UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මේ වස්සාන කාලයයි

හේමන්ත, ගිම්හාන හා වස්සාන යනුවෙන් සෘතු තුනකි. මින් නොවැම්බර් මස මුල පටන් පෙබරවාරි මස අග දක්වා ඇති සාර මාසය හේමන්ත සෘතුව ලෙසත් මාර්තු මස මුල පටන් ජුනි මස අග දක්වා ඇති සාර මාසය ගිම්හාන සෘතුව ලෙසත් පිළිගැනෙන අතර ජුලි මස මුල පටන් ඔක්තෝබර් මස අග දක්වා ඇති සාර මාසය වස්සාන සෘතුව වශයෙනුත් සැලකේ.

2012 වසරේ අධි මාස පතනයක් යෙදීමේ හේතුවෙන් වස් විසීමේ, සමාදන්වීමේ කාලය මේ වසරේ වෙනස් බවට පැමිණේ. ඒ අනුව 2012 නිකිණි පුර පසළොස්වක් පොහොය දින උපසම්පදා භික්ෂූන් අදාළ පොහොය සීමා මාලකයේ දී පොහොය කොට, ඊට පසු දින පෙර වස් සමාදන් විය යුතුය. මෙදින පෙරවස් සමාදන්වීමට අපොහොසත් වන භික්ෂූන් වහන්සේ බිනර පුර පසළොස්වක් පොහොය දින පොහොය කොට, ඊට පසු දින පසු වස් සමාදන් විය යුතුය.

මේ අනුව මේ වසරේ පෙරවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ 2012 ඉල් පුර පසළොස්වක පොහෝ දින පෙරවස් පවාරණය කළ යුතු අතර පසුවස් සමාදන් වූ භික්ෂූන් වහන්සේ උඳුවප් පුර පසළොස්වක් පොහෝ දින පසුවස් පවාරණය කළ යුතු වන්නේය.

වස්සාන සෘතුව පුරා එක දිගට වැසි හට ගනියි. එය එක් අතකින් සත්ව ප්‍රජාවට යහපත් කාල පරිච්ඡේදයක් වනවාක් මෙන් ම අනෙක් අතින් කරදරකාරී වකවානුවක් ද වේ. විවිධ පක්ෂීහු මෙන් ම සිවුපාවෝද මේ කාලය තුළ තම ලැගුම් හල් තුළට වී කල් යවති. ජනතාව තම ගමන් බිමන් පවා අඩු කරති. නමුත් භික්ෂූන් වහන්සේ ධාරාණිපාත වැසි නොතකා එකල දහම් චාරිකාවෙහි හැසිරුණාහ. ගෙපිළිවෙළින් පිඬු සිඟා වැඩියහ.මේ හේතුවෙන් වැස්සට මැනවින් වැඩෙන නිල් තණ භික්ෂූන් අතින් පෑගී පොඩි විය. කෘමි සතුන් ද එලෙස ම පෑගී විනාශ විය. වැස්සට තෙමුන භික්ෂූන් මඩ දිය පාරේ මෙන් ම නියරේ ද වැඩම කිරීම නිසා ඇඟ මඩ තැවැරිණ. ලිස්සා වැටීමෙන් සමහර විටෙක පොරවන සිවුරුවලද මඩ තැවැරිණ. මේ සිද්ධි දකින්නට ලැබෙන බොහෝ මිනිස්සු භික්ෂූන්ට චෝදනා කරන්නට වූහ.

මේ මහජන චෝදනා පිළිබඳ බුදුරජාණන් වහන්සේට ද අසන්නට ලැබුණි. උන්වහන්සේ බොහෝ විට ලෝකාපවාදය දුරු කිරීම පිණිස ශික්ෂා පද පැනවූහ. ඒ අනුව භික්ෂූන් රැස් කරවා කරුණු අවබෝධ කොට දී ලෝකාපවාදය දුරලනු සඳහාත් භික්ෂූන් වහන්සේගේ පහසු විහරණය පිණිසත් වස් විසීමට කරුණු දේශනා කළහ. එසේ වස් විසූ විට ශ්‍රද්ධාවන්ත දායක දායිකාවන්ට පින් සිද්ධ කර ගැනීමට හැකිවන බවත් දෙසූහ.

“ අනුජානාමි භික්ඛවේ වස්සානේ වස්සං උපගන්තුං” මහණෙනි, වස්සානයෙහි වස් එළඹීමට අනු දනිමි යන ශික්ෂා පදය පැනවූහ. වස් එළඹීම් දෙකකි. ඒ පෙර වස් විසීම හා පසු වස් විසීම යනුවෙනි. පෙර වස් එළඹීම කළ යුත්තේ ඇසළ මස පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. එනම් අව පෑලවිය දිනයි. යම්කිසි කරදරයක් හේතුවෙන් පෙර වස් එළැඹීමට නොහැකි වූ භික්ෂු නමක් පසු වස් සමාදන් විය යුතුය. එය කළ යුත්තේ නිකිණි මස පුර පසළොස්වක් පොහෝ දිනට පසු දිනයි. එනම් අව පෑලවිය දිනයි. යම් උපසම්පදා භික්ෂූන් වහන්සේ නමක් තම නියමිත දින වස් නොඑළැඹියහොත් දුක්කටා පත්ති ඇවැත් සිදුවේ. එහෙයින් උපසම්පදා භික්ෂූන්ට වස් විසීමට ආරාධනා කළත් නොකළත් අනිවාර්යයෙන් ම වස් එළැඹීම සිදු කළ යුතුªවේ.

වස් සමය ගිහි පැවිදි සබඳතා තර කෙරෙන කාල වකවානුවක් වශයෙන් හැඳින්විය හැකිය. විහාරස්ථාන සතර පේරුවේ දායක කාරකාදීහු පොහොය දින විහාරස්ථානයට රැස්වී දැහැත් වට්ටියක් පිළිගන්වා මේ තුන්මාසය වස් වාසය කරන ලෙස ආරාධනා කරති. එම ආරාධනාව පිළිගන්නා උපසපන් භික්ෂූන් වහන්සේ නියමිත දිනය සංඝ විනය කර්ම කොට වස් එළැඹෙති. අනතුරුව ස්වකීය විහාරස්ථානයේ වැඩ වෙසෙමින් බණ භාවනාදිය කෙරෙහි වැඩි අවධානයක් යොමු කරති. ඒ තුන් මාසයත්, චීවර මාසයත් යන සාර මාසය තුළ දායක දායිකාවන්ට නිතර ධර්ම දේශනා කරති. දායක දායිකාවෝ ද අනෙක් කටයුතුවලට වඩා උනන්දුවකින් හා කැපවීමකින් භික්ෂූන් වහන්සේට සලකති. සුවදුක් සොයා බලති. චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසයෙන් උපස්ථාන කරති. එහෙයින් වස් සමය ගිහි, පැවිදි දෙපාර්ශ්වයම පින් දහම්හි නියැළෙන පින්බර කාල පරිච්ඡේදයක් හැටියට සැලකිය හැකිය.

බුදුරජාණන් වහන්සේ ධරමාන කාලයෙහි භික්ෂූන්ට වස් එළැඹීමට නියමිත තැනක් නොවීය. ඒ හේතුවෙන් භික්ෂූන් වහන්සේ විශාල ගස් බෙනවල, ගස් දෙබල්වල සහ විශාල ගස් යට, වස් සමාදන් වූහ. එබඳු ස්ථාන වස් විසීමට සුදුසු නොවන හෙයින් මහජනයා භික්ෂූන්ට දෝෂාරෝපණය කළහ. ඒ ඇසූ බුදුරජාණන් වහන්සේ එබඳු ස්ථානවල වස් විසීම තහනම් කොට වදාළහ. විහාරාරාම, ගුහා, කුටි යනාදී යෝග්‍ය ස්ථාන වස් එළැඹීම සඳහා තෝරා ගන්නා ලෙස අනුදැන වදාළහ. එකී ස්ථානවල වස් එළැඹුණ නමුත් සිවුපා සතුන්ගෙන්, සර්පයන්ගෙන්, සොරුන්ගෙන්, ගින්නෙන් හා ජලයෙන් යම් හානියක් සිදුවන්නේ නම් එකී ස්ථාන අතහැර යෑමට අවසර තිබේ. එමගින් වස් බිඳීමක් හෝ කඩවීමක් සිදු නොවේ.

‘ සත්තාහකරණයෙන්’ යෑමට ද වස් විසූ භික්ෂූන් වහන්සේට අවසර තිබේ. එමගින් ඇවැතක් සිදු නොවේ. සත්තාහකරණය යනු වස් එළැඹී භික්ෂූ නමක් හදිසි අවස්ථාවක දී හෝ අත්‍යවශ්‍ය කටයුත්ත කදී හෝ ‘සත්වැනි රාත්‍රිය ඉක්මීමට පෙර එන්නෙමි’ යි පිටත්ව යෑමයි. ඒ අනුව සත්වෙනි රාත්‍රියට පෙර නැවත ආරාමයට පැමිණීම කළ යුතුය. එහෙයින් වස් නොබිඳේ. සත්තාහකරණයෙන් යා හැකි අවස්ථා රාශියක් ම මහා වග්ග පාලියේ ‘ වස්සුපනායික්ඛන්ධකයේ’ දැක්වේ.

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ වැඩ සිටිය දී එහි පැමිණෙමින් සිටි භික්ෂූන් වහන්සේ තිස් නමක් අතරමඟදී සාකේත නුවර වස් විසූහ. වස් අවසානයේ යළි පැමිණෙමින් සිටිය දී ධාරාණිපාත වර්ෂාවකට හසු වන්නට සිදුවිය. සිවුරු තෙමී ඇඟ මඩ ගෑවී සීතලෙන් මැඩුණ ද ගමන නොනවත්වා ජේතවනාරාමයට පැමිණි උන්වහන්සේ තමන් සතුව අතිරේක සිවුරක් නොතිබු බැවින් මෙම මහත්වූ විපතට පත් වූ බැව් බුදුරජාණන් වහන්සේ හමුවේ පවසා සිටියහ. ඒ අනුව ‘ අනුජානාමි භික්ඛවේ වස්සං උත්ථනං භික්ඛුනං කඨිනං අත්ථරිතුං’ මහණෙනි, වස් වැස නිම කළ භික්ෂූන්ගේ පහසුව සඳහා කඨිනයක් අනුදනිමියි ‘ කඨින චීවර’ පූජාව අනුදැන වදාළහ.

කඨින යනු ස්ථිර යන්නයි. අකම්පස යන්නයි. මහ පොළොව මෙන් මහමේරු පර්වතය මෙන් ඒක ඝන වජ්‍ර පර්වතයක් මෙන් කඨිනය ස්ථිරසාර වේ. කඨින පූජාවෙන් ලැබෙන ආනිසංස ද මහත් සේ බලවත් වේ. කඨිනය යන්න භාවිත කෙරෙන්නේ මේ අරුත අනුවය.

ලොව ඇති ඉතා උසස් කුසල කර්ම අටක් පිළිබඳ ව බුදුදහමේ ඉගැන්වේ. කඨින පූජාව, අටපිරිකර පූජාව, ආවාස පූජාව, බුදු පාමොක් සංඝගත දක්ෂිණ පූජාව, බණ පොත් ලියවා හෝ මිලට ගෙන පූජා කිරීම, බුද්ධ ප්‍රතිමා කරවීම, කෙත්වතු පූජාව හා වැසිකිළි කැසිකිළි කරවීම යනුවෙන් වන මෙම අට මහා කුසල් සිදු කිරීමෙන් විශේෂ ආනිසංස ලැබෙන බැව්ද කියැවේ. ඒ අතරින් කඨින පූජාවට හිමිවන්නේ ශ්‍රේෂ්ඨ ස්ථානයකි. ඕනෑම පින්කමක් තමන්ට කැමැති වේලාවක සිදු කළ හැකි නමුත් කඨින පූජා පින්කම කළ හැක්කේ වසරකට එක් වරක් පමණි. පෙර වස් විසූ, වස් ආරක්ෂා කරගත් අනතුරුව මහපවාරණයෙන් වස් පවාරණය කළ භික්ෂූන් වැඩ වෙසෙන ස්ථානයක පමණි මේ පින්කම සිදුකළ හැක්කේ. ඒ සඳහා ද පස් නමකට නොඅඩු භික්ෂූන් වහන්සේ සිටිය යුතුය.

විහාරස්ථානයක නම් සතර පේරුවේ දායක දායිකාවෝ එකතු වී කඨින චීවරය සඳහා සුදුසු වස්ත්‍රයක් සකස් කර ගනිති. එය චීවර මාසය තුළ එක් දිනයක දී අලුයම මහත් වූ පූජා සත්කාර ගරු සම්මාන පෙරහරකින් වැඩමවා ගෙනැවිත් ‘ ඉමං කඨින දුස්සං සංඝස්ස දේම’ යන වාක්‍යයෙන් තෙවරක් කියා මහා සංඝරත්නයට පූජා කරති.

කඨින වස්ත්‍රය නොඉරුණු, නොකිලිටි සහ තුන් සිවුරෙන් එක් සිවුරකට ප්‍රමාණ වන පරිදි තිබිය යුතුය. කඨින වස්ත්‍රය භාර ගන්නා සංඝරත්නය එදින ම සේදීම, කඩ බෙදීම, කඩ කැපීම, එක්කොට මැසීම, පඬු පෙවීම හා කප් බින්දු තැබීම යනාදී කරුණු සතක් ම එකම දවසේ සිදු කරති. එකී පූජා වස්ත්‍ර සිවුරක් කිරීමෙන් අනතුරුව එම චීවරය එම ස්ථානයේ වස්විසූ භික්ෂූන් අතුරෙන් සුදුසුකම් ලත් භික්ෂූන් වහන්සේ නමකට සංඝ සීමාවක් තුළ දී සම්මතයෙන් කර්ම වාක්‍යයක් කියා පවරති.

කඨින චීවර පූජාව සිදු කරන පාර්ශ්වයට පමණක් නොව එය ලබන භික්ෂූන් වහන්සේටත් විශේෂ ආනිසංස ලැබේ. මෙම චීවරය නිසා භික්ෂූන් වහන්සේට සිදුවන වරද පහක් දුරුවන අතර අසමාදානචාරය, ගණ භෝජනය, යාවත්ත චීවරය හා තත්ථ චීවරුප්පාදාය ආදී ආනිසංස පහක් ලැබෙන බැව් මහා වග්ග පාලියෙහි කඨිනක්ඛන්ධකය පැහැදිලි කරයි.

ඊට අමතරව අපදාන පාලියේ නාගිතාපදානයේ දැක්වෙන අන්දමට කුසල් සිත් පෙරටුව කඨින චීවරය මැසීමෙන් ඒ මැසු ඉදිකටු පාරක් පාරක් පාසා උදාරතර චක්‍රවර්ති රාජ්‍ය ලැබෙන අතර භවයක් භවයක් පාසා ප්‍රාදේශීය රාජ්‍ය පදවිවලට හිමිකම් කීමේ හැකියාව ලැබේ.

ලක්දිව රජ පැමිණි රාජමහාමාත්‍යාදී පිරිස ඉතා උත්කර්ෂවත් අයුරින් කඨින පූජා පින්කම් සංවිධානය කළ බැව් ඉතිහාසගත කරුණුවලින් අනාවරණය වේ. ලජ්ජිතිස්ස, අග්‍රබෝධි, සේන, පණ්ඩිත පරාක්‍රමබාහු ආදී නරපතීන් ඒ අතුරින් මුල් පෙළෙහි ලා සැලකිය හැකිය. සමාජ බලවේග හමුවේ වර්තමානයේ දුරස් වී ඇති ගමේත්, පන්සලේත් සම්බන්ධතාව යළි ගොඩනැංවීම සඳහා කඨින පින්කම තුළින් කළ හැකි මෙහෙවර අතිවිශාලය. ඒ සඳහා උත්සුක වීමට මේ එළැඹෙන වස් සමය වටිනා උදාරතර කාල පරිච්ඡේදයකි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]