UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
94-11-2429598, 94-11-2429429

ෆැක්ස්:
94-11-2429329, 94-11-2449069

ඊමේල්:
[email protected]

ඉල් අව අටවක නොවැම්බර් 18 වනදා සිකුරාදා

දහම් පාසල් අධ්‍යාපනය

වුපිය දෙපළ දරුවන්ට “මහා බ්‍රහ්මයා” හා සමාන ය. ඒ මහා බ්‍රහ්මයා සතු මෛත්‍රිය, කරුණාව, මුදිතාව, උපේක්‍ෂාව සෑම මවක් ම, සෑම පියකු ම තම දරුවන් කෙරෙහි දක්වන හෙයිනි.

එමෙන් ම මවුපියෝ දරුවන්ට පූර්ව ආචාර්යවරු වෙති. “බ්‍රහ්මාති මාතා පිතරො පුබ්බා චරියාති වුච්චරේ” පුරා දස මසක් අපමණ වධ වේදනා ඉවසමින්, විඳ දරා ගනිමින් මෙලොවට බිහි කරන තම දරුවා වෙත රතු පාට රුධිරය “සුදුපාට” කිරි බවට පත් කර මව විසින් පොවනු ලැබේ.

ඊට නොදෙවැනිව ස්වකීය පියා ද මහත් දුෂ්කරතා විඳ දරා ගනිමින් දහඩිය මහන්සියෙන් ධනය උපයමින් තම දරුවා පෝෂණයට උර දෙයි.

මෙලොව වෙසෙන සෑම අම්මා කෙනකුට මෙන්ම සෑම තාත්තා කෙනකුටම ඇති උතුම්ම වස්තුව තම දූ පුතුන් ය. “පුත්තා වත්‍ථු මනුස්සානං”

දරුවාගේ දරු සුරතල් බලමින් තම දරුවා පණ මෙන් රැක ගන්නේ ද ආදරණීය අම්මා සහ තාත්තා විසිනි.

එසේ හදා වඩා පෝෂණය කරන දරුවාට හොඳ නරක යහපත, අයහපත පළමුව කියා දෙන්නේ ද ආදරණීය අම්මා සහ තාත්තා විසිනි. ඒ නිසා දරුවාගේ මුල්ම ගුරුවරුන් වන්නේ දෙමාපියන් ය.

මෙසේ හදන වඩන දරුවා කෙරෙහි අප්‍රමාණ බලාපොරොත්තු මවුපිය දෙපළ විසින් ඇතිකර ගනු ලැබේ.

වෙසෙසින් ම තම දරුවාට අධ්‍යාපනය ලබාදීමට මවුපියන් කැප කරනුයේ අප්‍රමාණ කාලයකි. ඒ තම දරුවා සමාජයේ උසස් තත්ත්වයකට පත් කර ගැනීමේ අදහස නිසා ය.

දරුවාගේ අනාගත අභිවෘද්ධිය, යහපත පතා ඒ මවුපිය දෙපළ දරන උත්සාහය කෙතරම් අගය කළ යුතු ද?

දරුවා නිසි වයසේ දී පාසලකට ඇතුළත් කර පාසල් අධ්‍යාපනය ලබාදීමට දරනුයේ ඉමහත් වෙහෙසකි. සැබවින් ම එසේ තම දරුවාට පාසල් අධ්‍යාපනය ලබාදීමට ගන්නා වෑයම ද පැසසිය යුතු ය. එසේ දරුවාගේ අනාගත යහපත අභිවෘද්ධිය සැලසීම මවුපියන් සතු වගකීම හා යුතුකම ය.

දැනුම, ඤාණය මූලික කරගත් අධ්‍යාපනය දරුවාට ලබාදීම මෙන්ම තම දරුවා ගුණ දහමින් ද පෝෂණය කළ යුතු වේ.

ගුණ නැණ දැනුම වර්ධනයට මෙරට දහම් පාසල් අධ්‍යාපනය මඟින් ඉටු කැරෙනුයේ ඉමහත් මෙහෙවරකි.

අද දරු පරපුර මෙරට ජීවනාලිය බඳු වන්නේ හෙට ඔවුන් මෙරට වැඩිහිටි පරපුර වන හෙයිනි. එසේ නම් ඔවුන් ගුණ දහමින් පෝෂණය කිරීම මවුපියන්ගේ වගකීම නොවේ ද?

සිතට සැනසීම උදා කරන ශාන්ත සුන්දර පරිසරයකින් හෙබි පන්සල කේන්ද්‍රස්ථානය කර ගෙන මෙරට පවත්වාගෙන යන දහම් පාසල වෙත තම දූ පුතුන් යොමු කිරීම ළමා මනස ගුණ දහමට යොමු කිරීමක් වෙයි.

ළමා මනස නිරවුල් ය. ඒ නිරවුල් මනසට විවිධ විෂම වූ සංකීර්ණ සමාජ වට පිටාවෙන් විවිධ විෂබීජ ඇතුළත් කිරීම පහසු ය. ළමා මනස නිරවුල් වූ තරමට අවුලෙන් ගැටලුවෙන් තොර ය.

සිත නිවන දහම් සිසිලස උදා කර දෙන දහම් පාසල් අධ්‍යාපනය තම දරුවන්ට ලබා දීමෙන් මවුපියන්ගේ දහසක් බලාපොරොත්තු ඔවුන් නො අඩුව ඉටු කරනු ඇත.

තම දරුවන් වෙත ජාත්‍යන්තර පාසලක හෝ වෙනත් උසස් යැයි සම්මත පාසලක අධ්‍යාපනය පමණක් ලබාදීම ප්‍රමාණවත් නොවනු ඇත.

අයහපතට, දුසිරිතට යොමුවන දරුවකු දකින සමාජය, ඒ දරුවා හදා වඩා පෝෂණය කළ මවුපියන් වෙත පවා දොස් පැවරීම සාමාන්‍ය සිරිත යි.

එමෙන්ම ගුණ දහමින් හැදෙන වැඩෙන පෝෂණය වන දරුවා ඇගයීමට ද අපේ සමාජය පසුබට නොවනු ඇත.

සමාජයෙන් ලැබෙන කිත් පැසසුම් අපේක්‍ෂාවකින් නොව දරුවකු ගුණ දහමින් පෝෂණය කිරීමෙන් ඒ දරුවා නිවසට, ගමට, පළාතට, රටට අවැඩක් නොකරනු ඇත. අවැඩක් නොසිතනු ඇත.

මවට පියාට ගෞරව කරන, ගුරුවරයාට වැඩිහිටියාට ගෞරවයෙන් උපහාර දක්වන දරුවා සමාජයට මහත් ආදර්ශයක් මෙන් ම ආශීර්වාදයක් වනු ඇත.

සුවච කීකරු ගුණ දහමින් යුතු දරුවා මවට, පියාට, නිවසට, ගමට, පළාතට, රටට ආශීර්වාදයකි.

තම දරුවාට නිසි කලට ඒ දහම් අධ්‍යාපනය නොලැබීගියහොත් දරුවා පමණක් නොව ඒ මවුපිය දෙපළ ද අපහසුතාවයට පත්වනු ඇත.

හික්මීම, මනා සංවරය, තැන්පත් බව, පරිසරයෙන් ම ළමා මනසට යොමු කරවන දහම් පාසල් වෙත මවුපියන්ගේ අවධානය යොමු කර නොපමාව තම දරුවාට ඒ දහම් අධ්‍යාපනය ලබාදිය යුත්තේ අනාගත පසුතැවීමෙන් ද වැළකීම සඳහා ය.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]