UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආත්ම ගෞරවය දෙලොව වැඩ සිදුකරන පරම මහාත්මගුණය

අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත මහා නිකායේ මහානායක අතිගරු පැළෑණේ ශ්‍රී වජිරඥාන මහ නා හිමිපාණන් වහන්සේ ලෝ සසුන් වැඩ සැදූ සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක වශයෙන් ලෝකපූජිතය. බම්බලපිටිය වජිරාරාමාධිපතිව වැඩ වසමින් විහාරස්ථානයටත් රටටත් මහත් වූ සේවයක් ඉටුකළහ. උන්වහන්සේ වෙතින් ඉටුවූ ධර්ම ශාස්ත්‍රීය සේවාව අතිමහත්ය. මේ මස 21 වැනිදාට නා හිමියන් අපවත්ව වසර 57 ක් සම්පූර්ණ විය. උන්වහන්සේට උපහාර පිණිස පළවන මේ ලිපිය අතිපූජ්‍ය මඩිහේ පඤ්ඤාසීහ මහ නා හිමියන් විසින් සම්පාදිත ‘ශ්‍රී වජ්‍රඥාන සාහිත්‍ය’ කෘතියෙනි.

“සො අත්තානං යෙව අධිපතිං කරිත්වා අකුසලං පජහති කුසලං භාවෙති සාවජ්ජං පජහති අනවජ්ජං භාවෙති සු_මත්තානං පරිහරති”

(අංගුත්තර - තිකනිපාත - දෙවදූත වග්ග - දශම සූත්‍රයයෙහි යි. පිට 90 )

ඒ පාපය පිළිකුල්කොටැ සිතා එයින් වැළැකෙනසුලු තැනැත්තේ තමා ම හෙවත් තමා පිළිබඳ යම් යම් උසස් ගුණම අධිපති කොටැ (ගරු කොටැ) සලකා ගෙන අකුසලය පිළිකුල් කොට හැරපියන්නේ වෙයි. කුසලය ස්වසන්තානයෙහි වඩන්නේ වෙයි. වරද සහිත වූ ක්‍රියා ජාතය හැර පියන්නේ වෙයි. නිවැරැදි වූ ගුණ ජාතය ස්වසන්තානයෙහි වඩන්නේ වෙයි. නිදොස් බැවින් පිරිසුදු වූ ආත්මභාවයක් පරිහරණය (පැවැත්වීම) කරන්නේ වෙයි, යනු මේ පාඨප්‍රදේශයාගේ භාවය වේ.

තමාගේ ගරුකටයුතු දේ

මෙයින් ආත්මගෞරවය සලකා අකුශලයෙන් (නපුරෙන්) වැළකෙන සැටිත්, යහපතෙහි යෙදෙන සැටිත් වදාළ සේක. මෙහි ආත්මගෞරවය නම් තමා ම තමා ගරු කොට සලකා ගැනීමයි. එසේ කිරිමට තමාගේ සන්තානයෙහි හෝ තමා පිළිබඳවැ උසස් වූ ගරු කටයුතු වූ දේ තිබිය යුතුයි. නො එසේ වී නම් හෘදය සාක්‍ෂ්‍යයට එකඟ වැ එය නො කට හැකිවේ.

තමාගේ හොඳ නරක ඇති සැටියේ ම දන්නේ තෙමේ ම ය. ලොවැ අන් කවුරුන් රැවටුවත් තමාගේ සිත රවටන්නට නො හැකිය. එය නිතර තමා මුර කරන්නේය.විවේකයක් ලත් ලත් කෙණෙහිම තමා කළ අපරාධය සිහිකරවමින් පසුතැවිල්ලද යහපත සිහිකරවමින් පී‍්‍රතියද එළවන්නේය.

නත්ථි ලොකෙ රහො නාම
පාපකම්මං පකුබ්බතො
අත්තා තෙ පුරිස ජානාති
සච්චං චා යදිවා මුසා

යනුවෙන් වදාළේ එහෙයින් මය. එ බැවින් තමාගේ සන්තානයෙහි හෝ තමා පිළිබඳ වැ උසස් දෙයක් (ගරුකටයුතු දෙයක්) නැති තැනැත්තකුට තමා විසින් ම තමහට ගරු කැරැ ගත හැකි නොවේ.මෙසේ ආත්ම ගෞරවයක් උපදවා ගත නො හැකි තැනැත්තකුට ලජ්ජාවද නො උපදී. නිර්ලජ්ජියකු විසින් නොකට හැකි පවෙක් (නපුරෙක්) නම් නැත්තේය. ‘අජඣත්ත සමුට්ඨානා හිරි” යනුවෙන් ලජ්ජාව අධ්‍යාත්මයෙන් හෙවත් තමා පිළිබඳ දැයෙන් පැනැ නැඟෙන බව වදාළේ එහෙයිනි.

මේ ආත්ම ගෞරවය කිසිවක්හු විසින් කිසිවකු හට දිය හැකි දෙයක් වත් මව්පිය ආදින්ගේ උරුමයක් ලෙස ලැබෙන දෙයක් වත් නොවේ. එහෙත් මව්පිය හා ගුරුවරයන් ගේ යහපත් උපදේශයන් හා ආදර්ශයන් නිසා බාලයාගේ සන්තානයෙහි කුඩා නුග බිජුවටක් මෙන් ඉපැදුණු ආත්මගෞරවය ඔහු ගුණ නුවණින් හා ශරීරයෙන් වැඩෙත් වැඩෙත්ම ඒ සමඟම වැඩී නිසි වයසෙහි මහනුගයක් මෙන් මහත් වු ස්ථිරභාවයට පැමිණෙන්නේය.

මව්පියන්ගේ උතුම්කම

තමාගේ සන්තානයෙහි හෝ තමා පිළිබඳවැ ඇති විය යුතු උසස් දේවල් නම් බොහෝය. තමා සිල්වත් ගුණවත් නිරපරාධ පුද්ගලයකු වීමද උසස් උගත්කම් තනතුරු හුරුබුහුටිකම් තලතුනාකම් ආදියෙන් යුක්ත වීමද තමා සතන්හිම ඇති විය හැකි උසස් දේවල්ය. උසස් ශාස්තෘවරයෙක් ඇති බව, උසස් (ශිෂ්ට සම්මත) මව්පිය පරපුරක් ඇති බව, උසස් නැදෑයන් ඇති බව, උසස් මිතුරන් ඇති බව යන ආදිය තමා පිළිබඳ වැ ඇති විය යුතු උසස් දේවල්ය.

මෙයින් යම් ශීලයෙකැ ගුණයෙකැ පිහිටි නිරපරාධ වැ කල් යවන තැනැත්තකුට පවක් (නපුරක්) කරන්නට ප්‍රස්ථාවය පැමිණි කල්හි තමාගේ සිල් ගුණ ගැනැ සිතා මෙබඳු සීලයෙකැ ගුණයෙකැ පිහිටි මවැනි උතුමකුට මෙ වැනි අධම වූ පවක් (නපුරක්) කරන්නට වටී දැයි සලකා තමා සතු වූ සිල් ගුණයෙන් විළි උපදවා ගෙනැ ඒ පව (නපුර) පිළිකුල් කොටැ සිතා එයින් වැළැකිය හැකි වේ.

මෙසේ ම උගත්කම් ඇත්තකුට ද එබඳු ප්‍රස්ථාවක් එළැඹැ සිටි කල්හි මේ අධම ක්‍රියාව මාගේ උගත්කමට නො හොබනේයයි තමාගේ උගත්කමට තමා ම ගරු කොටැ එයින් විළි උපදවා ගෙනැ ඒ ලජ්ජාවෙන් පිළිකුල් සිතා එයින් වැළැකිය හැකිවේ.

යම් උසස් තනතුරෙකැ පදවියෙකැ පිහිටියකුට ද ඒ තමා ගේ තනතුර තමා ම ගරු කොටැ සලකා විළි උපදවා ගෙනැ ඒ තමාගේ පදවියේ සැටියට නො තරම් වූ අධම ක්‍රියාවන් ගෙන් වැළැකිය හැකි ආකාරයද, ක්‍රියාශූර වූ දක්‍ෂයකුටද අධම වූ පහත් දෙයෙක්හි පෙළඹෙන්නට ප්‍රස්ථාවය පැමිණි කල්හි මෙ වැනි ශඨ කපට වංචා ස්වභාවයෙන් දිවිපෙවෙත් කිරීම කිසිවක් කොට ගත නො හෙන ලාමකයන්ගේ ස්වභාවයෙක, මා වැනි ප්‍රෞඪයකුට කිසිසේත් තරම් නොවේ යයි විළි උපදවා ගෙනැ එයින් වැළැකිය හැකි ආකාරය ද විස්තර වශයෙන් සිතා බැලිය යුතුයි.

ඒ බුදුරජ

අපගේ ශාස්තෘන් වහන්සේගේ උසස්බව ගැනැ සිතා මෙසේ වූ උතුම් බුදුරජතුමකු මාගේ ශාස්තෘවරයායි කියමින් මේ නො හොබනා ක්‍රියාව කෙසේ නම් කෙරෙම් දැයි සිතීම් වශයෙන් ද, ශිෂ්ට වූ මව්පිය පරපුරක් ඇත්තකු විසින් මාගේ මව්පිය මුතුන්මිත්තෝ කිසි කලෙක ත් මෙබඳු අධම ක්‍රියාවක් නො කළහ. එසේ වූ පරපුරෙකැ උපන් මම් මෙසේ වූ අධම ක්‍රියාවක් කෙසේ නම් කෙරෙම් දැයි සිතීම වශයෙන් ද,

අසුවල් අසුවල් තනතුරු උසුළන අසුවල් අසුවල් උතුමො මාගේ නැදෑයෝය. එතුමන් හා සහලේ සබඳකම් ඇති මම් මෙසේ වූ පහත් දෙයෙක් හි කෙසේ නම් යෙදෙම් දැයි සිතීම් වශයෙන් ද,

අසුවල් උතුමෝ මාගේ මිතුරෝයැ, මම අසුවල් උතුමන්ගේ සමාගමයෙහි සාමාජිකයෙක්මි, එසේ වූ උතුමන් හසළ මම් මෙසේ වූ පහත් දෙයෙකැ කෙසේ නම් යෙදෙම් දැයි සිතීම වශයෙන් දැයි යන ආදින් තමා පිළිබඳ නොයෙක් උසස් දේවල් තමා ම ගරු කොට සිතා එයින් විළි උපදවා ගෙනැ ඒ ලජ්ජාවෙන් පවින් (නපුරෙන්) වැළැකීම ආත්ම ගෞරව නම් වේ.

ලෝකාපවාදයට වත් නීති මාර්ගයෙන් ලැබෙන දඬුවමට වත් නිරාදුකට වත් බයෙන් වරද නො කිරීමට වඩා මෙසේ තමා ම තමා පිළිබඳ උසස් ගුණයනට ගරු කොටැ ගෙනැ එයින් විළි උපදවා ගෙනැ ඒ ලජ්ජාවෙන් වරදින් වැළැකීම උතුම්වේ. උතුමන් හසළ මහත් බවෙක් වේ.

වැටෙන්නට එපා!

මේ ආත්ම ගෞරවය වැනැසීමට ප්‍රධාන හේතු නම් භ්‍රෂ්ට භාවය, පාපමිත්‍ර සේවනය, අයෝනිසෝමනසිකාරය යන ආදි යයි.පෙරැ සිටැ රැකැ ගෙන ආ ගුණ දහමෙකින් හෝ සිටි උසස් පදවියෙකින් හෝ පොහොසත්කම් ආදියෙකින් හෝ භ්‍රෂ්ට වුවකු (පහත වැටුණූ තැනැත්තකු) විළි රඳවා ගෙනැ ආත්ම ගෞරවය රැකැ ගැනීමට නො පොහොසත් වන බවද පාපමිත්‍ර සේවනයෙන් හා තමා පිළිබඳ දේවල් යුතු මගින් සිතා නොබැලීමෙනුත් මෙසේම වන බව ද බොහෝ විට දක්නා ලැබෙන බැවින් මේ අන්තරායනට භාජන නොවී ආත්ම ගෞරව නම් වූ පරම මහාත්ම ගුණය දියුණු කොටැ ගෙනැ දෙලොව දියුණුව සිදු කැරැ ගත යුතු.

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]