UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 පරිස්සමෙන් තේරුම් ගත යුතු උතුම් දානය

ධර්මය යනු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. සියලු කෙලෙස් නසා නිවන් සුව ලබා ගැනීම පිණිස වදාළ ධර්ම ප්‍රදානය කිරීම ධර්ම දානයයි. ධර්මය යනු බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නසා නිවන් සුව ලබා ගැණීම පිණිස වදාළ ධර්මයයි. එම ධර්මය ප්‍රදානය කිරීම ධර්මදානයයි. නිවන එකවර ලබා ගත නොහැකිය. ධර්මය දානය සිදු කිරීමේදී නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳ දැනුම අත්‍යවශ්‍යම කරුණයි, දහම් දෙසුමෙන්, ධර්ම සාකච්ඡාවෙන්, ධර්ම පතපොත රචනා කිරීමෙන්, ධර්ම පතපොත ප්‍රදානය කිරීමෙන් ධර්ම දානය සිදුකළ හැකියි

තථාගත සම්මාසම්බුදුරජාණන් වහන්සේ දානය විශේෂයන්ගෙන් උතුම් දානය වශයෙන් වදාළේ ධර්ම දානයයි. අංගුත්තර නිකායේ දුක නිපාතයේ දාන වග්ගයේ අන්තර්ගත “ද්වේමානි භික්‍ඛවේ දානානි, කතමානි ද්වෙ ආමිස දානං ච ධම්ම දානං ච, ඉමානි, ඛො, භික්‍ඛවෙ ද්වෙ දානානි, එතදග්ගං භික්ඛවෙ ඉමේසං ද්වින්නං දානානි, යදිදං ධම්ම දානන්ති” “මහණෙනි, මේ දාන දෙකකි, කවර දාන දෙකක් ද යත් ආමිස දානය හා ධර්ම දානයයි. මහණෙනි, මේ දාන දෙක අතරෙන් යම් ධර්ම දානයක් මේ නම් එම දානය අග්‍ර වේ” යන දේශනාව අනුව ඒ බව පසක් වේ.ඒ බව තව ද ධම්මපද පාළියේ තෘෂ්ණා වර්ගයේ “සබ්බ දානං ධම්ම දානං ජිනාති” ධර්ම දානය සියලු දානයන් දිනයි” යනුවෙන් සඳහන් වේ. ධර්ම දානය හා සැබැඳි මෙවන් දේශනා කොතෙකුත් ත්‍රිපිටකයේ ඇතුළත් වන්නේ ය. ධර්ම දානයේ කර්තෘ අන් කිසිවෙක් නොව ශාන්ති නායක අප බුදුරජාණන් වහන්සේමය. ඒ නිසා මෙහි උතුම් බව, අග්‍ර බව, ශ්‍රේෂ්ඨ බව වන්නේය.

ධර්ම දානයේ ස්වභාවය අවබෝධ කර ගැනීමෙහිලා ඉති වුත්තක පාලියේ බහුකාර සූත්‍රය ඉතා වැදගත් වේ . එනම්,

“බහුකාරා භික්ඛවේ බ්‍රාහ්මණ ගහපතිකා තුම්හාකං යෙ තෙ පච්චුපට්ඨිතා චීවර පිණ්ඩපාත, සේනාසන, ගිලාන පච්චය, භේසජ්ජ, පරික්ඛාරෙහි, තුම්හෙපි භික්‍ඛවේ බහුපකාරා බ්‍රාහ්මණ ගහපතිකානං යං තේසං ධම්මං දේසේථ ආදී කල්‍යාණං මජ්ඣෙ කල්‍යානං පරියෝසාන කල්‍යාණං සාත්තං සබ්ඛ්‍යන්ඤ්ජනං කේවල පරිපුණ්ණ පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාසෙථ” ” මහණෙනි යම් බ්‍රාහ්මණ ගෘහපති කෙනෙක් (දායකයෙක්) සිවුරු පිණ්ඩපාත, සෙනසුන් (පන්සල්) ගිලන්පස, බෙහෙත් යන මෙයින් ඔබ වහන්සේලාට උපස්ථාන කරත් නම්..එම දායකාදීන් ඔබ වහන්සේට බෙහෙවින් උපකාර ඇත්තාවෝ වෙති. මහණෙනි, ඔබ වහන්සේලා ඒ දායකයන්ට මුල යහපත් වූ මැද යහපත් වූ අවසාන යහපත් වූ අර්ථ සහිත වූ ව්‍යඤ්ජන සහිත වූ සියලු ලෙසින් සම්පූර්ණ වූ ධර්මය දේශනා කරන්න” යනුවෙන් ආමිස දානයෙන් සංග්‍රහ ලබන භික්‍ෂුව දායක කාරකාදීන් හට මුල, මැද, අග යහපත් වූ අර්ථ සහිත පද ව්‍යඤ්ජනයන් සහිත බුදුන් වදාළ ධර්මය දානය කළ යුතු බව එයින් කිය වේ.

ඉහත සඳහන් සූත්‍රයේ පද ව්‍යඤ්ජන කරුණු පිළිබඳ ථෙරවාදී සම්ප්‍රදායට අනුව කරුණු විමසිය යුතුය. එහෙත් ඒ පිළිබඳ දීර්ඝ විස්තරයක් කිරීමට අප අදහස් කරන්නේ නැත. එසේ වුවත් ඒ පිළිබඳ පෙටකෝපදේශයේ සඳහන් කරුණක් ප්‍රකාශ කෙරේ. එනම්, “ඒකාදසහි අංගේහි සමන්තාගතො භික්‍ඛු චිප්පං ධම්මෙසු මහන්තං පාපුණාති අත්ථ කුසලෝ ච හෝති, ධම්ම කුසලෝ ච හෝති ඛ්‍යඤජන කුසලෝ ච හෝති නිරුක්ති කුසලෝ ච හොති...”

මෙයින් අදහස් කරන්නේ එකලොස් අංගයකින් සමන්විත භික්‍ෂුව වහා ධර්මයෙහි මහත්වයට පැමිණෙයි. පාලි අර්ථයෙහි දක්ෂ වූයේ වේ. පාලියෙහි ද දක්‍ෂ වූයේ වෙයි. අක්ෂර වාක්‍ය සංඛ්‍යාත ව්‍යඤ්ජනයෙහි කුසල වූයේ වෙයි. නිර්වචනයෙහි කුසල වූයේ වෙයි. මින් පැහැදිලි වන්නේ ධර්ම දානයේ බැරෑරුම් කමයි.

මෙම ලිපියේ ආරම්භයේ දී උපුටා දැක් වූ දාන වර්ගයේ පාලි පාඨයේ ඇතුළත් “ධම්ම දානං” යන පදය මනෝරථපූරණී නම් වු අංගුත්තර නිකාය අට්ඨකථාවේ විවරණය කරනු ලබන්නේ මෙසේ ය. එනම් “ ධම්මදානන්ති ඉධ හි කම්මො අමතුප්පද්දි පටිපදං කථෙත්වා දෙති. ඉදං ධම්ම දානං නාම”

මෙහි අදහස නම් නිර්වාණය ලැබීමේ පිළිවෙත කියාදීම ධර්ම දානය බවයි. බුද්ධවංස අටුවා නිදාන වණ්ණනාවෙහි සඳහන් වන්නේ ද නිරන්තරයෙන් ආමිස පූජා ලබන භික්‍ෂූන් වහන්සේලා ධර්ම දානයෙන් ඔවුන්ට උපකාර කළ යුතු බවයි.එනම්.

”ගිහීනමු’ පකරොන්තානං
නිච්චමා මිසදානතො
කරොථ ධම්මදානෙන
තෙසං පච්චුපකාරකං”

දෙසුම පමණක් නොව ධර්ම ඇසුම් ද උතුම් මංගල කරුණක් බව ඛුද්දක නිකායේ මංගල සූත්‍රයේ “ කාලෙන ධම්ම සවණං.” කාලනෙ ධම්ම සාකච්ඡා එතං මංගලමුත්තමං...” යන ගාථාවන්ගෙන් පැහැදිලි වෙයි. මෙහි ධම්ම සාකච්ඡාව ද ධර්මදානයට අයත් ය.

අපේ පැරණි සම්භාව්‍ය කවි බණ සම්ප්‍රදාය විමසීමේ දී දහම් පද විවරණ කරන අයුරු මොනතරම් ධර්ම ශාස්ත්‍රීය දැයි අප අවධාරණය ගත යුතු කරුණකි. එහිලා විශිෂ්ට කෘතියක් වශයෙන් වීදාගම මෛත්‍රය මාහිමියන්ගේ ලෝවැඩ සඟරාව හැඳින්විය හැකියි. එහි දී ධර්ම දානය පැහැදිලි කරන සැටි බලන්න.

මුනිඳුන් බණපද කරවා පුහු ණු
දෙස මින් දනහට වඩවා කුළු ණු
එපිනෙන් නොපැමිණ නිරයට දරු ණු
ලැබ ගත් මතු සග මොක් සිරි දියු ණු

බණ දෙසීමට පළමුව ඒ බණපද මනාව ඉගෙන ජනයාට කරුණාවෙන් දේශනා කරන ලෙසත් විස්තර කරති.

එසේ වීදාගම මෛත්‍රය මාහිමියෝ හංස සංදේශයෙහි දී ද කැරගල පද්මාවතී පිරිවෙණ වැඩවසන වනරතන සංඝරාජ මාහිමි ධර්ම දේශනාවේ දී හෙවත් ධර්ම දානයේ දී අනන්මනන් නොකියා දී (එයිදු මෙයිදු නොකියා) ධර්මයම දේශනා කරන බව පවසන්නේ මෙසේය.

විරිදු නමුදු කියවු නැත යන දෙවෙ නි
මෙබඳු යතිඳු උතුමෙක් විය සත පිනි නි
එයිදු මෙයිදු නොකියා බණ දෙසනුයෙ නි
මෙයිදු මිහිඳු මාහිමියන් පැමිණි වැ නි

තොටගමුවේ ශ්‍රී රාහුල මාහිමියන් විසින් සක්තුභක්ත ජාතකය වස්තුබීජ කොට රචනා කරණ ලද කාව්‍යශේඛරයේ ද, ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා නොමැතිව ධර්ම දානය සිදු කළ යුතු බව පද්‍යයෙන් විවරණ කරන අයුරු කමනීය වේ. එනම්

නොහැඟ පුද ලබ ය ස
හිත අදහසින් මුනි බ ස
අන් හට මොක් පිණි ස
කියනු දේසන මහත් අනු හ ස

හැටේ දශකය ධම්මපදයට සංග්‍රහකරණ ලද අග්‍රගණ්‍ය විවරණයක් වශයෙන් රාජකීය පණ්ඩිත අම්බලන්ගොඩ ධම්මකුසල මහා නාහිමියන්ගේ “සද්ධර්ම සාගරය නම් වූ ධර්ම පද වර්ණනා” නම් ග්‍රන්ථය හැඳින්විය හැකිය. එහි 2428 පිටුවෙන් මෙසේ සදහන් වේ.

“පූජා සත්කාර කීර්ති ප්‍රශංසා ලැබීමෙහි ආශා නැති ව හුදෙක් නිවන ලැබීමෙහි එක් ව අදහස් ඇති ව දහම් දෙසන්නහුට උපදනා කුසලචිත්ත වීථියෙහි ජවනක්‍ෂණ සත හා යෙදෙන කුශල චේතනා මාත්‍රය ධර්ම දානයයි.”

ධර්මය යනු බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයයි. සියලු කෙලෙස් නසා නිවන් සුව ලබා ගැනීම පිණිස වදාළ ධර්ම ප්‍රදානය කිරීම ධර්ම දානයයි. ධර්මය යනු බුදුරජාණන් වහන්සේ සියලු කෙලෙස් නසා නිවන් සුව ලබා ගැණීම පිණිස වදාළ ධර්මයයි. එම ධර්මය ප්‍රදානය කිරීම ධර්මදානයයි. නිවන එකවර ලබා ගත නොහැකිය. ධර්මය දානය සිදු කිරීමේදී නම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය පිළිබඳ දැනුම අත්‍යවශ්‍යම කරුණයි, දහම් දෙසුමෙන්, ධර්ම සාකච්ඡාවෙන්, ධර්ම පතපොත රචනා කිරීමෙන්, ධර්ම පතපොත ප්‍රදානය කිරීමෙන් ධර්ම දානය සිදුකළ හැකියි. ධර්ම ප්‍රචාරය සේවයේ විශිෂ්ට සේවයක් සිදු කළ අපවත් වී වදාළ පැළෑනේ සිරි වජිරඤාණ මහනාහිමියෝ බණ දෙසිය යුතු සැටි හෙවත් ධර්ම දානය පිළිබඳ කරන විවරණය මෙම ප්‍රස්තුතයෙහිලා ඉතා අගනේය. එනම්”පළමු කොට ම එය දෙසන්නා විසින් ඉතා හොඳින් ඉගෙන සිතා බලා විමසා වටහා ගෙන තීරණයට පැමිණැ ඒ දෙසන බණ කෙරෙහි තමාගේ මහත් විශ්වාසයක් භක්තියක් ඇති වැ තමා එයින් දැක්වෙන ගුණයන්හි පිහිටා නුගුණ දක්වන දොස්වලින් ඉවත් වැ “මේ දෙසන්නේ බුදුන් වහන්සේගේ බණයැ” යි සිතා තමාගේ යම් යම් හැඟීම් බුදු බණට මුසු නොකොට “මේ කරන්නේ බුදු කෙනෙකුන් වහන්සේට අයත් මෙහෙයකැ” යන ගෞරවයෙනි. උගත්කම් පානා අභිමානයෙන් තොරවැ, කීර්ති ප්‍රශංසා ලාභ සත්කාරාදිය නොතකා,අසනුවන් කෙරෙහි කුලුණු මෙත් පෙරදැරි වැ හුදු පින්සිතින් බණ දෙසිය යුතුයැ. “ (ශ්‍රී වජ්‍රඥාන සාහිත්‍යය අංක 1)

උතුම්ම දානය ධර්මදානය වන බැවින් වර්තමානයේ ඇතැම් ගිහි පැවිද්දෝ බුදුරජාණන් වහන්සේ වදාළ ශශ්‍රී සද්ධර්මය විකෘති කරති. සාමාන්‍ය ජනයා මංමුලා කරති. ඔවුන්ට අපායේ දොර විවර කරවති. ශාසන පැවැත්මට හානි පමුණුවති. කෙනෙක් මේ මඟ නිසි නිවන් මඟ යැයි මුලා වී ඒවා ප්‍රචාරය කිරීමට පෝෂණය කිරීමට උදව් උපකාර කරති. මෙනිසා බුදුදහමේ නාමයෙන් බුදුදහමට පටහැනි, බුදු බණ විකෘති කරවන පොතපත, ලිපිලේඛන දේශන, වැඩසටහන්, සාකච්ඡා ආදිය මොනතරම් වර්තමාන සමාජයේ ව්‍යාප්ත වෙනවාද? ඒවා පිළිබඳ ඔබට නිසි අවබෝධයක් ලබා ගැනීම පිණිස ධර්ම ශාස්තී‍්‍රය වශයෙන් විමසා බලන ලිපියක් එළඹෙන පුරපසළොස්වක දින බලාපොරොත්තු වන්න.

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]