UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ධම්මපදට්ඨ කථාවෙන් 03

මහා මසුරෙකු පිසාවයකු වූ හැටි

බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුන් සමග පිඬු සිඟා වඩිමින් යන කල කසළ ගොඩෙහි වැටී සිටි මේ පිසාචයා දෙස නෙත් හෙළූහ. ආනන්ද හිමියන් ඒ පිළිබඳ විමසා සිටි කල්හි බුදුහිමියෝ මේ පිසාචයාගේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර වදාළහ. තෙරණුවෝ චූලසිරි සිටුවරයා එතැනට කැඳවා මේ ඔබගේ පියා බව පැහැදිලි කර දුන්හ. ඔහු එය නො ඇදහීය. එවිට බුදුරජාණන් වහන්සේ පිසාචයා අමතා, ආනන්ද සිටුවරයා, ඔබ සතුව පෙර බවයෙහි පැවැති පංච මහා නිදාන පෙන්වා තමා පියා බව තහවුරු කරන්නැයි වදාළහ

සැවැත් නුවරට ආසන්නයෙහි එක්තරා නගරයෙක ආනන්ද නම් මහා සිටුවරයෙක් වාසය කළේය. සිටුවරයා යනු නගරයේ මහා ධනවතාය. වෙනත් සිටුවරුන්ට මෙන්ම මොහුට ද සතළිස් කෝටියක මහා රන් නිධානයක් මොහු සතුවීය. සකල සම්පතින්ද ආඪ්‍ය විය. එහෙත් ඔහුගේ ධනයටත් වඩා මසුරු බව සුවිශාල විය. ඉපයීම විනා අංශුවක් හෝ වැය කරන්නට ඔහුට කිසිදා සිත් නොදුන්නේය. තමාගේ පරිභෝගයට පවා මේ ධනය භාවිත නොකළේය. මසුරු බව නිසාම ඉතා දුකසේ ජීවිකාව කරගෙන ගියේය.

මෙම මසුරු සිටාණන්ට චූලසිරි නම් පුතෙක් විය. ආනන්ද සිටුවරයා අඩමසින් අඩමස කළේ සිය නෑයන් රැස් කරවා ඒ මධ්‍යයෙහි තම පුතු වාඩිකරවා ධනය උපයන ආකාරය කියා දීමයි. කිසිවක් වැය නොකළ යුතු බවට ද ඔහු අවවාද කළේය. සතළිස් කෝටිය විශාල ධනයක් සේ නොසැලකිය යුතු බවත් එයට එක් එක් කහවණුවක් හෝ එකතු කරන්නට වෑයම් කළ යුතු බවට ද කියා සිටියේය. එක් කහවණුවක් හෝ වියදම් කිරීමෙන් ධන හානිය වන අයුරු කියා දුන්නේය. එබැවින් වේයන් තුඹස් බදින්නා සේ ධනය රැස් කළ යුතු බවට ද අනුශාසනා කළේය.

මෙසේ මහා මසුරෙකුව ජීවත්ව තමා සතු පංච මහා නිධානයන් ද පුතුට නොපෙන්වා මසුරු මලයෙන් ම මිය ගොස් සැවැත්නුවර සමීපයෙහි ම සැඬොල් පවුල් දහසක් ඇති වාසල් ගමෙක එක් සැඬොලියකගේ කුසෙහි ඉපදිණි. මසුරු පියාගේ වියෝව ගැන ඇසූ රජතුමා චූලිසිරි පුතු ගෙන්වා ඔහුට සිටු තනතුරු ප්‍රදානය කළේය. පියාගේ ඔවදන් ම මනාව පිළිපැදි චූලසිරි ද ඉසුරු නොවිඳ මහා මසුරෙකු ලෙසින් ඉපයීමම කරමින් ජීවත් විය.

සැෙ¾ඩාලියකගේ කුසෙහි මෙම මසුරු සිටු පිළිසිඳ ගැනීමෙන් පසු මෙම පවුල් දහසටම කිසිදු බැල මෙහෙවරක් කරන්නට නොලැබුණි. යැපෙන්නට පුතණුවන් බත් පිඬක් සොයා ගැනීම පවා අසීරු විය. සියලු බැලයෝ එක තැනකට රැස්ව තමන් අතරෙහි කිසියම් කාලකණ්ණියෙකු බිහිව ඇතැයි කතිකා කළහ. ඔවුහු කාලකණ්ණි සොයන්නට පරීක්‍ෂණයක් ආරම්භ කළහ. සියල්ලෝම දෙකොටසකට බෙදුනහ. ඒ බෙදුණු අය අතර මෙහෙකාරකම් නොලැබෙන කොටස යළිත් දෙකොටසකට බෙදුනහ. ඒ කණ්ඩායම් අතරත් මෙහෙකාරකම නොලබන අය වෙන් කළහ. මෙසේ කණ්ඩායම් ගැසී දෙදෙනෙක් වන තුරුම මෙහෙකාර කම් නොලබන අය ලෙස තේරූහ. අවසානයට මසුරු සිටාණන් පිළිසිඳගත් සැඬොල් මව පමණක් ඉතිරි වූහ. ඇගේ කුසෙහි කාලකණ්ණියා පිළිසිඳ ගත් බව දැන ගත් සියලු සැඬොලන් එකතුව මේ මව තම ගමෙන් නෙරපා හැරියෝය. එදා සිට යැපීම් පමණම ආහාර කිසිවක් නොලද මේ මව ඉතා දුකසේ මහ මග ගත කරමින් පැමිණ අවසන පුතු බිහි කළාය.

මසුරු බවේ ආදීන මොනවට පසක් කරවමින් මේ ඉපදුණු පුතාගේ සියලු අවයව විකලාංග විය. ඔහුගේ අත් පා කන්, නාසා, ඇස්, මුඛ ආදි සියල්ල විකෘතිව පිහිටියේය. දැකීමට පවා පිළිකුල් විය. පාංශුපිශාචයෙකු සේ අතිශයින්ම විරූපි විය. එහෙත් මවට මෙම පිසාචයා අත්හැරිය නොහැකි විය. මවගේ දරු සෙනෙහස බලවත් බැවිණි. එහෙත් මේ දරුවා රැගෙන බැල මෙහෙවරෙහි හෝ යෙදෙන්නට ඇයට නොහැකි විය. මේ දරුවා රැගෙන සිගමන් යදින්නට නොහැකි විය.මේ විරූපියා දකින දකින අය අනෙකක් බලා ගන්නා බැවිනි.

අවසානයේ මවට සිදුවූයේ මේ විරූපියා අතර මඟ රඳවා සිඟමන් යදින්නටය. එවිට මවට සිඟමන් ලැබෙයි. බැලමෙහෙවර ලැබෙයි එයින් ලැබෙන අහරක් රැගෙන ගොස් පුතා පෝෂණය කරන්නට මවට සිදුවිය. මේ අම්මා ඉන් පසු කළේ තම පුතා සඟවා තමා තනියම ගොස් ජීවත්වීමට යමක් උපයා ගැනීමයි. පුතු සමඟ යාමෙන් තමන්ටද මියැදෙන්නට වන බව මේ මව තේරුම් ගත්තාය. ඇතැම් පව්කාර පුතුන් ලැබීමෙන් ඔවුන්ට ද එම කර්මය ගෙවන්නට සිදු වන අයුරු මේ මවගෙන් ඉතා හොඳින්ම පසක් විය.

අවසානයේ මව කළේ තම විරූපි පුතු ලොකු මහත් වූ පසු කබලක් අත දී, ඔබ මෙතෙක් කල් දුකසේ පෝෂණය කළ බවත්, ඒ සඳහා අපමණ දුක් වේදනා විඳි බවත්, තවදුරටත් ඔබ පෝෂණය කිරීම අපහසු බවත් පවසා තනියම සිඟමනේ ගොස් ජීවත් වේව’ යි පිටත් කළේය. මෙම විරූපියා අහර සොයා ගෙයින්ගෙට යන්නේ කිසිදු අහරක් නොලබා අවසානයේ පෙර ජාතියේ තමන්ගේම නිවසට ගොඩ වැදුණේය. තම පුතු චූලසිරි සිටුවරයා දුටු කෙණෙහිම මෙම විරූපියා කෑ ගසා අඬන්නට විය. එය දුටු චූලසිරි සිටුවරයා මහත් සේ බියට පත්ව කාලකණ්ණියෙකු නිවසට වැදුණැයි මෙහෙකරුවන් ලවා තලා පෙළා ඇද ගෙන ගොස් කසළ ගොඩකට දැම්මවීය. ඔහුට හිමි නිසි තැන තම නිවසින්ම ලැබුණි.

බුදුරජාණන් වහන්සේ ආනන්ද තෙරුණ් සමග පිඬු සිඟා වඩිමින් යන කල කසළ ගොඩෙහි වැටී සිටි මේ පිසාචයා දෙස නෙත් හෙළූහ. ආනන්ද හිමියන් ඒ පිළිබඳ විමසා සිටි කල්හි බුදුහිමියෝ මේ පිසාචයාගේ අතීත ප්‍රවෘත්තිය ගෙනහැර වදාළහ. තෙරණුවෝ චූලසිරි සිටුවරයා එතැනට කැඳවා මේ ඔබගේ පියා බව පැහැදිලි කර දුන්හ. ඔහු එය නොඇදහීය. එවිට බුදුරජාණන් වහන්සේ පිසාචයා අමතා, ආනන්ද සිටුවරයා, ඔබ සතුව පෙර බවයෙහි පැවැති පංච මහා නිදාන පෙන්වා තමා පියා බව තහවුරු කරන්නැයි වදාළහ. තමන්ගේ ධනය නිධන් කොට ඇති තැන් පෙන්වූ පසු මේ පිසාචයා තම පියා බව පිළිගත් චූලසිරි සිටුවරයා බුදුන් සරණ ගොස් තම පියාට පිහිට වෙමින් බොහෝ කුසල් රැස් කර ගත්තේය. තමන්ගේ මසුරුමලද මුළුමනින් ම දුරුකර ගත්තේය. බුදුහිමියෝ මේ නිමිතිකර අඥානයා තමාට ධනට ඇතැයි ද දරුවන් ඇතැයිද වෙහෙසෙතත් තමාට තමාවත් නැති කල දරුවන් හෝ ධනයෙන් ඇති ඵලයක් නොවන බව වදාළහ.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 01 වන දා බදාදා පූර්ව භාග 11.02 ට ලබයි.
02 වනදා බ්‍රහස්පතින්දා පූර්ව භාග 09.01 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 01 වන දා බදාදාය.

මීළඟ පෝය
අගෝස්තු 09 වන දා බ්‍රහස්පතින්දා ය
.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 01

Second Quarterඅව අටවක

අගෝස්තු 09

New Moonඅමාවක

අගෝස්තු 17

First Quarterපුර අටවක

අගෝස්තු 24


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]