ඉල් අමාවක 2012 දෙසැම්බර් 12 වන දා
කරුණා ගුණය
ඔබත්, මමත් මේ ජීවිත කාලය පුරා තැනින් තැනට ගමනාගමනයෙහි
යෙදේ.මෙසේ ඇවිද ගෙන යන එන අතුරතුර ජීවිතයක යම් යම් අඩුපාඩු ඇති
අය නම් කෙතරම් හමුවෙත් ද?
කලාතුරෙකින් හෝ අතපයවාරු නැති අය, අන්ධ අය, ගොළු අය, බිහිරි අය
මේ ආදි වශයෙන් විවිධ දුකින් පෙළෙන අය කෙතරම් අපට හමුවී ඇත් ද?
එසේ දකින අය දුටු පමණින් අප හදවතෙහි ඔවුන් කෙරෙහි ඇතිවන්නේ
මහත් අනුකම්පාවකි. කවර නම් හේතුවකින් මොහුට මේ බාධකය ඇතිවී
ඇත්ද? කවදා හෝ අපද ඒ තත්ත්වයට පත් වුවහොත්, කාගේ නම් පිහිටක්ද?
මේ ආදි වශයෙන් විවිධ වූ කල්පනාවන් අප සිත් තුළ පහළවීම
ස්වභාවයයි.
මෙසේ අනුනගේ දුක දැක ළයෙහි ඇතිවන අනුකම්පාවෙන් ඔවුනට යම්
පිහිටක් විය හැකි නම් එය කෙතරම් කරුණාවක්ද?
යමක් කර කියා ගැනීමට නොහැකි, ශක්තියක් නැති දුකට පත්වූවකු වෙත
එසේ පිහිට විය හැකිනම් එය තමන්ට කෙතරම් සතුටක් ඇති කරවයි ද?
අනාදිමත් කාලයක් පුරා සසර ගමනේ සැරිසරන සියලු දෙනා කලාතුරකින්
හෝ කරනු ලබන අකටයුත්තක්, අකුසලයක් නිසා එහි දුක් විපාක
විඳින්නට සිදුවුවහොත් කෙතරම් අවාසනාවක් වේ ද? තමන් කළ, කී
කවරක් වුවද, එහි දුක් විපාක විඳින්නට සිදු වනුයේ ද අනුනට නොව
තමන්ටමය.
එබැවින් දුකට, විපතට පත් අයකු දුටුවිට ඒ දුකෙන්, විපතෙන් මුදවා
ගැනීමට කල්පනා කළ යුතුය.අනුනගේ දුක දැක ළය කම්පිත කරන්නේ නම්
එය කරුණාව ය.
මේ භව ගමනේ අනන්ත අප්‍රමාණ කාලයක් දුක් විඳි අනේක විධ
සත්ත්වයන්ගේ ඒ දුක නිවාලීමට තථාගත බුදුපියාණන් වහන්සේ ලොව පහළ
වූයේ දුකින් පෙළෙන සත්ත්වයන් සනසාලීමට මහා කරුණාවෙන්මය.
ඒ අසිරිමත් බුදුසිරිත සිහිකිරීමෙන් පවා බොදුනුවාට දැනෙනුයේ
අප්‍රමාණ සැනසිල්ලකි.
දුකට පත්වූවකු වෙත යම් අයෙකුට පිහිටක්, පිළිසරණක් විය හැකි නම්
එසේ ඇතිවන කරුණාව දිගින් දිගටම පුරුදු පුහුණු කළ යුතුද වේ.
කරුණාව වඩන යම් තැනැත්තෙක් වේද? ඒ මගින් ලැබෙන අනුසස් ද බොහෝය.
සුවසේ නින්ද යෑම, සුවසේ පිබිදීම, නපුරු සීන නොපෙනීම ,
මිනිසුන්ට පි‍්‍රයවීම, අමනුෂ්‍යයනට පි‍්‍රයවීම,දෙවියන්ගෙන්
ආරක්‍ෂාව ලැබීම,ගිනි ආදි විපත් නොවීම, සිත වහා එකඟ කළ හැකිවීම,
පැහැය ප්‍රසන්නවීම අවසන් මොහොතෙහි යහපත් සිහියෙන් කලුරිය
කිරීම, ධ්‍යාන ලබා බඹලොව ඉපදීම යන අනුසස් වේ.
බොහෝ විට මහමඟ යන එන විට ඇස ගැටෙන යාචක ආදීන්ට පවා බොහෝ දෙනා
පිහිට වනුයේ තම හදවතෙහි අනුන්ගේ දුක දැක ඇතිවන අනුකම්පාව
නිසාය. එසේ අනුකම්පාවෙන් පිහිට වනුයේද කිසිදු ලාභාපේක්‍ෂාවකින්
තොරවමය.
රෝගියකු නිරෝගීමත් අයකු කර ගැනීමට ලේ ටිකක් දන්දීමෙන් රෝගියා
නිරෝගීමත් වී කෙතරම් සතුටක් ලබත් ද?
මෙසේ බලන විට තමා නොදැනුවත්වම පාහේ තමා පරිත්‍යාග කිරීමේ මහඟු
චේතනාවක නිරත වූවා මෙන්ම කරුණාව උපදවා ගත් සත්පුරුෂ අයකුද වේ.
කරුණාව නම් සිව්බඹ විහරණයන්ට ද අයත් උතුම් අංගයකි.
එය සියලු දෙනා වැඩිය යුතු, පුරුදු කළ යුතු උතුම් ගුණයකි. කරුණා
ගුණයෙන් දිවිමග එළිය කර ගැනීම මිනිස්කමටත්, බෞද්ධකමටත්
ශක්තියක් වනු ඇත.
තම චිත්ත සන්තානයෙන්ම උපදවා ගත යුතු කරුණාවෙන් දිවිමග ආලෝකමත්
කර ගැනීමට නිරතුරුව උත්සාහ කරමු. |