UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බමුණු හා බොදු සම්ප්‍රදායන්හි කතට හිමි තැන

බුදුන් වහන්සේ කිසිවිටෙකත් ගැහැනිය පහත් කොට නොසැලකූ සේක. රජ්ජුමාලා වැනි අසරණ දාසියන්ට, අම්බපාලි වැනි ගණිකාවන්ට, ඛේමා වැනි රූපය නිසා අහංකාර වූ තැනැත්තියන්ට, පටාචාරා සහ කිසාගෝතමී වැනි අසරණියන්ට පවා පැවිද්ද ලබා දුන් අතර සුදුසු පරිදි ශාසනයේ තනතුරු පිරිනැමීමද සිදු කළ සේක.

බමුණු දහම භාරතයේ ව්‍යාප්ත වීමට පෙර හෙවත් ප්‍රාග් වෛදික යුගයේ කාන්තාවට හිමි විය යුතු නිදහස ලැබී ඇත. භාරතයේ ඉපැරැණි ශිෂ්ටාචාර දෙකක් වන මොහෙන්දොජාරෝ හරප්පා වැනි ශිෂ්ටාචාරවල දී හමු වූ පුරාවිද්‍යාත්මක නටබුන් වලින් කාන්තාව එකල දේවත්වයෙන් සලකා ඇති බව පෙනී යයි. ජගන්මාතා වන්දනාව වැනි පිළිවෙත්වලින් එය පැහැදිලි වන බව සර් ජෝන් මාර්ෂල් නම් විද්‍යාඥයා විසින් පෙන්වා දෙන ලදී. කාන්තාවන්ට සමාන දේවරූප නිර්මාණය කොට ඔවුන්ට උදේ සවස වන්දනාමාන කළ බවට සාධක ඇත.

එපමණක් නොව එකල පවුලේ නායිකාව වුයේ ද කාන්තාවයි. නව යොවුන් වියේ පසුවන කාන්තාවන්ට විවිධ වර්ණයන්ගෙන් යුත් වස්ත්‍රාභරණ හැඳ පැළඳගෙන විවාහ උත්සව ආදි තැන්වලට යෑමට ඉඩ ලබා දී තිබුණි. ගී සින්දු කියමින් නටමින් විනෝදවීමට සම්පූර්ණ අයිතියක් තිබුණි.

මෙසේ පැවැති කාන්තා නිදහස බිඳ වැටුණේ බ්‍රාහ්මණ ආධිපත්‍ය භාරතීය සමාජයේ පැතිරීමත් සමඟය. කාන්තාවන්ගේ සිතුම් පැතුම්වලට සීමා පැනවිණ. බමුණන්ගේ තර්ජන තදින්ම කාන්තාව වෙත එල්ල වූ අතර ඇයගේ ස්වාධීනත්වය සම්පූර්ණයෙන්ම පාහේ නැතිවී ගියේය. කුල සතරෙන් පහත් ම කුලය වූ ශුද්‍රයින්ටත් වඩා පහත් තැනක් ඔවුන්ට හිමි වී තිබුණි. පුරුෂාධිපත්‍ය වැඩි දියුණු වූ මේ යුගයේ පුරුෂයන්ට ආවතේව කිරීම හා කීකරු වීම පමණෙකින් ස්වර්ග සම්පත් ලබා ගත හැකි බව ඔවුන් වෙනුවෙන් සකසන ලද නීති – රීති මාලා ඇතුළත් මනුස්මෘතියෙහි සඳහන් වේ.

නාස්ති ස්ත්‍රීනාං පෘතග් යඥෙ
වන වූතං නාප්‍යුපොසථම්
පතිං ශුශ්‍රෑයතේ යෙන
තෙන ස්වර්ගේ මනියතෙ

යන්නෙන් එය පැහැදිලි වේ. එපමණක් නොව කාන්තාව බාල කාලයේ පියා යටතේ ද, තරුණ කාලයේ ස්වාමියා යටතේ ද, මහලු කාලයේ පුත්‍රයන් යටතේ ද ජීවත් වියයුතු බව සඳහන්වේ.

බාල්‍යෙ පිතුර් වශේ තිෂ්ඨෙත්
පාණි ග්‍රාහස්‍ය යෞවනෙ
පුත්‍රානාං භර්තරී ප්‍රෙතේ
න භජෙත් ස්ත්‍රී ස්වතන්ත්‍රතාම්

පිතා රක්‍ෂති කෞමාරෙ
භර්තා රක්‍ෂති යෞවනෙ
රක්‍ෂන්ති ස්ථවිරෙ පුත්‍රෙ
න ස්ත්‍රීස්වතන්ත්‍රමර්හතෙ

විවාහක කාන්තාවක තරුණ කාලයේ දී ම ඇයගේ ස්වාමියා මළහොත් එම ගිනි ගොඩටම පැන ඇය ද සියදිවි නසාගත යුතුය. නැතහොත් ජීවිතාන්තය දක්වා වැන්දඹුවක වශයෙන් සුදු වස්ත්‍ර, කිලිටි වස්ත්‍ර අඳිමින් කටුක අමිහිරි ආහාර ගනිමින් කිසිම ආභරණයක් නොපැළැඳ කල් ගෙවිය යුතුය. මෙකී සම්ප්‍රදාය වර්තමානයේ ද ඉන්දියාව තුළ දැකිය හැකිය. විවාහ කර ගැනීමේදී වයස අවුරුදු තිහක පුරුෂයන්ට අවුරුදු දහයේ ගැහැනු ළමයින් ද අවුරුදු විසිහතක පුරුෂයන්ට අවුරුදු හතක ගැහැනු ළමයින් ද විවාහ කරගත හැකිය. වනිතාව පිළිබඳ දක්වන මෙවැනි ආකල්ප මානව හිතවාදී සමාජයක් සංස්කෘතියක් ඇති කිසිම තැනකට නොගැළැපේ. සමහර කාන්තාවන් කෙතරම් ස්වාමියාට අවනත ව සිටියත් කිසිදා වහල් තත්ත්වයෙන් මිදිය නොහැකි විය. මෙම තත්ත්වය විඳීමට නොහැකි වූ ඇතැම් කාන්තාවෝ ගණිකා වෘත්තියෙහි යෙදුණාහ. කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රයේ ගණිකා වෘත්තිය එකල නීත්‍යානුකූල එකක් යැයි සඳහන්වේ. අම්බපාලි, අඩ්ඪකාසි සහ පදුමා වැනි අය ප්‍රසිද්ධ ගණිකාවෝ වූහ.

යම් පුරුෂයෙකුට කාන්තාවක දැකීමෙන් සිහි විකල් වන බවත්, ස්පර්ශ කිරීමෙන් ධනය හානිවෙන බවත්, එක යහනෙහි නිදාගැනීම මරණයට හේතුවන බවත් දක්වමින් ස්ත්‍රිය ප්‍රත්‍යක්‍ෂයෙන් ගතහොත් රාක්ෂසියක් වන බවත් දක්වා තිබේ.

දර්ශනං චිත්ත වෛකල්‍යං
ස්පර්ශං ධන නාසකං
සයනේ මරණං කුර්යාත්
ස්ත්‍රී ප්‍රත්‍යක්‍ෂ රාක්‍ෂසි

ලොව අභව්‍ය සිදුවීම් වන අට්ටික්කා ගහේ මල් පිපීම, සුදු කපුටන් ඇතැයි කීම, ජලයෙහි මසුන්ගේ පාද දැක්කේ යයි කීම යනාදිය කිසිවකු කියන්නේ නම් එය විශ්වාස කළත් ගැහැනුන් කියන වාක්‍ය විශ්වාස නොකළ යුතු බව මනුස්මෘතියෙහි දක්වා තිබේ.

ඖදුම්බර භවං පුෂ්ඵං
ශ්වෙත වර්ණස්‍ය කාකයෝ ඞ
මත්ස්‍ය පාදෙ ජලෙ තිෂ්ඨෙත්
ස්ත්‍රී වාක්‍යං න විස්සසෙ

භාරතීය වනිතාව කෙරෙහි උපහාසාත්මක බැල්මෙන් බැලූ බමුණන් ප්‍රකාශ කර ඇත්තේ ඇයගේ මුහුණ පියුමක් සේ පියකරුය, වචන සඳුන් සේ සිසිල් වේ, දිවඟ මී බඳුය, එහෙත් හදවතෙහි ඇත්තේ හලාහල විෂයි යනුවෙනි.

මුඛ පද්ම දලාකාරං - වාචා චන්දන සීතලං
මධු තිෂ්ඨති ජිව්හාග්‍රෙ - හෘදයෙතු හලාහලං

ක්‍රි. පූ. 6 වන සියවසේ බුදුරජුන් පහළ වන විට විවිධ ආගමික දාර්ශනිකයෝ භාරතය පුරා සිටියහ. ඔවුහු විවිධ ආගමික ප්‍රචාරයන් පතුරුවමින් තැන් තැන්වල ගියහ. මේ සියලු පිරිස් ශ්‍රමණ හා බ්‍රාහ්මණ වශයෙන් දෙයාකාර වූහ. ශ්‍රමණ සම්ප්‍රදායට අයත් වූයේ ෂට් ශාස්තෘවරුන්, ආජීවක, පරිව්‍රාජක, අචේලක, තුන්බෑ ජටිල ආදී විවිධ ව්‍යවහාරයන්ගෙන් සමන්විත පිරිස්ය. මීට පෙර කාලයේ පටන් ආගමික කාර්යයන් කරමින් පැවැතගෙන ආවේ බ්‍රාහ්මණ සම්ප්‍රදායයි. බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ කාන්තාවට හිමිවූයේ ඉහතින් සඳහන් කළ ආකාරයට පහත් තත්ත්වයකි. බුදුන් වහන්සේ පහළවීමත් සමඟ කාන්තාවට නිසි තැනක් ලැබුණි. සම්බුද්ධ ශාසනය තුළ මූලික වශයෙන් කාන්තාවට හිමි වුයේ උපාසිකා තත්ත්වයයි. යස කුල පුත්‍රයාගේ මෑණියන් බුදුසසුනේ තෙරුවන් සරණ ගිය මුල්ම කාන්තාවයි. අනතුරුව මහා ප්‍රජාපතී ගෝතමියට සහ පරිවාර ස්ත්‍රීන්ට ලබා දුන් පැවිද්ද සමඟ භික්‍ෂුණී තත්ත්වය හිමිවුණි. එසේම ගෘහය තුළ ගෘහණිය වශයෙන් ද මවක ලෙසද ඇයට ලැබුණේ උත්තරීතර තත්ත්වයකි. දරුවන්ගේ පූර්වාචාරීන් ලෙස මව හා පියා සලකන ලෙසට බුදුන් වහන්සේ අනුදැන වදාළ සේක.

බ්‍රහ්මාති මාතා පිතරෝ
පුබ්බාචරියාති වුච්චරෙ
ආහුණෙය්‍යා ච පුත්තානං
පජාය අනුකම්පකා

දක්ඛිණා විභංග සූත්‍රයෙහි සඳහන් වන අන්දමට මහා ප්‍රජාපතී ගෝතමියගේ මාතෘත්වය හා සේවය ඉතා ඉහළින් අගය කොට ඇත. ඇය ‘ බුද්ධමාතා’ යන නාමයෙන් පිදුම් ලැබූ අතර එය මිහිපිට කාන්තාවකට ලැබිය හැකි උතුම්ම සම්මානයයි. නිවන් අවබෝධ කිරීමේ දී පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ට ද එම තත්ත්වය ලැබි ඇති බව භික්ඛුණීක්ඛන්ධකයෙහි දැක්වේ. එකල බ්‍රාහ්මණ සම්ප්‍රදාය තුළ කාන්තාවට ලැබුණු ස්ථානය නිසා කොසොල් මහරජතුමා තම දේවියට දියණියක ලැබුණු බව අසා මහත් කලකිරීමට පත්විය. එහෙත් බුදුරජුන් පෙන්වා දුන්නේ ගැහැනු දරුවකු වුවද ප්‍රඥාවෙන්, ගුණගරුක බවින් හා පතිව්‍රතාවෙන් යුක්ත වන්නේ නම් උසස් තත්ත්වයකට පත්වන බවය. (සංයුක්ත නිකාය -ධීතු සූත්‍රය ) එම නිසා කලකිරීම නුසුදුසු බව වටහා දුන් සේක.

බුදුන් වහන්සේ ස්වකීය මවට හා සුළු මවට විශේෂ සැලකිල්ලක් දැක්වූ සේක.තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍ය රාජයාණන්ට අභිධර්මය දේශනා කිරීම හා ප්‍රජාපතී ගෝතමියට පැවිද්ද ලබාදීම, ඇය පරිනිර්වාණයට පත්වූ පසු ඇයගේ දේහය පසුපස ගමන් කොට ගෞරව දැක්වීම හා ඇයගේ භෂ්මාවශේෂ නිදන්කොට ස්ථූපයක් කිරීම ආදී සියල්ල ඉටුකොට කළගුණ සැලකූ සේක. එයින් අන් අයට ද තමන්ගේ මෑණියන් කෙරෙහි දැක්විය යුතු ආකල්පය කෙබඳුද යන ආදර්ශය ලබාදුනි. එය බුදුන්ගේ ‘ යථාවාදී තථාකාරී’ (යමක් කියයිද එය සිදුකොට පෙන්වීම) ගුණය විදහා පෙන්වීමකි.

බුදුන් වහන්සේ කිසිවිටෙකත් ගැහැනිය පහත් කොට නොසැලකූ සේක. රජ්ජුමාලා වැනි අසරණ දාසියන්ට, අම්බපාලි වැනි ගණිකාවන්ට, ඛේමා වැනි රූපය නිසා අහංකාරවූ තැනැත්තියන්ට, පටාචාරා සහ කිසාගෝතමී වැනි අසරණියන්ට පවා පැවිද්ද ලබා දුන් අතර සුදුසු පරිදි ශාසනයේ තනතුරු පිරිනැමීමද සිදු කළ සේක.

ජාතක කථා දේශනාවන්හිද කාන්තාවගේ ගුණ සමුදායන් අගැයීමට ලක් කර ඇත. චන්දකින්නර ජාතකය, කුරුධර්ම ජාතකය, මහා සුදස්සන ජාතකය සහ මාතංග ජාතකය ආදිය නිදසුන්ය. මේවායෙහි උසස් චරිතයකින් හෙබි කාන්තාවනට ප්‍රශංසා කර තිබේ. නුවණින් මුහුකුරා යන්නේ පුරුෂයන් පමණක් නොව ස්ත්‍රීන්ද ඒ ඒ තැන්වලදී ඤාණවන්ත වන බව දක්වා තිබේ.

මේ අනුව පුරුෂාධිපත්‍යයක් සමාජය තුළ හිස ඔසවා තිබුණු කාලවකවානුවේ කාන්තාවට නිසි තැන දීමෙන් පෙනී යන්නේ බුදුසමය තුළ කාන්තාවට ද පුරුෂයාට මෙන් ම සෑම අංශයකින් ම ප්‍රමුඛත්වය ලබාදුන් බවය. බුදුන් වහන්සේගේ මහා කරුණාව ඇය දෙසට ද යොමුවූ බවය.

 

 

බිනර පුර පසළොස්වක පෝය

බිනර පුර පසළොස්වක පෝය සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා පූර්ව භාග 08.06 ට ලබයි.
30 වැනිදා ඉරිදා පූර්ව භාග 08.51 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම සැප්තැම්බර් 29 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 08 වන දා සඳුදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15

First Quarterපුර අටවක

ඔක්තෝබර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]