UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

විදේශිකයන් දුටු මහනුවර ඇසළ සිරි

ආගම හා සංස්කෘතිය දේශයක අභ්‍යන්තර හැඩගැස්ම විදහාපාන කැඩපතක් බඳුය. සිරිත් විරිත් සමුදායක් මත ගොඩනැඟෙන සංස්කෘතිය සමාජයක ඉදිරි ගමනේ මාර්ගෝපදේශකය වේ. ක්‍රි.පූ. තෙවැනි සියවසින් පසු ශ්‍රී ලංකාද්වීපය තුළ බුදුසසුන පිහිටුවීමෙන් පසු බෞද්ධ සංස්කෘතියට අනුගතවන ප්‍රජාවට සිය චර්යා රටාවන් වර්ධනය කරගනු පිණිස මෙන්ම පූජෝපහාර පැවැත්වීම සඳහා ද බෞද්ධ පූජ්‍ය වස්තුන් බෞද්ධ සංස්කෘතිය හා ඒකාබද්ධ වීමක් දැකිය හැකිය.

මහාබෝධිය හා ශ්‍රී දළදා වහන්සේ එවැනි පූජ්‍ය වස්තුන් අතුරින් සුවිශේෂත්වයට පත්විය. අනුරාධපුර සමයේ දී මහාබෝධියට මෙන්ම ශ්‍රී දළදා වහන්සේට ද එක හා සමාන තත්ත්වයක් හිමි වුවද පොළොන්නරු යුගයෙන් පසු දළදා වහන්සේ රාජ්‍යත්වයේ උරුමයේ සංකේතයක් වීමත් පාලන කේන්ද්‍රස්ථාන වෙත වැඩම කරවීමට පහසුවීමත් නිසා දළදා වහන්සේ කෙරෙහි දක්වන ලද පූජ්‍යත්වය වඩාත් ඉස්මතුවීමක් දැක ගත හැකිය. එමෙන්ම ඒ සම්බන්ධිතව පවත්වනු ලැබූ පුද පූජාවන්හි කාලීන වෙනස් වීමක් ඇතිවිය. ශ්‍රී දළදා වහන්සේ වැඩම කළ තැන් පටන් වත්මන දක්වා මෙසේ දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ පූජාවන් අතර පෙරහර මංගල්‍යය ඉතා වැදගත්වන අතර දේශයේ මෙන්ම ජාතියේ අනන්‍යතාව මනාව ඉස්මතු කළ මංගල්‍යයක් ලෙසින් එය පැවැත්වීමට අතීතයේ සිට ක්‍රියා කළ බව දැකගත හැකිය.දේශීය සාහිත්‍ය මූලාශ්‍රවලින් මෙන්ම විදේශීය මූලාශ්‍රවලින් මේ බව ඉතා පැහැදිලිවේ. එනිසා විදේශීය මූලාශ්‍ර කිහිපයක් ඇසුරෙන් දළදාව හා මහනුවර ඇසළ පෙරහරේ අතීත තොරතුරු මතු කොට පෙන්වාදීමට මෙම ලිපියෙන් උත්සාහ කෙරේ.

මෙරටට මුල් කාලයේ සිට පැමිණි විදේශීය පිරිස් අතරින් ඇතැම්හු තමා අසා දැනගත් තොරතුරු මෙන්ම අත්විඳී අත්දැකීම් ලේඛනගත කිරීමටද අමතක නොකළහ. සමකාලීන ඉතිහාසය ගැන අධ්‍යයනයේ දී මෙලෙසින් තැබූ වාර්තා අගනා ඓතිහාසික මූලාශ්‍ර බවට පත්ව ඇත. අනුරාධපුර යුගයේ ලක්දිවට පැමිණි ෆාහියන් භික්ෂූන් වහන්සේගේ වාර්තාවලට මෙන්ම කන්ද උඩරට පිළිබඳ අධ්‍යයනයේ දී රොබට් නොක්ස් සහ ජෝන් ඩේවිගේ වාර්තාවලටද හිමිවනුයේ සුවිශේෂි තැනකි. තමා අත්විඳි දෑ සියැසින් දැක එලෙසින්ම වාර්තා කිරීම මෙම ලේඛකයන්ගේ සුවිශේෂත්වය වේ. ඒ නිසා එම වාර්තා ශ්‍රී ලාංකේය ඉතිහාසය අධ්‍යයනයේ දී වැඩි වැදගත්කමක් හිමි කරගෙන ඇත. තමන් නොදත් ඇතැම් කරුණු පරිවර්තකයන් ලවා තේරුම් කරවාගෙන එහි ගැබ්ව ඇති අරුත මනාව වටහා ගෙන රචනයට පිවිසීම මෙන්ම භාෂාව හා සංස්කෘතිය ගැන යම් අවබෝධයකින් වාර්තාකරණයට පිවිසීම නිසාද සමකාලීන ඉතිහාසය ලිවීමේදී බොහෝ ඉතිහාසඥයන්ට මේ වාර්තාවලින් ලැබෙන සහාය අපමණය. එමෙන්ම එක් පාර්ශ්වයකට සීමා නොවී සමාජයේ සෑම පැතිකඩක්ම තමා දුටු අයුරින්ම ඉදිරිපත් කිරීමට මෙම ලේඛකයන් බෙහෙවින් උනන්දුවීම නිසා සත්‍ය පුවත් මෙම වාර්තාවල අන්තර්ගතව ඇති බව පැහැදිලිය.

ෆාහියන් හිමිගේ වාර්තාව හා දළදා පෙරහර

දළදා වහන්සේ ශ්‍රී ලංකාවට වැඩම කළ මුල් අවධියේ පැවැති දළදා ප්‍රදර්ශනය හා පෙරහර ගැන දේශීය මූලාශ්‍රවලට වඩා වැඩි තොරතුරක් ලැබෙනුයේ චීන දේශ සංචාරක භික්ෂුවක් වූ ෆාහියන්  (Fa –Hsien) භික්ෂුව විසින් රචිත ඒ  A Record of Buddhist Kingdoms or the travels of Fa-hsien වාර්තාව ඇසුරෙනි. උන්වහන්සේගේ සඳහනට අනුව සිරිත් පරිදි දන්ත ධාතුන් වහන්සේ වසරේ තෙවැනි මස මැද දී ප්‍රදර්ශනය කරනු ලැබේ. ඊට දින දහයකට කලින් හස්තියකු හස්ත්‍යාභරණයෙන් සරසවා, රාජකීය සළු පිළියෙන් සරසවන ලද පුද්ගලයකු හස්තියා මත නංවා දළදා ප්‍රදර්ශනය ගැන ජනතාව දැනුම්වත් කරන බව උන්වහන්සේ දක්වති. එමෙන්ම දළදා ප්‍රදර්ශනයෙන් අනතුරුව දන්තධාතුන් වහන්සේ මන්දිරයෙන් පිටතට ගෙන ප්‍රධාන මාර්ගය දිගේ වැඩම කරවන බවත් එම මාර්ගයේ දෙපස බුදුරදුන්ගේ අතීත කතාපුවත් රැගත් ජාතක සිතුවම් පන්සියයක් පමණ ප්‍රදර්ශනය කරනු ලබන බවත් සඳහන්ය. එතැන් සිට අභයගිරි විහාරය දක්වා වැඩමවනු ලබන දළදා වහන්සේට මගදෙපස දී මහත් පූජාවන් ජනතාව විසින් පවත්වනු ලබන බව ද ෆාහියන් හිමියෝ දක්වති. මෙම විස්තරයට අනුව රජු මේ සඳහා සිය නායකත්වය දුන් අතරම “ පින් කැමැති සියල්ලෝම මං හා සම කෙරෙත්වා” යනුවෙන් රජු විසින් කරනු ලබන ප්‍රකාශය ද නිසා රට වැසි සියල්ලන්ම කිසිදු භේදයකින් තොරව ආගමික කාර්යයක්ය යන අදහසින් එක්තැන්ව කටයුතු කළ යුතුය යන ආදර්ශයක් ඒ මගින් ලබා දෙයි. ඒ අනුව මහාමංගල්‍යයක් ලෙසින් රට වැසි ගිහි පැවිදි සැම මෙම සද්්කාර්යයට එක්විය යුතුය යන අදහස පාලකයා ලබාදීමට උත්සාහ කළ බව පෙනේ.ජනතාව ද එපරිද්දෙන්ම ඊට අවනතව දළදා පූජාවන්ට සාමූහිකත්වයෙන් යුතුව සම්බන්ධ වූ බවක් පෙන්නුම් කෙරේ.

දහසය වැනි සියවසෙන් පසු ශ්‍රී ලංකාද්වීපයේ වෙරළබඩ ප්‍රදේශ ක්‍රමයෙන් අපරදිග ජාතීන්ගේ පාලනයට යටත් වීමෙන් පසු පෘතුගීසින් , ලන්දේසීන් මෙන්ම ඉංගී‍්‍රසි ජාතිකයන්ද මෙරට පාලනය කළ අතර 1815 උඩරට ගිවිසුමත් සමඟ ශ්‍රී ලංකාවේම පාලන බලය ඉංගී‍්‍රසිනට අත්පත් කරගත හැකි විය.මෙලෙසින් විදේශීය පාලනයක් පැවැති වකවානුව තුළ මහනුවර ඇසළ උත්සවය හා දළදා පෙරහර ගැන වැඩිමනත් විස්තර ලබාගත හැකිවනුයේ විදේශීය වාර්තා ඇසුරෙනි. ඒ අතරින් රොබට් නොක්ස් (Robert Knox) විසින් ලියනු ලැබූ An Historical Relation of The isand Ceylon කෘතියත් ජෝන් ඩේවි (John Devy) විසින් ලියන ලද An Account of interior of Ceylon and its Their inhabitants with Travels in that Island  වාර්තාවත් මෙහිදී ඉතා වැදගත්ය.

දෙවැනි රාජසිංහ රජු දවස සිරකරුවකු ලෙසින් කන්ද උඩරට විසූ නොක්ස් තමා ඇසූ දුටු සිංහල සමාජයේ විවිධ පැතිකඩ රැසක් ගැන සිය වාර්තාවේ දක්වා තිබේ. ඒ අතර ඔහු මහනුවර පවත්වනු ලැබූ ඇසළ පෙරහැර ගැන දක්වනු ලබන තොරතුරු ඉතා වැදගත්ය. ශ්‍රී දළදා වහන්සේ මුල්කොට එවකට පෙරහරක් මහනුවර පැවැති බව මෙම වාර්තාවෙන් නොදැක්වේ. නමුත් අනෙකුත් දේවාල හා දෙවියන් වෙනුවෙන් අඛණ්ඩව ඇසළ පෙරහර උත්කර්ෂවත් අයුරින් මහනුවරදී පවත්වනු ලැබු බව නොක්ස් කියයි. ඔහු මෙසේ ඒ පෙරහරේ ආරම්භය විස්තර කරයි. දෙවියන් වෙනුවෙන් පැවැත්වෙන විශිෂ්ටතම උත්සවය කන්දේ නුවර පැවැත්වෙන බවත් මීට මහනුවර ඇසළ පෙරහර යැයි කියන බවත් නොක්ස් සඳහන් කරයි.

රොබට් නොක්ස් දක්වන ඇසළ පෙරහර

මෙම පෙරහර සමයේ විශේෂයෙන් පිරිසුදු කරනු ලබන නගරයේ වීථී දෙපස සුළගින් ලෙළ දෙන ධජ පතාකාදිය යුක්ත බවත් රාත්‍රි කාලයේ වීථී ආලෝකයෙන් බබළන බවත් සඳහන්ය. මහමඟ ඉදිකළ නන්වන් සිරියෙන් යුත් තොරන් මල්කමින් ලියකමින් මොනවට සරසන ලද බවත් පවසන නොක්ස් පෙරහර සමයේ මහනුවර පරිසරය සූදානම් කරන අයුරු විස්තර කරයි.

පෙරහර පැවැති දිනවල පළමුවෙන් දේවාලයේ කපුරාළ අඩක් වැසීයන පරිද්දෙන් පට පිළියෙන් ඔතා මල්මාලාවලින් අලංකාර ලෙස සරසන ලද ලීයක් ගෙන පෙරහරේ ගමන් කරයි. ජනතාව ඊට වැඳ නමස්කාර කොට පූජා පවත්වනු ලබන බවත් පසුව කපුරාල මුඛවාඩමක් බැඳ දඬු කඩ කර ලා ගෙන, තමා දෙපස අලංකාර ලෙස සරසන ලද අලි ඇතුන් ගමන් කරද්දී, ස්වේත වර්ණයෙන් චමත්කාර ලෙස සරසන ලද හස්තියෙකු පිට නැගී, මහත් උත්සවශ්‍රීයෙන් යුතුව නගරයේ වීථි සංචාරය කරන බව නොක්ස් දක්වයි. එමෙන්ම සිය බඳ දෙපස එල්ලන ලද මිණිගෙඩි සහිත අලි ඇතුන් හතළිස් ගණනක් පෙරහැරේ ගමන් කරන බවත් පෙර සිටි යෝධයන් හා සමානව සැරැසීගත් යක් නළුවන් ගමන් කරන අයුරුත් බෙර දවුල් තම්මැට්ටම් සමුද්‍ර ඝෝෂාවට සමාන අයුරින් වාදනය කරනු ලබන බවත් සඳහන්ය. රංචුවක් ලෙසින් රඟන නැට්ටුවන්ගෙන් පෙරහර සමන්විත වන අතර විහාර දේවාලවල තේවා කරන කුලවලින් පැමිණි කාන්තාවෝ කළගෙඩි සෙල්ලමේ යෙදෙති. ස්ත්‍රීන්හට නියම වන ක්‍රීඩාවන්හි ඔවුනොවුන් එකිනෙකාගේ අත් අල්ලා ගනිමින් ක්‍රීඩා කරන අයුරු නොක්ස් සිය වාර්තාව තුළ දක්වයි.

ඉන් අනතුරුව අතුමත හිඳගත් කපුවෝ දෙදෙනෙක් පෙරහරේ ගමන් කරති.මොවුන් අතුරින් පෙර කී කපුවා අලුත් නුවර කපුවා වන බවත් අනෙක් කපුවා වනාහි එම දෙවියනට සේසත දරන්නා බවත් කියයි. අලුත් නුවර දෙවියන් වනාහි අහස පොළොව මැවූ දෙවියා ලෙසින් විශ්වාස කරන බව නොක්ස් සිය කෘතියේ දක්වයි.

මීළඟට පෙරහරේ පෙළ ගැස්මේ ප්‍රධාන අංගය වනුයේ කපුවන් දෙදෙනකු පිට තබා ගෙන පෙළට ඇතුන් දෙදෙනකු ගමන් කිරීමය. මෙම දෙදෙනාගෙන් කෙනෙක් කතරගම දෙවියන් වෙනුවෙන් හා අනෙක් තැනැත්තා පත්තිනි දේවිය වෙනුවෙන් පෙනී සිටිති. දේවාල කිහිපයකට අයත් දෙවිවරුන් වෙනුවෙන් ඔවුන්ගේ නියෝජිතයින් ලෙසින් කපුවෝ පෙරහරේ ගමන් කරති. මල් බඳුන් දැරූ ස්ත්‍රීන් මීළඟට එහි ගමන් කරන බවත් දෙවියන් වෙනුවෙන් ගමන් කරන පිරිසට අමතරව දෙවියන්ගේ මෙහෙකරුවන් ලෙසින් සැලකෙන රට වැසි වංශාධිපති ස්ත්‍රී පුරුෂයන් දෙදෙනා බැගින් එක්ව අත්වැල් බැඳ ඉතා අගනා වස්ත්‍රාභරණයෙන් සැරසී මහේශාක්‍ය ලීලාවෙන් ගමන් ගන්නා බවත් සඳහන්ය. මෙම කන්දේනුවර පෙරහර ලංකාද්වීපයේ ඇති සකල ශ්‍රී විභූ®තියක්ම රටේ අගනුවරට එක් රැස්කරනු ලබන සිදුවීමක් බව නොක්ස් දක්වයි.

මෙසේ මහ පෙරහර විථීයේ ගමන් ගත් ඉක්බිති රජු විසින් මෙහෙයවනු ලැබු සෙන්පතියෝ ස්වකීය හේවා භටයන් ද සමගින් පෙරහර පසු පසින් ගමන් කරති. පූර්වයේ දී මහරජතුමා සිය සෙනෙවියන් පිරිවරා මෙම පෙරහර පසු පසින් අසුපිට නැගී ගමන් කළ නමුදු දැන් මහ රජු ඊට වැඩි කැමැත්තක් නොදක්වන බව ද ඔහු පෙන්වයි.

මෙම පෙරහර දිවා කාලයේ එක් වරක් ද රාත්‍රි‍්‍ර කාලයේ තවත් වාරයක් ද යනුවෙන් දෙවරක්ම නගරය ප්‍රදක්ෂිණා කරන අතර අමාවක් දා පටන් පුර පසළොස්වක දා දක්වා සකල උත්සව ශ්‍රී විභූතියෙන් යුක්තව පවත්නා බවත් නොක්ස් කියයි.

පෙරහර උත්සවය සමයේ දේවාල කෝවිල් කරා පැමිණ ස්තෝත්‍ර පවත්වන්නා වූ ද නැටුම් ගැයුම් බලා පී‍්‍රති ප්‍රමෝදයට පත්වන්නා වූ ද නා නා විධ ජනතාවගෙන් සමස්ත නගරය අතුරු සිදුරු නැතිව පිරී යන බව නොක්ස් පෙන්වා දෙයි.

දිය කැපීම ගැන මෙසේ ඔහු විස්තර කරයි. පුරපසළොස්වකට දෙතුන් දවසක් තබා ඒ ඒ දේවාලවල දෙවියන් වැඩමවන රන්දෝලි සරසා එක් එක් දෙවියන් හට අයත් ආයුධ හා ආභරණ ඒවායේ තබා රිදී කළයක් ගෙන ගංගා තීරයට සඳපානේ ගමන් කොට දිය කපා, එම රිදී කළයට පැන් පුරවා ගෙනපෙරළා දේවාලයට එති. එම පැන් කළය ඊළඟ වර්ෂයේ උත්සවය පැවැත්වෙන තුරු ඒ ඒ දේවාලවල සුරැකිව තබනු ලැබේ. ඇසළ උත්සවය ද මෙතෙකින් සමාප්ත වෙන බව නොක්ස් සඳහන් කරයි.

ඉතිරි කොටස අගෝස්තු 09 වනදා පත්‍රයේ

 

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]