UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්ගමහා පණ්ඩිත
නාපාන පේමසිරි
මහා නා හිමි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරයට අභිනවයෙන් තේරී පත්වූ මැණික්හින්න හූරිකඩුව විද්‍යාසාගර පිරිවෙන් විහාරාධිපති ශාසන ශෝභන ත්‍රිපිටක වාගීශ්වර සිරි සීලවංශ වංශාලංකාර විනය විශාරද රාජකීය පණ්ඩිත අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහා නා හිමියන් සමඟ කළ සාකච්ඡාවකින් සැකසුනු ලිපියකි.

මහානායක හාමුදුරුවනේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ පැවැත්ම උදෙසා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවාද?

අමුතුවෙන් කළ යුතු වැඩක් නැහැ. නිකායේ පැවැත්ම උදෙසා කථිකාවතක් ව්‍යස්ථා සංග්‍රහයක් තියෙනවා. ඒ අනුව කටයුතු කිරීම අප නිකායේ භික්‍ෂූන් වහන්සේලාට පැවැරී ඇති වගකීමක්.

අපේ නිකායේ දැන උගත් තරුණ භික්ෂූන් රැසක්ම වැඩ සිටිනවා. උන්වහන්සේලා ප්‍රාචීන, ප්‍රාරම්භ, මධ්‍යම, අවසාන, රාජකීය, පණ්ඩිත ශාස්ත්‍රවේදි, ශාස්ත්‍රපති, ආචාර්ය, ත්‍රිපිටකවේදී ආදි උසස් විභාග සමත්ව දෙස් විදෙස් වශයෙන් ජාතික ආගමික සාමාජික සේවාවන් විශාල ප්‍රමාණයක් සිදුකරන භික්ෂු පරපුරක් සිටීම මහඟු සැනසීමක්.

ඒ නිසා අමුතුවෙන් උන්වහන්සේලා දැනුවත් කිරීමක් අවශ්‍ය වන්නේ නැහැ. මොන විරෝධතා පැමිණියත් සම්බුද්ධ ශාසනය කිසි දවසක කිසිවෙකුට විනාශ කරන්න ඉඩ ලැබෙන්නේ නැහැ. සිංහල රජ දරුවන් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කැර දුන් සම්බුද්ධ ශාසනය ආරක්ෂා කිරීම සඳහා යුගයෙන් යුගය යුග පුරුෂයෝ බිහිවී තිබෙනවා. අදත් එවැනි යුග පුරුෂයන් අප අතර ඉන්නවා. එවැනි යුග පුරුෂයන් ජාතියේ පිනට පහළ වන්නේ.

ගමත් පන්සලත් අතර සබැඳීයාව වර්ධනයේ වගකීම කුමක්ද?

තුනුරුවන් කෙරෙහි අචල විශ්වාසය ඇති ශ්‍රද්ධාවන්ත බෞද්ධයෝ කිසි දවසක පන්සලෙන් ඈත් කරන්න බැහැ. අවංක බෞද්ධයා පන්සලෙන් ඉඩම් කඩම් ගෙවල් දොරවල් අහාරපාන, මිල මුදල් ඉල්ලන්නේ නැහැ.

මාගේ විහාරස්ථානයේ දායකකාරකාදින් සිල්වත්, ගුණවත් භාවයෙන් කටයුතු කළ නිසා නේ මහනායක පදවිය පවා මට ලබා ගන්න මඟ පෑදුනේ. බුද්ධිමත් බොදු සැදැහැවතුන් සතර පෝයට සිල් සමාදන් වෙනවා. එවැනි පින් පිරි මිනිස්සු තවමත් අපේ ගම්වල ඉන්නවා. ඒ අයට හොඳ නරක කියා දීම භික්ෂූන් වහන්සේට පැවැරී ඇති වගකීමක්. තම තමන්ගේ විහාරස්ථාන ආරක්ෂා වන අන්දමට සියලු දෙනාම එකට එකතු වී කටයුතු කළොත් ගමත් පන්සලත් අතර ඇති සම්බන්ධතාවය බිඳ වැටෙන්නේ නැහැ. ඒ වගකීම ගිහි පැවිදි දෙපක්ෂය බාර ගත යුතුයි.

සමාජයේ කලාතුරෙකින් අයෙකු හෝ අපරාධවලට පෙලඹෙන්නේ ඇයි?

මේ රටේ මිනිස්සු අපරාධවලට නැඹුරු වූයේ සුදු ජාතිකයන්ගේ පැමිණීමත් සමඟයි. ඔවුන් අපට දුන් දායාද අතුරින් මත් පැන් බෝතලය තුවක්කුව ඉදිරියට ආවා.

මත් පැන, මත් ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිස් ආර්ථික සමාජීය ආගමික වශයෙන් පරිහානියට පත් වුණා. ඇතැම් දෙමාපියන්ගේ වැරැදි ක්‍රියා නිසා දරුවන් නො මඟ යන්න පුරුදු වුණා. දුර දක්නා නුවණක් නොමැති ඇතැම් පිරිස් මිනී මරන්න මංකොල්ල කන්න පටන් ගත්තා. නිවැරැදි අධ්‍යාපනයක් ලබා ගත් කිසිවෙකු බුදුදහමට පිටුපා වැඩ කරන්නේ නැහැ.

සමාජය යහමඟට ගැනීම සඳහා අප කළ යුත්තේ කුමක්ද?

උපේක්ෂා පාරමිතාව පිරීමෙන් ජීවිතය ජය ගැනීමට හැකිය. නිවැරැදි චින්තනයක් නොමැතිව කරන කිසිම වැඩකින් පලක් වන්නේ නැහැ. තමාට තමා පහනක් කැර ගත යුතුයි. තමා වාගේම අන් අයත් මේ සමාජයේ හොඳින් ජීවත්වීමට කැමැත්තක් දක්වන බව තේරුම් ගත යුතුයි. විශේෂයෙන් දාන පාරමිතාවට මුල් තැනදී කටයුතු කිරීම ඉතා වැදගත් ක්‍රියා දාමයක්. තමාට වාගේම අන් අයටත්, කැමැත්තක් දැක්වීම උතුම් පින්කමක්. ඒ වාගේ ඉවසීමෙන් කටයුතු කිරීමෙන් සැනසීම උදා කැර ගැනීමට පිළිවන්. ඉවසීම නොමැති කිසිවෙකුට කවදාවත් ජීවිත ජය ගැනීම හරිම දුෂ්කරයි.

තම තමන්ට පැවැරී ඇති වැඩකටයුතු හරියට ඉටු කළොත් යහපත් සමාජයක් නිරන්තරයෙන්ම පෙළ ගැසේ.

භික්ෂූ සමාජයේ ආරක්ෂාව සැලසී තිබේද?

විශාල ධනස් කන්දක් වියදම් කරලා සංගායනා පැවැත්වීමෙන් පලක් වන්නේ නැහැ. පළමුව භික්ෂු විනය ආදීනව අවබෝධ කිරීම වැදගත්.

ඇතැම් භික්ෂූන්ට මොන දේ කිව්වත් පලක් වන්නේ නැහැ. එදා බුදුන් දවස ජබ්බග්ගිය භික්ෂූන් කියා කොටසක් සිටියා . අද එවැනි භික්ෂූන් නැතුවාම නොවේ.

පළමුව දේව ධර්මය කියන්නේ මොනවද කියා දැන ගත යුතුයි. ගිහි වුවත් පැවිදි වුවත් ලජ්ජා භය ආරක්ෂා කැර ගන්න ඕනෑ. ලජ්ජා භය නොමැති පිරිස් සමඟ ජීවත්වීම ටිකක් අමාරුයි. මේ පිළිබඳව දෙවරක් සිතා බලා කරුණු ප්‍රකාශ කළ යුතුයි.

සාරධර්ම ආරක්ෂා කිරීම සඳහා වඩාත් උචිත වැඩපිළිවෙළක් අවශ්‍ය නොවන්නේද?

පළමුව භික්ෂුව තම ගුරුවරු දායකකාරකාදීන් පිළිබඳව හිතන්න ඕනෑ. ඇතැම් පිරිස් තම යුතුකම් ඉටු නොකර තම අයිතිවාසිකම් පමණක් දිනා ගැනීමට කල්පනා කරනවා.

එවැනි අවස්ථාවලදී සාරධර්ම ගිලිහී යනවා. ඒත් ගම්වල ජීවත්වන ඇතැම් වැඩිහිටියන් තවමත් හොඳ සිරිත් විරිත් ආරක්ෂා කරනවා.

එදා සිංහල ජන සමාජයේ කාන්තාවට ලොකු වගකීමක් තිබුණා. ඒ වාගේ පිනෙන් පොහොසත් වූවා. තවද ආරක්ෂාවක් තිබුණා. අද එහෙම දෙයක් දක්නට ලැබෙන්නේ නැහැ.පස් පව් වල ආදීනව දැන දැනම පව් කරනවා නම් ඔහු හෝ ඇය කවරදාවත් පවෙන් ගලවා ගන්න බැහැනේ.

දැන් බලන්න ඇතැම් දෙමාපියන් තම දරුවන් ඉදිරි පිටම වැරැදි වැඩ කරනවා. ජනමාධ්‍යයෙන් පවා වරින් වර අසන්නට දකින්නට ලැබෙන්නේ මහ පොළොව නුහලන අපරාධ. මේවා මේතරම් දරුණු අන්දමට අප කුඩා කාලේ අසන්ට දකින්නට ලැබුණේ නැහැ. දයාව, කරුණාව, මෛත්‍රිය නොමැති සිත් සතන් වැඩි වැඩියෙන් අපරාධවලට යොමු වෙනවා.

ළමා මනස හඳුනා ගෙන දහම් අධ්‍යාපනයක් ලබා දුන්නොත් අනාගතේ මේ රට බාර ගැනීමට සිටින දරු පරම්පරාව බේරා ගැනීමට හැකියි.

මහානායක හාමුදුරුවනේ භික්ෂූ ආකල්පවලදී ඔබ වහන්සේ ප්‍රමුඛස්ථානය දැක්වූයේ කුමන ක්‍රියාවන් සඳහාද?

මාගේ ගුරුවරු දුන් අවවාද අනුශාසනා අකුරටම ආරක්ෂා කළා. ඒ වාගේම ඒවා සීයට සියක්ම ඉටු කළා. ගුරුවරුන්ට දෙමව්පියන්ට කීකරුව කටයුතු කළොත් කිසි දවසක වරදින්නේ නැහැ.

මට කිසිම මත ගැටීමකින් තොරව මහානායක තනතුරට පත්වීමට පවා ආශිර්වාද කළේ මා හැදූ වැඩූ ගුරු දෙමාපියෝයි.

මම පළමුව රාජකීය පණ්ඩිත විභාගය සමත් වී සිටියදී (1945 වර්ෂයේ) ගුරු පත්වීමක් ලැබුණා. එම පත්වීම් ලිපිය දුටු මගේ ගුරු හාමුදුරුවෝ ගුරු පත්වීම් ගන්නද මහණ වුනේ කියා ඇසුවා. මහණකමේ හිඳ සල්ලි හම්බ කරන්න සූදානම් වෙන්න එපා කිව්වා. ඒ කියමන් අකුරටම ආරක්ෂා කළ නිසා පියවරෙන් පියවර සමාජයේ ඉහළටම ආවා.

ජීවිතේ නිහතමානිකම හරියට දේව ධර්මයක් වැලිවිට අසරණ සරණ සරණංකර සංඝ රාජ මාහිමියෝ “උඩගු නොව මහණ” යන පාඨය දොරටුවේ ලියා තැබුවා.

ඕනෑම කෙනෙකු සතර අගතියෙන් බැහැරට කටයුතු කරන්නේ නම් නිවන් මගට පිවිසීමට ශක්තිය බලය රඳා පවතිනවා.

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]