UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යුතුකම් ඉටු කළ විට අයිතිවාසිකම් ගැන ගැටලු නෑ

තම අයිතිය උදෙසා තවත් අයෙකුගේ ජීවිතය පවා නොසලකා හැරීමට අපේ සමාජයේ ඇතැම් කණ්ඩායම් කුරිරු වෙලා. තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ඇතැම් අයෙක් උපවාස කරනවා. පසුගිය දවසක මාතර බෝධිය උඩටත් නැඟලා .මෙවන් තත්ත්වයන් මතුවීමට තුඩු දෙන හේතු මොනවාද?  මේ තත්ත්වයට අපට ධාර්මිකව මුහුණ දෙන්න බැරිද?

සමාජය දෙස බලන විට අපට පැහැදිලිව පෙනෙන්නට තිබෙන්නේ තමන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීමට සටන් වදින කණ්ඩායම් තම යුතුකම් නිසි ලෙස ඉටු වන්නේදැයි නොසොයන බවයි.

තම අයිතිය උදෙසා තවත් අයෙකුගේ ජීවිතය පවා නොසලකා හැරීමට අපේ සමාජයේ ඇතැම් කණ්ඩායම් කුරිරු වෙලා. තමන්ගේ ඉල්ලීම් දිනා ගන්න ඇතැම් අයෙක් උපවාස කරනවා. පසුගිය දවසක මාතර බෝධිය උඩටත් නැඟලා .මෙවන් තත්ත්වයන් මතුවීමට තුඩු දෙන හේතු මොනවාද? මේ තත්ත්වයට අපට ධාර්මිකව මුහුණ දෙන්න බැරිද?

අප සැමවිටම කල්පනා කළ යුත්තේ, කතා කළ යුත්තේ අපගේ අයිතීන් ගැන විතරද? බුද්ධ දේශනාවේ අයිතීන් ලබා ගැනීමක් ගැන වෙනමම සඳහන් වන බවක් පෙනෙන්නට නැහැ. බුදු දහමේ උගන්වා තිබෙන්නේ යුතුකම් ඉටු කිරීම පමණයි. තම යුතුකම් ඉටු කරන විට අනෙක් අයගේ අයිතීන් නිතැතින්ම රැකෙනවා. එම නිසා බුදුදහමේ කිසිවකුගේ අයිතීන් දිනා ගැනීමක් ගැන ඍජුව දක්වා නැහැ.

බුදුරජාණන් වහන්සේ සමාජය නියැදියක් ලෙස කාණ්ඩ හයකට බෙදා දක්වා තිබෙනවා. එහිදී නැගෙනහිර නැත්නම් පූර්ව දිශාව යනුවෙන් මවුපියන් හඳුන්වා දුන්නා. (මාතා පිතා දිසා පුබ්බං) මව්පියන් එසේ නැගෙනහිර සිටියදී ඔවුන් විසින් දරුවන් උදෙසා කළ යුතු යුතුකම් රැසක් තිබෙනවා.මවුපියන් විසින් දරුවන් පාපයන්ගෙන් වැළැක්විය යුතුයි, කුසල්හි යෙදවිය යුතුයි. ශිල්ප ශාස්ත්‍ර ලබාදිය යුතුයි. සුදුසු කල්හි ආවාහ විවාහ කර දිය යුතුයි. දායාද පවරා දිය යුතුයි.

මව්පියන් මෙසේ දූ දරුවන්ට තම යුතුකම් ඉටු කරද්දී දරුවන්ද මව්පියන් උදෙසා තම යුතුකම් ඉටු කළ යුතු වනවා.

ඒ අතර පළමු තැනක් ගන්නේ මවුපියන් රැකබලා ගැනීමයි. ආහාරපාන ආදියෙන් පෝෂණය කළ යුතුය. මව්පියන්ගේ සියලු කටයුතු ඉටුකළ යුතුය. පවරාදුන් දායාද ආරක්‍ෂා කළ යුතුයි. මව්පියන් මිය ගිය පසු ඔවුන්ට පින්පෙත් දිය යුතුයි. මේ අයුරින් තම යුතුකම් නිසියාකාරව ඉටු කළ විට අයිතිවාසිකම් ගැන කිසිදු ගැටලුවක් මතුවන්නේ නැහැ. ‘අයිතිවාසිකම්’ යන්න බටහිර රටවලින් අපට මුල්බැසගත් විෂබීජයක් අයිතිවාසිකම් යන්න මානව අයිතීන් උදෙසා පමණක් බිහිවූ සංකල්පයක්, මානව අයිතීන් ආරක්‍ෂා කර ගැනීමක් පමණයි එහිදී ගෙනහැර දක්වා ඇත්තේ.

එහෙත් බුදු දහමේ උගන්වා ඇත්තේ සබ්බේ සත්ථා භවන්තු සුඛිතත්වා යන්නයි.

සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යන්නයි.

බුදුරජාණන් වහන්සේ තිරිසන් සතුන්ට පවා කරුණාව දක්වා තිබෙනවා.

බුදුරජාණන් වහන්සේගේ දේශනාව වන්නේ සෙවණ දුන් ගසෙහි අත්තක් හෝ කඩා නොදැමිය යුතු බවයි. තමන් වහන්සේට බුදුවීමට උපකාරී වූ බෝ රුක දෙස සතියක් ඇස පිය නොහෙලා බලා සිටිමින් ඊට කළගුණ සලකා තම යුතුකම් ඉටු කර පසුව ඒ අසලම කල් යවමින් සත් සතිය ගත කිරීමෙන් උන්වහන්සේ අපට උගන්වා ඇත්තේ තමන් විසින් ඉටු කළ යුතු යුතුකම් පිළිබඳවයි.

එවන් යුතුකම්, කෙලෙහිගුණ දැක්වීම්, උගන්වා තිබියදීත් අපේ සමාජයේ වර්ජන, තර්ජන, කරමින් තමන්ගේ අයිතීන් ඉල්ලා හඬ නගන්නේ ඇයි? සමාජයේ එක් පාර්ශ්වයක යුතුකම් නිසි ලෙස ඉටු නොවූ විටයි. මෙවන් ගැටලු ඇති වන්නේ.

මෙහිදී අප සිහි තබා ගත යුතු විශේෂ කරුණක්ද තිබෙනවා. ඒ එක් පාර්ශ්වයක් තම යුතුකම් නිසි ලෙස ඉටු කරද්දී අනෙක් පාර්ශ්වය තම යුතුකම් ඉටු නොකරනු ලබන අවස්ථා දක්නට තිබෙන බවයි.

මීට හොඳම උදාහරණය ලෙස අපට ගෙනහැර දැක්විය හැක්කේ මව්පිය දූ දරු සබඳතාවයි. තමන් විශාල කැප කිරීම් කර ලෝකයට හඳුන්වා දෙන දරුවන් මව්පියන්ට නොසලකන අවස්ථා කොතෙකුත් දක්නට තිබෙනවා.

මේ තත්ත්වය සමාජයේ ආගම දහම තුළ මානව ධර්මතා තුළ සිදුවන්නේ නැති විට නීතිය යන්න ඉස්මතු වෙනවා. නීතිය පැමිණ විට එය නොතකන්නන්ට දඬුවම් පැමිණෙනවා. යුතුකම් නිසි ලෙස ඉටු නොවීමේ ප්‍රතිඵල ලෙසින් පොලීසිය, උසාවිය බන්ධනාගාර බිහිවී තිබෙනවා. සේව්‍ය-සේවක යුතුකම් නිසිලෙස ඉටුවන්නේ නම් කම්කරු උසාවි බිහිවන්නේ නැහැ.

යුතුකම් මඟින් තම අවශ්‍යතා ඉටු නොවන්නේ නම් නීතිය හමුවට යා හැකියි.

එහෙත් අද බොහෝ විට වර්ජනය මුල් තැනට ළං කර ගන්නවා. බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහාණිය ධර්මයන් තුළ ගෙන හැර දැක්වූයේ කුමක්ද? සමඟිව රැස්වී, සමඟිව සාකච්ඡා කර, සමඟිව විසිර යන ලෙසයි.

එමෙන්ම නොපැනවූ නීති නොපනවන්නටත් පැනවූ නීති නොකඩ කොට ආරක්‍ෂා කළ යුතු බවත් බුදුරජාණන් වහන්සේ සප්ත අපරිහාණිය ධර්ම තුළ දේශනා කළා. එහෙත් අද සිදුවන්නේ කුමක්ද? නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීමට ගිය අවස්ථාවක ජනතාව ඝාතනය වන තැනට අප පත්වුණා. අහිංසක වැඩ කරන ජනතාවට සේව්‍යායාගෙන් දායකත්වය හා රාජ්‍ය දායකත්වය සහිතව විශ්‍රාම වැටුපක් ලබාදීමට ගත් උත්සාහය ව්‍යාර්ථ කළේ අහිංසක ජනතාව නොවේ. ඔවුන්ට මුවා වී එය කඩාකප්පල් කර දැමීමට කටයුතු කළේ සේව්‍යයාම බව සේවකයන් දැනගන්නා විට විනාශය සිදුවී අවසානයි. මේ එක් උදාහරණයක් පමණයි.

ජනතාව තුළ ඇතිවන චිත්තවේග උදෙසා මුහුණ දීමට ඇතැම් විට සම්මප්‍රයෝග හෝ භාවිත කළ හැකියි.

විශේෂයෙන්ම ජනතා ඉල්ලීම් උද්ඝෝෂණ හමුවේ බුදුරජාණන් වහන්සේ පවා නම්‍යශීලි වුණා.

ජනතාව වැඳුම් පිදුම් කරනු ලබන වෘක්‍ෂයක් දෙව්දත් තෙරුන් විසින් කපා ගෙන ආ අවස්ථාවක ඊට ජනතා උද්ඝෝෂණයක් නැඟී ආවා. එහිදී බුදුරජාණන් වහන්සේ එම ක්‍රියාව වැරැදි බව දන්වා දෙව්දත් තෙරුන්ට වරද ගැන අවවාද ලබා දුන්නා.

එමෙන්ම වස් සමාදන්වීමට භික්ෂුන්ට අනු දැන වදාළෙත් මහජන මතයට ගරු කිරීම් වශයෙන්. එහෙත් අද සාමජයේ රෝගියා බිල්ලට දී වෛද්‍යවරයා තම අයිතිවාසිකම් රැක ගැනීමට උත්සාහ කරනවා. ශිෂ්‍යයා ගේ අධ්‍යාපනය අඩපණ කර ආචාර්යවරුන් වර්ජනය කරනවා.

බුදුරජාණන් වහන්සේ එවන් අයිතීන් ලබා ගැනීමට උත්සාහ දැරීම කිසිසේත් අනුමත කර නැහැ. නිදහස් අධ්‍යාපනයෙන්ම ඉහළට නැඟ ආ පිරිස් තමන්ගෙන්ම යැපෙන්නේ තමන්ගේ සේවය බලාපොරොත්තු වන්නේ පසෙක දමා විප්ලව කිරීමට සූදානම් වනවා නම් එය කිසිදිනක සුගතිගාමී වන්නේ නැහැ.

ලෝකයේ දැවැන්තම විප්ලවය සිදු කෙළේ බුදුරජාණන් වහන්සේ විසින්. අනිත්‍ය, සුඛ ආත්ම කියන දැවැන්ත මතය මුළුමනින්ම කන පිට හරවා අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන දර්ශනය ලොවට හෙළි කිරීමට උන් වහන්සේට උඩු ගං බලා යාමට සිදුවුණා. එහෙත් කිසිවකුටවත් එයින් අවැඩක් සිදුවුණේ නැහැ.

අප කටයුතු කළ යුත්තේ අධ්‍යාත්මික දියුණුව සලකා මිස හුදෙක් පෞද්ගලික අපේක්ෂාවෙන් නොවන බව සමාජයටම ස්ථාපිත කළ යුතුයි. එසේ කිරීමට අපට හැකියාව ලැබුණහොත් යුතුකම් ඉටුවීමත් සියලු දෙනාගේ අයිතිවාසිකම් රැකීමත් එමඟින් සිදුවනු ඇත.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]