UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

* වසර 34 කට පසුවලක්වැසියන්ට ලැබෙන දුර්ලභ අවස්ථාවක්

* සුදුවතින් පැමිණ වන්දනාවට සහභාගිවන්න

වෙසෙසින්ම කපිල වස්තු ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ ඒ ස්ථානවලදී දිනපතා උදෑසන බුද්ධ පූජාවත් දවල් බුද්ධ පූජාවත් සවස ගිලන්පස බුද්ධ පූජාවත් පවත්වනු ලබනවා. ඊට අමතරව ඒ ඒ විහාරස්ථානවලදී ධාතුන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේදී ප්‍රදේශයේ සම්භාවනීය මහ සඟරුවන පිරිත් සජ්ඣායනා පැවැත්වීමට ද ඒ ඒ විහාරස්ථාන කටයුතු යොදා තිබෙනවා


සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාව සර්වඥ ධාතුන් වහන්සේ වන්දනාමාන කරනුයේ අප්‍රමාණ වූ ශ්‍රද්ධා භක්තිය පෙරදැරිකරගෙනය. එම මාහැඟි අවස්ථාව මෙරට බොදු ජනතාවට නැවත උදාකරදීම සඳහා කපිලවස්තු සර්වඥ ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීම මෙම 19 වැනිදා සිදු කැරේ. ලක්වැසි අප සැමට එම දුර්ලභ අවස්ථාව උදාවූයේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා නිසාය. එතුමා ඉන්දියාවේ අගමැතිතුමාගෙන් කළ ඉල්ලීමකට අනුව දින කීපයකට වන්දනාව සඳහා එම ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම කරවීමට එරට රජය කැමැත්ත පළ කළහ. ඒ පිළිබඳව ආගමික කටයුතු පිළිබඳ ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් ගැටමාන්නේ ගුණානන්ද හිමියන් සමඟ කළ සාකච්ඡාවකි මේ.

කපිලවස්තු ධාතුන් වහන්සේලා අපේ රටට වැඩම කරවීමේ දුර්ලභ අවස්ථාව උදාවූයේ කෙසේද ?

අපේ රටට ඉතා දුර්ලභ මේ අවස්ථාව උදාවූයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා නිසයි. එතුමා ඉන්දියාවේ කරන ලද සංචාරයකදී 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් කපිලවස්තු ධාතුන් වහන්සේලා අපේ රටට වන්දනාව සඳහා ලබා දෙන්නැයි ඉන්දියාවේ අගමැතිතුමාගන් ඉල්ලීමක් කළා. ඒ අනුව දින කීපයක් වන්දනාමාන කිරීම සඳහා එම ධාතුන් වහන්සේලා අපේ රටට වැඩම කරවීමට එරට රජය කැමැත්ත පළ කළා. මෙය ලක්වැසි සියලු සැදැහැවතුන්ගේ ශ්‍රද්ධා භක්තිය වර්ධනයට මහත් ආශිර්වාදයක් වන උදාර මොහොතක්. මේ උදාර අවස්ථාව උදාකර දුන් ජනාධිපතිතුමාට විශේෂ ප්‍රණාමය හිමිවිය යුතුයි.

ඒ අනුව අපේ රටට වැඩම කරවන කපිලවස්තු ධාතුන් වහන්සේලා අපේ රටේ බොදු ජනතාවට සියැසින් දැක වැඳ පුදා ගැනීමේ දුර්ලභ අවස්ථාවට මේ වනවිටත් සියලු කටයුතු සූදානම් කර තිබෙනවා. මෙහි සියලු කටයුතු සිදු කැරෙන්නේ ජනාධිපති කාර්යාලය, රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය අනුග්‍රහයෙන් හා බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යංශයේ දායකත්වයෙන්.

මෙම කපිලවස්තු ධාතුන් වහන්සේලා මෙයට පෙරත් අපේ රටට වැඩම කර තිබේද?

1978 දී ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේදී තෛ‍්‍රනිකායික මහ නාහිමිවරු ඉන්දියාවට වැඩම කර ධාතුන් වහන්සේලා මෙරටට වැඩම කරවා ගෙනැවිත් මෙරට විවිධ ප්‍රදේශවලදී එම ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කළා.

ඒ යුගයේදී එම ධාතුන් වහන්සේලා අපේ රටට වැඩම කරවීම පිළිබඳ මෙරට මාධ්‍ය ඉතා පුළුල් ප්‍රචාරයක් ඊට ලබාදී තිබෙනවා.

මෙවර ඉන්දීය සංස්කෘතික කටයුතු පිළිබඳ ඇමැතිවරිය ඇතුළු දූත පිරිසක් 19 වැනිදා පෙරවරු 10. 00 ට ඉන්දීය විශේෂ ගුවන් යානයකින් කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළට වැඩම කැරෙනවා. එහිදී තෛ‍්‍රනිකායික මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ඇතුළු ශතාධික මහ සඟ රුවනෙහි ආශිර්වාදය මධ්‍යයේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමා විසින් එම සර්වඥ ධාතුන් වහන්සේ පිළිගනු ලබනවා.

අනතුරුව මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් දිවුලපිටිය, මිනුවන්ගොඩ, ගම්පහ, බැලුම්මහර නුවර පාර ඔස්සේ කැලණියේ මානෙල්වත්ත විහාරස්ථානයට වැඩම කැරෙනවා. එහිදී අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් ආගමික වැඩසටහන් පවත්වා සවස 2.30 ට ධාතුන් වහන්සේලා මහජනතාවට වන්දනාව සඳහා පහසුකම් සළසා තිබෙනවා.

වෙසෙසින්ම කපිල වස්තු ධාතුන් වහන්සේලා වැඩ සිටින ඒ ඒ ස්ථානවලදී දිනපතා උදෑසන බුද්ධ පූජාවත් දවල් බුද්ධ පූජාවත් සවස ගිලන්පස බුද්ධ පූජාවත් පවත්වනු ලබනවා.

ඊට අමතරව ඒ ඒ විහාරස්ථානවලදී ධාතුන් වහන්සේ වැඩ සිටින අවස්ථාවේදී ප්‍රදේශයේ සම්භාවනීය මහ සඟරුවන පිරිත් සජ්ඣායනා පැවැත්වීමට ද ඒ ඒ විහාරස්ථාන කටයුතු යොදා තිබෙනවා.

කපිලවස්තු ධාතුන් වහන්සේලා ප්‍රදර්ශනය කැරෙන ස්ථාන :

කැලණිය මානෙල්වත්ත විහාරයේදී අගෝස්තු 19, 20, 21 දිනවලදීද පැල්මඩුල්ල රජමහා විහාරයේදී අගෝස්තු 22, 23 දිනවලදීද අනුරාධපුර ජයන්ති විහාරයේදී අගෝස්තු 24, 25, 26 යන දිනවලදීද, කන්තලේ අග්‍රබෝධි විහාරයේදීි අගෝස්තු 27, 28 දිනවලදීද ගම්පොළ නාරංවිට ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරයේදී අගෝස්තු 29 30 දිනවලදී ද වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙනේදී අගෝස්තු 31 සහ සැප්තැම්බර් 01 වනදා ද සැප්තැම්බර් 02, 03, 04 දිනවලදී මාතර කොටිකාගොඩ රජ මහා විහාරයේදී ද කපිලවස්තු ශ්‍රී සර්වඥධාතුන් වහන්සේලා දිවා රාත්‍රී වන්දනා කිරීමට කටයුතු යොදා ඇත.

වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගෙන් විශේෂ ඉල්ලීමක්

විශේෂයෙන් කපිලවස්තු ධාතුන් වහන්සේලා වන්දනාවට පැමිණෙන බැතිමතුන් අමතර ගමන්මලු ආදි උපකරණ රැගෙන ඒමෙන් වැළකී වන්දනාවට පැමිණෙන ලෙස ඉල්ලීමක් කැරෙනවා. අනවශ්‍ය දෑ රැගෙන ඒමෙන් පැය ගණන් අනවශ්‍ය පෝලිමේ සිටීමට සිදුවිය හැකි බැවින් ඒ පිළිබඳව වඩාත් සැලකිලිමත් විය යුතුවන ලෙස ඉල්ලා සිටිනවා.

මෙම ධාතුන් වහන්සේලා වන්දනා කිරීම සදහා එක් ස්ථානයකට ලක්ෂ දහයක පමණවත් සැදැහැවතුන් පිරිසක් පැමිණෙතැයි අපේක්‍ෂා කරනවා.

අප මේ සියලු පුද සත්කාර සිදු කරනු ලබන්නේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ කෙරෙහි අප්‍රමාණ ගෞරවයෙන්. ඒ නිසා මේ කාලය තුළදි වත් පිළිවෙත්වල යෙදී විශේෂයෙන් සුදුවතින් සැරසී පැමිණ වන්දනාවට සහභාගිවන ලෙස මතක් කරනවා.

දුර බැහැර සිට එන වන්දනාකරුවන්ගේ පහසුව සඳහා ප්‍රවාහන පහසුකම් ජලය ආහාර, සෞඛ්‍ය ආදි පහසුකම් ලබාදීමට ස්වේච්ඡා ආයතන ඉදිරිපත් වී සිටින අතර දන්සැල් ආදී පහසුකම් සලසාදීමට ද අපේක්ෂා කරනවා. ඒ පිළිබඳව ඒ ඒ ප්‍රදේශවල දිසාපතිවරු, ප්‍රාදේශීය සභා පළාත් සභා ප්‍රධානීන්, නාහිමිවරුන් හා බෞද්ධ සංවිධාන සමඟ සාකච්ඡා කර කටයුතු සූදානම් කර තිබෙනවා.

මීට සූදානම් වූයේ ....

මෙයට මාස එකහමාරකට පමණ පෙර ශ්‍රී ලංකාවේ ඉන්දියා මහ කොමසාරිස්තුමාගේ සහභාගිත්වයෙන් බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම්තුමා සහ ඉන්දියා කෞතුකාගාරයේ අධ්‍යක්ෂතුමා අතර ගිවිසුමක් බුද්ධ ශාසන අමාත්‍යංශයේ දී අත්සන් කැරුණා. ඒ අනුව තමයි මේ සියලු කටයුතු සිදු කැරෙන්නේ.

සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය සඳහා ස්ථාන නවයක් යෝජනා කළා. ඉන්දීය කෞතුකාගාරයේ අධ්‍යක්ෂ ඇතුළු නිලධාරීන් පිරිසක් අවස්ථා ගණනකදී මෙරටට පැමිණ ඒ ස්ථාන පරීක්‍ෂා කළා. මොනරාගල, අම්පාර, වවුනියාව වගේ ප්‍රදේශවල ප්‍රදර්ශනය කිරීමට අවසර ඉල්ලුවත් ඊට එකඟ වූයේ නෑ.

අවසානයේ ඔවුන් විසින් සුදුසුයැයි තෝරාගත් ස්ථාන හතකදී මේ ප්‍රදර්ශන කටයුතු සිදු කැරෙනවා. ඉන්දියා කෞතුකාගාරයේ නිලධාරීන් පිරිසක් ධාතුන් වහන්සේ ආරක්ෂාවට මෙහි රැඳී සිටිනවා. ධාතුන් වහන්සේලා නැවත වැඩම කරවීමේදී බුද්ධ ශාසන නියෝජ්‍ය ඇමැතිතුමාත් ලේකම්තුමාත් ඉන්දියාවට ගොස් නැවත ධාතුන් වහන්සේ බාරදෙනවා.

තිස් වසරක යුද්ධය නිමවී අද රටට සාමය උදාවී තිබෙනවා. එවන් වටපිටාවක් තුළ මේ සර්වඥධාතුන් වහන්සේ වැඩමවන්නේ එය අප රට ලැබූ මහත් භාග්‍යයක්.

මේ පිළිබඳව සමස්ත බෞද්ධ ජනතාවගේ ගෞරව ප්‍රණාමය ජනාධිපතිතුමාට හිමිවිය යුතුයි. එතුමාට පුණ්‍යානුමෝදනාව පිරිනැමිය යුතුය.

මේ සර්වඥධාතුන් වහන්සේගේ ආශිර්වාදයෙන් රටට සමෘද්ධිය සෞභාග්‍යය උදාවේවා.

 

නිකිණි අමාවක පෝය

නිකිණි අමාවක පෝය අගෝස්තු 16 වැනි දා බ්‍රහස්පතින්දා අපරභාග 10.02 ට ලබයි.
17 වැනි දා සිකුරාදා අපරභාග 09.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම අගෝස්තු 17 වැනි දා සිකුරාදා ය.

මී ළඟ පෝය
අගෝස්තු 24 වැනි දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24

Full Moonපසෙලාස්වක

අගෝස්තු 31

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 08

2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]