UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

අධි බිනර පුර පසළොස්වක 2012 අගෝස්තු 31 වන දා

සදා සිහි කළ යුතු කපිලවස්තු සර්වඥ ධාතු වන්දනාව

පිලවස්තු ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවා දින කීපයක් ගත විය. ඉකුත් 19 වැනිදා මෙරටට වැඩම කරවූ එම ධාතුන් වහන්සේලා වන්දනා කිරීමේ මහා පින්කම ඉදිරියට ද තවත් දින කීපයක් විහාරස්ථාන කීපයක දී පැවැත් වේ.

එම ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවූ දා පටන් ඒ ඒ දිසාවල ඒ ඒ විහාරස්ථාන රැසකට මෙසේ වැඩම කරවූහ.

කපිලවස්තු ධාතුන් වහන්සේලා වැඳ පුදා ගැනීමට පැමිණෙන ලක්‍ෂ සංඛ්‍යාත සැදැහැවතුන් දෙස මොහොතක් කල්පනා කිරීම කාලෝචිතය.

කිසිදු භේදයකින් තොරව කුඩා, තරුණ, මහලු විවිධ තරාතිරම්වලට අයත් සියලු දෙනා සමගදාමයෙන් ඒකරාශීව, සුදුවතින් සැරසී පේළි සැදී සන්සුන්ව, සංවරව නියමිත අවස්ථාව පැමිණෙන තෙක් නෙත් අයා බලා සිටීමින් පියවර මනින ආකාරය සැබැවින් ම පැසසුම් සහගතව පින් දෙමින් අගය කළ යුතු වේ.

කැලණියේ මානෙල්වත්ත විහාරයෙන් ඇරැඹුණු එම කපිලවස්තු ධාතු වන්දනා මහා පින්කමට දිනෙන් දින ඒ ඒ විහාරස්ථානවල දී දිනකට ලක්‍ෂ සංඛ්‍යාත බොදු සැදැහැවතුන් පිරිසක් මෙසේ ඒකරාශී වනුයේ ද බුදුරජාණන් වහන්සේගේ අපරිමිත බුදුගුණ බල මහිමය නිසාම ය.

දුකෙන් පිරි ලොවෙහි දිගු කලක් පුරා සසර කතරේ ඒ මේ අත ඇවිදින අනේකවිධ මනුෂ්‍යයා සසර සියලු දුක් ගෙවා නිවන් මඟට පිවිසීමට දොරටු විවර කර ගන්නට කරනු ලබන එම උත්සාහය කෙතරම් අගනේ ද?

සමාජයේ කලාතුරකින් කෙනෙක්, දෙන්නෙක් මිනිසත්කමට නොගැළපෙන ක්‍රියාවල යෙදීමෙන්, සමාජයේ ගුණදහම් පිරිහී යන බවට ඇතැම් විට චෝදනා නැගෙන්නට විය.

එහෙත් සමස්තයක් ලෙස බලන විට අපේ සමාජය තවමත් බුදුරුවනට, තෙරුවන් වන්දනාවට දක්වන ගෞරවය කෙතරම්දැයි වටහා ගැනීමෙන් සතුටුවිය නො හැකිද?

අගුණ, අයහපත, වරද දුටු විට එය පෙන්වා දිය යුතු ය. ඒ වරදින් අයහපතෙන් වෙන් කර ගත යුතු හෙයිනි. එහෙත් සමස්ත සමාජයට එය හානියක් නොවන අයුරෙන් කාරුණිකව යහමඟ, නිසිමග පෙන්වා දුසිරිතෙන් සුචරිතයට යොමුකළ යුතු වේ.

ඇතැම් අයෙක් සිතන ආකාරයට සමාජය ගුණ දහමෙන් ඈත්ව ඇත්තේ නම් ගතට සිතට සුවය ගෙනෙන මහ පින්කම්වලට ජන ගඟ ගලාවිද?

කපිලවස්තු ශ්‍රී සර්වඥ ධාතු මහ පින්කම පිළිබඳ පසුගිය අමාවක පෝදා මෙන්ම අධි බිනර පුර අටවක පෝදා ද, අද මෙම අධි බිනර පුර පසළොස්වක පෝදා ද, මෙසේ සටහනක් තබනුයේ සැබැවින්ම අපේ රටට කලාතුරකින් උදාවන මේ පින්බර අවස්ථාවක් නිසා ම ය. එමෙන්ම අපට කලාතුරකින් උදාවන දුර්ලභ අවස්ථාවක් නිසා ය.

එපමණක් නොව මෙවන් සුවිශේෂී මොහොතක බොදු සැදැහතියා තුළ පවතින අචල ශ්‍රද්ධාව තව තවත් වර්ධනයට අප අත හිත දිය යුතු ය. ඒ නිසා ම මෙවැනි පින්කම් යුගයේ අවශ්‍යතාවන් ලෙස ද සලකා ඒ ගැන අගයමින් ජනතාව එමගින් තව තවත් සුමගට යොමු කිරීමට ද හැකිතාක් සහාය දීම අපගේ ද යුතුකම විය යුතු ය.

එසේ වුවහොත් අපේ සමාජය ඇලීම් ගැටීම් නැති, ගුණ දහම් අගයන තෙරුවනට ගරු කරන, ගුරු දෙගුරුන්ට සලකන සාරධර්ම සුරකින යහපත් සමාජයක් ම වනු ඇත.

මව්පියන්ට සැලකීම දරුවන්ගේ ද වගකීමය. දරුවන් රැක බලා ගනිමින් ඔවුන් ගුණ දහමින් පෝෂණය කිරීමද මව්පියන්ගේ වගකීමය.

එබැවින් සමාජයේ ඔවුනොවුන් සතු වගකීම් හා යුතුකම් නොපිරිහෙලා ඉටු කැරෙන විට බොදු සාරධර්ම, බෞද්ධ සංස්කෘතිය ද සමග මතුවටද සුරැකෙනු නියතය.

මෙම කපිලවස්තු ධාතු වන්දනා මහ පින්කමේ දී එවන් තිර අදිටනක් ද තම තමන්ගේ හදවත තුළ තැන්පත් කරගත හැකි නම් එය අපෙන් සමාජයට ඉටු විය යුතු යුතුකමක් ඉටු කළා යැයි ද අපට සැනසීමට ද හේතුවනු ඇත.

 

අධි බිනර පුර පසළොස්වක පෝය

අධි බිනර පුර පසළොස්වක පෝය අගෝස්තු 30 බ්‍රහස්පතින්දා අපර භාග 08.16 ට ලබයි.
31 වැනිදා සිකුරාදා අපර භාග 07.33 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම අගෝස්තු 31 වැනි දා සිකුරාදා ය.

මීළඟ පෝය
සැප්තැම්බර් 08 වැනිදා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

New Moonඅමාවක

සැප්තැම්බර් 15

First Quarterපුර අටවක

සැප්තැම්බර් 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]