UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දියුණුවේ දොර‍ටු

කිසියම් කාර්යයක් සපල කරගැනීමට නම් ඒ පිළිබඳ දක්‍ෂකමක් තිබිය යුතුම ය.කෘෂිකර්මාන්තය, වෙළඳාම යනාදී රැකියාවක නිරතවන්නා එකී කර්මාන්තය පිළිබඳව දක්‍ෂවිය යුතු ය. දක්‍ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු හේතුකොට ගෙනය.

නමො තස්ස භගවතො
අරහතො සම්මා සම්බුද්ධස්ස

කතමාච ව්‍යග්ඝපජ්ජ උට්ඨාන සම්පදා? ඉධ ව්‍යග්ඝපජ්ජ කුලපුත්තො යෙන කම්මට්ඨානෙන ජීවිකං කප්පෙති, යදි කස්සා යදි වණිජ්ජාය, යදි ගෝරක්ඛෙන, යදි ඉස්සත්ථෙන, යදි රාජපොරිසෙන, යදි සිප්පඤ්ඤතරෙන, තත්ථ දක්ඛො හොති, අනලසො, තත්‍රෑපායා වීමංසාය, සමන්නාගතො, අලංකාතුං, අලං සංවිධාතුං, අයං වුච්චති ව්‍යග්ඝපජ්ජ උට්ඨාන සම්පදා

සැදැහැවත්නි,

මා මාතෘකා කරගත් ඉහත පාඨය සඳහන්ව ඇත්තේ ව්‍යග්ඝපජ්ජ සූත්‍ර දේශනාවෙහිය. එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ කක්කරපත්ත නමැති කෝලිය ගමට වැඩම කළහ. එහිදී ව්‍යග්ඝපජ්ජ වංශික දීඝජානු නමැති කෝලිය පුත්‍රයා බුදුරදුන් හමුවීමට ගොස් එකත්පස්ව හිඳ මෙසේ පැවසීය.

“ස්වාමීනි අපි පස්කම් සැප අනුභව කරමින් අඹු දරුවන් නිසා වන කරදර සහිතව ගිහි ගෙදර වාසය කරමු. කසීරට සුවඳ සඳුන් පරිභෝග කරමු. මල් ගඳ විලවුන් කරමු. රන්රිදී මසු කහවණු ඉවසමු. ස්වාමීනි මෙසේ ජීවත්වන අපට මෙලොව හිත සුව පිණිස පරලොව හිත සුව පිණිස උපකාර වන්නා වූ ධර්මයක් දේශනා කරන සේක්වා!”

මෙහිදී බුදුරජාණන් වහන්සේ මිනිසාගේ මෙලොව හිත සුව පිණිස පවත්නා කරුණු සතරක් ද, පරලොව හිත සුව පිණිස පවත්නා කරුණු සතරක් ද දේශනා කළහ. එයින් මෙලොව හිතසුව පිණිස හේතුවන කරුණු සතර නම් උත්සාහ සම්පත්තිය (උට්ඨාන සම්පදා) ආරක්‍ෂා සම්පත්තිය (ආරක්ඛ සම්පදා) කල්‍යාණ මිත්‍රයන්ගේ ආශ්‍රය (කල්‍යාණ මිත්තතා) පමණ දැන සමව ජීවත්වීම යි. (සමජීවිකතා)

මෙයින් ඉහත මාතෘකාව ලෙස මා දැක්වූයේ, උට්ඨාන සම්පදාව යනු කුමක්දැයි පදනමින් බුදුරදුන් දේශනා කළ පාඨයයි. එහි අදහස නම්,

“ව්‍යග්ඝපජ්ජය, උට්ඨාන සම්පදාව නම් කුමක්ද? මේ ලෝකයේ යම්කිසි කුල පුත්‍රයෙක් ගොවිතැනින් හෝ වෙළඳාමෙන් හෝ ගව පාලනයෙන් හෝ දුනු ශිල්පයෙන් හෝ රාජ්‍ය සේවාවෙන් හෝ වෙන යම්කිසි ශිල්පයකින් හෝ දිවි පවත්වයි නම්, ඒ තමන් කරන කාර්යයෙහි දක්‍ෂ වෙයි ද අලස නොවේද? ඒ කාර්යයෙහි උපායෙන් විමසීමෙන් යුක්ත වේද? එය කිරීමටත් සංවිධානය කිරීමටත්, සමත් වේද, මෙය උට්ඨාන සම්පදාවයි.”

ඒ අනුව මෙමඟින් වඩාත් ඉස්මතු කොට පෙන්වා දී ඇත්තේ තමන් යම්කිසි ජීවන මාර්ගයකින් දිවි පෙවෙත ගෙන යන්නේ ද ඒ පිළිබඳව තමා,

1. දක්‍ෂවිය යුතු ය. (නත්ථ දක්ඛො හොති)
2. අලස නොවිය යුතුය (අනලසො)
3. එය උපායෙන් හා විමසීමෙන් කළ යුතු ය. (තත්‍රෑපායාය වීමංසාය සමන්නාගතො)
4. එය කිරීමටත්, සංවිධානය කිරීමටත් දක්‍ෂ විය යුතු ය. (අලංකාතුං අලං සංවිධාතුං)

දක්‍ෂ බව

කිසියම් කාර්යයක් සපල කරගැනීමට නම් ඒ පිළිබඳ දක්‍ෂකමක් තිබිය යුතුම ය.කෘෂිකර්මාන්තය, වෙළඳාම යනාදී රැකියාවක නිරතවන්නා එකී කර්මාන්තය පිළිබඳව දක්‍ෂවිය යුතු ය. දක්‍ෂතාව ඇතිවන්නේ ඒ පිළිබඳ ඇති ඇල්ම, දැනුම, ක්‍රියා කෞශල්‍යය ආදී කරුණු හේතුකොට ගෙනය. ලෝකයේ ඇතැම්හු උත්පත්තියෙන්ම යම් යම් දේට දක්‍ෂ වෙති. සංසාර පුරුද්ද එයට හේතුව යැයි සිතිය හැකි ය. එසේ නොමැති වූවත් අධිෂ්ඨාන ශක්තියක් ඇති පුද්ගලයාට අවශ්‍ය ඒ ඒ ක්‍රියාවන් කෙරෙහි දක්ෂකමක් ඇතිකරගත හැකි ය. මිනිසා තුළ ඇති ක්‍රියා ශක්තිය ඉතා විශාලය. එහෙත් බොහෝදෙනා එයින් ප්‍රයෝජන ගනුයේ ඉතා අල්ප වශයෙනි. තමා තුළ පිහිටි ක්‍රියා ශක්තියෙන් නියම අයුරින් ප්‍රයෝජන ගන්නේ නම් ඕනෑම පුද්ගලයෙකුට දියුණු විය හැකි ය. එසේම තමා තුළ ඇත්තේ කවර දේකට අදාළ දක්‍ෂකමෙක් දැයි, යන්න හොඳින් තේරුම් ගෙන කෙනෙකුට දියුණු විය හැකි ය. එක් එක් පුද්ගලයා තුළ ඇත්තේ එක් එක් දේ පිළිබඳ දක්‍ෂකමකි. බොහෝ දේ පිළිබඳ දක්‍ෂකම් ඇත්තෝ ඉතා විරලය හ. “ලොවින් එකෙක් එක් දෙයකට වෙයි සමත” යැයි අපේ පැරණි කියමනක් ඇත්තේ එහෙයිනි. එසේ හෙයින් තමා තුළ ඇති දක්‍ෂකම තෝරාගෙන ක්‍රියා කිරීම තමන් සතු කාර්යයකි. මේ අනුව උට්ඨාන සම්පදාව ඇතිකර ගැනීමට දක්‍ෂබව බෙහෙවින්ම හේතුවන බව පැහැදිලිය. අදක්‍ෂ පුද්ගලයා මෙලොව හා පරලොව යන දෙඅංශයෙන්ම පිරිහීමට පත් වේ. කරණීය මෙත්ත සූත්‍රයෙහි ‘සක්කෝ’ යන්නෙන් අදහස් වන්නේ ද මෙම දක්‍ෂබවයි.

අනලස බව

උට්ඨාන සම්පදාව ඇතිකර ගැනීමට අවශ්‍ය අනෙක් කරුණ නම් “අනලසබව“ යි. එනම් කම්මැලි නොවීමයි. පරාභව සූත්‍රයේ දී අලස බව පිරිහීමේ කරුණක් ලෙස බුදුන් වහන්සේ පෙන්වා දුන්හ. සිඟාලෝවාද සූත්‍රයේ දී මෙහි ආදීනව මෙසේ වදාළහ.

“දැන් ඉතා ශීතය. ඉතා උෂ්ණය. ඉතා සවස් ය. ඉතා උදේය. ඉතා බඩගිනිය. ඉතා බඩ පිරුණේයයි වැඩ නොකරන්නාගේ ධනය පිරිහෙයි. අමුතු ධනයකුදු ඇති නොවෙයි. මෙසේ අලසකමින් සිතන්නාට වැඩ කිරීමට කාලයක් නොමැත. උත්සාහවත් පුද්ගලයාට සිදු කළ නොහැකි දෙයක් නැති බව “උට්ඨානවතෝ භික්ඛවෙ කිං නාම නසිජ්ඣති” යනුවෙන් ද බුදුරජාණන් වහන්සේ දේශනා කළහ. මෙම වීර්යයට විරුද්ධ ධර්මය “ථීන මිද්ධය”යි. එනම් චිත්ත චෛතසිකයන්ගේ මැලිබවයි. මෙය නැතිකරගැනීමට ත්‍රිවිධ වීර්යයක් බුදුරදුන් උගන්වා ඇත. එනම්,

1. ආරම්භ ධාතු (යම්කිසි කාර්යයක් ආරම්භ කිරීමේ වීර්යය)
2. නික්ඛම ධාතු (ආරම්භ කළ කාර්යය නොනවත්වා ඉදිරියට කරගෙනයාම)
3. පරක්කම ධාතු (පැමිණි සෑම උවදුරක්ම මැඩගෙන ඉදිරියට යාම)
 

උපායෙන් හා විමසීමෙන් යුක්තවීම

උට්ඨාන සම්පදාව ඇතිකර ගැනීමට අවශ්‍ය තෙවැනි කරුණ ලෙස මෙය දැක්විය හැකි ය. කර්ම විපාකයේ දී බලපාන බාහිර කරුණු සතර අතර ‘ප්‍රයෝගය’ ද එකකි. ප්‍රයෝගය යනු උපායයි.

මෙලොව දියුණුවට අවශ්‍ය ගොවිතැන්, වෙළඳාම් ආදී දේ දියුණුකර ගැනීමට උපායෙහි දක්‍ෂබව ඇතිවිය යුතු ය. උපාය මාර්ග දෙකක් ඇති බව ද මෙහිදී වටහාගත යුතු ය. එනම් මිථ්‍යා උපාය (වැරදි උපාය) හා සම්මා උපායයි. (නිවැරදි උපායයි) මින් අනුනට පීඩා පමුණුවන වැරදි උපාය මාර්ගයන් සහමුලින්ම බැහැර කළ යුතු ය. නිවැරදි උපාය මාර්ග පමණක් භාවිතයට ගත යුතු ය. කිසාගෝතමියට කිසිවකු නොමල ගෙයකින් අබ මිටක් ගෙනෙන්නැයි, බුදුරදුන් වදාළේ සම්‍යක් උපාය මාර්ගය මුල්කරගෙනය. එනම් තමා පත්ව ඇති තත්ත්වය තමාටම තේරුම් ගැනීමට ඉඩකඩ සැලසීමයි.

උපාය සමග විමසා බලා කටයුතු කිරීම ද අත්‍යවශ්‍ය ය. නොවිමසා නොසිතා කටයුතු කරගන්නා දියුණු නොවන බව බුදුන් වහන්සේ වදාළහ. කල්පනා ශක්තිය යෙදවීමක් නැතිව අවිචාරවත් ලෙස ක්‍රියා කරන්නා දෙලොවින්ම පිරිහෙයි. එය පැවිදි වුවහොත් රහත්වීමටත්, නිසි සේ ගිහිජීවිතය ගත කළේ නම් මහ සිටුවීමටත් වාසනාව තිබියදී නොනිසි ලෙස ක්‍රියාකොට සිඟන්නෙකු බවට පත් වූ රජගහනුවර සිටාණන්ගේ කතාවෙන් පැහැදිලි වේ. විමසීමෙන් හා උපායෙහි දක්‍ෂව ක්‍රියා කරන්නා ඉතා සුළු දෙයකින් පවා දියුණු වන අයුරු මළ මී කුණක් විකුණා සිටුවරයෙක් වූ චුල්ලසෙට්ඨි කතා පුවතෙන් විග්‍රහ කෙරේ. එම සිද්ධියම ඇසුරු කොට කුඩා ගිනි පුපුරකින් මහා ගින්නක් මොලවන්නා සේ ඉතා කුඩා දෙයකින් විශාල ධනයක් උපයා ගත හැකි යයි, බුදුන් වහන්සේ දේශනා කළහ. එසේ කළ යුත්තේ අනුන් තලා පෙලා හිංසා පීඩාකොට අධාර්මික ලෙසින් නොවේ. ධාර්මිකව යෙදූ උපාය ශක්තියෙන් හා විමසීමේ නුවණිනි.

සංවිධානයෙහි දක්‍ෂ බව

උට්ඨාන සම්පදාව ඇතිකර ගැනීමට අවශ්‍ය සිවුවැනි කරුණ ලෙස ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි සඳහන්ව ඇත්තේ සංවිධානයෙහි දක්‍ෂ බවයි. කිනම් කාර්යයක වුවද පිළිවෙළක් සංවිධානයක් තිබිය යුතුමය. අසංවිධානාත්මකව සිදු කරන දේ සාර්ථක නොවේ. ජීවිතයේ දෛනික කටයුතු සියල්ලක් ද සංවිධානාත්මකව කළ යුතු ය. දින සටහනක්, කාල සටහනක් අවශ්‍ය වන්නේ එබැවිනි. බුදුරදුන් පවා එදිනෙදා කටයුතු සිදු කළේ දින චරියාවකට අනුවයි.

එබැවින් කිසියම් කාර්යයක් සපල කර ගැනීමට නම් සංවිධානශීලී බව ද මැනවින් අත්‍යවශ්‍ය ය. මෙම කරුණු දෙස අවධානය යොමු කිරීමේ දී “උට්ඨාන සම්පදාව“ යනු කුමක්ද? එය මෙලොව, පරලොව දියුණුවට හේතුවන්නේ කෙසේද? යන්න පැහැදිලි ය. වෙසෙසින් ගිහි බෞද්ධයන්ට වැදගත් වන මෙම ව්‍යග්ඝපජ්ජ සූත්‍රයෙහි අන්තර්ගත කරුණු මනාව වටහාගෙන ජීවිතය සාර්ථකත්වය කරා ගෙන යාමට සැවොම අදිටන් කර ගත යුතු ය.

තෙරුවන් සරණයි,

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]