UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිහින ලෝකයෙන් මිදෙමු  සැබෑ ලෝකය දකිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

සිතේ හැකිළෙන ස්වභාවය, නිදිමත ස්වභාවය, මේ ඔක්කොම බැහැර කරගන්ට පහසුයි. අපට සිදුවෙන ඇත්ත කල්පනා කරන කොට, වීරිය උපදිනවා. සිත සංසිඳෙනවා. අපි නිදිමතට ඉඩ දෙනවද? නිදිමතට ඉඩ දෙන්නේ නෑ. සිතේ හැකිළීමට ඉඩ තියෙනවා ද? සිතේ හැකිළීමට ඉඩ නෑ. සිතේ විසිරීමට ඉඩ තියෙනවාද? නෑ. ඇයි? සිත සංසිඳීල. කාමයන් ඔස්සේ සිත දුවයිද? නෑ. ඇත්ත තත්වය කල්පනා කරන කෙනාට කාමයන් වැඩක් නෑ. එහෙමනම් මේ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය, සිතේ විසිරෙන ස්වභාවය, සිතේ හැකිළෙන ස්වභාවය, ථීනමිද්ධය මෙන්ම මේ කියන භාවනාවට බාධා පමුණුවන, බලවත් සේ බාධා පමුණුවන අකුසල් බැහැර කරන්නට තියෙන හොඳම උපක්‍රමය තමයි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කිරීම. ඒ එක කටයුත්තෙන්, අර අකුසල් ටික ඔක්කෝම දුරු කරන්නට පුළුවන්.

අප ඉතාම කරුණාවෙන් මේ අයගෙන් ඉල්ලා සිටින්නට කැමැතියි තමා තමාට ම අනුකම්පා කර ගන්න. තමා තමා කෙරෙහි සෙනෙහසක් උපදවා ගන්න. තම තමා‍ෙග් ජීවිතයට අභිවෘද්ධියක් ඇති කර ගන්නට ඕනෑ කියන අදහස ඇතිකර ගන්න. තමන්ට තමන් විතරයි. අන්තිමට කාගෙන්වත් පිළිසරණක් නැතිව යනවා.

ඒ නිසා කාලය අපතේ හරින්න එපා. අනවශ්‍ය දේවල් කතාකර කර ඉන්ට එපා. සිහින ලෝකවල වාසය කරන්ට එපා. සැබෑ ලෝකය තේරුම් අරගෙන සැබෑ ලෝකය තුළ වාසය කරන්ට පුරුදු වෙන්න. සැබෑ ලෝකය හඳුනාගත්තොත් සිහින ලෝකය නිරුද්ධවෙලා යනවා. සිහින ලෝකයක ඉඳීම දුක් සහිතයි. අපට සැබෑ ලෝකය තුළ සුව පහසුවෙන් ඉන්ට පුළුවන්. එතනයි ආරක්ෂාව තියෙන්නෙ.

මොකක්ද ඒ සැබෑව? මොකක්ද ඒ සැබෑ ලෝකය? ඇත්ත තත්ත්වය මොකක් ද? අපි මැරිලා යනවා. අපි කොයි මොහොතේ හරි මරණයට පත්වෙනවා. අන්න ඒක නිතර සිහි කරන්න. කොයි මොහොතේ අපි මැරෙනවද දන්නේ නෑ. තව සුළු මොහොතකින් අපි මැරිලා යන්නට පුළුවන්. ඒක සිහි කරන්න. ඒක තමයි ඇත්ත ලෝකය. තව ටිකකින් අපේ පි‍්‍රය අයගෙන් අපිට වෙන්වෙන්ට සිද්ධ වෙයි. තව ටිකකින් අපි ලෙඩවෙන්ට පුළුවන්. මොහොතින් මොහොත අපි වයසට යනවා. අබල දුබල වෙලා යනවා. මොහොතින් මොහොත මරණය කරා යනවා. මැරෙනකොට, මේ සියලු දේ අපට දාල යන්ට සිද්ධ වෙනවා. යාළු මිත්‍රයන් අප සිතූ පැතූ සියලු දේ අත හරින්නට සිද්ධ වෙනවා. අතහැරලා යන්ට වෙනවා’ අන්න ඒවා කල්පනා කරන්න.

එහෙම කල්පනා කළොත්, එතන තමා සැබෑ ලෝකය තියෙන්නෙ. ඒවායින් බැහැර අප ඉන්නේ මවාගත්තු ලෝකවල. ඒ මවාගත්තු ලෝකය තුළ හිත මිත්‍රකම් නෑ. එතන තියෙන්නේ ආත්මාර්ථකාමීකම. පරාර්ථය නෑ. එතන තියෙන්නේ අහිතවත්කම. හිතවත්කම නෑ. ඒ වගේම එතන සංවරකම නෑ. අසංවරකම තමයි තියෙන්නේ. එතන කීකරුකම නෑ. එතන තියෙන්නේ මුරණ්ඩුකම. එතන ගුණවත් බව නෑ. දුර්ගුණ තියෙන්නෙ. එතන ගුණ කල්පනා කරන්න බෑ. අගුණ කල්පනා කරන්නේ. එතන ධර්මයට එන්ට බෑ. අධර්මයේමයි වාසය කරන්නෙ. එතන සතුට නෑ. දුක තියෙන්නෙ. එතන මෛත්‍රී කරුණාව නෑ. තරහ, ගැටෙන ස්වභාවය තියෙන්නෙ.

ඒ නිසා මවාගත්තු ලෝකය බැහැර කරන්ට කල්පනා කරන්න. සිහින ලෝකවල වාසය කිරීම අතහරින්ට කල්පනා කරන්න. සැබෑ ලෝකයට එන්නටනම් අපට සිද්ධවෙන ඇත්ත කල්පනා කරන්ට. සිතලා බලන්න අපට සිද්ධවෙන ඇත්ත අපි කල්පනා කරනවද? කියලා.

දවසට කී වතාවක් අපි ඇත්ත කල්පනා කරනව ද? දවසේ පැය විසිහතරෙන් බොහෝ වෙලාවක් නිදියනවා. ඉතිරි වේලාවේදී අපේක්ෂා පොදි බඳිමින් වාසය කරනවා.

වැඩි වෙලාවක් ඇත්ත කල්පනාවෙන් බැහැරවයි අපේ සිත තියෙන්නෙ. ඒ නිසා දවසේ වැඩි වෙලාවක් අපේ ජීවිතේ ඇත්ත ස්වභාවය කල්පනා කරන්න.

ඇත්ත කල්පනා කළොත් සංවේගය උපදිනවා. සංවේගය උපදින තැන, ඇලෙන ගැටෙන ස්වභාවය බැහැර වෙනවා. අන්න එතන සතිපට්ඨානයට සිත පිහිටුවාගන්නට පුළුවන්. සංවේගය උපදින සිත කායානුපස්සනාවේ පිහිටුවාගන්නට පුළුවන්.

වේදනානුපස්සනාවේ පිහිටුවාගන්ට පුළුවන්. චිත්තානුපස්සනාවේ පිහිටුවාගන්ට පුළුවන්. ධම්මානුපස්සනාවේ පිහිටුවාගන්නට පුළුවන්. සතිපට්ඨානයට සිත පිහිටුවාගන්නට පුළුවන්කම ලැබෙන්නේ සිත සංවේගයට පත්වුණොත්. සංවේගයට පත්වෙන්නේ සැබෑ ලෝකය තුළ වාසය කරනව නම් ඇත්ත තුළ වාසය කරනව නම් ඇත්ත කියල කියන්නේ, අපිට සිදුවෙන දේ සිහිකිරීම.

වයසට යාම, මරණයට පත්වීම, ලෙඩවෙන ස්වභාවය, පි‍්‍රයයන්ගෙන් වෙන්වීම, අපි‍්‍රයන් හා එක්වන්නට සිදුවීම ආදි අපට සිදුවෙන දේ සිහි කරන්න. මේවා සිහිකරනවා නම් එකිනෙකා සන්සුන්, කලබල නෑ. මේවා සිහි නොකරන තැන සිතේ විසිරීමයි තියෙන්නෙ. ඇත්ත කල්පනා කරන්ට කරන්ට අපේ සිතේ කැළඹීමේ ස්වභාවයන් දුරුවෙලා සිත සංසිෙඳනව. එතකොට අපිට සතිපට්ඨානයට සිත ගන්න පුළුවන්.

අපි භාවනා කරන අය විදියට ආරම්භයේ ඉඳල මේ විදියට හැසිරෙන්ට ඕන. මේ විදියට කටයුතු කරන්නට ඕනෑ එතකොට අපට කාලයකදී අපේ සිතේ තියෙන මේ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය, ඊළඟට විසිරෙන ස්වභාවය, සිතේ හැකිළෙන ස්වභාවය, නිදිමත ස්වභාවය, මේ ඔක්කොම බැහැර කරගන්ට පහසුයි. අපට සිදුවෙන ඇත්ත කල්පනා කරන කොට, වීරිය උපදිනවා. සිත සංසිඳෙනවා. අපි නිදිමතට ඉඩ දෙනවද? නිදිමතට ඉඩ දෙන්නේ නෑ. සිතේ හැකිළීමට ඉඩ තියෙනවා ද? සිතේ හැකිළීමට ඉඩ නෑ. සිතේ විසිරීමට ඉඩ තියෙනවාද? නෑ. ඇයි? සිත සංසිඳීල. කාමයන් ඔස්සේ සිත දුවයිද? නෑ. ඇත්ත තත්වය කල්පනා කරන කෙනාට කාමයන් වැඩක් නෑ. එහෙමනම් මේ කාමයන් ඔස්සේ දුවන ස්වභාවය, සිතේ විසිරෙන ස්වභාවය, සිතේ හැකිළෙන ස්වභාවය, ථීනමිද්ධය මෙන්ම මේ කියන භාවනාවට බාධා පමුණුවන, බලවත් සේ බාධා පමුණුවන අකුසල් බැහැර කරන්නට තියෙන හොඳම උපක්‍රමය තමයි අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කිරීම. ඒ එක කටයුත්තෙන්, අර අකුසල් ටික ඔක්කෝම දුරු කරන්නට පුළුවන්.

ඒ නිසා බහුලව සිහි කරන්න. අපි කොයි මොහොතේ මැරෙයිද දන්නේ නෑ’ කියන දේ. මේක ඇත්තක් ද? බොරුවක්ද? අපි ලොකු පිරිසක් එක්ක ඉන්නවා. අපි සිතනවා අපි හැමදාම මෙහෙම ඉඳියි කියලා. නෑ. අපි අතරේ හිටපු අය මැරිල ගියේ නැද්ද? මැරිලා ගියා. අද කට හඬක්වත් නෑ. අද ඒ ගොල්ලො ගැන කතාවක් නෑ. ඒ නිසා තමා තනි තනියෙන්, තමාට සිදුවන දේ ගැන සිහි කරන්න. එතකොට සෑම කෙනාම ශාන්තයි. ප්‍රණීතයි.

අපි පිරිසක් එක්ක ඉන්නවා. කෙනෙකු ලෙඩවුණොත් තනියම ඒ වේදනාවන් විඳවන්ට ඕනෑ නේද? එතකොට තනිවෙලා නේද? අන්න ඒවා කල්පනා කරන්න. ඒවා කල්පනා කරනකොට, අර කාමයන් ඔස්සේ දුවන සිත ඒ මුරණ්ඩු සිත මෙල්ල වෙනවා. කාමයන් නිරුද්ධ වෙලා යනවා. විසිරීම නැතිවෙලා යනවා. එයාගේ සිත හැකිළෙන්නේ නෑ. නිරායාසයෙන් සිත අවදි වෙනවා. ඇත්ත කල්පනා කරනකොට, නිදිමතට ඉඩක් නෑ. අලසකම, නිදිමත නැතිවෙලා යනවා. එයා අවදි වෙනවා. ප්‍රාණවත් කෙනක් බවට පත් වෙනවා. ඒ නිසා බහුල වශයෙන් තමාගේ ජීවිතයට මුහුණ දෙන්නට සිදුවෙන දේ ගැන සිහි කරන්න. මරණය ගැන සිතන්න. ලෙඩවීම ගැන සිතන්න. වයසට යාම ගැන සිතන්න. පි‍්‍රය දේවල්වලින් පි‍්‍රය අයගෙන් වෙන්වෙන්ට සිදුවීම ගැන සිතන්න. මේවා හැම තිස්සේම කල්පනා කරන්නට ඕන.

අන්න එතකොට එයාගෙ සිත සංවේගයට පත්වෙනවා. ඇළෙන ගැටෙන ස්වභාවය දුරුවෙලා යනවා. එයාට සතිපට්ඨානය පුරුදු කර ගැනීමට පහසු වෙනවා. පහසු ඇයි? සතිපට්ඨානයට ඒ සිත කැමැතියි. ඇයි කැමැති? සතිපට්ඨානයෙන් බැහැර දේට අකැමැතියි ඒ සිත. ඇත්ත කල්පනා කරන සිත, කාමයට අකැමැතියි. ඇත්ත කල්පනා කරන සිත, විසිරෙන එකට අකැමැතියි. ඇත්ත කල්පනා කරන සිත, අලසකම, නිදිමතට අකැමැතියි. ඒ සිත කැමැතියි කායානුපස්සනාවට. ඒ සිත සතිපට්ඨානයට කැමැතියි. මේ කියන දේ පෞද්ගලිකව තම තමා කරන තාක් තේරෙන්නේ නෑ. ඒ නිසා කරල බලන්න. මේ කියන දේ එදාට තේරෙයි.

ඒ නිසා අපි කවුරුත් අපේ ජීවිතයේ ඇත්ත ස්වභාවය කල්පනා කරන්ට ඕනැ.ද එතකොට අපිට සැප සේ වාසය කරන්ට පුළුවන්. අන්න ඒ විදියට ජීවිතය සැපවත් දෙයක් බවට පත්කර ගන්නට කල්පනා කරන්න. සියලු දෙනාට ම ජීවිතය අතිශයින් සැපවත් දෙයක් බවට පත්කර ගැනීම පිණිස වාසනාව උදාවේවා.

 

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]