UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සම්මා සම්බුදු රජාණන් වහන්සේ අදට වසර 2600 කට පෙර සම්බුද්ධත්වයට පත්ව සතළිස් පස් වර්ෂයක් මුළුල්ලෙහි දේශනාකොට වදාළ සුවාසුදහසක් ධර්මස්ඛන්ධයෙන් ස්පර්ශය ලැබූ සම සතළිස් දළදා වහන්සේලා අතරින් දළදා වහන්සේලා සිව් නමක් ද ලලාඨ ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේලා දෙනම යන සත් නම හැර සෙසු සියලුම ධාතුන් වහන්සේලා මුං පියල් අබ පියල් ප්‍රමාණයට කැඩී සෑයෙහි ඉතිරි වූ බව මහාපරිනිබ්බාණ ආදී සූත්‍රයන්හි මැනවින් පැහැදිලි වේ.

එසේ ඉතිරි වු ධාතුන් වහන්සේලා නැලි 16ක් බව ධාතුවංශය කියයි. ප්‍රධාන ධාතුන් වහන්සේලා සත් නම අතුරෙන් අකු ධාතුන් වහන්සේ නමක් අනුරාධපුරයෙහි ඉදිකරන ලද ථූපාරාම දාගැබෙහි ද, ලලාඨධාතුන් වහන්සේ සේරුවිල දාගැබෙහි ද, තවත් අකු ධාතුන් වහන්සේ නමක් හෙවත් ග්‍රීවා ධාතුන් වහන්සේ මහියංගන දාගැබෙහි ද නිදන් කොට ඇති අතර සතර දළදා වහන්සේගෙන් එක් දළදා වහන්සේ නමක් ද්‍රෝණ බමුණු තම හිස්වැසුමෙහි සඟවාගත් මොහොතේ සක්දෙව් රජ එය රැගෙන තව්තිසා දෙව්ලොව සිළුමිණි සෑයෙහි තබා වැදුම් කරන බවත්, දකුණු දළදා වහන්සේ නාගපුරයෙහි හෙවත් නාග්පූර්හි දාගැබක (සමහර පුස්තකයන්හි නාග ලෝකයේ ජයසේන නාරජු සමීපයෙහි පුද පූජාවන්ට භාජනව) තිබී මිහිඳු මහහරහතන් වහන්සේගේ මිත්‍රත්වය නිසා ලක්දිවට ලැබි සෝමවතී දේවිය හා ගිරි අභා කුමරු විසින් මණි අගිය හෙවත් පොළොන්නරුවේ සෝමවතී දාගැබ තුළ නිදන් කොට ඇති බව ධාතුවංශය, ජිනකාලමාලි ආදි ග්‍රන්ථයන්හි සඳහන් වේ.

තවත් දළදා වහන්සේ නමක් ගන්ධාර රටේ හෙවත් වර්තමාන පකිස්ථානයේ කෞතුකාගාරයක එම රජය මගින් සුරක්ෂිතව තිබී ඇතත් නිසි පුද පූජාවන්ගෙන් තොරව වැඩ වසන බව සඳහන් වන අතර ඛේම මහ රහතන් වහන්සේ ළඟ වැඩ විසූ වාම ශ්‍රී දළදා වහ්නසේ කලිඟු රජුගේ පටන් අද දක්වාම මහ රජවරුන් ඇතුළු සකල ලෝකයාටම සියැසින් බලබලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වැදුම් පිදුම් සත්කාර සම්මාන කිරීමට ලැබී ඇති අතර දැනට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අපමණ පුද පෙරහර මධ්‍යයේ වැඩ වෙසෙති.

මෙම වාම ශ්‍රී දළදා වහන්සේ කලිඟු රජු ඛේම රහතන් වහන්සේගෙන් අපමණ භක්ත්‍යාදරයෙන් පිළිගෙන රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් සමන්විතව දළදා මාලිගාවක් සාදවා එහි තැන්පත් කොට අපමණ පුද සත්කාරයන් පැවැත්වූ බව දාඨාවංශ ආදී වංශ කථාවන්හි මැනවින් පැහැදිලි වේ. ගුහසීව රජු දවස පඬි රජු මිත්‍යා මතධාරීන්ගේ බස් අසා කාලිංගය අල්ලාගෙන දළදා වහන්සේ ගිනි වළෙක දමා අළු කිරීමට ද, කිණිහිරියක තබා යකුලින් පහර දී කුඩු කිරීමට ද , මහ වළකට දමා ඒ මත පස් පුරවා අලි ඇතුන් ලවා පෑගවීමට ද, නොයෙක් අපවිත්‍ර දෑවලින් පිරුණු දිය අගලකට දැමීමට ද නියෝග කළ නමුත් ඒ කිසිවකින් පීඩාවකට පත් කළ නොහැකි වූ දළදා වහන්සේ ගේ ප්‍රාතිහාර්යයන් සියැසින් දැක විශ්මයට පත්වුයේ තම හිස මතට වඩින ලෙස අයැද සිටියේය.

සුදු බුදුරැස්වලින් හා ප්‍රාතිහාර්ය මධ්‍යයේ රජුගේ හිස මතට වැඩම වූ දළදා වහන්සේ මහත් හරසරින් පිළිගෙන මනරම් දළදා මාලිගාවක වඩා හිඳුවා පුද සත්කාර කළ බව දාඨාවංශ ආදියෙහි ද මැනවින් සඳහන්වේ.

මෙසේ නැවතත් පෙර අයුරින්ම ගුහසීව කලිඟු රජු පුදපූජා පවත්වන අතර එම රජුගෙන් පසුව රජ බවට පත් ක්‍ෂීරධාරා රජුගේ බෑණා කෙනෙකු විසින් දළදා වහන්සේ ඉල්ලා නැවත වරක් කලිගු රජු හා යුද්ධයට ගියේය. එකල්හි ගුහසීව රජතුමා තම දියණිය වූ හේමමාලා කුමරිය හා බෑණා වූ දන්ත කුමරු වෙත දළදා වහන්සේ භාර දී යුද්ධයේ දී තමා විනාශයට පත් වුවහොත් දළදා වහන්සේ ශ්‍රී ලංකාද්වීපයට ගෙන ගොස් සිංහල රජතුමාට භාර කරන ලෙස දැන්වීය.

යුද්ධයේ දී ගුහසීව රජතුමා මරණයට පත්විය. මෙම දෙපළ දළදා වහන්සේ රැගෙන බමුණු වෙස් ගෙන විවිධ දුෂ්කරතාවන්ට අතරමගදී මුහුණ දෙමින් ලක්දිවට පැමිණියහ.

රා. ව. 301 දී ශ්‍රී ලංකාද්වීපයට වැඩම වූ වාම ශ්‍රී දළදා වහන්සේ මහා විහාරිය භික්ෂූන් වහන්සේගේ ද සහ සම්බන්ධතාවයෙන් පළමුව අභයගිරියට දළදා වහන්සේ වැඩමවා කිත්සිරිමෙවන් රජතුමා අපමණ සතුටට පත්ව පළිඟු මිණෙන් නිමවන ලද කරඬුවක තබා දේවානම් පියතිස්ස රජතුමන් විසින් ඉදිකරවන ලද ධම්මචක්ක ගේහයෙහි වඩා හිඳුවා ශ්‍රී ලංකා ද්වීපයම තුන් වතාවක් දළදා වහන්සේට පූජා කොට අපමණ පුද පූජා හා විසිතුරු පෙරහර පවත්වමින් අනාගතයේ දී ද එම පුද පුජා එලෙසින්ම පැවැත්විමට නියෝග ද පැනවූ අයුරු මහාවංශ දී වංශ කථාවන්හි සඳහන්වේ.

එතැන්පටන් රජවරු දළදා වහන්සේ රාජ්‍යය හා සමානව ඒකාබද්ධව ආරක්ෂා කර ගනිමින් පැවත එන අතර අග්‍රබෝධි රජතුමා වටිනා මැණික්වලින් දළදා මන්දිරය අලංකාර කළ අතර ස්වර්ණමය ධාතු කරඬුවක දළදා වහන්සේ තැන්පත් කළ බව චූලවංශයේ සඳහන් වේ. මේ අයුරින් දළදා වහන්සේ ආරක්ෂා කරගෙන එන අතර අනුරාධපුර යුගය අවසාන කාලයේ දී සොළීන්ගේ ආධිපත්‍යය උග්‍රව පැවති නිසා සිංහල ආර්ථිකය, දේශපාලනය, මෙන්ම, සංස්කෘතියත්, සම්බුද්ධ ශාසනයත් පරිහානියට පත්වීම නොවැලැක්විය හැකි වූ අතර සොළීන් 5 වැනි මිහිඳු රජු අල්ලා ගත් අතර රුහුණේ සිංහල ජනතාව සොළීන්ට විරුද්ධව කැරලි ගසා දළදා හා පාත්‍රා ධාතුන් වහන්සේ රැගෙන රුහුණට පළා ගියහ.

රා. ව. 1070 දී විජයබාහු රජු පොළොන්නරු රාජධානිය ආරම්භ කිරීමෙන් පසු දළදා මැදුරක් ද සාදවා දළදා වහන්සේට පුදපූජා පැවැත්වූ අතර පරාක්‍රමබාහු රජතුමා ද සම්බුද්ධ ශාසනයත්, රටත් දියුණු කරමින්, දළදා වහන්සේ ද ආරක්ෂා කර ගනිමින් අපමණ සේවයක් සැලැස්වීමෙන් පසු නිශ්ශංකමල්ලතිස්ස රජතුමාගේ කාලයේ දී කාලිංග මාඝ ආක්‍රමණ නිසා සම්බුද්ධ ශාසනය පමණක් නොව සිංහල රාජ්‍යයත්, සිංහල ජාතියත් සම්පූර්ණයෙන්ම විනාශ කිරීමට කටයුතු කළ මොහොතේ භික්ෂූන් වහන්සේ වාම ශ්‍රී දළදා වහන්සේ සඟවාගෙන කොත්මලේ ප්‍රදේශයට ගොස් සපු ගහක බෙනයක් තුළ දළදා වහන්සේ සඟවා බුරුම රටට පැන ගියහ. තව සමහරෙක් ඉන්දියාවේ පාණ්ඩ හා චෝල ප්‍රදේශවලට පැනගිය අතර රා. ව. 1232 දී 3 වන විජයබාහු රජතුමා දඹදෙණිය රාජධානිය කරගෙන පලා ගිය භික්ෂූන් වහන්සේ හා ජනතාව දඹදෙණියට ගෙන්වා ගෙන දළදා වහන්සේ ද බෙලිගල දළදා ගෘහයට වැඩමවීය. අනුරාධපුර, පොළොන්නරු රාජධානිවල සිටි සියලුම සිංහලයන් දකුණට, දඹදෙණියට පැනගිය අතර මරණයට පත් නොවී ඉතිරි වූ පිරිස සොළින් බවට පත්විය.

දෙවන පරාක්‍රමබාහු රජතුමා බෙලිගලින් දළදා වහන්සේ දඹදෙණියට වැඩම වූ අතර නැවතත් විජයබාහු රජතුමා දළදා වහන්සේ පොළොන්නරුවට ගෙන ගිය නමුත් 1 වන බුවනෙකබාහු රජතුමා යාපහුවට දළදා වහන්සේ වැඩමවුහ. එකල පඬිරට ආර්යචක්‍රවර්ති රජතුමා යාපහුව අල්ලා ගත් අතර දළදා හා පාත්‍රා ධාතුන් වහන්සේ පොළොන්නරුවට ගෙනයන ලදී. 4 වන පරාක්‍රමබාහු රජතුමා කුරුණෑගල රාජධානිය කරගෙන දළදා වහන්සේ කුරුණෑගලට වැඩම වූ නමුත් 5 වන පරාක්‍රමබාහු රජතුමා ගම්පොළ රාජධානිය කරගෙන දළදා වහන්සේ ගම්පොළ නියම්ගම්පාය විහාරස්ථානයට වැඩම වූ අතර විවිධ ගැටුම් මෙන්ම දේශීය විදේශීය බලපෑම් නිසා දළදා වහන්සේ විර අලකේශ්වර රජතුමා විසින් කෝට්ටේ රාජධානියට වැඩමවන ලදී.

කෝට්ටේ 7 වන බුවනෙකබාහු රජතුමා ලක්දිව ආරක්ෂාව පරංගීන්ට භාරදෙන අතර දී දෙවනගල රතනාලංකාර හිමි හා හිරිපිටියේ රාළ නිළමේ විසින් දළදාවහන්සේ සීතාවකට ගෙන ගොස් මායාදුන්නේ රජුට භාරකළ අතර එතැන් පටන් 1 රාජසිංහ රාජ්‍ය කාලය අවසන් වී 1 විමලධර්මසූරිය රාජ්‍ය කාලය දක්වාම දළදා වහන්සේ දෙල්ගමුව රජ මහ විහාරයෙහි සුරක්ෂිතව කුරහන්ගල යට තබා ආරක්ෂා කරගත් අතර 1 විමලධර්මසූරිය රජතුමා අභිනවයෙන් දළදා මැදුරක් සාදවා දළදා වහන්සේ මහනුවරට වැඩමවිය.

එම මාලිගය පෘතුගීසීන් විනාශ කළ ද 2 වන රාජසිංහ රජු එම දළදා මාලිගාව දෙමහල් කොට සාදවන ලද නමුත් ලන්දේසිීන්ද මෙම දළදා මාලිගාව විනාශ කරන ලදී. 2 වන විමල ධර්මසූරිය රජතුමා තෙමහල්කොට එම මාලිගාව ඉදිකොට දළදා වහන්සේ නැවතත් සුරක්ෂිතව තබා පූජා පැවැත්වූ අතර ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ද එම මාලිගාව නැවතත් දෙමහල් කොට ඉදිකරවීමෙන් පසු අද දක්වාම එම දෙමහල් මාලිගාවේම දළදා වහන්සේ වැඩ වසති.

මේ අයුරින් වාම ශ්‍රී දළදා වහන්සේ භාරතයේ කලිඟු රට දන්තපුරයේ හා පඬිරට පැළලුප් නුවර වසර 800 කට අධික කාලයක් වැඩ විසීමෙන් පසු රා. ව. 301 දී කිත්සිරි මෙවන් රාජ්‍ය සමයේ දී අනුරාධපුරයට වැඩමවා එතැන් පටන් අනුරාධපුරය, පොළොන්නරුව, රුහුණේ, මායා රට, කොත්මලේ, දඹදෙණිය, යාපහුව, කුරුණෑගල, ගම්පොල, කෝට්ටේ, සිතාවක, මහනුවර සෙංකඩගල, දුම්බර, මැදමහනුවර, කුණ්ඩසාලේ, හඟුරන්කෙත, හිඳගල, දඹුළු කැලේ ආදි මෙකී ප්‍රදේශයන්හි 80 කට අධික ස්ථානයන්හි දළදා වහන්සේ තබා ආරක්ෂා කරගත් අයුරු ඓතිහාසික පුරාවිද්‍යාත්මක හා ගැමි වහරෙහි ද ඇතුළත්වේ.

මහා සංඝරත්නයත්, අපේ සිංහල රජවරුත්, සැදැහැවත් ජනතාවත් ජීවිත පරිත්‍යාගයෙන් ආරක්ෂා කරගත් දළදා වහන්සේ 1815 මාර්තු 02 දින ඉංග්‍රීසින්ට අයත් විය. නමුත් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමිවරුන් ප්‍රධාන මහා සංඝරත්නය හා කපුවත්තේ දියවඩන නිළමතුමා දළදා වහන්සේ කොත්මලේ පුසුල්පිටිය විහාරයේ සඟවාගත් බව දළදා වංශයෙහි සඳහන් වේ. රා . ව . 1815 මාර්තු 27 වන දින ජෝන් ඩොයිලි හා ආණ්ඩුකාර බ්‍රවුන්රිග් ඇතුළු බ්‍රිතාන්‍ය පාලකයන් සමඟ අධිකාරම් වරුන් විසින් කළ සාකච්ඡාව අනුව දළදා වහන්සේගේ ආරක්ෂාව සැලසීමට පොරොන්දු වී භික්ෂූන් වහන්සේ විසින් සඟවාගෙන තිබූ එම දළදා වහන්සේ නැවතත් හිඳගල සිට මහනුවරට වැඩමවූහ.

මෙතැන් පටන් 1815 සිට 1847 දක්වා කාලය තුළ ඉංග්‍රීසින්ගේ භාරයට පත්ව තිබූ දළදා වහන්සේ යළිත් 1853 අප්‍රේල් 07 දින අංක 152 දරණ රාජාඥා පත්‍රයෙන් මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ අතිගෞරවාහ¡ මහානායක මාහිමියන් වහන්සේ දෙනමට හා දියවඩන නිලමේට ඉංග්‍රීසීන් විසින් දළදා වහන්සේ භාර කරන ලදී. ඒ අනුව අද දක්වාම දළදා වහන්සේගේ පූර්ණ භාරකාරත්වය මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ මහානායක මාහිමියන් වහන්සේලා දෙනම හා දියවඩන නිලමේතුමා විසින් දරන අතර මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ විහාරාධිපති ධුරය එකී මහානායක මාහිමියන් වහන්සේලා දෙනමම දරන අතර භාරකාරත්වය දියවඩන නිලමේ දරති.

වර්තමානයේ මෙම වාම ශ්‍රී දළදා වහන්සේගේ භාරකාරත්වය හා ශ්‍රී දළදා මාලිගාවේ විහාරාධිපති ධූරය අතිගෞරවාහ¡ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහානායක මාහිමියන් වහන්සේ හා අතිගෞරවාර්හ උඩුගම ශ්‍රී සද්ධර්මකීර්ති ශ්‍රී ධම්මදස්සි රතනපාල බුද්ධරක්ඛිතාභිධාන අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමියන් වහන්සේ දරන අතර දළදා වහන්සේගේ ගිහි භාරකාරත්වය ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමෙතුමා විසින් දරමින් අසීමිත බුද්ධාලම්භන ප්‍රීතිය උපදවන අයුරින් දළදා වහන්සේට තුන්වේලේ රාජකීය මහා මුළුතැන් පූජා සහිත තේවාවන් හා දළදා පෙරහර ආදී මහා පුුද පෙළහර පවත්වමින් සකල ජනතාවට දළදා වහන්සේගේ ආශිර්වාදය ලබාදීමට කටයුතු සලසති.

ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]