UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

නිකිණි අමාවක 2012 අගෝස්තු 17 වන දා

අසිරිමත් අවස්ථාවක්

ම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙදහස් පන්සිය පනස් හය වසරක් ගත වුවද ගෞතම බුදුරජාණන් වහන්සේ වෙත බොදුනුවා වන්දනා මාන කරනුයේ අප්‍රමාණ වූ ශ්‍රද්ධාව, ගෞරවය පෙරටුකර ගෙනමය.බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී සම්බුදු ගුණ මෙනෙහි කරමින් එසේ වන්දනා කරනුයේ ජීවමාන සම්බුදුරුවක් තම තමන්ගේ හදවතේ ගෞරවයෙන් වඩා හිදුවා ගෙන ය.

එසේ වන්දනාමාන කරනු ලබන සැදැහැවත් බොදුනුවාට ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ සියැසින් දැක වැද පුදා ගැනීමට අවස්ථාවක් උදාවන්නේ නම් සැබැවින්ම එය බොදුනුවාගේ ජීවිත මතකයේ සදා අමතක නොවන ගෞරවණීය අවස්ථාවක් ම වනු ඇත.

එවන් ඓතිහාසික අසිරිමත් අවස්ථාවක් තව දින කීපයකින් මෙරට වැසියාට උදාවීම අපේ රටේ බෞද්ධ ඉතිහාසය තුළද සනිටුහන් විය යුතු අසිරිමත් අවස්ථාවකි.

දඹදිව කපිලවස්තුපුර පිප්හ්රාවා මහා ධාතු ස්ථූපයේ කළ කැණීම්වලින් හමු වූ එක් මෘදු කරඬුවක පියනේ බ්‍රාහ්මීය අක්ෂරවලින් සඳහන් කර තිබූ පාඨයෙන් ඒ තුළ වූ ධාතුන් වහන්සේ බුදුරදුන්ගේ ශරීරයේ ධාතුන්වහන්සේලාම බව තහවුරු කරගෙන ඇත. අද එම ධාතුන්වහන්සේලාගෙන් කොටසක් ඉන්දියාවේ නවදිල්ලිනුවර කෞතුකාගාරයේ විශේෂ කුටියක තැන්පත් කර තිබෙන බව වාර්තාගත වේ.

කපිලවස්තුපුර ධාතුන් වහන්සේලා 1978 දී මෙ රටට වැඩම කළ වූ මොහොත මෙයට තිස් හතර වසරකට පෙර සිට ජීවත්වන සැමට අමරණීය මතකයක් ව පවතිනු ඇත.

එදා අද මෙන් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය බහුල නොවුණද කපිලවස්තුපුර ධාතු වන්දනාව ඓතිහාසික සිද්ධියක් බව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය පරිවෙනාධිපතිව වැඩ විසූ අකුරැටියේ අමරවංශ නාහිමියෝ පැවැසූ අයුරු (මුද්‍රිත) මාධ්‍යයෙහි පළවූ ආකාරය අදටත් මතකයේ පවතියි. එමෙන්ම ඊට ලක්‍ෂ ගණනින් සැදැහැවතුන් වන්දනාවට පැමිණි ආකාරයත් දිනපතා මාධ්‍ය මගින් ප්‍රචාරය කැරිණි.

බොදුනුවාගේ සදා මතකයෙහි රැෙඳන කපිලවස්තුපුර ධාතු වන්දනාව නැවත වරක් මෙරට වැසියන්ට සිදු කර ගැනීමේ වාසනාව හිමිවූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ කාරුණික ඉල්ලීම මුල් කරගෙනය.

පෙරට වඩා ප්‍රවාහන පහසුකම් බහුල, නවීකරණය වූ මාර්ග, පොදු පහසුකම් සුලබ,විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍යය ද බහුල මෙකල කපිලවස්තු ධාතු වන්දනාවට දිනකට ලක්‍ෂ ගණනින් සැදැහැවතුන් සහභාගිවීමට ඉඩ ඇත. වන්දනාව සඳහා වැඩිපුර කාලය ලබාදීමේ අරමුණ නිසාම එක් ස්ථානයක සිට අනෙකුත් ස්ථානයට එම ධාතුන් වහන්සේලා ගුවනින් වැඩම කරවීමට ද කටයුතු යොදා තිබීම ද පැසසිය යුතුය.

ආරක්ෂක අමාත්‍යාංශයේ ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරින්ගේ සහායෙන් ඒ සෑම ස්ථානයකදීම හේවිසි ශබ්ද පූජාව පැවැත්වීමට ද කටයුතු යොදා ඇත.

මහ සඟරුවනෙහි පිරිත් සජ්ඣායනා මධ්‍යයේ දිනකට තෙවරක් බැගින් තේවාව සිදු කරමින් සසර ගමනේ කිසිදා නොසිඳෙන මහා කුසල සම්භාරයක් රැස් කර ගත හැකි අයුරෙන් මෙවර කපිලවස්තු ධාතුන් වහන්සේ වන්දනා කිරීමට සංවිධාන කටයුතු මෙහෙයවා තිබීම ද අගය කළ යුතුය.

ජනාධිපති කාර්යාලය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහයෙන් බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ දායකත්වයෙන් මෙවන් උදාර පුණ්‍ය කටයුත්තකට දායක වෙමින් මෙරට සැදැහැවත් බොදු ජනතාවගේ නෙත් සිත් පහන් කිරීමට දැරූ ප්‍රයත්නය පින්දෙමින් අගයමු.

යුද බිය දුරු වී සාමය උදාවී ඇති යුගයක බොදු දනන්ගේ නෙත් සිත් පහන් කරවන කපිලවස්තුපුර ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා වන්දනා කිරීමට අවස්ථාව ලද අපි සැවොම මෙකල මහත් පුණ්‍යවන්තයෝ වෙමු.

මෙම අවස්ථාව අසිරිමත් වන්නේ සැබැවින් ම ඒ නිසා ම ය.

සර්වඥ ධාතුන් වහන්සේගේ අනුහසෙන්, ආශිර්වාදයෙන් සියලු දුක් දුරුවේවා. හැම සිත් තුළ කරුණාව, දයාව, මෛත්‍රිය පහළවේවා. රටට සෞභාග්‍යය උදාවේවා. හැම සිතකම පින් සිතිවිලි පහළවේවා.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]