UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සමාජය ගුණ දහමට නැඹුරු කළ යුතුයි

ඔහු ජීවත් වුණේ සත්මහල් ප්‍රාසාදයක. අසූ කෙළක් ධනය තිබුණා. කිසිදු අඩුපාඩුවක් තිබුණේ නැහැ. එසේ වුවත් මේ සිටුවරයා තම යහන් ගැබට වී දින ගණනක් කල්පනා කළා. උකටලීව සිටියා. සිටුදේවිය මේ බව දැක විමසුවා.

“ස්වාමීනි, මෙතරම් ධනස්කන්ධයක් විශාල සේවක පිරිසක්, සියලු සැපසම්පත් ඇති ඔබ ඇයි කනස්සල්ලෙන් පසුවන්නේ”

“සිටු දියණියනි, මට කැවුම් කෑමට ආසාවක් උපන්නා මා පසුගිය දිනක දුටුවා රසවත් අයුරින් කැවුම් බුදින අයෙක්, මා එදින සිට බලවත් ආසාවෙන් පෙලෙනවා.”

“ඉතින් සිටුතුමනි එය මහත් දෙයක් ද? අප මේ රටටම කැවුම් පිස දී අපිද කැවුම් ඇති තරම් අනුභව කරමු.” “මොකටද රටටම කැවුම්?” “එසේ නම් මේ නගරයේ වැසියන්ට හා අපට අවශ්‍ය තරම් කැවුම් පිසගෙන කමු.” “මොකටද නගරයේ වැසියන්ට” “එසේනම් සිටු මාලිගයේ සියලු දෙනාට කැවුම් පිසගෙන කමු.” “සිටු මාලිගයේ අනිත් අයට මොකටද?”

“එසේ නම් අප පවුලේ අය කැවුම් පිසගෙන කමු.” “පවුලේ අයට කෑමටද?” “ එසේනම් ඔබත් මාත් කැවුම් පිසගෙන කමු.” “ඔබට මොකටද? කැවුම් කෑමේ ආසාව ඇතිවුණේ මටයි.”

අවසානයේ සිටු දේවිය කැවුම් සෑදීමට අවශ්‍ය සියලු කළමනා රැගෙන සිටුතුමා ද කැටිව ඉහළම මාලයට ගොස් කැවුම් පිසන්නට වුණා. ඒ සියලු මහල්හි දොරවල් වසා දමා ගොසින්. ඉහළම මාලයේ කැවුම් පිසින කාමරයේ පමණක් එක් ජනේලයක් ඇර තිබුණා. මේ අසූ කෙළක් ධනය ඇති මච්ජරිය කෝසිය සිටාණන් තම කැවුම් කෑමේ ආශාව මුදුන්පත් කර ගැනීමට කළ උත්සාහයයි.

මෙය දුටු මුගලන් මහ රහතන් වහන්සේ සිටුවරයාට පෙනෙන ලෙස සත් මහල් ප්‍රාසාදයේ ජනේලය ළඟ පිණ්ඩපාතයේ වැඩ සිටියා. ‘මෙතරම් රැකවල් ලා තිබියදීත් ඒ මහණ කෙසේ මෙතනට පැමිණියේද? කැවුම් පිසින දෙස බලා සිටියා නොව ජනේලය මත ඵලක් බැඳගෙන සිටියා වුවද කැවුම් නොදෙමි’යයි සිටාණන් කෝපයෙන් කීවේ ය. මුගලන් මහ රහතන් වහන්සේ ඵලක් බැඳ සිටියා. මේ අයුරින් සිටාණන් විවිධ ඉරියව් ගැන පවසා අවසානයේ ‘ශරීරයෙන් දුම් පිට කළාද කැවුම් නොදෙමි’ යි ගුගුලේ ය.

මුගලන් මහරහතන් වහන්සේ ශරීරයෙන් දුම් පිටකළ සේක. එයින් තම සිටුමැදුර ගිනි ගනිතැයි කියවූ සිටුවරයා කුඩා කැවුුමක් ලබාදීමට කටයුතු කළත් එවැන්නක් කළ නොහැකි විය. අවසානයේ සියලුම කැවුම් මුගලන් මහරහතන් වහන්සේට පිළිගැන්වූවා. එසේ වුවත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානය (කැවුම්) පිළිගැන්විය යුතු බව මුගලන් හිමියෝ දේශනා කළහ.

සිටුවරයා ජේතවනාරාමයට ගොස් භික්‍ෂූන් වහන්සේට පුද පූජා කළ අතර නිමක් නැතිවන තරමට කැවුම් එහි විය. ඉතිරි වූ කැවුම් ජේතවනාරාමය අසල ඉවත දැමුවේ ය.

එදා ඉතිරි වූ කැවුම් දැමූ ස්ථානය අදත් ජේතවනාරාමයේ අසල දකින්නට පුළුවන් අදත්. එහි තණකොළ ගහක්වත් වැවෙන්නේ නැහැ. බදාගෙන කන්න ගිය දෙයක් බෙදා හදාගෙන ආහාරයටගත් බවක් මෙයින් පෙන්වීමට පුළුවන්. අද සමාජයේ අපේ දූ දරුවන් යම් ආහාරයක් බෙදා හදාගෙන කෑමට හුරුවී සිටිනවාද? එසේ බෙදා හදාගෙන ආහාරයට ගැනීමේ හැකියාවත් සමාජයේ තිබෙනවාද? අද පාසල් පද්ධතිය තුළ බොහෝ දරුවන් බෙදා හදා ගැනීමට නොයන්නේ තමන් සතු දේ පවා අහිමි වී යෑමට බොහෝ ඉඩකඩ තිබෙන නිසයි. එසේ නම් අපගේ දරුවන් බෙදා හදාගෙන කෑමට හුරු කරන්නේ කෙසේද? ඔවුන් දැනුම්වත් කළ යුතුයි තමන්ගේ කොටසත් ආරක්‍ෂා කරගෙන අනෙක් අයටත් බෙදා දීමට. එසේ නොවුනහොත් අපේ දරුවන් තමන් ගැන පමණක් සිතන තමාගේ ආහාරය ගැන පමණක් අවධානය යොමු කරන ආත්මාර්ථකාමී අයෙකු වීමට පුළුවන්. එසේම අන් අයගේ ඩැහැගැනීමට හසු වී ආහාර නොමැතිව කුසගින්නේ සිටින්නට වීමටත් පුළුවන්. මේ නිසා කුඩා කල සිටම මිතුරු දරුවන්ට වෙන් වශයෙන් හෝ ලබාදී දරුවන් බෙදා හදාගෙන කෑමට හුරු කළ යුතු වනවා. මෙන්ම වැඩිහිටියන්ද ආදර්ශවත් ලෙස බෙදා හදාගෙන කෑමට හුරුවිය යුතුයි. දරුවන් ආදර්ශය ලබා ගන්නේ වැඩිහිටියන්ගේ ක්‍රියාකාරකම් දෙස බැලීමෙන්.

නෑදෑ හිතමිතුරන් පිරිසක් නිවසට පැමිණෙන විට ආහාර ගන්නා දරුවන් කාමර තුළට යැවීමට ඇතැම් මව්පියන් කටයුතු කරනවා. ඇතැම් විට ආහාර නොගන්නා බව පෙන්වීමට උත්සාහ දරනවා. මේ ක්‍රියාකාරකම් දකින දරුවන් පෙළඹෙන්නේ ඒ අනුව කටයුතු කිරීමටයි.

එමෙන්ම තම ඥාති පිරිසක් දින කිහිපයක් නිවසේ නැවතීමට පැමිණි විට ඇතැම් විට මව්පියන් නුරුස්නා ස්වභාවයන් පෙන්නුම් කරනවා. ආගන්තුකයන්ට ඒ බව නොපෙන්වා අඹු සැමියන් වචන හුවමාරු කරගන්නවා. “අයියට රාජ්‍යය පහළ වෙලානේ පරම්පරාවම ඇවිත් ඉන්නෙ”

“මේ මාසෙ පඩියම ඉවරයි.” මේ වදන් දරුවන්ට ඇසීමෙන් බෙදා හදාගෙන කෑමට ඔවුන් හුරුවෙනවාද?එසේ නොමැතිව තමන්ට හැකි පමණින් ඥාති මිත්‍රාදීන්ට සලකන්නේ නම් දූ දරුවන් ඒ ආදර්ශය ලබා ගන්නවා. බෙදා හදා ගැනීමට හුරුවෙනවා. එමෙන්ම අප නිවසට යාමේදී නිවැසියන් අපහසුතාවට පත් නොවන අයුරින් එහි යා යුතු වනවා. අපට නිසි පරිදි දූ දරුවන්ට ආදර්ශවත් වන ලෙසින් කටයුතු කළ යුතුයි.

එසේම අප පරිසරය හා සමාජීය ක්‍රමවේද ගැන ද අවබෝධය ඇති කර ගත යුතු වනවා. දුර බැහැර ගම් ප්‍රදේශවලට ගොස් ‘ෆ්‍ර‍්‍රයිඩ් රයිස්’ බලාපොරොත්තු වනවා නම් එතැන ගැටලුවක් මතුවනවා. බෙදා හදා ගැනීම ගැන කතා කරන විට දෙන්නා තුළ මෙන්ම ලබන්නා තුළ ද ඒ සඳහා දැකීමක් තිබිය යුතු වනවා. දෙන්නාට හැකි ප්‍රමාණය කොතෙක්ද යන්න ලබන්නාතුළ දැනුමක් තිබිය යුතු වනවා. අපේ සමාජයේ වදන් අතර ‘තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග්’ යනුවෙන් බස ව්‍යවහාරික වී ඇත්තේ තමන්ට ලැබුණු දේම තවත් අයකුට දීම නොවෙයි. තමන්ට යමක් ලැබුණේ ද තමන්ද තමාට හැකි අයුරින් හැකි දේ බෙදා හදාගෙත යුතු බවයි.

අද අපගේ දැන්වීම් කලාව දූ දරුවන්ට ආදර්ශයක් ලබා දෙනවා වෙනුවට දරුවන් නොමඟ යැවීමට හේතුවන බවක් පෙනෙන්නට තිබෙනවා. අපගේ සාරධර්ම සංස්කෘතිය ගැන කිසිදු හැඟීමක් නැහැ. අනාගත දූදරු ගෞරව එයින් ආදර්ශයක් ලබා දීමට පුළුවන්ද?එක් තැනක මේව බෙදාගන්න නෙමෙයි බදා ගන්න යනුවෙන් දැක්වෙනවා. දරුවන් එයින් ලබන ආදර්ශය කුමක්ද?තවත් තැනක මල්ලක දමා ගෙන ආහාර රැගෙන ගොස් අනික් අයට නොපෙනෙන ලෙසින් තනිවම ආහාරයට ගන්නවා. අපේ සිංහල ගැමියා ලබා දුන් ආදර්ශය මෙය නොවේ. බුදුරජාණන් වහන්සේ ලබාදුන් ආදර්ශය මෙය නොවෙයි.

වෙරළු ගෙඩිය කොටස් හතකට කපාගෙන ආහාරයට ගත් බවද අපේ සංස්කෘතියේ දැක්වෙන්නේ. එයින් කොටස් දෙකක් මවටයි පියාටයි අරගෙන තබනවා. මේ තරම් සදාචාරයක් දහමක් තිබුණ අපට අද සිදුව ඇත්තේ ආත්මාර්ථකාමීන් ය මුලට පැමිණි නිසාය. අද මිනිසා අධි පරිහානියට හුරුවෙලා. බුදුරජාණන් වහන්සේ එය අනුමත කර නැහැ.අසීමිත ආශාවන්ගෙන් අප අසහනයට පත්වෙලා මේ නිසා අද සමාජයේ බෙදා හදාගෙන කෑම හුවමාරු කර ගැනීම ඈත් වෙලා. මිනිසා යාන්ත්‍රිකරණය වෙලා. සමාජ ගුණ දහම් පිරිහෙලා මේ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මය අභිභවා ආත්මාර්ථකාමීබව මතු වෙලා. මේ නිසා බදා ගැනීමෙන් තොරව බෙදා ගැනීමට සමාජ පරපුර හුරු කරවිය යුතුයි. ඒ සඳහා සතර සංග්‍රහවස්තු ඇතුළු දහමෙහි දැක්වෙන ගුණ දහම් අප ඉස්මතු කර සමාජයට හුරු කළ යුතු වනවා.

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]