UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සීසර් සුදුසිංහ

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අපේ රටට වැඩම කරවීම අපේ රටේ මෑත ඉතිහාසයේ බෞද්ධ ප්‍රබෝධයට සිදු කළ සුවිශේෂී මෙහෙවරක් යැයි ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් පූජ්‍ය ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ පැවසූහ.

කපිලවස්තු ධාතූන් වහන්සේ වැඩම කරවූ සෑම විහාරස්ථානයකදීම ලක්‍ෂ ගණනින් බොදු මහ ජනතාව ඉතාමත් සැදැහැ සිතින් ඒකරාශී වී එම ධාතූන් වහන්සේලා සියැසින් දැක බලා ගෙන වැඳ පුදා ගැනීමට පැමිණීමෙන් මෙරට බොදු ජනතාව ආගමික හැදියාවෙන් ආධ්‍යාත්මික ගුණ වගාව දියුණු කර ගැනීමට අතිමහත් උත්සාහයක් දරන බව ඉන් වැටහෙන ප්‍රධාන කරුණක් බවද ගුණානන්ද හිමියෝ පැවසූහ.


ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ මානෙල්වත්ත විහාරයේදී ජනාධිපතිතුමා වැඳ පුදා ගත් අවස්ථාව


ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්
ගැටමාන්නේ ගුණානන්ද හිමි

ඉදිරි දින කීපය තුළ දී ද සර්වඥ ධාතූන් වහන්සේ වැඩම කරවන විහාරස්ථානවලදී ද ඒ අයුරෙන්ම ජනතාව ශ්‍රද්ධාව පෙරදැරි කර ගෙන පැමිණෙතැයි අපේක්‍ෂා කරනවා.

වැඩිහිටියන් පමණක් නොව විශේෂයෙන් තරුණ දරුවන් පුදුම උනන්දුවකින් සුදුවතින් සැරසී ඉතා සන්සුන්ව මෙම වන්දනාවට පැමිණීමද අගය කළ යුතු ක්‍රියාවකි.

ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිඳිනවා යැයි අදහසින් එම ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට පැමිණෙන ආකාරය පවා දකින බලන අයට නෙත් සිත් පහන් කරවන දර්ශනයක් බවද කිවයුතුයි.

එකම ආකාරයට දිවා රාත්‍රී යයි නොබලා මෙසේ ලොකු කුඩා සියලු දෙනා ශ්‍රද්ධාවෙන් කපිලවස්තු ධාතු වන්දනාවට පැමිණෙන්නේ බුදුරජාණන් වහන්සේ උදෙසා දක්වන අප්‍රමාණ ගෞරවයෙන්මයි. ලොව ශ්‍රේෂ්ඨතම ශාස්තෘවරයා වන අපේ බුදුරජාණන් වහන්සේගේ ධාතූන් වහන්සේලා වන්දනා කිරීමට මෙසේ පැමිණීමත් මහා ආශ්චර්යක්.

විහාරස්ථානයකින් තවත් විහාරස්ථානයක් වෙත එම ධාතූන් වහන්සේලා වැඩම කරවීමට සූදානම් වන විට වර්ෂාව පතිත වීමත් සිදුවුණා. විශේෂයෙන් මානෙල්වත්ත විහාරයේදීත්, පැල්මඩුල්ල රාජ මහා විහාරයේදීත් අප ඒ අසිරිය ද දුටුවා. (පත්‍රය මුද්‍රණයට යන අවස්ථාවේ දී ධාතූන් වහන්සේලා වැඩ සිටියේ අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරයේ ය.)

කපිලවස්තු ධාතු වන්දනාව සිදුකරන බොහෝ දෙනා විශේෂයෙන් මේ උතුම් අවස්ථාව උදා කර දුන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාටත් පින් දෙමින් කෘතගුණ සැලකීම ද අගය කළ යුතු යි.

කපිලවස්තු ධාතූන් වහන්සේට බුද්ධ පූජාව සිදු කිරීමේ දී එම තේවා කටයුතු ඉතා ගෞරවයෙන් සිදු කැරෙනවා. විශේෂයෙන් පැරැණි සිරිතට අනුව එම බුද්ධ පූජාව පිළියෙළ කරමින් ඉතා ගෞරවයෙන් පාරිශුද්ධව නොඉඳුල්ව සිදු කිරීමට ඒ ඒ විහාරස්ථාන කටයුතු කිරීම ද සතුටට කරුණක්.

වසර තිස් හතරකට පසුව කපිලවස්තු ධාතූන් වහන්සේලා මෙරටට නැවත වැඩම කළේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ඉන්දියාවේ අගමැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමක් නිසයි.

කපිලවස්තු ධාතූන් වහන්සේ මෙරටට වැඩම කරවූ අගෝස්තු 19 වැනි දා සිට විශේෂයෙන් ත්‍රිවිධ හමුදාවත්, පොලීසියත් එම වන්දනා පින්කමට ලබා දෙන සහාය පින්දෙමින් අගය කරනවා.

ඒ ඒ ප්‍රදේශවලදී බොදු ජනතාවගේ පහසුකම් සපයමින් නන් අයුරින් මේ සඳහා සහාය දක්වන සියලු දෙනාම කෘතවේදීව සිහිපත් කරනවා.

කපිලවස්තු ධාතූන් වහන්සේලා වැඩම කරවන ප්‍රදේශවල බොදු ධජ නංවමින් සැදැහැ සිතින් දක්වන ගෞරව උපහාර ද මේ අවස්ථාවේ දී සිහිපත් කළ යුතු බවද ගැටමාන්නේ ගුණානන්ද හිමියෝ පැවැසූහ.

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]