UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ප්‍රශ්නය - අනුරාධපුර ශිෂ්ටාචාරයේ සිට ආගමික සංස්කෘතික සමාජික හා භාෂා සාහිත්‍ය ආදි විවිධ ක්‍ෂෙත්‍ර පුරා විහිදී ගිය යුගල සම්ප්‍රදායයන් ඔස්සේ (මහාවිහාර –අභයගරි) ශ්‍රී ලාංකික භික්‍ෂුව පෙර ගමන්කරුවා බවට පත්විය. ඒ නිසාම උන්වහන්සේ සිංහල භික්‍ෂුව බවට පත්විය. මෙම ප්‍රස්තුතය පිළිබඳ ව විවරණයක් කරන්න.

පිළිතුර – ශ්‍රී ලංකාවාසි භික්‍ෂු පරපුර මිහිඳු මාහිමියන් වෙතින් ආරම්භ වූ සියවස් ගණනාවක් තුළ විකාශනය වී ඇත්තේ ඉපැරැණි දඹදිව භික්‍ෂු පරපුරෙන් වෙන්ව සෑම අතින් අනන්‍යතාවක් ඇති කර ගනිමිනි. මිහිඳු මාහිමියන් විසින් ආරම්භ කරන ලද කේන්ද්‍රීය භික්ෂූ ආයතනය මහාවිහාරයයි. එය රාජකීය සමාජය ස්පර්ශ කරමින් නාගරික බවක් ආරම්භයේ දී දක්නට ලැබුණි. එම නාගරික සමාජයේම අනෙක් පාර්ශ්වය නියෝජනය කරනු ලැබුවේ අභයගිරි නිකායිකයින් ය. මෙසේ ශ්‍රී ලාංකික භික්‍ෂු පරපුර සියවස් තුනකට පසුව උභය පාර්ශ්වයක් ස්ථානගත වීම තාර්කික බෙදීමක් වශයෙන් දුර ගමනක් යාමට පෙරහුරුවකි.

1.ථෙරවාදි බලපෑමෙන් මහා විහාර භික්‍ෂු පාර්ශ්වය
2.මහායානික බලපෑමෙන් අභයගිරි භික්‍ෂු පාර්ශ්වය

මෙම උභය පාර්ශ්වය මහාවිහාරීය කොටස පැරැණිතම දඹදිව න්‍යායික සම්ප්‍රදාය ගරු කළ අතර දෙවන අභයගිරික කොටස පශ්චාත් ඉන්දීය සම්ප්‍රදායයන් ඔස්සේ ප්‍රායෝගික අංශයට නැඹුරුවක් දක්නට ලැබුණි.

අනුරාධපුර ආරම්භක යුගයේ මහා විහාර සම්ප්‍රදායේ උන්නතියත් පොළොන්නරු කාලය වන විට දෙවන පාර්ශ්වය වූ අභයගිරි සම්ප්‍රදාය ව්‍යාප්තිය සිදුවූ බවත් පැහැදිලි වෙයි.මේ යුගය වඩාත් කැපී පෙනෙන්නේ භික්‍ෂූ විනය ප්‍රඥප්ති ඇතුළත් පොළොන්නරු කතිකාවත ඇතිකිරීම සහ භික්ෂු නායකත්වය සඳහා මහාසාමි පදවිය ඇතිවීමයි. මෙම අවධිය තුළ ආගමික හා සමාජයීය ප්‍රවණතාවන් හැඳින්විය හැක්කේ ථෙරවාද හා මහායාන ප්‍රභේදයක් ලෙස නොව,

1. ග්‍රාමවාසි භික්‍ෂු සංයුතිය
2. වනවාසී භික්‍ෂු සංයුතිය

යනුවෙනි. මෙම අංශ දෙකම නියෝජනය වන පරිදි “මහාසාමි” පදවිය දක්වා වර්ධනය වූ බව දක්නට ලැබෙයි. මහනුවර යුගයෙහි දී සිල්වත් සමාගම කේන්ද්‍ර කරගනිමින් ඇති කළ සංඝ සමූහයේ ප්‍රතිසංස්කරණ මගින් යළිත් උපසම්පදාව පිහිටුවා සංඝ රාජ පදවියට වැලිවිට පිණ්ඩපාතික අසරණ සරණ සංඝරාජ හිමියන් පත්වීමත් සිදුවිය. මෙසේ විකාශය වූ භික්‍ෂූ පරපුරේ අවසාන යුගය හැඳින්විය යුත්තේ ආරම්භක ශ්‍රී‍්‍ර ලාංකික භික්‍ෂුව සිංහල භික්‍ෂුවක් වශයෙන් සංවර්ධනය වීමයි.

ප්‍රශ්නය - පැවිදි ජීවිතයෙහි උතුම් පරමාර්ථ අවබෝධ කරගත හැකි ඉපැරණි පැවිදි වතක පැතිකඩක් දී.නි. සාමඤ්ඤඵල සූත්‍රයෙහි මෙසේ දැක්වෙයි. ධර්මයම දායාද කොට ගෙන ධර්මයටම සත්කාර ගරුකාර කරමින් සුවචව සුපේශලව විසූ අවම පරිභෝජනයෙන් අපිස් බවින් ලද දෙයින් තුටු පහටුව වැඩහුන් එම ශ්‍රාවකයෝ නො පැහැදුනවුන් පැහැද වූ පැහැදුන වුන්ගේ පැහැදීම තව තවත් වඩාලූහ. භික්‍ෂුවගේ ආකල්ප පිළිබඳ අනුරුවකි මේ. .පෙළපොතෙහි වන මෙබඳු තවත් සුලභ අවස්ථාවක් සටහන් කරන්න.

පිළිතුර - ම.නි. මූලපණ්නාසකයේ චූල ගොසිංග සූත්‍රයෙහි භික්ෂු ආකල්ප පිළිබඳ ව වැදගත් සටහනක් මෙසේ දක්නට ලැබේ. වර්තමාන පැවිදි ගිහි ශ්‍රාවක වත පිළිවෙත කෙරෙහි කොතෙක් සමගාමි වෙයිද යන්නද සලකා බැලිය යුතු ය.

එකල බුදුරජාණන් වහන්සේ නාදික නම් පසල් දනව් ගමක වැඩ සිටි සේක. ශ්‍රාවකයන් වහන්සේ අතරින් අනුරුද්ධ නන්දිය හා කිම්බිල හිමිවරුන් වැඩ සිටියේ ගොසිංග සල්වනයෙහි ය. සවස් යාමයෙහි පලසමතින් නැගුණු භාග්‍යවතුන් වහන්සේ ඒ ගොසිංග සල්වනයට වැඩම කළහ. දුරදීම උන්වහන්සේ දුටු උයන්පල්ලා මෙසේ කියයි. මහණ වනයට නොපිවිසෙනු මැනවි. කුල පුත්‍රයෝ තිදෙනකු මෙහි සිත් සේ වසත්, ඔවුනට ඔබේ පැමිණීම අපහසුවකි. මෙය ඇසුණු අනුරුද්ධ හිමියන් වහා පැමිණ ආරණ්‍ය පාලකට තම ශාස්තෘවරයන් වහන්සේ බව දන්වා සල්වනයට වැඩම වීමට අවසරය ලබා දුන්හ. අනුරුද්ධ හිමියන් ද බුදුන් වහන්සේ ආගමනය නන්දිය හා කිම්බිල හිමිවරුන්ට ද දැන්වීමෙන් එතනට එක් වූහ. බුදුරදුනට පෙර ගමන් කොට පිළිගෙන පා සෝදා අසුන් පනවා බුදුරදුන් වැඳ එකක් පසෙක හුන්හ.

බුදුරජාණන් වහන්සේ පළමුකොට අනුරුද්ධ හිමියන් ඇමතූ සේක.

“කොහොමද අනුරුද්ධ වාසය සුව පහසු ද සිව්පසය ලබාගැනීම දුෂ්කර ද කරදරයක් නැද්ද?“

“භාග්‍යවතුන් වහන්ස, සැප පහසුව වරදක් නැහැ. දිවි පැවැත්ම පහසු ය. සිව්පසය ලබාගැනීම ද එතරම් අපහසුවක් නැත”

“කොහොමද අනුරුද්ධ තෙපි සමගි සම්පන්නව සතුටු සිත් ඇතිව වාද විවාද නැතිව කිරි හා දිය මෙන් පෑහි ඔවුනොවුන් දෙස පි‍්‍රය ඇසින් බලමින් වාසය කරව්ද? “

“ස්වාමීනි, අපි සමගි සම්පන්නව සතුටු සිත් ඇතිව වාද විවාද නැතිව කිරි හා දිය මෙන් පෑහි එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් වාසය කරමු.”

“අනුරුද්ධ තෙපි සමගි සම්පන්න ව සතුටු සිත් ඇති ව වාද විවාද නැතිව කිරි හා දිය මෙන් පෑහි එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් කෙසේ නම් වාසය කරව්ද?

“ස්වාමීනි මට මෙබඳු සිතෙක් ඇති, මෙවැනි සබ්බ්‍රහ්මචාරීන් හා එක්ව වාසය කරන්නට ලැබීම නම් මට මහත් ලාභයක් මය ස්වාමීනි! මම එක්ව වසන මේ සබ්‍රහ්මචාරින්හට ඇති තැන මෙන්ම නැති තැන කයින් මෙත් වඩමි. වදනින් මෙත් වඩමි. සිතින් ද මෙත් වඩිමි. ස්වාමීනි! මම මගේ සිත අනුව නොව මේ හිමිවරුන් ගේ සිතින් වසමි නම් මැනවැයි (සිත අනුව) අදහස් වෙයි ස්වාමීනි! මම එසේ වසමි, ස්වාමීනි! අපි කයින් අසමාන වෙමු. එහෙත් සිතින් එක හා සමාන වෙමු.

ආයුෂ්මත් නන්දිය හිමියෝ ද කිම්බිල හිමියෝ ද බුදුරජාණන් වහන්සේට මෙලෙසින්ම සැළ කළහ.

ස්වාමීනි! අපි මෙසේ සතුටු සිතින් විවාද නොකර කිරි හා දිය මෙන් පෑහි එකිනෙකා දෙස පි‍්‍රය ඇසින් බලමින් වසමු.

අනුරුද්ධයෙනි සාධු සාධු අනුරුද්ධයෙනි! කෙසේ ද තෙපි අප්‍රමාද ව කෙලෙස් තවන වීර්ය ඇතිව වාසය කරව් ද?

ස්වාමීනි! අප එසේ වසමු. අනුරුද්ධයෙනි කෙසේ නම් තෙපි එලෙස වසව් ද?

ස්වාමීනි, අප අතුරෙන් යමෙක් ගමෙහි පිඬු පිණිස ගොස් පළමුව ආපසු ඒ ද හේ අසුන් පණවයි. බීමට පැන් හා පරිහරණයට දිය ද ගෙනවුත් තබයි. ඉඳුල් කෑම දමන බඳුන් ගෙනවුත් තබයි. පසුව පිඬු පිණිස ගොස් එයි ද? හෙතෙම වළඳා ඉතිරියත් වේ නම් සතුන් නැති තැන තබයි. පැන් හා පාරිභෝග දිය බඳුන් නිසිතැන තබයි. ඉඳුල් ආහාර බඳුන් නිසි තැන තබයි. දන්සල අමදියි. හිස්වූ පැන් කළය පරිභෝග දිය කළය හෝ වැසිකිළි කළය හෝ දක්නේ ද එය පුරවා තබයි. තමන්ට තනිව එසවිය නොහැකි නම් අත වනා (හත්ථ විකාරෙන දුතියං ආමන්තෙත්වා ) දෙ අතින් (හත්ථ විලංබේසකෙන) එළවම් හ.

ස්වාමීනි, අපි එබඳු කළ යුතු කටයුතු පිළිබඳ ව විවාද නොකරමු. ස්වාමිනි අපි පස් දිනකට වරක් එක්ව මුළු රැය දැහැමි කථාවෙන් හිඳින්නෙමු. ස්වාමීනි, අපි අප්‍රමාදව කෙලෙස් තවන වෙර ඇතිව නිවනට යොමු වූ සිත් ඇති ව වසන්නෙමු.

සාධු සාධූ අනුරුද්ධයෙනි, ඔබ සැමගේ මේ විහරණය ඉක්ම යාම පිණිස (සමතික්කමාය) සංහිඳිම පිණිස මිනිස් දහමෙන් වැඩි ආර්ය භාවය (උත්තරී මනුස්සා ධම්මා) සිදු කළ හැකි විශිෂ්ට ඥාන දර්ශනයක් වෙනත් පහසු විහරණයක් නැත්තේ ම ය.

 

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]