඇතැම් ශ්‍රී ලාංකික යතිවරු පිරිසුදු ධර්ම සාහිත්‍ය තම පෞද්ගලික අර්ථකථන ඔස්සේ මෙහෙයවීමට පෙළඹී සිටින මෙවන් යුගයක මහරැඹෑවැවේ පාලිත හිමියන් මුල් බුදුදහම අනුව ධර්ම විවරණ ප්‍රකට කිරීමට ගනු ලබන උත්සාහය අතිශයින්ම ප්‍රශංසනීය වේ යනුවෙනි.
 


පෝය උදාන ගීතාඤජලී

කර්තෘ - ආචාර්ය එච්.ඒ.පී. අභයවර්ධන
ප්‍රකාශනය- අහස් ප්‍රකාශන, 111,පැරකුම් මාවත මහරගම
මිල – රු. 400

වසරක් පුරා එළඹෙන පුරපසළොස්වක පොහොය දින දොළහ හා සම්බන්ධ වූ සම්බුදු සිරිතේත්, ශාසන ඉතිහාසයේත්, සන්සිද්ධීන් ගීත සහ විස්තර වශයෙන් ඇතුලත් කර මෙම පෝය උදාන ගීතාංජලී ග්‍රන්ථය සකසා තිබෙයි.

පොහොය දොළසට අදාළ විශේෂ සිදුවීම් ප්‍රවීන චිත්‍ර ශිල්පී සරත් නන්ද කුමාරගේ තෙළි තුඩින් වර්ණයෙන් සිතුවම් කර තිබෙන අතර මෙහි තවත් විශේෂයක් වන්නේ සෑම ගී පද රචනයක් සඳහාම සංගීත විශාරද ජයන්ත අරවින්ද විසින් ගී තනු යොදා එම ගීත ප්‍රස්ථාරයන් පොතට ඇතලත් කර තිබීම ය.

පෝය උදාන ගීතාංඤජලී පිළිබඳව අගැයීමක් යන මැයෙන් පොතට පෙරවදනක් සපයන රාජකීය පණ්ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්ස , ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පවසන්නේ අප රට ප්‍රවීණ උගතකු හා පරිපාලකයකු ලෙස සම්මානයට පත්ව සිටින ආචාර්ය අභයවර්ධන සිය කාව්‍යමය කුසලතා උපයෝගී කරගෙන ඉටුකරන ලද මෙම සේවය බෞද්ධ සාහිත්‍ය පෝෂණය වීමට හේතු වන ඉමහත් පින්කමක් ලෙස අගය කරන බව ය. එසේම ලක්‍ෂ 20 කට ආසන්න බෞද්ධ දරුවන්ට හා ඔවුන් පෝෂණය කරන ගුරුවරු , දෙමාපියන් මෙම පොත සාදරයෙන් පරිහරණය කොට කතුවරයාට ආසිරි පිරිනමනු නොඅනුමානය බව එහි සඳහන් වෙයි.

 


ත්‍රිපිටකයේ දාර්ශනික සිද්ධාන්ත

(ත්‍රිපිටක අත්පොත – ප්‍රථම භාගය)

කර්තෘවරු– ශාස්ත්‍රපති වැහැර මංගල හිමි
ශාස්ත්‍රපති ඒ.ඇම්. ඩී.වයි. සරත්චන්ද්‍ර අමරතුංග
ප්‍රකාශනය - කර්තෘ ප්‍රකාශනයකි
මිල – රුපියල් 500/-

සූත්‍ර පිටකයේ ග්‍රන්ථ ඇතුලත් කර මාතෘකා 425 ක් යටතේ ධර්ම කරුණූ පැහැදිලි කෙරෙන ග්‍රන්ථයකි.

මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි නා හිමියෝ පොතට සුභාශිංසනයක් එක් කරමින් මෙම ශාස්ත්‍රීය ව්‍යායාමය බෙහෙවින්ම දුෂ්කර වූ ප්‍රශස්ත උත්සාහයක් බව පවසති.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමියන් විශේෂ පණිවුඩයක් මගින් පවසන්නේ මෙම ග්‍රන්ථය බුදුරදුන්ගේ සූත්‍ර දේශනා වලදි පැහැදිලි කළ ධර්ම කරුණූ සොයා විමසන ගිහි පින්වතුන්ටද මහත් උපකාර වන ග්‍රන්ථයක් බවය. එමෙන්ම මේ අනුමාතෘකා යටතේ පෙළ ගැසෙන ධර්ම කරුණූ පැහැදිලි කිරීමට පාළි පාඨය එහි සිංහල අර්ථය, අගය, අදාල සූත්‍ර පිටකයේ අදාළ ග්‍රන්ථය සූත්‍රය පිටු අංක, බුද්ධ ජයන්ති ත්‍රිපිටකය ග්‍රන්ථ තුළින් ඇතුලත් කිරීම ඉතා වැදගත් කරුණක් බවත්ය. විශ්‍රාමලත් පරිවෙනාචාර්යවරයෙකු වන ශාස්ත්‍රපති මංගල ස්ථවිරයන් වහන්සේ සහ ප්‍රකට ග්‍රන්ථ කර්තෘවරයකු වන පිරිවෙන් ආචාර්ය ශාස්ත්‍රපති සරත්චන්ද්‍ර අමරතුංග මහතා විසින්ද සම්පාදිත නව ආරක කෘතියක් වූ ත්‍රිපිටකයේ දාර්ශනික සිද්ධාන්ත කෘතිය ගිහි පැවිදි ධර්ම ලාභීන්ට නවතම අත්දැකීම් එකතු කරන අපූර්වතම නිර්මාණයන් බව සහකාර අධ්‍යාපන අධ්‍යක්‍ෂ මාදෝවිට වජිර බුද්ධි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රස්තාවනාවෙන් වන් පැහැදිලි කර දෙති.


නමෝ බුද්ධාය

සජීවි සදහම් කතිකාවත

කර්තෘ - කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ
ප්‍රකාශනය - දයාවංශ ජයකොඩි සහ සමාගම
මිල – රුපියල් 200 /-

කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් පවත්වන ලද සජීවි සදහම් වැඩසටහන් ඇසුරෙන් ඵල කළ කෘතියෙකි.

මෙම ග්‍රන්ථයේ පසු පිටුවට කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේ විසින් දේශිත සදහම් කරුණු ඔස්සේ කෙටිසටහනක් ඇතුලත් කර තිබෙයි.

බුදුරජාණන් වහන්සේ කර්මය පිළිබඳ විග්‍රහය හරියට දන්නේ නැති නිසා සමහරු අපෙන් අහනවා ‘අපි මෙච්චර හොඳ කරද්දී ඇයි අපටම කරදර කියලා. ඒ කියන්නේ ඒ අය සංසාරය පුරා සාධාරණයක් බලාපොරොත්තු වෙනවා. නමුත් සාධාරණය බලාපොරොත්තුවෙන තාක් එයාට ඉන්න වන්නේ පීඩාවෙන්. කවදාවත් මොකද ලෝකයෙන් සාධාරණත්වයක් ලැබෙන්නේ නෑ. සමහර විට අවංක මනුස්සයාටමයි බැට කන්න වෙන්නේ. ඒ තමයි සංසාරයේ ස්වභාවය. මේ සසරේ සාධාරණත්වයක් තියෙනවා නම් බුදුරජාණන් වහන්සේ මේකෙන් එතෙරවන්න කියන්නේ නෑනෙ. නමුත් කර්මය විපාකදෙන ස්වභාවයේ, සසර දික් ගැහෙන විදියේ සාධාරණත්වයක් නැති නිසා තමයි බුදුරජාණන් වහන්සේ හැම වේලාවේම දේශනා කළේ ප්‍රමාද වෙන්න එපා. විර්යය කරන්න උත්සාහ කරන්න. මේ සසරෙන් එතෙර වෙන්න බලන්න කියලා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවලින් හැම වේලාවේදීම මේ පිළිබඳව වාසියක් දක්වන්නේ නැත්තේ සසරේ තියෙන ආසාධාරණ ක්‍රියාවලිය නිසාමයි.නමුත් අපි අසාධාරණ ලෝකය තුළ අසාධාරණය පතනවා ඒත් ඒ සාධාරණය කාගෙන්වත් ලැබෙන්නේ නැහැ. සද්ධර්මය තුළින් මෙලොව ජීවිතය මෙන්ම පරලොව ජීවිතය නිසැකයෙන්ම සුගතිගාමී කරගැනීමට ඇති හැකියාව පිළිබඳව මෙම සදහම් ග්‍රන්ථයෙන් විග්‍රහ කෙරෙයි.

 

ඉල් අමාවක පෝය

ඉල් අමාවක පෝය දෙසැම්බර් මස 12 වැනි දා බදාදා අපරභාග 05.56 ට ලබයි.13 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 02.13 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම දෙසැම්බර් 12 වැනිදා
 බදාදා ය.
මීළඟ පෝය
දෙසැම්බර් 20 වැනි බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

දෙසැම්බර් 12

First Quarterපුර අටවක

දෙසැම්බර් 20

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 27

Second Quarterඅව අටවක

ජනවාරි 05


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]