UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අසරණ වැඩිහිටියන්ට සෙවණක සරණ

ඔක්තෝම්බර් මස පළමුවැනිදාට යෙදෙන ලෝක වැඩිහිටි දිනය වෙනුවෙන් වියපත් වැඩිහිටියනට පිදෙන ත්‍යාගයක් ලෙස ‘කුලියාපිටිය ජයමාන්න අනුස්මරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන’ හඳුන්වා දිය හැකිය. දූ දරුවන්ගේ හෝ භාරකරුවන්ගේ රැකවරණය අහිමිව අනාථ අසරණ තත්ත්වයට පත් වූ මවුවරුන් පියවරුන් 24 දෙනකු වෙනුවෙන් මෙහි පහසුකම් සැලැසේ. කුලියාපිටිය කුරුණෑගල පාරේ ලබුයාය ජයමාන්න වත්තේදී, එළැඹෙන ඔක්තෝම්බර් පළමුවැනිදා මෙම වැඩිහිටි නිවාසය විවෘත වේ.

කුලියාපිටිය බ්‍රීඩා සමූහ ව්‍යාපාර අධිපති ධර්මසිරි ජයමාන්න මහතා විසින් පරිත්‍යාග කරන ලද අක්කර එකහමාරක පමණ වූ ඉඩමද ඔහු ජීවත් වූ සුවිසල් නිවෙසද මේ සඳහා පරිත්‍යාග කර ඇත. එම නිවෙසට යාබදව ඉදිවන වර්ග අඩි 7100 ක පමණ නව ගොඩනැගිල්ල වෙනුවෙන් විශාල ධන පරිත්‍යාගයක් ජයමාන්න මහතාගේ බිරිඳ වන ආර්.එස්.ජයසිංහ මහත්මිය ලබා දී ඇත. පළාත්වාසි ව්‍යාපාරික මහත්වරුන්ගේ හා කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධක සංගමයේ සාමාජික සාමාජිකාවන්ගේ දායකත්වයද මෙම ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන ගොඩනැඟීම සඳහා ලැබී ඇත.


ජයමාන්න අනුස්මරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන

කුලියාපිටිය ජ්‍යෙෂ්ඨ පුරවැසි සුබසාධක සංගමය මෙහි පරිපාලන කටයුතු සිදුකරයි. ප්‍රධාන අනුශාසකත්වය දරන්නේ දියකලමුල්ල ශ්‍රීපති පිරිවෙන් විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ නියෝජ්‍ය පරියත්ති ලේඛකාධිකාරි ශාසන කීර්ති ශ්‍රී ශාස්ත්‍ර විශාරද පණ්ඩිත අත්තංගනේ ශාසන රතන මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේය. අවට සියලු විහාරස්ථානවල නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයද මේ සඳහා ලැබේ. පළාතේ ප්‍රභූන් විශාල පිරිසක් පරිපාලන මණ්ඩලයේ, කාරක සභාවේ සහ ක්‍රියාකාරි සභාවේ කටයුතු කරති.

වියපත් වැඩිහිටියනට සිය සැඳෑසමය සුවපත් මානසික තත්ත්වයක් යටතේ බෞද්ධාගමික පසුබිමක ගත කළ හැකි වනසේ මේ වැඩිහිටි නිවාසයේ පහසුකම් සැලැසේ. මෙහි දෙවැනි මහලයේ ඉදිවන භාවනා ශාලාව වැඩිහිටියන්ට සහ පළාත් වාසින්ට භාවනා කටයුතු සඳහා වෙන් වේ. පහත මාලයේ සුවිසල් බුද්ධ මන්දිරයකි. බෞද්ධ පොතපතින් පිරුණු පුස්තකාලය, ධර්මදේශනා හා භාවනා උපදෙස් සහිත සී.ඩී. සහ කැසට් පට සහිත ශ්‍රවණාගාරය, භාවනා කමටහන් ලබාදීමට වැඩම කරන ස්වාමින් වහන්සේ වෙනුවෙන් වන අංග සම්පූර්ණ ලැගුම්ගෙය, පහසුකම් සහිත මුළුතැන්ගෙය , නිදනකාමර, ශාලා සහ ගබඩා කාමර මෙම වැඩිහිටි නිවාසයේ ක්‍රමවත්ව ගොඩනඟා ඇත.


ධර්මසිරි ජයමාන්න මහතා සහ බිරිඳ ආර්.එස්.ජයසිංහ මහත්මිය

අප රටේ කොතැනක වුවද සිටින අසරණ, අනාථ හා අත්හල තත්ත්වයට පත් වයස අවුරුදු 60 ඉක්ම වූ ඕනෑම කෙනෙකුට ග්‍රාමසේවක නිර්දේශයක් සහ ප්‍රදේශයේ විහාරස්ථානයේ නායක ස්වාමින්වහන්සේගේ නිර්දේශයක් සහිතව අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීමෙන් මෙම නිවහනට ඇතුළත්වීමට හැකිය. කිසිම මුදලක් හෝ ඇතුළත්වීමේ ගාස්තුවක් අය නොකෙරේ.

එසේම මේ සද්කාර්යයෙහිලා දායක වීමට කැමැති, වයස අවුරුදු 24 - 40 අතර, නේවාසිකව කටයුතු කිරීමට හැකි තිදෙනෙකුට උපස්ථායිකා තනතුරු සඳහා ඉල්ලුම් කළ හැකිය. ස්වේච්ඡා සේවකයන් ලෙස බඳවා ගැනුණත් දීමනාවක්ද ගෙවනු ලැබේ. ඔවුන්ට ආහාර, ඇඳුම් පැළැඳුම් හා සෞඛ්‍ය සේවා නොමිලයේම සැපයේ. එසේ කැමැති අය වෙතොත් 077 – 6005957 දුරකථනයට කතාකර ලබාගත් විස්තර අනුව අයැදුම්පතක් ඉදිරිපත් කළ හැකිය.

ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහනේ නේවාසික වන මවුවරුන් පියවරුන් වෙනුවෙන් දානමානාදියෙන් අනුග්‍රහ දැක්වීමට පින් කැමැති සැමටම ඉඩ කඩ ඇත.

ජයමාන්න අනුස්මරණ ජ්‍යෙෂ්ඨ පුරවැසි නිවහන වියපත් වැඩිහිටියන් සඳහා විවෘත වන සමාරම්භක උත්සවය එළැඹෙන ඔක්තෝම්බර් පළමුවැනිදා පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා පැවැත්වේ. ඒ සඳහා සහභාගි වීමට සැමටම ආරාධනය කෙරේ.

 

 

 

 
බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය සැප්තැම්බර් මස 22 වැනි දා සෙනසුරාදා අපරභාග 02.12 ට ලබයි.
23 වැනි දා ඉරිදා අපරභාග 12.20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 22 වැනිදා සෙනසුරාදාය.

මීළඟ පෝය
සැප්තැම්බර් 29 වැනි දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 29

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 08

New Moonඅමාවක

ඔක්තෝබර් 15


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]