UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වියට්නාමයේ බොදු උරුමය

වියට්නාමය බෞද්ධ රටකි. වසර ගණනාවක්ම පැවැති යුදමය තත්ත්වය හේතුවෙන් වියට්නාමයේ ඇතැම් ප්‍රදේශ විනාශ විය. එහෙත් යුද්ධය පැවැති කාලයේදී තම රටේ වෙහෙර විහාර බේරාගෙන ඒවා ආරක්ෂාකිරීමට වියට්නාම් බෞද්ධ භික්‍ෂූන් වහන්සේ පෙරමුණ ගත් බව කියයි. යුද්ධයෙන් හානි නොවූ වෙහෙර විහාර පැරණි තත්ත්වයෙන්ම අදටත් පවතී.


නිර්වාණ බෞද්ධ විහාරයේ බුද්ධ ප්‍රතිමා වහන්සේ

දකුණු වියට්නාමයේ බෞද්ධ පූජණීය ස්ථාන නැරඹීමට ශ්‍රී ලංකාවෙන් යන බෞද්ධයන් අල්පය. එහෙත් වියට්නාමයේ ඇති බොදු උරුමය දැක බලා වන්දනාමාන කිරීම වටී. ඉන් කිහිපයක් පිළිබඳ විස්තරයකි මේ. දකුණු වියට්නාමයේ අගනගරය “හෝචිමිං සිටි” ය (කලින් නම සයිගොන්) වින්හ ට්‍රෑන් පැගෝඩා (Vinh Trang Pagoda) විහාරය පිහිටා ඇත්තේ හෝ චිං මිං නගරයේ සිට කිලෝ මීටර් 70 ක් පමණ ඈතින් මීකොං ඩෙල්ටාව අසල “තීන් ගිනාග්” පළාතේ “මයි තෝ” නගරයේ “පෝන්ග්” ගම්මානයේය.

19 වැනි ශතවර්ෂයේදී, 1849 දී සාදන ලද එම විහාරය ප්‍රංශයෙන් ආනයනය කරන ලද සිමෙන්ති යකඩ, වීදුරු ආදියෙන්ද චීනයෙන් ආනයනය කරන ලද වීදුරු, ලාම්පු, පිඟන් ,ගඩොල්, වලින්ද සමන්විතය. එම විහාරය රෝම ගෘහනිර්මාණ ශිල්පය අනුකරණය කොට ඉදිකර ඇත.


වින්හ ට්‍රෑන් පැගෝඩා විහාරයේ බුද්ධ ප්‍රතිමාවහන්සේ

විහාරස්ථ භූමිය දැකුම්කළු උයනකින් සමන්විතය. බොන්සායි ක්‍රමයට සකස්කරන ලද විවිධ හැඩතල ඇති වෘක්‍ෂ මෙන්ම විශාල පෝච්චිවල සිටුවන ලද මනා ලෙස කපා විවිධ මෝස්තරයට සකස් කරන ලද මල් ගස් වලින්ද එය චිත්තාකර්ෂණීය වී ඇත. වෙසක් උත්සවය මහත් උත්කර්ෂවත් අයුරින් එම විහාරස්ථානයේදී පවත්වනු ලැබේ.

සම්බුදු මැදුර තුළ බුද්ධ ප්‍රතිමා වහන්සේ දේව ප්‍රතිමා, වීරවරුන්ගේ ප්‍රතිමා විශාල සංඛ්‍යාවක් ඇත. එම ප්‍රතිමා රන්වන් පැහැයෙන් ආලේප කර ඇත. නිරූපනය වන්නේ අතීතය, වර්තමානය, සහ අනාගතයයි.

වහලේ අභ්‍යන්තරය චීන කැටයම් වලින් යුක්තය. විහාර මන්දිරය තුළ ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව වටේටම රාක්කවල තබා ඇත්තේ විවිධාකාර ප්‍රතිමා රාශියකි. වහලයේ සවිකර ඇත්තේ චීන පොකුරු ලාම්පුය. පන්සලට ඉදිරිපස භූමියේ තනා ඇත්තේ අඩි 80 ක් පමණ උස විශාල හිටි බුද්ධ ප්‍රතිමාවකි. සුදු වර්ණය ආලේප කර ඇති එම බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉතාමත් දැකුම්කළුය.

විහාරස්ථ භූමියට ඇතුළුවන දොරටුව විශාල දැකුම්කළු තොරණකි. එය කැටයම් වලින් යුක්තය. පන්සල් භූමිය තුළ අඩි 50 ක් පමණ උස විශාල ලාෆින් බුද්ධ ප්‍රතිමාවක් නිර්මාණය කර ඇත. ෆෙන්ෂුයි ආගමික බැතිමතුන්ට වැදුම් පිදුම් කිරීමට නිර්මාණය කර ඇත.

වුන් තාව් (Vung Tau ) නගරය පිහිටා ඇත්තේ හෝචි මිං නගරයේ සිට කිලෝමීටර් 130 ක් පමණ ඈතිනි. පැය තුනක ගමනකින් එම ස්ථානයට ළඟාවිය හැකිය. දකුණු චීන මුහුදේ දර්ශනීය වෙරළක් සහිත මෙය සංචාරක පුරවරයකි.

“වුන් තාව්” නගර මධ්‍යයට පැමිණීමට පෙර වෙනස් ආකාරයක විහාරස්ථානයක් දක්නට ලැබේ. එම නගරයේ ජනයාගෙන් වැඩි කොටසක් ජීවනෝපාය වශයෙන් කරන්නේ මුහුදේ මසුන් ඇල්ලීමේ රැකියාවය. ඔවුන් මුහුදේ දෙවියා ලෙස සලකන්නේ තල්මසාය. එම තල්මසා දේවත්වයෙන් සලකන ඔවුන් තල්මසා වෙනුවෙන් පූජනීය ස්ථානයක් පවා ඉදිකර ඇත. “ තල්මසාගේ පන්සල” (Whale Temple) නමින් ඇති එම විහාරස්ථානයේ ඇතුලත වීදුරු පෙට්ටියක බහා තල්මසාගේ ඇටසැකිල්ලක් සංරක්‍ෂණය කොට ඇත. තවත් වීදුරු පෙට්ටියක ඇත්තේ තල්මසාගේ විශාල ඔළුකට්ටකි. ඒ අතර කුඩා තල්මසුන්ගේ ඔළු කටු විශාල සංඛ්‍යාවක්ද මෙහි ඇත.


තියන් හෝ පන්සල

එහි පැමිණෙන බැතිමතුන් සුවඳදුම් අල්වා තල්මස් දෙවියන්ට පුද සත්කාර කර වැඳ සිටින්නේ මුහුදේ රැකියාවට යන තමන් ආරක්‍ෂා කරදෙන ලෙසය.

එම විහාරස්ථානය ඇතුළත මේ අතර ඉදිරිපස කොටසේ තැන්පත් කර ඇත්තේ බෝසත්වරුන්ගේ ප්‍රතිමා මෙන්ම පෙර සිටි චීන වීරවරුන් පස්දෙනෙකුගේ ප්‍රතිමාය. ඔවුන් වීරවරුන් දේවත්වයෙන් අදහති. වඳිති. ඔවුන්ට පුද සත්කාර කරති. විහාරස්ථානයේ බිත්තිවල මාළුන්ගේ ඡායාරූප එල්ලා ඇත. මෙහි මහායාන බුදුරදුන්ගේ මෙන්ම ශ්‍රාවකයන් ගේ රූපද තබා ඇත. ඒ අතරම චීනයේ එක් අවුරුද්දක සංකේතයක් වන කුකුලාගේ අඩි 10 ක් පමණ උස පිඟන් මැටියෙන් කරන ලද රූප කීපයක්ම තබා ඇත. අඩි පහක් පමණ උස මල් වාස්වල කඩදාසි මල් දමා ඇත්තේ පූජාව පිණිසය. මකරාගේ මූර්ති උස අතට සාදා තබා ඇත්තේ බිම සිට අහසට පනින මකරුන් සේ පෙනීමටය.

විහාරස්ථාන භූමියේ සුදුපැහැති විශාල සිංහරූප තබා ඇත. ඒවා චීන සම්ප්‍ර‍්‍රදායානුකූල මූර්ති වේ. “වුන් තාව්” නගරයේ පිහිටා ඇති තවත් පන්සලකි. “ නිර්වාන බෞද්ධ පන්සල” (Nirvana Buddhist Temple) මෙය වූන් තාව් කඳු ගැටයේ පිහිටුවා ඇත. පන්සලට පිවිසුම් මාර්ගය පටන් ගන්නේ දෙපැත්තේ අඩි 8 ක් පමණ උස දොරටුපාල රූප දෙකකින් සමන්විත පන්සලේ නම සඳහන් තොරණක් යටින් ඇති පඩි 25 ක් පමණ ඇති පඩි පෙළකිනි.

පන්සලේ ප්‍රධාන විහාර මැදුරට ඇතුළුවන ස්ථානයේම ඇත්තේ සිමෙන්තියෙන් නිර්මාණය කරන මකර බෝට්ටුවකි. (Dragon Boat) බෝට්ටුව තුළ විවිධාකාර මල්ගස් වවා ඇත. මකරා වියට්නාම් වැසියෝ සෞභාග්‍යයේ සලකුණක් සේ සලකන අතර මකරා දිව්‍ය ලෝකයේ සිට පොළොවට එන බවට ඔවුන් අදහති.


වින්හ ට්‍රෑන් පැගෝඩා විහාරය

පන්සලේ බුදුමැදුරේ අඩි 40 ක් පමණ දිග විශාල සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් ඇත. නෙළුම් මලක් මත අඩි 4 ක් පමණ උස බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි.

බුද්ධ ප්‍රතිමා වහන්සේට පහලින් මහායාන බුදු දහමේ සඳහන් “අනුකම්පාවේ දෙවඟනගේ” අඩි 7 ක් පමණ උස මනරම් වූ ප්‍රතිමාවක් තබා ඇත. එම දෙවඟනගේ පිටුපසින් ඇයගේ ආරක්‍ෂකයාගේ ප්‍රතිමාවක්ද තබා ඇත. විහාරගෙය තුළ බුදුරදුන් පිදීමට විශාල කඩදාසි මල් වාස් වල තබා ඇත. වියට්නාමයේ විහාරස්ථානයන්හි පහන් දැල්වීමක් හෝ මල් පූජා කිරීමක් නොකෙරේ. බහුල වශයෙන් සිදු කැරෙනුයේ සුවඳවත් හඳුන්කූරු බුදුරදුන් සඳහා පූජා කිරීමයි. එම විහාරස්ථානයේ බුදු මැදුරට යාබද විශේෂිත කුටියක් ඇත. එහි බිත්තියට සවිකරන ලද රාක්කවල තබා ඇත්තේ මියගිය අයගේ භෂ්මාවශේෂ තැන්පත් කරන ලද මංජුසා රාශියකි. එම මංජුසා ඉදිරිපසින් මිය ගිය අයගේ ඡායාරූප සහ නම් ප්‍රදර්ශනයට තබා ඇත. මාස කීපයක් එහි තබා ඇති එම මංජුසාවේ ඇති භෂ්මාවශේෂවලට මියගිය අයගේ ඥාතීන් වැඳුම් පිදුම් කරති. බුදුන් වැඳ ඔවුන්ට පින් අනුමෝදන් කරති. මාස කීපයකට පසු ඒ මංජුසා සොහොන් වල තැන්පත් කරනු ලැබේ.

විහාරගෙය ඉදිරිපස ඇති ගොඩනැගිල්ලේ පැරණි විශාල ඝාංඨාරයක් ඇත. එම ගොඩනැගිල්ලේ අර්ධගෝලාකාර වහලය මත ධර්මචක්‍රයක්ද පන්සල ඉදිරිපිට ඇති දකුණු චීන මුහුදට මුහුණලා සිදුහත් කුමරුගේ අඩි 03 ක් පමණ උස පිළිමයක් තබා ඇත. එම පිළිමයෙන් පිළිබිඹු වන්නේ මහාමායා දේවියගේ කුසින් බිහිවූ විගස සිදුහත් කුමරා නෙළුම් මල් හතක් පිටින් වැඩ අවසානයේදී “අග්ගෝ හමස්මි ලෝකස්ස “ ගාථාව කියූ ආකාරය නිරූපණය කිරීමකි.


ග්යාක් ලැම් පැගොඩා විහාරයේ ඇති මකර කැටයම්

වියට්නාමයේ “හෝචි මිං” නගරයේ ඇති “ චෛනා ටවුන්” නම් ස්ථානය චීන මිනිසුන් බහුලව ජීවත්වන කොටසක් වන අතර එය වෙළහෙළඳාම් සඳහා ප්‍රසිද්ධියක් ඇති ප්‍රදේශයකි. එම චෛනා ටවුන් ප්‍රදේශයේ චීන පන්සල් කීපයක්ම ඇත. “ග්යාක් ලැම් පැගෝඩා” (Giac Lam Pagoda) ඉන් එකකි. පන්සල් භූමිය එතරම් විශාල නොවේ. ‍ෙග්ට්ටුවෙන් ඇතුළු වූ විටම ඇත්තේ පන්සලේ විහාරගෙයි ඉදිරිපස ප්‍රදේශයයි. විහාරගෙයට ඇතුළුවන විටම පෙනී යන්නේ බිත්තිවල එල්ලා ඇති චීන සම්ප්‍රදායානුකූ®ලව රෙදිවල සිතුවම් කරන ලද සහ එම්බ්‍රොයිඩර් කරන ලද බොදු සිතුවම්ය. ඊට පහළින් බිත්තිවල එල්ලා ඇති රෝස පාට පටි විශාල ගණනකි. එහි චීන අක්‍ෂර යොදා ඇත. ඒ ලියා ඇත්තේ පන්සලට ආධාර කළ පරිත්‍යාගශීලීන්ගේ නම්ය.

ප්‍රධාන බුදුගෙය විශාල ශාලාවකි. එහි බුද්ධ ප්‍රතිමා වහන්සේ ඉදිරිපිට ඇත්තේ අඩි 4 ක් පමණ උස අඟල් 3 ක් පමණ වට ප්‍රමාණ ඇති බැතිමතුන් විසින් දල්වන ලද විශාල හඳුන්කූරුය. විහාරගෙයි වහලේ හරහට දමා ඇති දිග සවිමත් සිහින් යකඩ කූරු කීපයකි. ඒවායේ එල්ලා ඇත්තේ දල්වන ලද දඟර හඳුන්කූරුය. මේවා පන්සලට ආධාර පිණිස එහිදී විකුණනු ලැබේ. හඳුන්කූරක් ඩොන් 5000 කි. බැතිමතුන් විසින් මිලදී ගන්නා ලද හඳුන්කූරෙහි තමාගේ ප්‍රාර්ථනාවන් සහ නම ගම ලියූ කඩදාසි කොලයක් එල්විය යුතුය. දල්වන ලද හඳුන්කුරු දිග රිටක් මගින් විහාරගෙයි වහලේ එල්ලනු ලබන්නේ පන්සලේ ආවතේව කරුවකු විසිනි. දල්වන ලද එම සුවඳ හදුන්කූරක් මෙහිදී නොකඩවා දවස් හයක් පමණ දැල්වේ.


තියන් හෝ පන්සලේ බුද්ධ පූජාව පවත්වන වියට්නාම් භික්‍ෂූන් වහන්සේලා

විහාරගෙය චීන කැටයමින් යුක්තය. මෙහිදී මහායාන බුදු දහමේ සඳහන් දෙවිවරුන්ගේ, වීරවරුන්ගේ රූප වලින් බහුලය. පන්සල් භූමියේ වටේ ඇති තාප්පයේ පන්සල පැත්තේ චීන කැටයම් දක්නට ලැබේ. මින් මකර රූපය විශේෂත්වයක් ගනී. කැටයම් අතර කුඩාවට අඹා ඇති මිනිස් සහ දේව රූප චීනයේ බෞද්ධ කතා පිළිබිඹු කරයි.

“චෛනා” ටවුමේ සිට තවත් කිලෝ මීටර් 3 ක් පමණ ගිය පසු හෝචි මිං නගරයේම ඇති “ තියන් හෝ පන්සල ” (Thien Hau Temple) ඔබ වැඳුම් පිදුම් කළයුතු වැදගත් ස්ථානයකි. පන්සල් භූමියට ඇතුළුවන්නේ මකර තොරණක් යටිනි. එය චීන සම්ප්‍රදායානුකූල තොරණකි. එයට පියසි සතරකි. විහාරගෙයි වහල සිංහල උළුවලට සමාන උළු වර්ගයකින් ආවරණය කර ඇත.

විහාර ගෙය ඇතුලත ලී කැටයමින් මෙන්ම මූර්තිවලින් ගහණය. ඒවා බුදුරජාණන් වහන්සේගේ බෞද්ධ හිමිවරුන්ගේ, දෙවිවරුන්ගේ, දේවතාවියන්ගේ මෙන්ම මිනිස් වීරවරුන්ගෙන්ද සමන්විතය. මෙම විහාර ගෙයිම එක්පසෙක මියගිය අයගේ අළු ඇති මංජුසා රාක්කවල තැන්පත් කර ඇත. ඒවායේද ඡායාරූපයක් නම ගම සඳහන් කර ඇත. බුද්ධ ප්‍රතිමා ඉදිරියට මල් සහිත මල් වාස්, පූජා භාණ්ඩ, පළතුරු ආදිය තබා ඇත. පන්සල් භූමිය තුළද පුද සත්කාර කිරීමට බුද්ධ ප්‍රතිමා කීපයක් තබා ඇත.


නිර්වාණ බෞද්ධ විහාරයේ දොරටුව

“ජේඩ් එම්පරර් පැගෝඩා ” (Jade Emperor Pagoda ) පන්සල පිහිටා ඇත්තේද හෝචි මිං නගරයේය. පන්සල් භූමියට ඇතුළුවන විටම දක්නට ලැබෙන්නේ ජල භාජනවල තබා පණ ඇති මාළුන්, ආඳන්, ඉබ්බන්, කකුළුවන් වැනි ජලජ ජීවින් විකුණන වෙළෙන්දන්ය. ඒවා මිලදී ගන්නා බැතිමතුන් තම ප්‍රාර්ථනාවන් ඉෂ්ඨකර ගැනීම සඳහා පන්සල් භූමියේ පසෙක ඇති විශාල පොකුණට ඔවුන්ව නිදහස් කරනු ලැබේ. එම විශාල පොකුණේ එම ජලජ ජීවින් විශාල ප්‍රමාණයක් නිදහසේ ජීවත්වෙති.

මෙම පන්සලේ විහාරගෙය තුළට ගියවිට අප නෙත ගැටෙන්නේ එහි දෙපස ඇති විශාල පිළිමයන්ය. අඩි 10 ක් පමණ උසට සාදන ලද මේ වීරවරුන්ගේ මෙන්ම දේවතාවුන්ගේද ප්‍රතිමා විශේෂත්වයක් ගනී. එනම් මැටියෙන් හෝ ලෝහයෙන් සාදන ලදැයි පෙනෙනාකාරයෙන් සාදා ඇති එම ප්‍රතිමා සාදා ඇත්තේ තනිකරම කඩදාසි පල්ප් වලිනි. මීට වර්ෂ 800 කට ප්‍රථම සාදා ඇති මෙම කඩදාසි පල්ප් කලාව අදටත් රහසකි. මේ නිර්මාණ කළ හැටි හෝ කරනා හැටි දන්නා කෙනෙක් වර්තමානයේ වියට්නාමයේ නැත. මේ සියලුම රූප විචිත්‍රවත් වස්ත්‍රාභරණවලින් සරසා ඇත.

ප්‍රධාන බුදුගෙය තුල ඇත්තේ මහායාන සම්ප්‍රදායට අයත් බුද්ධ ප්‍රතිමාය. දල්වන ලද සුවඳවත් හඳුන්කූරු දුමින් විහාරගෙය පිරී ඇත. ඒ අතරම විවිධාකාර බුද්ධ ප්‍රතිමා දේව ප්‍රතිමා රාශියක් මෙහි ඇත. විහාරගෙයි එක් පැත්තක ඇති කුටියක වටේට ඇත්තේ කුඩා ප්‍රතිමා විශේෂයකි. එක් එක් ඇඳුම් අන්දවන ලද බැතිමතුන් විසින් පූජා කරන ලද කුඩා බෝනික්කන්ය. මෙම කුටියට පැමිණෙන දරුඵල නොමැති අය තමනට දරුවකු ලබා දෙනමෙන් භාරහාර වෙති.

විහාරයේ බිත්තිවල ලී කැටයම් සවිකර ඇත. මේ ලී කැටයම් වලින් නිරූපණය වන්නේ මහායාන සම්ප්‍රදායානුකූල ඇති බෞද්ධ කතාන්දරය.මේ බෞද්ධ උරුමයන් නැරඹීමට වියට්නාමයට යෑමේදී . මහායාන බුදු දහම ගැනද අවබෝධයක් ලබාගත හැකිය.

 

 

 

 

ඉල් මස පුර අටවක පෝය

ඉල් මස පුර අටවක පෝය නොවැම්බර් 02 වන දා බදාදා පූර්ව භාග 10.00 ට ලබයි. 03 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 10.35 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 2 වන දා බදාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 10 වන දා බ්‍රහස්පතින්දා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

නොවැම්බර් 02

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 10

Second Quarterඅව අටවක

නොවැම්බර් 18

New Moonඅමාවක

නොවැම්බර් 24


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]