UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වසර 2005 දී ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධූරයට පත්වූ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙවර දළදා මාලිගාවේ පෙරහර සංවිධානය කරනුයේ අටවන වරටය. දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය උසුලන දියවඩන නිලමේතුමන්ට පැවරෙන එක් වගකීමක් වනුයේ ඇසළ පෙරහර මංගල්‍යය පෞරාණික චාරිත්‍ර ආරක්‍ෂා කරගනිමින් සාර්ථකව පවත්වා අවසන් කිරීමයි. මෙවර එම කටයුතු සිදුකෙරෙන ආකාරය පිළිබඳව ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමන් සමග කළ සකච්ඡාවකි මේ.

හෙළයේ මහා කලා මංගල්‍යය ලෙස බෞද්ධ අබෞද්ධ කවුරුත් එකලෙසින් පිළිගන්නා මහනුවර ඇසළ පෙරහර සංවිධානය කිරීමේදී දියවඩන නිලමේ ලෙස ඔබට පැවරෙන වගකීම හා කාර්යභාරය කුමක්ද?

මහනුවර ඇසළ පෙරහර මෙන් චිරාගත සම්ප්‍රදායන්ට අනුකූ®ලව සිදුකරන්නාවූ මහා මංගල්‍යයක් ලෝකයේ කොතනකවත් දක්නට ලැබෙන්නේ නැහැ. අඛණ්ඩව දින 10 ක් රාති‍්‍ර කාලයේත් දහවල් එක් දිනකුත් පෙරහර මංගල්‍යය පැවැත්වෙනවා. කලා ශිල්පීන් දහස් ගණනක් සමඟ අලි ඇතුන් 90 ක් පමණ පෙරහරට සම්බන්ධ වෙනවා. මේ පෙරහරේ පවත්නා විචිත්‍රත්වය අත්විඳින්නට විදේශිකයින් විශාල පිරිසක් මෙම කාලවකවානු වේ. මහනුවරට එනවා. පැරණි රජ දවස පටන් පැවත එන්නා වූ සිරිත් විරිත් ගරුකරමින් සම්ප්‍රදායයන් රකිමින් පෙරහර විචිත්‍රවත්ව පැවැත්වීම දියවඩන නිලමේ ලෙස මගේ වගකීමයි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ රජය ඇසළ පෙරහර සාර්ථකව පවත්වා ලීමට අවශ්‍යය අනුග්‍රහය නොඅඩුව ලබා දෙනවා. මා දියවඩන නිලමේ ධූරයට පත්වූ 2005 වසරේ සිට පෞරාණික චාරිත්‍ර ආරක්‍ෂා කැර ගනිමින් පෙරහර මංගල්‍යය උත්කර්ෂවත්ව පැවැත්වූවා.

මහනුවර ඇසළ පෙරහර වාර්ෂිකව පවත්වන්නේ ශ්‍රී දළදා වහන්සේ හා සතර මහ දේවාලයන්හි වැඩසිටින දෙවිවරුන්ට පූජෝපහාරයක් පිණිස නේද?

කන්ද උඩරට ඇසළ පෙරහර ආරම්භ වූයේ 1592 දී දළදා වහන්සේ මහනුවරට වැඩම කරවීමත් සමඟයි. අද සිදුකෙරෙන අන්දමට ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර පෙරටුව නාථ , විෂ්ණු, කතරගම හා පත්තිනි දේවාල, පෙරහර ගමන් කරනා ආකාරයට පෙරහර පෙළ ගැසුණේ 1753 දී කීර්ති ශ්‍රී රාජසිංහ රජු දවසයි. ශ්‍රී දළදා වහන්සේ උදෙසා චිරාගත සම්ප්‍රදායන් ගරු කරමින් පෙරහර පැවැත්වීම මගින් නිසිකලට වැසි ලැබෙන බව රජුත් ජනතාවත් විශ්වාස කළා. එකී විශ්වාසයට අභියෝග කැරමින් එදා ඉංගී‍්‍රසින් 1818 සිට 1828 දක්වා පෙරහර පැවැත්වීම තහනම් කරන්නට වූ අතර පසුව ඇතිවූ නියඟය මග හරවන්නට 1828 දී දළදා වහන්සේ මහමළුවට වැඩමවා පෙරහර පවත්වන්නට ඉංගශ්‍රීසින්ට සිදුවුනා. එම අවස්ථාවේ නියඟය හමාරකමින් මහවැසි ඇද වැටුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා. සමහරු මේක සැණකෙළියක් කියා හිතනවා. එය සම්පූර්ණයෙන් වැරදියි. පෙරහර නරඹන්න එනකොටත් අප ආ යුත්තේ දළදා වහන්සේ හා සතර මහා දේවාළයන්හි වැඩසිටින දෙවිවරුන්ට සිදුකරන්නාවූ පූජෝපහාරයට දායක වෙනවා කියනා හැඟීම ඇතිවයි.පෙරහර වීදි සංචාරය කරනා දින 11 තුළ මහනුවර නගර සීමාවේ මත්පැන් හා මස් අළෙවි ස්ථාන වසා දමනවා. මහනුවර නගර මධ්‍යයේ ඇසළ සැණකෙලි පවත්වන්නත් මෙවර අපි අවසර ලබාදී නැහැ. පෙරහර මංගල්‍යය ආගමික උත්සවයක් මිස සැණකෙළියක් නොවන බව අපි හැම වෙලාවකම මතකයේ තබා ගන්න ඕන.

පෙරහර විචිත්‍ර කිරීම සඳහා ප්‍රධානතම දායකත්වය ලබාදෙන්නේ උඩරට කලා ශිල්පීන්, අද වන විට තරුණ පරපුර මෙම පාරම්පරික කලා ශිල්ප හදාරනු වෙනුවට වෙනත් වෘත්තින් තෝරා ගැනීමට උනන්දු වීම තුළ අනාගතයේ පෙරහර පැවැත්වීමේදී මෙය බරපතල ගැටලුවක් වෙයි නේද

සමාජ පිළිගැනීමක් නොමැති වීමත් සැලකිය යුතු ආදායමක් නොලැබීමත් යන කරුණු නිසා උඩරට පාරම්පරික කලා ශිල්ප හදාරනු වෙනුවට වෙනත් රැකියා තෝරා ගැනීමට එම පවුල්වල තරුණ තරුණියන් උනන්දු වෙනවා. පෙරහරට දායකත්වය ලබා දුන් කලාකරුවන්ට රජු එදා ඉඩකඩම් ඇතුළු නොයෙක් වරප්‍රසාද ලබා දුන්නා. ඔවුන් එදා පෙරහරට සම්බන්ධ වුණේ තම වගකීමක් ඉටුකරනවා යන හැඟීම ඇතිවයි. අද වන විට එම තත්ත්වය වෙනස් වෙලා. පෙරහරට සම්බන්ධ වන කලා ශිල්පීන්ට අපි ගෙවීමක් කරනවා. මුදල් අපේක්ෂාවෙන් පමණක් පෙරහරට සම්බන්ධ වන පිරිසක්ද හිටියා. දළදා මාලිගාවේ පෙරහරට සම්බන්ධ වන කලා ශීල්පීන් සියලු දෙනා මා පෞද්ගලිකව මැදිහත්ව පරික්‍ෂාවට ලක්කරනවා. නැටුම් කලාව කුඩා කළ සිට හැදෑරූ අයෙකු ලෙස හරියට නටන්නේ කවුද බොරු කරන්නේ කවුද කියා මම දන්නවා. මේ නිසා දළදා මාලිගා පෙරහරේ නටන්න බැරි ගයන්න බැරි කලා ශිල්පීන් කවරුත් ගමන් ගන්නේ නැහැ කියලා මම වගකීමෙන් කියනවා. පාරම්පරික උඩරට නර්තන වාදන කලාව මතු පරපුරට සුරක්‍ෂිත කොට ගෙන යාම අතිශයින්ම වැදගත්. පාරම්පරික ප්‍රවීණ ශිල්පීන්ගේ මාර්ගෝපදේශය ඇතිව ආධුනික තරුණ ශිල්පීන් ශාස්ත්‍රානූකූලව පුහුණුකර පෙරහරට සම්බන්ධ කැර ගැනීමේ වැඩපිළිවෙළක් අප ක්‍රියාත්මක කරනවා. පෙරහරට දායකත්වය සපයන ශිල්පීන් අගයමින් පෙරහර අවසානයේ ඔවුනට ශ්‍රී දළදා මාලිගාව මගින් මුදල් ත්‍යාග පිරිනමනවා. පාරම්පරික මෙම වටිනා කලාශිල්ප හදාරන්න තරුණ පිරිස් දැන් දැන් වැඩි උනන්දුවක් දක්වන බව පේනවා. පාසල් වල වෙස්බැන්ද සිසුන් සිටිනවා. එම දරුවන්ට දළදා පෙරහරේ තම දක්‍ෂතා දක්වන්න අපි අවසථාවන් ලබාදී තිබෙනවා.

කුඩා ළමුන් පමණක් නොව වැඩිහිටියන් පවා පෙරහරේ ගමන් කරන අලි ඇතුන් සංඛ්‍යාව පිළිබඳව උනන්දුයි. පෙරහරේ ගාම්භීර බව ඉස්මතු වන්නේ ඊට සහභාගි වන අලි ඇතුන් සංඛ්‍යාව අනුවයි. මේ වන විට පෙරහරට අලි ඇතුන් සොයා ගැනීමත් බරපතළ ගැටලුවක් නේද?

හීලෑ අලි ඇතුන් දැනට අපට සිටින්නේ 13 කට අඩු සංඛ්‍යාවක්. මේ අතරින් මද කිපෙන හා සංචාරක ප්‍රවර්ධන වැඩසටහන් වලට අලි 20 ක් පමණ අයින් කළාම ඉතිරි වන්නේ 110 ක පමණ සංඛ්‍යාවක් පමණයි.මෙවර මහනුවර ඇසළ පෙරහරට සමගාමීව දෙවුන්දර හා රුහුණු මහ කතරගම දේවාල පෙරහරත් පැවැත්වෙනවා. ඉන්නා හීලෑ අලි ඇතුන් සංඛ්‍යාව පෙරහර තුනට බෙදී ගිය විට මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට අවම වශයෙන් අලි 80 ක් වත් සහභාගි කැරගැනීම අද බරපතල ගැටලුවක් බවට පත්ව තිබෙනවා. පෙරහරේ සධාතුක කරඬුව වැඩම කළ හැකි පරිණත දළ ඇතුන් අපට සිටින්නේ පස් දෙනයි . ඉන්දිරාජා, නඳුන්ගමුවේ ඇතා, කතරගම වාසනා, වෑවලදෙනියේ රාජා හා මිල්ලන්ගොඩ පොඩි ඇතා මේ ඇත්තු පස්දෙනයි. මේ ඇත්තු නැති දවසට සධාතුක කරඬුව වැඩමවන්නේ කොහොමද ? අපි දැන් සිටම මේ ගැන අවධානය යොමු නොකළහොත් අනාගතයේදි බරපතළ ගැටලුවක් මතුවනවා.

මහනුවර පෙරහර එක්පැත්තකින් ජාතික හා ආගමික සමඟිය ලොවට කියාපාන්නාවූ අවස්ථාවක් නේද?

ඇත්තටම මහනුවර ඇසළ පෙරහරේදි අපිට සිංහල දෙමළ ජාතින් නියෝජනය කරන බෞද්ධ හා හින්දු ආගමික එකමුතුව වඩාත් කැපී පෙනෙනවා. බුදුන්ට මෙන්ම දෙවියන්ටද පුද පූජා පැවැත්වීම මෙහිදී සිදුවන නිසා බෞද්ධ හා හින්දු ආගමිකයින් දැඩි සහයෝගයකින් පෙරහරට සහ සම්බන්ධ වෙනවා.

පෙරහරට අලි ඇතුන් සම්බන්ධ කැර ගැනීම පිළිබඳව අවිහිංසාවාදය වෙනුවෙන් පෙනී සිටින ඇතැම් රාජ්‍ය නොවන සංවිධාන යම් යම් විරෝධතා හා විවේචන එල්ල කරනවා නේද?

මෙය ඇත්තටම බෞද්ධාගමට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන කුමන්ත්‍රණයක්, පෙරහරේ ගමන් කරන අලි වෙනුවෙන් අනුකම්පාව උපදින මේ අයට විදේශ රටවල පවත්වන තුරඟ තරඟ ගව පොර වලදි සතුන්ට දෙන වධ හිංසා පිළිබඳව නොපෙනීම කනගාටුවට කරුණක්. තුරඟ තරඟවලට සහභාගි වී ආබාධ වලට ලක්වන සතුන් වෙඩි තියලා මරනවා. අපේ අනන්‍යතාව ලොවට කියාපාන මේ උතුම් පූජෝත්සවය හෑල්ලුවට ලක්කිරීම සඳහා වන කුමන්ත්‍රණ තමයි මේ දියත් වන්නේ. අලියා කියන්නේ බෞද්ධ සංස්කෘතිය හා බැඳුණු සත්වයෙක්. පැරණි රජ දවස ද සිව් රඟ සේනාවන්හි මුලින්ම ගියේ ඇත් සේනාවයි. අපේ සංස්කෘතිය පිළිබඳව අවබෝධයක් නොමැති පිරිස් මේ ගෙන යන කුමන්ත්‍රණ අපි පරාජය කළ යුතුයි.

මෙවර මහනුවර ඇසළ පෙරහරේ අවසන් රන්දෝලි පෙරහර රූපවාහිනි නාලිකා මගින් විකාශනය කිරීමේදි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි නේද?

මෙවර සෑම නාලිකාවකම විකාශනය කෙරෙන්නේ එකම රූපරාමුයි. එක් එක් නාලිකා වලට ඒ ඒ අයට අවශ්‍යය විදිහට පෙරහරේ සජීව විකාශය කරන්න මෙවර අවසර ලබාදෙන්නේ නැහැ. ප්‍රවීණ දක්ෂ කැමරා කණ්ඩායමක් දළදා මාලිගාවේ මෙහෙයවීමෙන් පෙරහරේ දර්ශන ලබාගෙන මාධ්‍ය වෙත මුදා හරිනවා. එම දර්ශන වලට ඒ ඒ නාලිකා වලට අවශ්‍ය පරිදි පසුබිම් කථනයන් කළ හැකියි. ස්ථාන කිහිපයකදී එක් එක් රූපවාහිනි නාලිකා පෙරහර සජීවිව විකාශනය කිරීම සඳහා කටයුතු කිරීම නිසා පෙරහර නිමවීමට ගතවන කාලය පැය 2,3 කින් වැඩිවුණා. මෙය පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවද අසීරුතාවයට පත්වූ කාරණයක් නිසා මෙවර මෙම පියවර ගත්තා.

පෙරහර නැරඹීමට පැමිණෙන ජනතාවට ඔබ ලබාදෙන පණිවුඩය කුමක්ද?

මෙය බුදුන් හා දෙවියන් වෙනුවෙන් කරන්නාවූ පූජෝපහාරයක් බැවින් සැණකෙළියක් , ප්‍රදර්ශනයක්, නරඹන්නට එන මානසිකත්වයෙන් පෙරහර බලන්න එන්න එපා. පෙරහර නරඹන්න එද්දී ඇඳුම පිළිබඳව පවා සැලකිල්ලක් දක්වන්න. සන්සුන්ව, විනය ගරුකව හැසිරෙන්න. පොලිතින් වැනි පරිසරයට හානිවන කිසිවක් රැගෙන එන්න එපා. තමන් රැගෙන එන දේ නගරයේ නොදමා ආපසු රැගෙන යන්න. රට තුළ පවත්නා සාමකාමී වාතාවරණය තුළ සුවිශාල පිරිසක් දෛනිකව පෙරහර නැරඹීමට පැමිණෙනවා. හැකි තරම් කලින් පෙරහර මාර්ගයට පැමිණ ආරක්ෂක අංශ වලට අවශ්‍ය සහයෝගය උපරිමයෙන් ලබාදෙන ලෙස මම ජනතාවගෙන් ඉල්ලනවා.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]