UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ආචාර විද්‍යාව අනුව හැඩ ගැසීමටත්, තම දූ දරුවන් ඒ අනුව හැඩ ගැස්වීමටත් මේ වසරේ මුලදීම සිතා ගැනීම යහපත්ය. බෞද්ධයා වඩාත් කල්පනාකාරී වෙමින් හොඳ පැත්තට ධාර්මික පැත්තට කුසල පක්ෂයට නැඹුරුවීම නුවණට හුරුය

දැන් ඔබට අලුත් වසරක් ලබා තිබේ. ගෙවී ගිය වසර ගැන ඔබට සතුටු විය හැකි ද? යම් යම් කරුණු හා සිද්ධීන් පිළිබඳ ඔබ සමාජ සම්මතයෙන් සතුටු වන්නට ඇත. ඔල්වරසන් දී හඬ නඟා සිනාසෙන්නට ඇත. ඇත්තටම ඒවා සතුටු විය යුතු දේවල් ද? අවුරුද්ද සකස් වී ඇත්තේද දවස් වලිනි. එදිනෙදා දවස තුළ ඔබ හොඳ දෙයක් කළේ නම් අවුරුද්ද පුරා හොඳ වැඩ කර ඇත. හොඳ යන වචනයෙන් කියන්නේ කුසල්ය. හොඳ යන්න පුද්ගල නිශි‍්‍රත හා විෂය නිශි‍්‍රත වශයෙන් දෙකකි. පුද්ගල නිශි‍්‍රත වන්නේ තමන් පිළිබඳ දේය. විෂය නිශි‍්‍රත වන්නේ සමාජය පිළිබඳ දේය. ඔබ පුද්ගලයෙකු වුවද සමාජ සත්වයෙකි. එනිසා ඔබෙන් සමාජයට කරදර නො විය යුතුය. බුදුදහම හැම තැනම හැමදාම උගැන්නුවේ සමාජයට කරදර හිරිහැර නොකර පුද්ගල සංවර්ධනය විය. සංවර්ධනය පිළිබඳ කොතෙක් කථාකළත්, ලිව්වත් පුද්ගල සංවර්ධනය නැතිනම්, පුද්ගල සංවර්ධනයෙන් තොර නම් එය දියුණු රටක් නොවේ. පුද්ගලයන් සංවර්ධනය කොට මිනිසුන් හදා තනා භෞතික සම්පත් වර්ධනය කිරීම බෞද්ධ සම්ප්‍රදායයි. භෞතික පරිසරය දියුණු කොට සංවර්ධනය කොට මිනිසුන් සංවර්ධනය කිරීම භෞතික සම්ප්‍රදායයි.

කැඩපත කුමට ද?

ඔබ නිවසේ කැඩපත් පාවිච්චි කරනු ඇත. අවම වශයෙන් එකම කැඩපතක්වත් ඔබ නිවසේ තිබිය යුතුය. කැඩපතක් වුවමනා කරන්නේ කුමට ද? මුහුණ බැලීමටය. මුහුණෙහි කැලළක් තිබේද? දැලි වැනි යමක් ගෑවී තිබේද? තුවාල වී තිබේ ද? එසේ නම් එයට කුමක් කරන්නේ ද? යන්න ඔබ කැඩපත බලා තීරණය කරයි. එය ප්‍රත්‍යවේක්ෂාවයි. සිතා බැලීමයි.

නිතර යහපත් පැත්තෙන් සිතා බැලීමයි. ඔබ සිතන කරන කියන හැම එකක්ම ඔබටත් රටටත් සමාජයටත් යහපත් විය යුතු ය. හොඳ විය යුතු ය. හොඳ යනු කුසල්ය.

සිතා බලන්න

අපේ බුදුහාමුදුරුවන් සිය ශිෂ්‍ය රාහුල පොඩි හාමුදුරුවන්ට දුන් අවවාදය බලන්න.

01. ඔබටත් අනුන්ටත් අයහපතක් වේද, එය සිතින් හෝ වචනයෙන් ;හී කයින් නො කළ යුතුය. එය අකුසලයකි.

02. ඔබටත් අනුන්ටත් යහපතක් වේද එය කළ යුතු ය. එය කුසලයකි.

ඔබට යහපතක් වී අනුන්ට අයහපතක් වීම, කිරීම යනු ආත්මාර්ථකාමී චරියාවයි. එය නිවැරැදි නැත. අල්ලපු වත්තේ අල්ලපු ගෙදර සමීප ගමේ කොයිකාටත් කොතරම් හානියක් අලාභයක් වුණත් තමන්ට සෙතක් යහපතක් වේ නම් ඒ ආත්මාර්ථකාමී ක්‍රියාව කරන අය රටේ වැඩිය.

බහුලය. යම් යම් ප්‍රශ්න කාර්යයන් සංවර්ධන කටයුතු ආදියේ දී මෙය මනාව බැලිය යුතුය. තමන්ට වාසියක් යහපතක් වී අනිත් අයට අයහපතක් වේ නම් එය කිරීම නුසුදුසු ය. නො කළ යුතුය. ඔබ සිතින් හෝ වචනයෙන් හෝ ක්‍රියාවන් හෝ යමක් කිරීමට පෙර සිතා බැලිය යුතුය. ඒ සිතන කරන කියන දෙයින් තමන්ට යහපතක් වේද, අනුන්ට යහපතක් වේද ඒ දෙයම කළ යුතුය. එයින් තමන්ට සතුටට පත්විය හැකිය.

ඔබගේත් අනුන්ගේත් අයහපතට හේතු වන දේ අත්හැර තමන්ටත් අනුන්ටත් යහපක් වන දේම කිරීම බෞද්ධ අචාර විද්‍යාවේ පදනමයි. මනෝ විද්‍යාත්මක සංකල්පයයි. ප්‍රත්‍යවේක්ෂා යනු සිතා බැලීමයි. ඒ සිතා බැලීමෙන් හොඳ දේ තෝරා ගත හැකි වෙයි. එසේ තමන්ටත් අනුන්ටත් යහපත් වන දේ හොඳ ය. යහපත් ය. හිසංකාරී නොවන්නේය. ඒ කුසල් මගය. කාලාම සූත්‍රයෙන් උගන්වන්නේ හොඳ දේ සොයා ගන්නා ආකාරයයි. හොඳ දේ යනු අනුන් කියන දේම උපදේශකයන් දෙන උපදෙස්ම නොවන බව ඒ මඟින් පැහැදිලි කරයි.

මිනිසා සෑම ක්‍රියාවක්ම කරන්නේ සතුටින් සිටීමටයි. ‘සංතුªට්ඨි පරමං ධනං’ බාහිර වස්තු සම්පත්, ඉඩකඩම් කොපමණ ඇතත් සතුට නැත්නම් ජීවිතය නිරර්ථකය. සම්පත් සොයන්නේ සතුටින් සිටීමටය. ඒ සම්පත් වලින් දුක ජනිත වේ නම් ඒ සම්පත්වල අර්ථය කවරේ ද? සතුටු විය යුත්තේ කෙසේ ද?

බුදුහාමුදුරුවෝ සතුටු විය යුතු සැටි පිළිබඳ අදහස් කිහිපයක් කොසොල් රජුට වදාරා ඇත.

අත්ථි සුඛය

තමන් සතු ධනය ඉතාම ධාර්මිකව උපයාගත් ධනයකැයි සිතා සතුටු වන්න පුළුවන්නම් එය සතුටකි. ධනය උපයන්නෝ විවිධ මාර්ග වලින් ධනය උපදවති. සොරකමින්, වංචාවෙන්, උපදවති. සේවකයන් සූරාකෑමෙන් උපදවති. රාජ්‍ය දේපල වංචා කිරීමෙන් උපදවති. සමාජ සන්තක දේ සොරකම් කිරීමෙන් වංචා කිරීමෙන් උපදවති.

තමන් භාරගන්නා කාර්යය නිසි පරිදි ඉටු නො කිරීමෙන් ලාභ උපදවති. මේ එකක්වත් සතුටට හේතු පිණිස නො වන්නේය. හේ බාහිර වශයෙන් සිතා සිටියත් මා මේ වස්තුව උපයන ලද්දේ අනුන්ට අයහපතක් කර සමාජයට අයහපතක් කර බව ඔහු දනී. පිටතින් සුන්දරත්වයක් පෙනුනද ඇතුළතින් ගින්දරක් මතු වේ. ඒ නිසා තමන් වස්තුව ඉපැයිය යුත්තේ ධාර්මිකව බව සිතා සතුටු වීමට ඉඩ තිබිය යුතුය. ඒ නියම සතුටයි. ඒ අත්ථි සුඛයයි.

භෝග සුඛය

ම විසින් ධනය පරිභෝජනය කරන්නේ හිතමිතුරන්ටත් සමාජයටත් කරන්නට ඇති යුතුකම් සමාජ සේවා ඉටු කරමින්යැයි සතුටු වන්නට පුළුවන්කම තිබිය යුතුය. තම දෙමව්පියන්ටවත් හරිහැටි යුතුකම ඉටු නො කරති. කෝටිපතියන්ගෙන් ඇති සුගතිය කවරේද? ධනය සම්පත් පරිහරණය කළ යුතු වන්නේ සියලු යුතුකම් සමාජ සේවා ඉටුකරමිනි. ‘ඉල්ලීස සිටාණන් මෙන් තනිව නොවේ’ එසේ යුතුකම් ඉටු කරමින් සම්පත් පරිභෝග භෝග සුඛය නමින් උගන්වයි.

අනණ සුඛය

මා අනුන්ට ණය වී නැහැයි සතුටු වීමට පුළුවන් විය යුතුය. වර්තමාන ව්‍යාපාරිකයෝ ව්‍යාපාර බොහොමයක් කරන්නේ ණය වලිනි. ඒ වර්තමාන ආර්ථික ක්‍රමයයි. එයින් නියම සතුටක් ලබන්නේ නැහැ. සමහර විට ණයකාරයෝ ගෙදරට එති. ණයකාරයෝ නඩු දමති. ඒ නිසා සිතේ සතුට නැති වේ. සිතේ පරම සතුට ඇතිවීමට නම් ණය නැති ජීවිතයක් ගත කළ යුතු වේ. අනණ සුඛය යනුවෙන් එය හඳුන්වති. තමන් අනුන්ට ණය නැතුවා මෙන්ම තමන්ට අනුන්ද ණයකරුවන් නොවීම සතුට ලැබීමේ මගයි. අනේපිඬු සිටු එවැන්නෙකි.

අනවජ්ජ සුඛය

නිවැරැදිි කර්මාන්ත කරමින් කුඩු, ආයුධ සත්ව වෙළඳාම් ආදිය නොකරමින් උපයා සපයා ගන්නා වස්තුව සම්පත් නිසා විඳින සුවය අනවජ්ජ සුවයයි. ධනය සම්පත් ඉපයීම ධාර්මික නිදහස් වන අතර ධනය සම්පත් පරිභෝග කිරීම වැය කිරීමද නිවැරැදි විය යුතුය.

සමාජ හිතකර විය යුතුයි. තම සම්පත් ආයෝජන සමාජයට අහිතකර අන්දමින් යොදවා ලබන තාවකාලික සතුට කාලකණ්ණි සතුටකි. මේ අනවජ්ජ සුඛයම බුදුන් වහන්සේ විසින් වර්ණනා කරන ලදී.

තමන් තමන්ගේ ධනය නිසි පරිදි කුසල් සඳහා සමාජ යහපත සඳහා ආයෝජනය කළේදැයි සිතා සතුටු වීමට ශක්තිය තිබිය යුතුය. තමනුත් හරි හැටිවත් නොකා නොබී අනුන්ටත් යහපතක් සිදුවන සේ එය නො යෙදවන්නේ නම් ඒ ධනවතාට සතුටක් නැත. ඒ නිසා ධනය වියදම් කිරීම ද තමන්ට සතුටි විය හැකි පරිදි සිදුකළ යුතුයි.

බහු භාණ්ඩික නොවෙමු

බහු භාණ්ඩික නොවීම හා බහුකාර්ය පටලවා නොගැනීම පුද්ගල සංවර්ධනයට අදාළ කරුණකි. බහු භාණ්ඩික වීම නිතර ශෝකය ගෙන දීමට හේතු වේ. අල්පේච්ඡ වීම නිතර සතුට හා සුවය ගෙන දෙන්නකි. තමුන් නොරැකී තමුත් නිවැරැදි නොවී අනුන් රකින්නට උත්සාහ කිරීමත්, අනුන් නිවැරැදි කිරීමට උත්සාහ කිරීමත් නිවැරැදි නොවේ.

සම්පත් වැඩිවන්න වන්න නිහතමානි වීමත්, ක්‍රෝධ නොකිරීමත් පුද්ගල සංවර්ධනයේ ලක්ෂණයෝය. හොඳට හැදුණු වැඩුණු වී කරලත් නැමෙන්නාක් මෙනි.

බෞද්ධ ආචාර විද්‍යාව අනුව හැඩ ගැසීමටත්, තම දූ දරුවන් ඒ අනුව හැඩ ගැස්වීමටත් මේ වසරේ මුලදීම සිතා ගැනීම යහපත්ය.

බෞද්ධයා වඩාත් කල්පනාකාරී වෙමින් හොඳ පැත්තට ධාර්මික පැත්තට කුසල පක්ෂයට නැඹුරුවීම නුවණට හුරුය.

දුරුතු පුර අටවක

දුරුතු පුර අටවක පෝය 2011 දෙසැම්බර් 31 වනදා සෙනසුරාදා අපරභාග 10.40 ට ලබයි
2012 ජනවාරි 02 වනදා සඳුදා පූර්ව භාග 01.01 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 01 වනදා ඉරිදාය.

මීළඟ පෝය
ජනවාරි 08 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 01

Full Moonපසෙලාස්වක

ජනවාරි 08

Second Quarterඅව අටවක

ජනවාරි 16

New Moonඅමාවක

ජනවාරි 22


2012 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2012 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]