UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සක්වළ සක්මන 07

ආලෝකයේ වේගය ඉක්මවා යන ආධ්‍යාත්මික ශක්ති විශේෂ

ආලෝකයේ වේගය ඉක්මවා යන නියුට්‍රිනෝ වැනි අංශු විශේෂද ඉක්මවා යන විවිධ ශක්ති විශේෂ ලොව කොතෙකුත් නැතුවා නොවේ. ඍද්ධියෙන් යාම, දේවතා එළි ගමන් කිරීම, සිහින පෙනීම, කිබුහුන් යාම හා සත්ව හැසිරීම් රටා ඇතුළු විවිධ ටෙලිපති ක්‍රම මෙවර සක්වළ සක්මනට විෂය වෙයි

අති පූජ්‍ය බෙල්ලන ඤාණවිමල මහ නාහිමියන්ගේ ඤාණා ලෝකයෙන් සක්වළ දකින හත්වෙනි සක්මනයි මේ.

මහානායක හාමුදුරුවනේ ,ආලෝකයේ වේගය ඉක්මවා යන නව අංශු විශේෂ වගේම ආධ්‍යාත්මික ශක්ති විශේෂයනුත් සක්වළ පවතින්නට බැරිද?

මිනිස් සිතිවිලි හෙවත් චිත්ත තරංග ගමන් කරන වේගය ඉතාම වේගවත්. මේ බව නූතන විද්‍යාත්මක පර්යේෂණවලිනුත් අනාවරණය වූ සත්‍යයක්. ඒ නැතත්, ඔබට ඇසිපිය හෙළන නිමේෂයකටත් කලින් ඔබ ආගිය ලොව ඕනෑම ස්ථානයකට සිතිවිලි හරහා යාමට අවකාශය තිබෙනවා. මෙලෙස මනෝකායෙන් කෙරෙන සංචාර හා ටෙලිපති (Telepathy) ක්‍රියාවලිය හරහා සිදුවන චිත්ත තරංග ආලෝකයේ වේගය පැහැදිලිව අභිබවා යනවා.

2011 සැප්තැම්බර් 26 හා 29 දිනමිණ ඇතුළු දිනපතා පුවත්පත්හි විදෙස් පිටුවල “අයින්ස්ටයින්ට වැරදුනා” මෙන්ම සාපේක්‍ෂතාවාදයත් අභියෝගයට ලක්වේ’ යනුවෙන් පුවත් පළ වී තිබුණා. ඒවා යටින්,ආලෝකයේ වේගය වන තත්පරයට කි.මී. 299,792 (සැතපුම් 186,282) ඉක්මවන වේගයකින් නියුට්‍රිනෝ (Neutrino) නමැති අංශු විශේෂය ගමන් කරන බව අනාවරණය කරතිබෙනවා.

1905 දී මහාවිද්‍යාඥ ඇල්බට් අයින්ස්ටයින් ඉදිරිපත් කළ ලොවම පිළිගත් “සාපේක්‍ෂතාවාදයේ” කථාවත් මෙලෙස මිථ්‍යාවක් වුණා නම්, විද්‍යාවේ නිගමන වෙනස් වෙන එක ගැන කියන්න වෙනත් පැහැදිලි කිරීම් අවශ්‍ය නැහැ. මේ අනුව, අලුතින් සොයා ගත්ත ආලෝකයේ වේගය ඉක්මවා යන නියුට්‍රිනෝ (Neutrino)  අංශු විශේෂය පිළිබඳ නවීන විද්‍යා භෞතික නිගමනයක් ඉදිරියේදී නිසැකවම වෙනස් වේවි.

එහෙමනම්, බුදුදහමේ එන අධ්‍යාත්මික අනාවරණ වුණත් වෙනස් වීම්වලට බඳුන්වීමට ඉඩක් නැද්ද?

බුදුදහම කියන්නේ, නවීන විද්‍යාව ඉක්මවා ගිය ප්‍රායෝගික දර්ශනයක්, පුහුදුන් මනසින් අයින්ස්ටයින් දැක්ක දේට වැඩි දෙයක් බුදු ඇසින් දැක තිබෙනවා.එබඳු බුද්ධ දැක්මකුයි,බුදු දහමේ විග්‍රහ වෙන්නේ. බුදු,පසේ බුදු, මහරහත් ප්‍රමුඛ මනස දියුණු කරපු උතුමන් සක්වළ සිසාරා ඍද්ධියෙන් වැඩියේ ඔය අංශු විශේෂ සියල්ලටම වඩා වැඩි වේගයකිනුයි. අද අපිට සුලභ ලෙස එබඳු ඍද්ධිමය සංචාර ඇස නොගැටුණත්, ඊට ආසන්න වේගයකින් ගමන් කරන දේවතා එළි අදටත් හුඟ දෙනෙක් දකිනවා.

මේ ළඟ (ඉකුත් පසළොස්වක පෝයක) දී පස්යොදුන් රට ඓතිහාසික දළුග්ගලකන්ද පුදබිමේ ඉපැරණි වෘක්ෂයක සිට ඊට යාබද ගමේ පිහිටි විහාරය (බෝපිටිය ශ්‍රී සීලවංශාරාමය) දෙසට විදුලිය පරයන වේගයකින් “දේවතා එළියක්” වැනි ආලෝක ධාරාවක් ගමන් කරනු තමන් සියසින් දුටු බව නන්දලාල් උදය සහ කුසුම් පි‍්‍රයන්ත යන මහත්තුරු අපට විස්තර කෙරුවා. මීට පෙරද මේ ගමේ හුඟදෙනෙක් ඔය වගේ “දේවතා එළි” අනන්තවත් දැක තිබෙනවා.

දෙව් මිනිස් ශක්ති විශේෂ (චිත්ත තරංග) වගේ තිරසන් සතුන්ටත් ආලෝකයේ වේගය ඉක්මවා යන සත්ව සන්නිවේදනයන් තිබිය නොහැකිද?

ඔය පිළිබඳව දැනට ඇමරිකාව ඇතුළු යුරෝපා රටවල සාර්ථකව අත්හදා බලපු E.S.P. (Extra Sensory Perception)  නමැති පර්යේෂණයක් තියෙනවා. එමගින් යම් තැනක සිදුවන දෙයක් එයින් සැතපුම් දහස් ගණනක් ඈතට වුවත් ඒ මොහොතෙම (එසැනින්) දැනෙන බව අනාවරණය වී තිබෙනවා.

මේ අනුව, මී පැටවෙකු හා උගේ මව යොදාගෙන කරපු එක් පරීක්‍ෂණ වාර්තාවක මෙසේ දැක්වෙනවා. එනම්, මී පැටවෙකුව උගේ මවගෙන් වෙන්කර සැතපුම් දහස් ගණනක් ඈත වෙනත් දූපතකට රැගෙන ගොස් මී පැටියාව මරණවිට උගේ මව (එසැනින්) තිගැස්සීමට පත් වෙනවා. බොහෝ සත්ව විශේෂ යොදා ගෙන කරන ලද පර්යේෂණවලදී මෙවැනි ක්‍ෂණික තිගැස්සීම් හා තැති ගැනීම් ස්වභාවිකව සිදු වන බව හඳුනා ගෙන තිබෙනවා. කුමන සත්ව විශේෂ අතර වුවද ඔවුනොවුන්ගේ සිතේ බැඳියාව ඊට තදින්ම බලපානවා.

ටෙලිපති (Telepathy) කියන්නෙත් එහෙම සිතකින් සිතකට ක්‍ෂණිකව සිතිවිලි ගලායාමකටද?

ඔව්. ආචාර්ය ආතර් සී ක්ලාක් මහතා ලියූ World of Strange Powers කෘතියෙන් “ටෙලිපති “ ක්‍රමය පිළිබඳව විවිධ විග්‍රහයන් කර තිබෙනවා. දුරකථන (Telephone) පණිවිඩයකටත් වඩා ඉක්මනින් ටෙලිපති (Telepathy) මගින් සිතකින් සිතකට පණිවිඩ යැවිය හැකියි. ඊට එම දෙදෙනා අතර පවතින සංවේදීබව ඍජුවම බලපානු ලබනවා. “ටෙලිපති” පිළිබඳව බටහිර රටවල අවධානයට යොමු වුණේ 19 වැනි සියවසේ ආරම්භයත් සමගයි. නමුත්, ඒ පිළිබඳ පෙරදිග නැඹුරුව හා විශ්වාසයන් ඊට වඩා බොහෝ ඈතට දිවයනවා.

විශේෂයෙන් “සිහින” හෙවත් “සප්න” හරහාද සිදුවන්නේ,මෙම “ටෙලිපති” ක්‍රියාවලියේම එක්තරා අංගයක්, එනම්, දැනට සිදුවෙමින් පවතින සිදුවීම් වගේම ඉදිරියට සිදුවිය හැකි සංසිද්ධීන් විවිධ සංකේත හා අනාවැකි සාධක මගින් නිරූපණය වෙනවා. මනෝ විද්‍යාවට අනුවත්, “ සිහින” යනු පිළිගත හැකි සන්නිවේදන ක්‍රියාවලියක්. මනෝ විද්‍යාවේ පියා වන සිග්මන් ප්‍රොයිඩ් විසින් 1905 දී ප්‍රකාශයට පත් කරනු ලැබූ ““The Interpertation of Dreams” ” නමැති ග්‍රන්ථයෙන් “සිහින” පිළිබඳව දීර්ඝ ලෙස විශ්ලේෂණය කර තිබෙනවා.

සිග්මන් ප්‍රොයිඩ්ට අනුව “සිහින” (Dreams) යනු අවරෝධිත ඉච්ඡාවක් පිටතට පැමිණීමකුයි. “සිහින” තුළ දකින සංකේත ඇතැම්විට සැමට පොදු නොවූවත්, යම් යම් සංකේත පොදු වූවක් බව ඔහු පෙන්වා දෙනවා. ස්ත්‍රී ශරීරය , උද්‍යානය, සර්ථයා මුතුමැණික් ඉටිපන්දම්, ආගමික කුළුණු හා දොරපියන් ඒ අතර වන කිහිපයක්. එහෙත්, සිහින දකින්නාගේ පුද්ගලික තත්වයන් තේරුම් නොගෙන, නිසි නිගමනවලට ඒම වැරැදි සහගත බවද හෙතෙම අවධාරණය කරනවා.

එතකොට චිරන්තන බුදු දහමේ සිහින පිළිබඳව කර ඇති විග්‍රහයන් කෙබඳුද?

‘ධාතුකේඛාහ’, ‘අනුභූ®තපුබ්බ’, ‘දේවතොපසංහර’ සහ ‘පුබ්බ නිමිති’ වශයෙන් සිහින කියන (පෙනෙන) හේතු හතර (04) ක් බුදුදහමේ දැක්වෙනවා.

1.පිත් දොස් කිපීම් (ධාතුකේඛාහ) නිසා සිහින පෙනෙන විට අහසේ යනවා වගේ, උඩකින් බිමට වැටෙනවා වගේ, ඇතුන් වන සතුන් හා සොර සතුරන් ලුහුබැඳ එන්නා වගේ පෙනෙනවා.

2.අනුභූතපුබ්බ හෙවත් පෙර දුටු හෝ ඇසූ පිරූ කරන ලද හෝ තදින් යටි හිතට කා වැදී තිබුණු යම් යම් දේවල් ද විවිධ ස්වරූපයෙන් සිහිනෙන් පෙනෙනවා.

3.දෙවියන් විසින් (දේවතොපසංහර) යහපත හෝ අයහපත පිණිස මිනිසුන්ට නොයෙක් අරමුණු ‘ සිහින’ වලින් දක්වනු ලබනවා.

4.පෙර කරන ලද (පුබ්බ නිමිති) කුසල කර්ම අනුව ඉදිරියට සිදු වන්නට යන යහපතක් හෝ විපතක් කලින් දන්වනු පිණිස විවිධ සිහින පෙනෙනවා. සිදුහත් කුමරු ඉපදීමට පෙර මහමායා දේවිය දුටු පස්මහ සිහින වගේම කොසොල් රජතුමා දැක්ක සිහින දහසයත් මෙම සිහින ගණයට අයත් වෙනවා.

මේ වගේ “ටෙලිපති ක්‍රම” හරහා සිදුවන සිතුවිලි තරංගවලට කිසියම් සීමාන්තික බවක් තිබිය හැකිද?

නැහැ. යහපත් සිතිවිලි දහරාවලට සක්වළ සිසාරා යා හැකියි. බුදු,පසේ බුදු, මහරතන් ආදි චරිත කථාවල එන විවිධ සංසිද්ධීන් හරහා මේ බව වඩාත් තිරසර වෙනවා. අදටත් හිමාලය ඇතුළු මහ වන පෙත්වල නිහඬව බවුන් වඩන භාවනා යෝගීන්ට රුදුරු වන සතුන්ගෙන් කිසිදු අනතුරක් සිදු වෙන්නේ නැහැ. එනම්, ඔවුන්ගේ මෛත්‍රියෙන් පිරුණු සිතිවිලි තරංග හරහා සියලු වන සතුන් දමනය වෙනවා. පාරිලෙයිය වනයේදි අප බුදු හිමියන් සමග සතුන් ක්‍රියා කළ අන්දමෙන් වගේම ප්‍රකෝප වූ නාලාගිරි ඇතුන් බුදුරදුන් ඉදිරියේ දණින් වැටී කීකරු වීමෙනුත් මේ බව කියාපානවා.

ඒ වගේම, සක්වළ පවතින ටෙලිපති ක්‍රමවල හෝ ඊට අයත් වන විෂය පථවල හෝ සීමාවක් දැක්වීමට බැහැ. දැන්, හිතවත් කෙනෙක් පිළිබඳව සිහිපත් (මතක්) කිරීම සහ ඉතා ඈත ප්‍රදේශයක සිටින එම තැනැත්තාට එය දැනීම එකවර “කිබුහුන් යාම” ආදි විවිධ ස්වරූපයෙන් එය දැන් වීමට පුළුවන්, ඇතැම්විට, සත්වයන්ගේ විවිධ හැසිරීම් රටාවල මේ දේවල් ප්‍රකාශ වෙනවා. නැදෑයින්, හිතවතුන් ගෙදරට එනවා නම්, පූසන් (බළලුන්) සිය සිරුර පිරිසුදු කිරීම හා කපුටන් උදෑසන කරව් කිරීම මගින් එය කියාපාන බව ගම්මුන් විශ්වාස කරනවා.

පුරාණ සංස්කෘත ග්‍රන්ථවල සහ දඹදෙණි යුගයේදි ලියැවුණ ‘දෛවඥ කාම ධේනුව” ආදි කෘතිවල මේ පිළිබඳ ගැඹුරින් විස්තර වෙනවා. ඇතුන්ගේ, අශ්වයින්ගේ හා පක්‍ෂීන්ගේ මෙන්ම නොයෙක් ගුප්ත සතුන්ගේ විවිධ හැසිරීම් රටා මගින් මෙබඳු “ටෙලිපති ක්‍රම “ පිළිබඳ බොහෝ තොරතුරු අනාවරණය කෙරෙනවා.මේ සක්වළ,පුදුම තැනක් පමණක් නොවෙයි, අපට හිතා ගැනීමටත් බැරි දේ සිදු වන තැනක් කියන්නේ ඒ හින්දායි.

(සැ.යු. පිට සක්වළින් එන සංඥා ,හඳුනා නොගත් රහස් සහ සක්වළ කැලඹිලි පිළිබඳව මීළඟ පත්‍රයෙන් බලාපොරොත්තු වන්න)


සක්වළ සක්මන - 06 ආලෝකයේ වේගය හඹා යාම

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]