UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දුක් කරදරත් ආශිර්වාදයක් කරගත හැකිය

ශාසන ඉතිහාසය තුළ උදාරත්වයට පත්, සංසාර විමුක්තිය අත්පත් කර ගත් විශිෂ්ට චරිත බොහෝමයක් තමන් මුහුණ දුන් විවිධ ප්‍රශ්න නිසා එතැනට ආ අය වෙති. ස්වාමි දියණියගේ වධ හිංසාවට ලක්වු රජ්ජුමාලා සිය දිවි හානි කර ගන්නට පවා උත්සාහ ගත්තියකි. දුප්පත්ව සිට සිටු දේවියක වූ කිසාගෝතමිය දරුවාගේ අභාවය නිසා මහත්සේ අසරණ වූවාය. පාසලේ දක්ෂතමයා වූ අහිංසක, ගුරු පඬුරු පුදන්නට මිනිසුන් මැරීමෙන් අංගුලිමාලයකු විය.මේ හැම දෙනම තමනට ගැටලු මතු වූ අස්ථාවේ ඒ ගැටලු විසැඳීම සඳහා නිවැරැදි මඟ පෙන්වීම ලදින් එම මඟ පෙන්වීම ඔස්සේ කටයුතු කර උදාරත්වයට පත්වූහ.

ජීවිතය කවාකාර දුම්රිය මඟක හැල්මේ දුවන දුම්රියක් හා සමානයි.මේ දුම්රිය මඟෙහි නවාතැන් පොළ වෙයි.මෙම දුම්රිය ඒ හැම නවාතැන් පොළක් ම පසු කරයි. අප ජීවත් වනවා යනු මේ දුම්රිය සේ ම දිවීමකි. මෙසේ ජීවන ගමන යන අප ලාභ, අලාභ,යස, අයස, නින්දා, ප්‍රශංසා, සැප, දුක් නමින් වූ නවාතැන් පොළ පසු කළ යුතුය. මේ නවාතැන් පොළෙහි ළතවුවහොත් ගමන ප්‍රමාද වෙයි. නිවැරැදි ඉලක්කයට ජයග්‍රහණයට ළඟා විය නොහැකිය.

අටලෝ දහමට මුහුණ දීම යනු ජීවත්වීමයි. අටලෝ දහමට කම්පා වීම යනු ජීවන පරාජයයි. ජයග්‍රහණය නම් අටලෝ දහමට කම්පානොවී තම ඉලක්ක සපිරෙන තුරු ගමන් කිරීමයි. අටලෝ දහමට මුහුණ දීමට කාටත් සිදුවේ. එළැඹෙන කරදරවලට ඉවසීමෙන් මුහුණදීම යනු සාර්ථක ජීවිතයක ලක්‍ෂණයකි.

ගැටලු, වේදනා සහ කරදර දුක නම් වේ. ලොවට සත්‍ය හෙළි කළ බුදුරජාණන් වහන්සේ ලොවෙහි වූ පරම සත්‍ය ලෙස දැක්කේ දුක (දුක්ඛ සත්‍යය), දුක ඇතිවීමට හේතුව (සමුදය සත්‍යය), දුකින් මිදීම (නිරෝධ සත්‍යය), දුකින් මිදීමේ මඟ (මාර්ග සත්‍යය) යන ක්‍රමවේදයයි. මෙය ගැටලුව, ගැටලුව ඇතිවීමට බල පෑ හේතුව, ගැටලුවෙන් නිදහස්වීම හා ගැටලුවෙන් නිදහස්වීමේ මඟ ආදි ලෙස ගත හැකිය.

ප්‍රශ්නයක් මතු වූ විට දුක් වීම, පසුතැවිලි වීම, කලකිරීම, ගැටලුවෙන් පැන යෑම සාමාන්‍ය මනුෂ්‍ය ලක්ෂණයයි. මේ නිසා ජීවිතය අසාර්ථකත්වයට පත් කර ගනියි. කරගෙන ආ කටයුතු අතහැර දමයි. සිහි විකල් කර ගනියි. අන් අය හා ආරවුල් ගොඩනඟා ගනියි. තමන්ගේ ජීවිතයෙන්ද සමුගනියි. එහෙත් මේ කිසිවක් ගැටලුව සඳහා විසැඳුම නොවේ. ඒ තුළින් ප්‍රශ්න තවතවත් වැඩි වේ. විසැඳුම දුරස් වේ. ජීවිතය පරදී, සසර පරදී, සසර තව තවත් දිගු වෙයි.

සියලු ගැටලු සඳහා විසැඳුම් ඇත. උම්මග්ග ජාතකය මේ බව අපට පැහැදිලි කරයි. එම ජාතක කතාව තුළින් අපට වටහාගත හැකි කරුණක් නම් ඇතැම් ගැටලු සඳහා නිශ්චිත පිළිතුරු පවතින අතර සමහර ගැටලු සඳහා උපක්‍රමශීලිව විසැඳුම් නිර්මාණය කර ගත යුතු බවය. ප්‍රශ්නයක් මතු වූ කල ක්‍රියාත්මක විය යුතු ආකාරය වණ්ණුපථ ජාතකයෙන් අපට කියා දෙයි. වැලි කතර අතරමං වූ සාත්තු නායකයා, හැඬුවේ දෙඩුවේ නැත. අන් අයට චෝදනා කරමින් ගැටලුවෙන් පැන ගියේ නැත. කිසිවකුට සාප කළේ නැත. එහෙත් බොහෝ අය ගැටලු මතු වූ කල කරන්නේ මෙවැනි දේයි. සාත්තු නායකයා විමසුම් සහගත විය. එහි ප්‍රතිඵලයක් ලෙස මේ වැලි කතරේ තණ පඳුරක් දුටුවේය. ඔහු ප්‍රඥාවන්ත විය.මෙසේ කාන්තාරයේ තණ පඳුරක් තිබෙන්නට නම් මෙහි ජලය තිබිය යුතු බව සනිටුහන් කළේය. ඔහු වීර්යවන්ත විය. නොපසුබට උත්සාහයෙන් පොළොව කැණීය. ජලය හමුවිය. ගැටලුව ජලය නොමැති වීමයි. විසැඳුම වූ ජලය ලැබුණි. ප්‍රශ්න මතු වූ කල ක්‍රියාත්මක විය යුතු අයුරු මෙහි දක්නට ලැබේ.

විශිෂ්ටත්වයට පත් වූ බොහෝ දෙනා ගැටලු රාශියකට මුහුණ දුන් අය වෙති. ලෞකික විශිෂ්ටත්වය පමණක් නොව ලෝකෝත්තර විමුක්තියද අත්පත් කොට ගත් චරිත දෙස බැලීමේ දී මෙය වඩාත් තහවුරු වෙයි.

සිද්ධාර්ථ කුමරා ‘කිං සච්ච ගවේසි’ සත්‍ය නම් කුමක් දැයි සොයන්නට පෙළැඹෙන්නේ ජීවිතයේ ගැටලු හඳුනාගැනීම නිසායි. මහලුවීම, ලෙඩවීම, මරණය යනු ගැටලුයි. හැමදෙනාගේම ජීවිත මේ අයුරු නම් මේ ගෙවන ජීවිතයේ අරුත කුමක්ද? මේවා සිදු වන දේ නම් සිදු නොවීම ද තිබිය යුතුයි.මෙසේ වීමට හේතු හා මේ ගැටලු සඳහා විසැඳුම් සෙවීම සිදු කළ යුතු වෙයි. මේ සෙවීම තුළ පරම සත්‍ය අවබෝධය ලැබූ උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වූහ. උන්වහන්සේගේ බුදුවීම මුළුලොවටම සෙතක් විය.

පටාචාරා යනු ප්‍රශ්න රාශියකට මැදි වූ චරිතයකි. සිටු සම්පත් විඳි සිටු දියණිය, අතට පයට දැසි දස්සන් පිරිවැරූ සිටු දියණිය කම්කරුවකු හා ආදරෙන් බැඳීමෙන් දුකට පත් විය. අවසන ස්වාමියා අහිමි විය. දරු දෙදෙනා ද අහිමි විය. මවුපියන් හා සොහොයුරා ද අහිමිවිය. මෙතරම් ප්‍රශ්න රාශියකට මුහුණ දුන් ඇය රහත් මෙහෙණියක වශයෙන් ජීවන ජයග්‍රහණය පමණක් නොව සංසාර විමුක්තිය ලැබූවාය.

ශාසන ඉතිහාසය තුළ උදාරත්වයට පත්, සංසාර විමුක්තිය අත්පත් කර ගත් විශිෂ්ට චරිත බොහෝමයක් තමන් මුහුණ දුන් විවිධ ප්‍රශ්න නිසා එතැනට ආ අය වෙති. ස්වාමි දියණියගේ වධ හිංසාවට ලක්වු රජ්ජුමාලා සිය දිවි හානි කර ගන්නට පවා උත්සාහ ගත්තියකි. දුප්පත්ව සිට සිටු දේවියක වූ කිසාගෝතමිය දරුවාගේ අභාවය නිසා මහත්සේ අසරණ වූවාය. අකීකරු විවාහය හා ස්වාමියා මරා දමන්නට සිදුවීම නිසා මහත් කලකිරීමකට පත්වන්නට කුණ්ඩලකේසිට සිදු විය. පාසලේ දක්ෂතමයා වූ අහිංසක, ගුරු පඬුරු පුදන්නට මිනිසුන් මැරීමෙන් අංගුලිමාලයකු විය.මේ හැම දෙනම තමනට ගැටලු මතු වූ අස්ථාවේ ඒ ගැටලු විසැදීම සඳහා නිවැරැදි මඟ පෙන්වීම ලදින් එම මඟ පෙන්වීම ඔස්සේ කටයුතු කර උදාරත්වයට පත්වූහ.

මෙහිලා සිතට ගත යුතු දෙයක් වෙයි. එනම් ගැටලු මතු වූ විට ඒ ගැටලුව තුළ එල්බ නොගන්න. පසුතැවිලිවීම හා පීඩාවට පත්වීම් වෙනුවට ඉවසිලිවන්තව කටයුතු කරන්න. ප්‍රශ්න මතුවීම ආශිර්වාදයක් යැයි සිතා මතුවන ගැටලුවට බුද්ධිමත් ව විසැදුම් සොයන්න. එවිට නිරායාසයෙන්ම ඔබට ජයග්‍රහණය ලැබේ.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]