UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බැති සිත් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් පිරී ගිය ස්වීඩනයේ හා නෝර්වේ කඨින චීවර පූජා...

තිලෝගුරු අමාමෑණි අප තතාගත බුදුරජාණන් වහන්සේ විසින් වදාරන ලද මෙග් ගමන් ගන්නා සුපින්වත් බොදුනුවන් සෑම වර්ෂයක් පාසාම උදා වන්නා වූ කඨින සමයේ පිළිවෙතින් පෙළ ගැසී මහත් උනන්දුවකින් ගමත් පන්සලත් යා කරමින් විවිධාකාරයේ පින්කම් වල නියැළෙති. මෙම ආදර්ශය මැනැවින් ලොවට කියාපාමින් තම උපන් දේශයෙන් සැතපුම් දහස් ගණනක දුරින් යුරෝපයේ වාසය කළද, වත් පිළිවෙත් වලට මුල් තැනක් ලබා දෙමින් ස්වීඩනයේ හා නෝර්වේහි වෙසෙන ශ්‍රී ලාංකීය බොදුනුවන් විදෙස් බැතිමතුන් සමඟින් එක්ව මෙවර කඨින චීවර පූජාව මහත් හරසරින් පැවැත්වූහ.

ස්වීඩනයේ කඨින පින්කම

ස්වීඩනයේ ස්ටොක්හොල්ම් අගනුවරට කිලෝමීටර 27 ක දුරින් නිස්කලංක, සුන්දර වට පිටාවකට මැදිව පිහිටි ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරස්ථානයේ වාර්ෂික කඨින මහා පින්කම විහාරාධිපති, ස්කැනේඩියානු රටවල ප්‍රධාන සංඝනායක, විනය කීර්ති ශ්‍රී සිද්ධාර්ථ, පර්යාපති විශාරද, කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියන්ගේ පූර්ණ අනුශාසනා මධ්‍යයේ මහත් උත්සවශ්‍රීයෙන් පැවැත්විණි.


මහා සංඝරත්නය කඨින චීවර විනය කර්මයන් පවත්වමින්......

1985 දී ස්වීඩනයේ ශ්‍රී ලංකා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් පිහිටුවනු ලැබූ මෙම විහාරස්ථානයේ එදා සිට අද දක්වාම එහි වෙසෙන ශ්‍රී ලාංකීය බෞද්ධ බැතිමතුනගේ මෙන්ම ස්වීඩන් ජාතික බෞද්ධ බැතිමතුනගේද සදහම් සිතිවිලි අවදි කරවීම උදෙසා විවිධාකාර වූ බොදු වැඩසටහන් රාශියක් දියත් කර තිබේ. රෙපරමාදු ක්‍රිස්තියානි භක්තිකයන් බහුතරයක් වෙසෙන ස්වීඩනයේ නිදහස් මත දරන්නන්ට ඇති අවකාශයන් බොහෝ ය. බුද්ධාගම, කිසියම් දෙවි කෙනෙකු අරභයා ඇදහීමක් හෝ මැවීමක් පිළිබඳව කෙරෙන යාතිකාවක් නොවන නිසා එරට බොහෝ දෙනා බුද්ධාගමට සළකන්නේ මහත් ගරුත්වයකිනි. එමෙන්ම බුද්ධාගම ස්වීඩන් රජය විසින් වසර 2000 දී කැබිනට් අනුමැතියක් ලබමින්, එරට පාර්ලිමේන්තුවේදී සම්මත වූ රජය පිළිගත් ආගමක් වීමද තවත් විශේෂත්වයකි.

බුදුපියාණන් වහන්සේගේ තුන් කල් දක්නා නුවණින් යුක්තව අසහනකාරීව දුකට පත් ජනයා වෙනුවෙන් එදා වදාළ ධර්මය අදත් ස්විඩන් තරුණ පරපුර දයාඹරත්වයෙන් වැළඳගෙන ඇත. ඔවුනගේ විශ්වාසය වන්නේ බුදුදහමේ අන්තර්ගතය විද්‍යාත්මකව ඔප්පු වන නිසාවෙන් නිර්මල බුදු දහම සත්‍ය ධර්මයක් බවට පසක් වන බවයි.

ආගමික පරිසරයක් තුළ යම් කටයුත්තක් සිදු කරන අවස්ථාවකදී සියලුම ආගමික නායකයන්ගෙන් සැදුම්ලත් එරට ‘ආගමික අවබෝධතා සමුළුවේ’ උපදෙස් හා අදහස් විමසීම කරනු ලැබේ. ධම්මරතන නාහිමියන් ද බෞද්ධ පාර්ශ්වයෙන් එරට සංගම් රැසක ඉහළ තනතුරු රැසක්ම හොබවති.

මිහිපිට සත්‍ය සොයා යන බොහෝ ස්වීඩන් ජාතිකයන් බුද්ධාගම සම්බන්ධයෙන් කරුණු ගවේෂණය කිරීමට පෙළඹීමෙන් බුදු දහම එරට තුළ අද බොහෝ ප්‍රචලිතය. විශේෂයෙන්ම එරට පාසල් වල රජය මඟින් බුද්ධාගම විෂයක් වශයෙන් උගන්වනු ලබන අතර, විෂයානුකූල දේශනයන් සඳහා එරට විශ්ව විද්‍යාල වලින් ස්වාමීන් වහන්සේලාට නිරන්තරයෙන් ආරාධනා ලැබේ. ඊට අමතරව රෝහල්, සිර ගෙවල් මෙන්ම විවිධ ආයතනයන්හි ඉල්ලීම මත උතුම් ධර්මාවබෝධය ලබා දීම පිණිස විශේෂ වැඩපිළිවෙළවල් රැසක් දියත් කර තිබේ.


කඨින පින්කම සඳහා පැමිණි සැදැහැවතුන්....

ස්වීඩනයේ ශ්‍රී ලාංකික බෞද්ධ පිරිස 1200 ක් පමණ වන අතර, මෙවර කඨින පූජෝත්සවය සර්වප්‍රකාරයෙන්ම සාර්ථක කර ගැනීම සඳහා ස්වීඩන් ජාතිකයන්ගේ මෙන්ම තායිලන්ත, බුරුම, බංග්ලාදේශ් බෞද්ධ දායක දායකාදීන්ගේද සහාය නිබඳවම ලැබිණි. ස්ටොක්හොල්ම් විහාරස්ථානය බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් සියල්ල සංවිධානය කරනු ලැබූ කඨින චීවර පින්කමේදී, ප්‍රථමයෙන්ම ගිලන් පස බුද්ධ පූජාව පවත්වා අනතුරුව විහාරාධිපති, කිරිඳිගල්ලේ ධම්මරතන නාහිමියන් විසින් කඨිනානිසංස ධර්ම දේශනාව පැවැත්වූහ.

සිංහල භාෂාවෙන් මෙන්ම ස්වීඩන් භාෂාවෙන් ද කඨින පින්කමක ඇති හරය අර්ථයෙන්, ධර්මයෙන් මනාව පැහැදිලි කර දුන් උන්වහන්සේ, මෙවන් උදාර කටයුත්තකට දායකත්වයක් ලබා දුන්නා වූ සියල්ලන්ටම පින් පැමිණවූහ. විශේෂයෙන්ම තිස් වසරක කුරිරු යුද්ධයෙන් ශ්‍රී ලාංකාද්වීපය ගිලගෙන තිබූ රුදුරු ත්‍රස්තවාදය සම්පූර්ණයෙන්ම පරාජය කර දමා උතුම් මව්බිම බේරා දුන් රණවිරුවන්ටත්, ඊට සේනාධිනායකත්වය සැපයූ අතිගරු ජනාධිපති, මහින්ද රාජපක්‍ෂ මැතිතුමන්ටත්, මෙම 19 වෙනිදාට යෙදෙන එතුමන්ගේ 66 වන උපන්දිනයට හා ජනපති පදවි ප්‍රාප්තියේ දෙවන අභිෂේකයේ පළමු වර්ෂ පූර්ණය නිමිත්තෙන් ස්වීඩන්හි වෙසෙන ශ්‍රී ලාංකිකයන්ගේ ආශිර්වාදයන් හා දිගාසිරි එක් කරමින් සෙත් පැතූහ.

අනතුරුව සාධුකාර මධ්‍යයේ සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනා ආරම්භ විණි, විහාරස්ථ දායක සභාවේ වෙහෙස මහන්සියෙන් ශ්‍රී ලාංකීය සම්ප්‍රදායානුකූලව ඉදිකරනු ලැබූ අලංකාරවත් පිරිත් මණ්ඩපයක ගරුතර ස්වාමීන් වහන්සේලා හයනමක් වැඩම කරවමින් පසුදා පහන් වනතුරා පිරිත් සූත්‍ර සජ්ඣායනා කරනු ලැබීය. පසුදා අලුයම් කාලයේ පටන් කඨින පින්කමට අදාළව වත් පිළිවෙත් සියල්ලක්ම සිදු කරන්නට පෙළ ගැසුණාහ. තම නිවෙස් වලින් ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වෙනුවෙන් හදබැතියෙන් පිළියෙළ කර ගෙන පැමිණියා වූ දානමය වස්තූන් සූදානම් කරමින් කඨින කටයුතු ඉටු කෙරිණි.

මෙවර කඨින පූජෝත්සව මහා පින්කමට නෝර්වේ, ඩෙන්මාර්ක් හා ගී‍්‍රසියේ නායක ස්වාමීන් වහන්සේලා වැඩම කර සිටියහ. සැදැහැවතුන් විසින් ගෞරව පෙරදැරිව පිළිගත් මහා සංඝරත්නය පෙරහරින් වැඩම කරවා අසුන් ගන්වා ප්‍රථමයෙන්ම පංචශීලය සමාදන් කිරීමෙන් අනතුරුව කඨින චීවරය පූජා කිරීමේ කටයුතු සිදු කෙරිණි.

නියමිත විනය කර්මානුකූලව පූජා කළ කඨින චීවරය, මහා සංඝරත්නයේ ආශිර්වාදයන් මධ්‍යයේ ස්වීඩනයේ ස්ටොක්හොල්ම් බෞද්ධ විහාරයේ වැඩ වාසය කරනු ලබන බුරුම ජාතික සෝබන හිමියන් වෙත පිරිනැමුණු අතර ඒ සම්බන්ධයෙන් වූ ශාසනික වත් පිළිවෙත් ඉටු කරන ලදී.

අනතුරුව සපිරිකර සහිත දවල් දානමය පින්කම පිරිනැමුණු අතර, එහිදී ශ්‍රී ලාංකික කුඩා දරු දැරියන් විසින් ස්වාමීන් වහන්සේලා වෙත දානය පිරිනමම්න් මහත් උද්‍යෝගයකින් යුක්තව කටයුතු කිරීම කාගේත් පැසසුමට ලක්විය.

සවස්යාමයේ දී ශ්‍රී ලාංකික බෞද්ධ පින්වතුන් මෙන්ම ස්වීඩන්, බුරුම, තායිලන්ත හා බංග්ලාදේශ් බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් පැවැති විශේෂ භාවනා වැඩසටහනෙන් අනතුරුව කඨින පූජෝත්සවය නිමාවට පත් වූයේ ය.

නෝර්වේ කඨින පින්කම

නෝර්වේ ඔස්ලෝ නුවරට කිලෝමීටර් 22 ක් පමණ දුරින් තරමක් කඳුකර ප්‍රදේශයක වන්නට පිහිටි මනරම් ස්ථානයක ඔස්ලෝ බෞද්ධ විහාරස්ථානය පිහිටා තිබේ. 2011 මාර්තු මාසයේ 19 වෙනිදා තිසරණ බෞද්ධ සංගමයේ අනුග්‍රහකත්වය මධ්‍යයේ ඉදි කරනු ලැබූ එම විහාරස්ථානයේ විහාරාධිපතීත්වය දරනු ලබන්නේ මාරතුගොඩ මණිරතන හිමියන් විසිනි.

නෝර්වේ හි ශ්‍රී ලාංකිකයන් 300 කට වඩා ජීවත්වන අතර ජපන්, චීන, වියට්නාම, ටිබෙට්, බුරුම හා තායිලන්ත යන රටවල බෞද්ධයෝ 20,000 කට ආසන්න පිරිසක් එහි ජීවත් වෙති. ස්වීඩන් රජයේ මෙන්ම නෝර්වේ රාජ්‍යයෙන් ද බෞද්ධ බැතිමතුන් වෙනුවෙන් විශේෂ පිළිගැනීමකට පාත්‍ර වේ. එරට බෞද්ධ සංගමයේ සාමාජිකත්වය ලබන බැතිමතුනට විශේෂ දීමනාවක් රජය විසින් වාර්ෂිකව පිරිනමනු ලැබේ.

දෙදිනක් පුරා කඨින පින්කම ඔස්ලෝ විහාරස්ථානයේ දී පැවැත්වුණේ නෝර්වේ බෞද්ධ බැතිමතුනට මහත් කුසල් රාශියක් එක් කරමිනි. අනුරාධපුරයේ සිට වැඩම කරවා විහාරස්ථානයේ රෝපණය කර ඇති ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ බෝ අංකුර නම ඉදිරියේ පැවැති විශේෂ බෝධි පූජාමය පින්කමෙන් අනතුරුව කඨින පූජෝත්සවයේ වැඩසටහන් ආරම්භ කෙරිණි.

රාත්‍රිය ආරම්භවත්ම මහා සංඝරත්නය වැඩමවා සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්විය. නෝර්වේහි පැවැත්වූ ප්‍රථම කඨින පින්කම මෙය වූ අතර, රැය පහන්වනතුරා පැවැති ප්‍රථම පිරිත් සජ්ඣායනාව මෙය වීමද විශේෂත්වයකි. එනිසාවෙන්ම නෝර්වේ වැසියනට මෙය මහත් භාග්‍යයක් මෙන්ම කුතුහලය දනවන කාරණාවක් ද වූයේ ය.

පසුදා වැඩම කරවන ලද්දා වූ අට නමක් විෂයෙහි සපිරිකර සහිත මහා සංඝගත දක්‍ෂිණාවක් ද පැවැත්විය. ඉන් අනතුරුව කඨින චීවරය සැදැහැසිතින් ස්වාමීන් වහන්සේලා වෙත පිරිනැමුණු අතර ගෞරවනීය මහාසංඝරත්නයේ පූර්ණ ආශිර්වාදයන් මධ්‍යයේ නියමිත විනය කර්මයන් සිදු කෙරිණි.

අනතුරුව කඨින පින්කමේ සමාප්තිය සනිටුහන් වූ අතර, පළමු වරට පැවැති කඨින පින්කම වෙනුවෙන් තම දායකත්වය ලබා දීම සඳහා නෝර්වේහි වෙසෙන ශ්‍රී ලාංකිකයන්, නෝර්වේ ජාතිකයන් මෙන්ම විදෙස් රටවල බෞද්ධ බැතිමතුන් රාශියක් එක්ව සිටීමද විශේෂයෙන් කැපී පෙනෙන කාරණයකි.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය
නොවැම්බර් 18 වන දා සිකුරාදා පූර්ව භාග 09.17 ට ලබයි.
19 වන දා සෙනසුරාදා පූර්ව භාග 07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 18 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය නොවැම්බර් 24 වනදා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24

First Quarterපුර අටවක

දෙසැම්බර් 02

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 10


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]