UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ බුද්ධදත්ත මහ නා හිමි ගුණ සමරුවට පින්කම්

දෙස් විදෙස් පතල කීර්තිධර අග්ගමහා පණ්ඩිත මහ නා හිමියෝ බොහෝ කලකින් පහළවන දුර්ලභ ගණයේ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘන්වහන්සේ නමකි. 1887 ජූලි 23 දින අම්බලන්ගොඩ පොල්වත්ත ග්‍රාමයේ උපත ලද කුමරු පොල්වත්තේ අග්ගාරාමාධිපති පෝරඹ ධම්මාධාර රාජගුරු නාහිමි වෙතින් 1899 නොවැම්බර් 02 දින පැවිදිවිය. මේ ශ්‍රේෂ්ඨ ශිෂ්‍යයා ලොවට බිහිකළ ඒ ගුරු හිමියෝ ද පාලි, බුදුදහම බෞද්ධ දර්ශනය පිළිබඳ පෘථුල දැනුම් සම්භාරයෙන් හෙබි අතර ඉන්දියාවේ විශ්ව විද්‍යාලයන්හි ඉගැන්වූ මහා විද්වතෙකි. බුද්ධදත්ත සාමනේරයන් ආචාර්වරයාණන් වෙතින් දිනපතා අකුරු කර වයස අවුරුදු 15 දී බුරුම රටට වඩින විට පාලි වරනැගිල්ල , බාලාවතාරය, ධාතු මංජුසාව, ධම්මපදය, පාලි නිඝණ්ටුව ,වුත්තෝදය ,සතිපට්ඨානය, අභිධම්මත්ථ සංග්‍රහය, අභිධම්මවත්ත යන පොත් සම්පූර්ණයෙන් කටපාඩම් කොට සිටි බවත් උන්වහන්සේ විසින්ම ප්‍රකාශිතය.

පොල්වත්තේ බෞද්ධ පිරිමි පාසලෙන් ද අම්බලන්ගොඩ බෞද්ධ ඉංගී‍්‍රසි පාසලෙන්ද අධ්‍යාපනය ලද අතර පැවිදිව ගුරු හිමි ඇසුරෙන් අවශ්‍ය බණ දහම් වත් පිළිවෙත් ඉගෙන කල් නොයදී 1902 දී බුරුමයට වැඩියෝ එහිදී බුරුම භාෂාව උගෙන 1908 බුරුම බසින් පොත් ගණනාවක්ම ලියූහ. බුරුමයේ ස්වර්ණමය විජ්ජෝතරතන සීමා මාලකයේදී 1907 ජනවාරි 23 දින උපසම්පදාව ලැබ 1911දී පෙරළා ලක්දිවට වැඩියහ.

සිංහල, පාලි, සංස්කෘත, බුරුම, ඉංගී‍්‍රසි ආදි විවිධ භාෂා ඥානයෙන් පරිනත බුද්ධ දත්ත හිමියෝ එම හැම බසින්ම පොත් රාශියක් ලියූහ. පාලි බසට උන්වහන්සේ කළේ සුවිසල් මෙහෙවරකි. ආනන්ද විද්‍යාලයේ පාලි ආචාර්යවරයා වූ බුද්ධදත්ත නාහිමියෝ ලංකා විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු විය. 1953 දී ශ්‍රී කළ්‍යාණිවංශ නිකායේ අනුනායක ධූරයද 1957 දී මහානායක ධූරය ද දරමින් නිකාය වෙනුවෙන් මහත් සේවාවක් කළහ. විදේශීය රටවල ධර්ම ප්‍රචාරයේ ද යෙදුණු උන්වහන්සේ ප්‍රාචීන භාෂෝපකාර සංගමයෙන් සම්මාන පණ්ඩිත උපාධියත් විදුලංකාර විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය චක්‍රවර්ති උපාධිය, ශ්‍රී ලංකා විද්‍යෝදය විශ්ව විද්‍යාලයෙන් සාහිත්‍ය සූරී උපාධිය ප්‍රදානය කැරිණි.

විදුලංකාර විශ්ව විද්‍යාලයේ බෞද්ධ දර්ශනය පිළිබඳ ප්‍රථම මහාචාර්යවරයා වූ උන්වහන්සේ බුරුමයේ පැවති හයවන ධර්ම සංගායනාවේ උත්තරීතර ග්‍රන්ථ ශෝධක මණ්ඩලයේ ප්‍රමුඛයා වූහ. ලංකා බෞද්ධ මණ්ඩලය ත්‍රිපිටක පරිවර්තක මණ්ඩලය, බෞද්ධ විශ්වකෝෂ මණ්ඩලය , සාහිත්‍ය උපදේශක මණ්ඩලය ආදියේ නිරතව මහත් විශිෂ්ට සේවාවක් සිදු කළහ.

ලෝ සසුනට අප්‍රමාණ සේවාවක් කළ බුද්ධදත්ත මහ නාහිමියෝ 1962.11.09 දින අපවත්වී වදාළහ. 1981 මැයි 22 දා තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යංශය විසින් උන්වහන්සේ වෙනුවෙන් මුද්දරයක් නිකුත් කැරිණි. පොල්වත්ත ශ්‍රී බුද්ධදත්ත විද්‍යාලය, ශ්‍රී බුද්ධදත්ත මාවත, ශ්‍රී බුද්ධදත්ත ප්‍රතිමාව ආදිය උන්වහන්සේ සිහි කරවයි.

සදානුස්මරණ ලෝක පූජිත මේ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් පිළිබඳ 49 වන ගුණසමරු පින්කම්, අග්ගාරාමාධිපති නින්දානේ වජිරඤාණ හිමිපාණන්ගේ අනුශාසකත්වයෙන් නොවැම්බර් මස 09 දින තත් විහාරස්ථානයේදී සිදු කෙරේ.

 

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]