UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සත්පුරුෂ චරිත ලක්‍ෂණ ඉගෙන ගනිමු

සත්පුරුෂයෙක් වන්නට නම් - 5

දැනුම අවබෝධය කියලා වරදවා ගත්ත කෙනාගේ ස්වභාවය තමයි එයා අන් අයගේ වචනයට ඇහුම්කන් දෙන්න අකැමැති වෙනවා. යම් අවබෝධයක් තියෙනවා නම් එයා ඇහුම් කන් දෙන්න කැමැතියි. කීකරු වෙන්න කැමැතියි. නිහතමානී වෙන්න කැමතියි. අවබෝධ නොවුන කෙනාගේ ස්වභාවය තමයි ඇහුම් කන් දෙන්න කැමැති නෑ. කීකරු වෙන්න කැමැති නෑ. නිහතමානී වෙන්න කැමැති නෑ. යම් අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ දුරු වීම නේද ?

ලාමක ආශාවන්ට කැමැති වෙන්න එපා. අසත්පුරුෂ ඇසුරට කැමැති වෙන්න එපා. දහම් දැනුම කොච්චර තිබුණත් ඒ දැනුමට මුළා වෙලා අවබෝධ වුණා ... වැටහුණා ... තේරුණා කියන අදහසට ඉඩ දෙන්න එපා. මේ කාරණා තුනට සිත යටවුණොත් අපේ සිත වැනසෙනවා. කුසල් උපදවා ගන්න තියෙන ඉඩකඩ ඇහිරිලා යනවා.

මේ අනතුරු තුනම බලවත්ව අද යුගයේත් තියෙනවා. විශේෂයෙන් කෙටි කලකින් ලොකු දහම් දැනුමක් ලබා ගැනීමට අද කාලේ අවස්ථාවක් තියෙනවා. මේ දහම් දැනුම අවබෝධය කියලා වරදවා ගන්න අය ඉන්නවා. සතියකින් දෙකකින් මාසෙකින් හමාරකින් බොහෝ දහම් කාරණා ඉගෙන ගන්න අවස්ථාව අද තියෙනවා. ඉතින් සමහර අය ඒ විදිහට ඉගෙන ගෙන ඒ ලැබෙන දැනුම අවබෝධය කියලා වරදවා ගන්නවා. එහෙම වුණාට පස්සේ එයා කැමැති වෙන්නේ නෑ අවවාද පිළිපදින්න. අවවාද වලට ඇහුම්කන් දෙන්න කැමැති වෙන්නේ නෑ. ඇයි එයා මුළාවක ඉන්නේ, ඒ නිසා ඒ දේවල් හොඳට තේරුම් අරගෙන ඒ දැනුම අවබෝධය කියලා වරදවා ගන්ට එපා.

දැනුම අවබෝධය කියලා වරදවා ගත්ත කෙනාගේ ස්වභාවය තමයි එයා අන් අයගේ වචනයට ඇහුම්කන් දෙන්න අකැමැති වෙනවා. යම් අවබෝධයක් තියෙනවා නම් එයා ඇහුම් කන් දෙන්න කැමැතියි. කීකරු වෙන්න කැමැතියි. නිහතමානී වෙන්න කැමතියි. අවබෝධ නොවුන කෙනාගේ ස්වභාවය තමයි ඇහුම් කන් දෙන්න කැමැති නෑ. කීකරු වෙන්න කැමැති නෑ. නිහතමානී වෙන්න කැමැති නෑ.

යම් අවබෝධයක් තියෙනවා නම් ඒ අවබෝධය කියලා කියන්නේ රාග, ද්වේෂ, මෝහ දුරු වීම නේද ? එහෙනම් නිහතමානීකමනේ මතුවෙන්න ඕනෑ. නිහතමානී කෙනා ළඟ කීකරුකම තියෙනවා. ඇහුම් කන් දෙන්න එයා කැමැතියි. එහෙනම් අවබෝධ වෙන කෙනාගේ ස්වභාවය තමයි ඇහුම් කන් දෙන්න කැමැති වෙනවා. කීකරු වෙන්න කැමැති වෙනවා. නිහතමානී වෙන්න කැමැති වෙනවා. නමුත් අවබෝධ වුණා කියලා මුළා වුණ කෙනා ඇහුම්කන් දෙන්නෙ නෑ. නිහතමානී නෑ. කීකරු නෑ. එවිට එයාට දියුණු වෙන්න තියෙන අවස්ථාවද වැඩි විනාශ වෙන්න තියෙන අවස්ථාවද වැඩි ? විනාශ වෙන්න තියෙන අවස්ථාව වැඩියි.

ඒ නිසා මේ කාරණා හොඳට මතක තියා ගන්න. මතක තියාගෙන මේ අසත්පුරුෂ කරුණු කියල තේරුම් ගන්න. ඒ අසත්පුරුෂ කරුණු තුළින් මනුෂ්‍යයාගේ සිත විනාශ කරනවා මිසක දියුණු කරන්නේ නෑ. ආරක්ෂා කරන්නේ නෑ. පිළිසරණක් ලබා ගන්න ඒවායින් බෑ. ඒ නිසා මේ පින්වතුන් මේ කාරණා තේරුම් අරගෙන ශ්‍රද්ධාවෙන් පිළිගන්න. ශ්‍රද්ධාවෙන් පිළි අරගෙන තම තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීම පිණිස මේ ලැබුණ දුර්ලභ ලාභය ගිළිහෙන්ට නොදී තමන්ට අත්කර ගැනීම පිණිස මේවගේ අනතුරු හොඳින් තේරුම් අරගෙන ඒ අනතුරු බැහැර කර ගන්න කටයුතු කරන්න.

සියලු දෙනාටම ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මහා කරුණාවෙන් යුක්තව පෙන්වා දුන් අනතුරුදායක අසත්පුරුෂ කරුණු හොඳින් තේරුම් අරගෙන මහත් වූ ශ්‍රද්ධාවෙන් යුක්තව ඒවා පිළිඅරගෙන ඒවට ගොදුරු නොවී ආරක්ෂා වීම පිණිස භාග්‍යය උදාවේවා කියලා අප ආශිර්වාද කරනවා.

පාප මිත්‍ර සේවනය, පාපී අය සමඟ ඇසුරු කිරීම ඥානවන්තයන් අගය කරන්නේ නෑ.පවිටු පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමත් පවිටු දෙයක්මයි. ඒ නිසා අප පවිටු පුද්ගලයන් සමඟ ආශ්‍රයට කවදාවත් කැමැති වෙන්ට හොඳ නෑ. ඒක අගය කරන්ට හොඳත් නෑ. ඒක වර්ණනා කරන්ට හොඳත් නෑ. සිතිවිල්ලක්වත් ඇති කරගන්ට හොඳ නෑ එබඳු අය සමඟ ඇසුරට.

ආනන්ද මහරහතන් වහන්සේගේ ථේර ගාථාවල අපට මේ විදිහට කියා දෙනවා. “කේළාම් කියාගෙන,ක්‍රෝධ කරගෙන, මසුරුකම කර කර විනාශ වෙලා යන්න කැමැති උදවිය ඉන්නවා. ඒ අයත් එක්ක මිත්‍ර වෙන්න ඥානවන්තයෙක් කැමැති වෙන්නේ නෑ, පවිටු පුද්ගලයන් එක්ක ආශ්‍රය කිරීමත් පවිටු දෙයක්. බලන්න මේ පාප මිත්‍ර සේවනය කියන එකට ප්‍රඥාවන්තයන් ගරහන හැටි. ඊට පස්සේ කියා දෙනවා ශ්‍රද්ධාවන්ත , සිල්වන්ත. ප්‍රඥාවන්ත උදවිය ඉන්නවා. ඒ අය ධර්මයත් හොඳට දන්නවා. ඥානවන්තයා මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි. සත්පුරුෂයන් සමඟ ඇසුරු කිරීම සුන්දර දෙයක්. බලන්න ඥානවන්ත කෙනා සත්පුරුෂ ඇසුර කොච්චර වර්ණනා කරනවද කියල, ප්‍රඥාවන්ත කෙනා අසත්පුරුෂ ඇසුර වර්ණනා කරන්නේ නෑ, අසත්පුරුෂ ඇසුර පිළිකුල් කරනවා. බැහැර කරනවා. ඒකට නින්දා කරනවා. ඒ නිසා අප ඒ විදිහට තේරුම් ගන්ට ඕනෑ. අසත්පුරුෂ ඇසුර කියන එකට අප කැමැති වෙන්ට හොඳ නෑ. ඒක පිළිකුල් සහගත දෙයක් විදිහට අප බැහැර කරන්ට ඕනෑ. ඒක බැහැර කළ යුත්තේ ලෝකයට පෙනෙන්න නෙවෙයි. ඒක තමන් තුළින් තමා පෞද්ගලිකව කළයුතු දෙයක්. පවිටු පුද්ගලයන් බැහැර කිරීම කියන කාරණාව තමන් පෞද්ගලිකව තමන්ගේ ජීවිතයට සම්බන්ධ කළයුතු දෙයක්.ඒ සඳහා තමයි මේ මහා ප්‍රඥාවන්තයන්ගේ අවවාද අප පිළිගත යුත්තේ.

ආනන්ද ස්වාමීන්වහන්සේ ගැන භාග්‍යවතුන් වහන්සේ අපට කියා දුන්නේ මහා පණ්ඩිතයි. ප්‍රඥාවන්තයි කියල.එහෙම නම් ඒ වගේ ඒ රහතන් වහන්සේලාගේ අවවාද අප පිළිගත්තොත් අපට ආරක්ෂාවක් ලැබෙනවා. ඒ ධර්මය පිළිගැනීමෙන් ම අපට විශාල පිනක් රැස් වෙනවා. යහපතක් වෙනවා. බලන්න සත්පුරුෂයන්ගේ ඇසුර වර්ණනා කරන හැටි “ ශ්‍රද්ධාවන්ත, සිල්වන්ත,ප්‍රඥාවන්ත උදවිය ඉන්නවා. ඒගොල්ලෝ ධර්මයත් හොඳට දන්නවා. ඥානවන්තයා මිත්‍රත්වයක් ගොඩනගා ගන්නේ ඒ උදවියත් එක්කයි. එතකොට ඥානවන්තයා තමයි සත්පුරුෂයාත් සමඟ මිත්‍රත්වයක් ගොඩ නගා ගන්නෙ. ඥානවන්ත නැති කෙනාට සත්පුරුෂයන් සමඟ මිත්‍ර වෙන්න පුළුවන් කමක් නෑ.

සත්පුරුෂයන් සමඟ ඇසුරුකිරීම සුන්දර දෙයක්. ඇයි සත්පුරුෂයන් සමඟ ඇසුර කිරීම සුන්දරයි කියලා කියන්නේ. එතකොට තමන්ගේ ජීවිතයත් සුන්දර දෙයක් බවට පත්කර ගන්ට පුළුවන්කම තියෙනවා. ඉතින් අප කැමැති වෙන්න ඕනෑ ජීවිතය සුන්දර එකක් බවට පත් කර ගන්න. යම් කෙනෙක් කැමැති වෙනවා නම් තමන්ගේ ජීවිතය සුන්දර එකක් බවට පත් කර ගන්න. තමන්ගෙ ජීවිතය ඉතාම සැප සහිත ජීවිතයක්. සුව පහසු ජීවිතයක් බවට පත්කර ගන්ට එහෙනම් එයා කැමැති වෙන්ට ඕන සත්පුරුෂ ඇසුරට සත්පුරුෂ ඇසුරට පත්වෙනකෙනාට ආරක්ෂාවක් තියෙනවා. අනාරක්ෂාවක් ඇති වෙන්නේ නෑ.ඒ නිසා සත්පුරුෂ ඇසුරේ වටිනාකම මෙච්චරයි කියලා ඒක ප්‍රමාණ කරන්න බෑ. එතරම්ම සත්පුරුෂ ඇසුර වටිනා දෙයක්. ඒ නිසා අප ඒ සත්පුරුෂ ඇසුරට කැමැති වෙන්ට ඕනෑ.

තමාගේ ජීවිතයට සැප කැමැති කෙනා සුන්දර ජීවිතයක් ඇති කර ගන්න කැමැති කෙනා ජීවිතය ආරක්‍ෂා කර ගන්න ඕනෑ. ජීවිතය ආරක්‍ෂා කර ගැනීම පිණිසත් පුරුෂ ඇසුරට එයා පත්වෙන්ට ඕනෑ. සත්පුරුෂයන් ඇසුරට පැමිණෙන්න ඕනෑ. සත්පුරුෂයන් ඇසුරට පත්වෙන්ට නම් සත්පුරුෂ ඇසුරට කැමැති කෙනා මොකක්ද කළ යුත්තේ. තමන් සත් පුරුෂයන් බවට පත්වෙන්නට ඕනෑ. තමන් සත් පුරුෂයන් නොවී සත්පුරුෂ ඇසුරට පත්වෙන්න බෑ.

මතු සම්බන්ධයි

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]