UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුදුරදුන් දහම් දෙසූ උතුම් බස

ත්‍රිපිටකය දරාගෙන ඇති බැම්ම පාලි බසයි. ත්‍රිපිටකය පාලියෙන් හැර වෙනත් භාෂාවකින් පැවසීම භික්‍ෂූන් වහන්සේලාට දුකුලා ඇවැතක් බව ප්‍රකාශිතය. ධර්ම කාරණා ඕනෑම බසකට පරිවර්තනය කර දැක්වූවද බුද්ධ වචනය ත්‍රිපිටකය පාලි බසින් පැවතිය යුතු ය. එවිට එහි නියම නිරුක්තිය ආරක්‍ෂා වේ.

අප භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දහම් දේශනා කළේ එම දේශනා රැකී. මේ දක්වා පවතින්නේ පාලි භාෂාවෙනි. එපමණක් නොව එම ධර්ම විනයේ ගැඹුරු තැන් විස්තර කරන අටුවා ටිකා පවා ලියැවී ඇත්තේ පාලි භාෂාවෙනි. මේ උතුම් බුද්ධ භාෂාව අන් භාෂාවන්ට වඩා ඉතා සුවිශේෂ වේ. එබැවින් එහි ඇති වටිනාකම විමසා බැලීමට වටී.

පාලි භාෂාව මළ භාෂාවක් නොවේ. එසේනම් භික්‍ෂූන් වහන්සේ ධර්ම දේශනයේ දී පාලි වචන පාවිච්චි නොකරනු ඇත. අදටත් පාලි කථෝපකථනය හෙවත් පාලි බසින් කථා කිරීම සමහරුන් අතර පවතී. භාෂාවක් මළ බසක් වනුයේ එහි සංවර්ධනයක් නොමැතිවිටදී ය. පාලි නොදන්නා පිරිස වැඩි වූ පමණින් පාලි බස මළ භාෂාවක් ලෙස හැඳින්වීම වැරදි ප්‍රකාශයකි. බුදුරදුන් වැඩසිටි සමයේ දුම්රිය නොතිබුණු නමුදු පාලි බසෙහි “ධුමරථ” යන වදන පාවිච්චි වේ. අදත් මේ බසට අලුත් අලුත් දේ එකතු වනු දැකිය හැකි අතර එය ව්‍යවහාර බසක් ලෙස පිළිගැනේ. එහෙත් පාලි හැදෑරූ, හදාරන පිරිස බොහෝ අල්ප බව සත්‍යයකි. එහෙත් පාලිය සක්‍රීය සජීවී බසක් යන්නට හොඳම නිදසුනකි. 2011 වසරේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිදු වූ ජාත්‍යන්තර පාලි සම්මන්ත්‍රණය. එය මුළුමනින්ම පාලි භාෂාවෙන් සිදු කරන ලදී. බ්‍රාහ්මණවරු දෙදෙනෙක් පැවිදි වී බුදුරදුන් වෙත පැමිණ ‘ස්වාමීනී’ බුද්ධ වචනය ඡන්දසට පරිවර්තනය කරන්න’ දැයි ඇසූහ. වෛදිකය බඳු සංස්කෘත බසකට පරිවර්තනය කරන්නදැයි ඇසූහ. එවිට බුදුරදුන් විසින් බුද්ධ වචනය වෙනත් භාෂාවන්ට නැඟීම ප්‍රතික්‍ෂේප කරන ලදී. යමෙක් මෙම බුද්ධ වචනය වෙනත් බසකට නැඟීම ඇවැතක් බව ප්‍රකාශ කරන ලදී. වෙනත් බසකින් අදහස දැන ගැනීම ප්‍රතික්‍ෂේප කළ බව මින් අදහස් නොකෙරේ. බුදුන් වහන්සේ අපේක්ෂා කළේ පාලි බසින් ත්‍රිපිටකය දරාගත යුතුබවයි.

‘පාලිවිය ආලීති පාලි’ පාලි බස බැම්මක් මෙනි. ත්‍රිපිටකය දරාගෙන ඇති බැම්ම පාලි බසයි. ත්‍රිපිටකය පාලියෙන් හැර වෙනත් භාෂාවකින් පැවසීම භික්‍ෂූන් වහන්සේලාට දුකුලා ඇවැතක් බව ප්‍රකාශිතය. ධර්ම කාරණා ඕනෑම බසකට පරිවර්තනය කර දැක්වූවද බුද්ධ වචනය ත්‍රිපිටකය පාලි බසින් පැවතිය යුතු ය. එවිට එහි නියම නිරුක්තිය ආරක්‍ෂා වේ.

බුදුන් වහන්සේ භාෂා පිළිබඳ දැක්වූ ආකල්පය මෙසේය. මජ්ඣිම නිකායේ විභඞ්ග වර්ගයේ අරණවිඞ්ග සූත්‍රයේ පැහැදිලි කර තිබෙන ආකාරයට ‘පාත්‍රයට’ සමාන වචන කිහිපයක් යෙදෙයි. පාති, පත්ත, විත්ථ, සරාව, ධාරොප, පොණ, පිසීලව වශයෙන් වචන හතක් දක්වා තිබේ. එක් එක් ජනපදයෙන් ජනපදයට ව්‍යවහාරය වෙනස්වන නිසා මෙසේ විවිධ වචන යෙදී තිබේ. අපමින් කුමන වචන භාවිතා කළ යුතු දැයි එක් අවස්ථාවක භික්‍ෂූන් වහන්සේලා විමසා සිටියහ. එවිට “ජනපදනිරුත්තිං නාභිනිවෙසෙය්‍ය, සමඤ්ඤං නාතිධාවෙයපාති”

භාෂාත්මක වශයෙන් කුමන වචනය පාවිච්චි කළත් වරදක් නැතිමුත් ජනපද නිරුක්තිය නොඉක්මවා අර්ථය පමණක් ගන්නා ලෙස අනුශාසනා කර ඇත. භාෂාත්මකව නිවැරැදි අර්ථය තේරුම් නොගන්නේ නම් ධර්මය අර්ථකතනය කිරීම අපහසු කාර්යයකි. එසේ වූ කල සිදුවන්නේ භාෂාවට අර්ථයක් දීම විනා අර්ථයට අර්ථයක් දීම නොවේ. “දුක්ඛ” යන වචනය උදාහරණයක් වශයෙන් ගනිමු. සරලව ගත් විට අපි දුකයයි කියමි. එය ඉංගී‍්‍රසි බසට පරිවර්තනය කර (Suffer) විඳවනවා යයි කියමු. නමුත් දුක්ඛ යන්නෙහි තේරුම් විඳවීම නොව නිසරු බව, හිස් බව යනු ය. සතුටත් දුකක් ලෙස බුදුදහමේ පැහැදිලි කෙරේ.

සම්මොහවිනොදනී නම් අටුවාවේ මෙම කතාව සඳහන් වේ. මව්පියෝ කුඩා දරුවන් ඇඳෙහි හෝ පුටුවෙහි හෝ හිඳුවා ඒ ඒ දේ කියමින් වැඩ කරති. දරුවෝ ඔවුන් කරන වැඩ අනුව මෙයින් මේ දේ කියැවේ. මෙයින් මේ දේ කියැවේ යනුවෙන් දැන ගනිති. මව දෙමළ ද පියා ආන්ධුවර්ගිකයෙකු ද වුවහොත් ඔවුන්ගෙන් උපන් දරුවා ඉඳින් මවගේ කතාව පළමුව අසයි නම් දමිළ භාෂාව කතා කරන්නේ ය. ඉඳින් පියාගේ කතාව පළමුව අසයි නම් ආන්ධ්‍ර භාෂාව කතා කරන්නේ ය. ඒ දෙදෙනාගේම කතාව නොඅසන්නේ නම් දරුවා කතා කරන්නේ පාලි භාෂාවයි. මහාකැලෑවේ උපන් දරුවෙකුට කිසිවෙකු කතා කරනු නො ඇසේ. ඔහු තම ධර්මතාවයෙන්ම කතා කරන්නේ පාලිභාෂාව කතා කරයි. නිරයේ, තිරිසන් යෝනියේ, ප්‍රේත විෂයෙහි, මනුෂ්‍ය ලෝකයේ, දිව්‍ය ලෝකයේ යනුවෙන් හැමතැන්හි පාලි භාෂාව උත්සන්නව පවතී. වෙනත් ඔට්ට, කිරාක ආදී භාෂා දහඅට කාලයකදී වෙනස් වේ. එහෙත් මෙම පාලි භාෂාව පමණක් වෙනස් නොවේ. බුදුරජාණන් වහන්සේත් ත්‍රිපිටක බුද්ධවචනය පාලි භාෂාවෙන්ම තැබූ සේක. ඒ අර්ථය ගෙනහැර දැක්වීම පහසු බැවිනි. පාලි භාෂාවෙන් තැබූ බුද්ධ වචනය පිළිසිඹියාපත් උතුමන්ගේ කනට වැටුණු විගසම උන්වහන්සේලාට එය ක්‍රමසියයෙන් ක්‍රමදහසෙන් වැටහේ. නමුත් වෙනත් භාෂාවකින් පිළියෙළ කළ ධර්මය අසා අපහසුවෙන් ඉගෙනගත යුතු වෙයි. අටුවාවෙහි සඳහන්වන මෙම විස්තරයෙන් පාලි භාෂාවෙහි ඇති වැදගත්කම හෙළි වේ. මූලභාෂාව පාලියයි. ආදි වැසියෝ පාවිච්චි කළේ මෙම භාෂාවය. බුදුවරු කථාකරන භාෂාවත් මේ පාලි භාෂාවයි. පාලි භාෂාව ජෛව බසක් බව අපේ අටුවාචාරීන් වහන්සේලා පැරැන්නෝ අවබෝධකොට ගෙන තිබුණි.

ලංකාවේදී දාඨාවංශය ලියවුණේ සිංහලෙනි. ස්වදේශීය භාෂාවෙන්, සිංහලෙන් ලියූ දාඨාවංශය මම විදේශීය ප්‍රයෝජනය සඳහා පාලි බසට නගමි යනුවෙන් එය පාලි භාෂාවට නඟා තිබේ. අද පොත් පරිවර්තනය කරන්නේ ඉංගී‍්‍රසි භාෂාවටය. එදා පොත් පරිවර්තනය කළේ පාලි භාෂාවටය. මේ අනුව එදා පාලි භාෂාව ජාත්‍යන්තර වශයෙන් ප්‍රකට භාෂාවක්ව පැවතී තිබේ. අද වුවද බුරුම, තායිලන්ත හිමිවරු සමඟ අන්ධබසකින් කතා නොකරන්නේ නම් කතා කරන්නේ පාලි භාෂාවෙනි.

ඒ අනුව මෙම පාලි භාෂාව දේශාන්තරයන්හි ප්‍රකටය. දෙව්ලොව, නිරයේ ප්‍රේත විෂයෙහි වැනි තැන්වලද උත්සන්නව පවතී. මේ අනුව සැම තැන්හිම ප්‍රකටම භාෂාව පාලි භාෂාව බවට වාදයක් නොමැත. ඒ නිසා පාලි ව්‍යවහාරය යමෙක්ට කිසිම ආකාරයකින් ප්‍රතික්‍ෂේප කළ නොහැකි ය. නිරුක්ති ව්‍යවහාරය නම් බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මය අන්තර්ගත භාෂාවයි. ඒ නිසා එම බස නිවැරදිව අවබෝධ කරගත් පුද්ගලයා එහි නිසි ඵල උතුම් ඵල ලබන්නේ ය.

පසුගිය කාලයේ දී ධර්මය පිළිබඳ විශාල වශයෙන් වැරදි අර්ථකථන දුන් අවස්ථා අපට අසන්නට දකින්නට ලැබුණි. සමහරු වචනයේ මතුපිට බලා අර්ථකථන ලබාදේ.

පටිච්චසමුප්පාදය සඳහා පටිගැලවීම හා සම්බන්ධ හඳුන්වාදීමක් සිදු කර තිබුණි. පටිච්ච යනු නිසා, සමුප්පාද යන්නෙහි නියම අර්ථය හටගැනීම නිසා යනුයි. පච්චත්තං වේදිතබ්බො යන්න සඳහා ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත යුතුය යන අර්ථකථනය කර තිබුණි. පච්චත්තං, පති+අත්තං පච්චත්තං යනු සකස් වේ. පති+ අත්තං යනු තම තමා විසින් දැනගත යුතු බවය.

වෙන වෙනම දැන ගත්තත්, තම තමන් දැන ගත්තත් එහි ඇත්තේ ප්‍රත්‍යක්‍ෂ බවයි. නමුත් ප්‍රත්‍යක්‍ෂ කිරීම යනු සාධනය කිරීම යන අර්ථය ලබාදෙන වචනයකි. මෙසේ අනවබෝධය නිසා සමහර වචනවලට වෙනත් අර්ථ ලැබිය හැකි ය.

ධම්මපදය චීන පදය, ගන්ධාරධම්මපදය යනුවෙන් ධම්මපද කිහිපයකි. චීන ධම්මපදයේ ‘චක්කංච වහතො පදං’ යන පද පෙළට අර්ථය දී තිබෙන්නේ මෙසේ ය. වහන්න යනු කරත්තය උසුලන ගවයාට දී ඇති නමකි. අපි කියනුයේ ගොනුකුර පසුපස එන ගැල්සක යනුවෙනි. එහෙත් චීන බසින් කියනුයේ ‘චක්කංච වහතෝ පථං” පථ යනු පියවර හෝ පාදය හෝ හඳුන්වන වචනයක් නොව මහපාර හඳුන්වන චීනවදනකි. වහන්ත යනු කරත්තයයි. කරත්තය මාර්ගයට ඇතුල් වූ පසු එය පාරෙන් ඉවත් කළ නොහැක. එයට හේතුව නම් කරත්තය ගිය පාර බොහෝ දුරට එරෙන ස්වභාවයක් ඇතිවීමයි. එනිසා මඟ අවසන් වනතුරු කරත්තය ගමන් කළ යුතු ය. ඉන් අදහස් වන්නේ කර්මය විඳ අවසන් කළ යුතු බවයි. බුදුදහමේ විඳ අවසන් කළ යුතු යන අර්ථයක් නොමැත. ශ්‍රී ලාංකික ථෙරවාද බුදුදහමේ පාලි ක්‍රමයට අනුව ‘චක්කංච වහතො පදං’ යනුවෙන් පවසනුයේ ගොනුකුර පසුපස කරත්තය ගමන් කරන්නා මෙන් පීඩාකාරී බවත්, වේදනාකාරී බවකි. චීන ජාතිකයෝ සියල්ල වෙනස් කළ නොහැකි සදාකාලික යැයි අදහස් දරති. මේ අනුව බුදුන්වහන්සේ දේශනා කළ එකම වචනයකට භාෂාවක අනවබෝධය නිසා ලබාදෙනුයේ වෙනස් අර්ථයන්ය. එබැවින් බුදුදහම පිළිබඳ නිවැරැදි අවබෝධයක් ලබා ගැනීමට ත්‍රිපිටකය හා අටුවා පාවිච්චි කළයුතු ය.

“අත්‍ථප්පකාසනත්‍ථං අට්ඨකථා” අටුවාව යනු අර්ථ ප්‍රකාශ කිරීමය. ඒ ඒ තන්හි බුදුන් දෙසූ ප්‍රකීර්ණක දේශනා අටුවා ලෙස දක්වා තිබේ. අටුවාවේ ඇති අර්ථ ප්‍රකාශනය මුල් සංගායනාවේදී රහතුන් වහන්සේලා විසින් ප්‍රකාශ කර තිබේ. පසුවත් සංගායනා කර තිබේ. යමක අර්ථය වර්ණනා කරයිද? අක්ක්‍ෂ පද ආදිය පැහැදිලි කරයිද? පදපිළිවෙළ කතා කරයිද? එහි පෙර අපර සම්බන්ධය ඇත්ද? අටුවාට වන්නේ එයයි. එබැවින් ධර්මයේ නිවැරැදි අර්ථ මතුකරගැනීමට ත්‍රිපිටකය, අටුවා, ටීකා අවශ්‍යය. එය ප්‍රතික්‍ෂේප කරන්නේ බුද්ධ වචනය, බුද්ධ මතය, ථෙරවාද මතය ප්‍රතික්‍ෂේප කරමින් බොහෝ පව් රැස් කරගනිති. එය අපාගතවන පාපයකි. අනාගත පරපුරට බුදුදහම අහිමි කිරීමකි.

අප මෙතෙක් කරුණු සඳහන් කළ පාලි භාෂාව, නිරුක්තිය ගැන මෙවැනි වටිනා සඳහනක් වේ. එනම්, යමෙක් ව්‍යාකරණ සහිතව නිරුක්තිය නොදනියිද, ඔහු ත්‍රිපිටකය දැන ගත්තද පදයක් පදයක් පාසා සැක කරන්නෙක් වන්නේ ය. ඒ වනයේ හැසිරෙන අන්ධ ඇතෙක් ඒ ඒ ගසෙහි හැපෙන්නාක් මෙනි.

එබැවින් මේ මිහිරි සරල ලොව උත්තම වූ පාලි බස ඉගෙන අටුවාටිකා සහිතව බුද්ද භාෂිත ධර්ම විනය හැදෑරීමෙන් බුදුසසුන බොහෝ කල් පැවැත්මට හේතුවේ.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]