UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භාවනාවට ඇති බාධා හඳුනා ගනිමු

ප්‍රත්‍යවේක්‍ෂා කිරීම

පසුගිය සති කීපය තුළ අපි ඉතා වැදගත් කාරණා කීපයක් කතා කළා. ඒ අතර භාවනා පුරුදුවෙන කෙනෙක් ආරම්භයේ දී ඉඳල අවධානය යොමු කළ යුතු කරුණු පහක් පිළිබඳව අපි සිහි කළෙමු. ආරම්භයේ ඉඳල ම අපි ඒ කාරණා පිළිබඳව හොඳ වැටහීමකින් වාසය කළ යුතු වෙමු.

එහෙම නොවුණොත් අපිට භාවනාව සාර්ථක කරගන්ට ලැබෙන්නෙ නැහැ. ආරම්භයේ ඉඳලම අපි හොඳින් තේරුම් ගන්න ඕනැ. මගේ සිත කාමයන් ඔස්සේ දුවනවද? ඒ වගේම මගේ සිත විසිරෙනවද? ඊළඟට තේරුම්ගන්න ඕනෑ මගේ සිත හැකිළෙනවද? මගේ සිත නිදිමතට ගොදුරුවෙනවද? එහෙම නැත්තම් ථීනමිද්ධයට යටවෙලා යනවද? කියල. ඉතින් මේ කාරණා වලින් නිදහස් වෙලා, සිත භාවනා අරමුණේ හොඳින් පවතිනවාද? කියල අප තෝරාගන්නට ඕන.

මේ කාරණා පහ අපි සිහි නුවණින් තෝරා බේරා ගන්නට ඕන. එතකොට අපේ සිත කාමයන් ඔස්සේ දුවනව නම්, අපි ඒක තෝරබේර ගත්තෙ නැත්නම්, අපිට ඒ කාමයන්ගෙන් සිත නිදහස් කරගෙන භාවනා අරමුණට යොමුකරගන්ට බැරුව යනව. ඒ වගේම අපේ සිත විසිරීමට ලක්වෙනව නම් ඒ ගැන අපි තෝරබේර ගත්තෙ නැත්නම්, ඒ සිත විසිරීමෙන් නිදහස් කරගෙන, සංසිඳුවගෙන භාවනා අරමුණට යොමුකරගන්ට බැරුව යනව. ඒ වගේම සිත හැකිළෙනව නම්, ඒ හැකිළීම අඳුරගන්ට අපිට බැරිවුණොත්, අපිට ඒ සිත පිබිදෙන විදියට, ප්‍රබෝධයට පත්වෙන විදියට, එහෙම නැත්නම් සිත අවදිවෙන විදියට භාවනාව හසුරුවාගන්ට අපි දක්‍ෂ වෙන්නෙ නෑ. ඒ වගේම අපේ සිත ථීනමිද්ධයට යටවෙනව කියල හඳුනගන්ට බැරි නම්, අපිට ඒකෙනුත් නිදහස්වෙන්ට පුළුවන්කමක් ලැබෙන්නෙ නෑ. ඒ නිසා අපි මේ කාරණා හොඳින් තේරුම්ගන්ට ඕන. තේරුම් අරගෙන, ඊට සුදුසු පිළියම් යොදන්න අපි දක්‍ෂ වෙන්ට ඕන, ඉගෙන ගන්න ඕන. ඒ සඳහා කටයුතු කරන්ට ඕන.

එතකොට බලන්න, භාවනා කරනව කියල අපිට කරන්ට දෙයක් තියෙනව නේද? අපි සිතනව දැන් භාවනා මනසිකාරය ගත්ත, ඒක සිත සිතා ඉන්නව එච්චරයි කියල. එච්චර නෙමෙයි නේද? ගොඩක් වෙලාවට සිතනව, දැන් මම මෛත්‍රී සිත පවත්ව පවත්ව ඉන්නව, එතකොට හරි කියල. එපමණකින්ම භාවනාව සාර්ථක කරගන්නට බෑ. අපිට භාවනාව සාර්ථක කරගන්ට නම් කළ යුතු දේවල තියෙනව. ආරම්භයේදී ම අපි ඒ විදියට භාවනාවට බාධාවෙන කරුණු හොඳින් තේරුම් අරගෙන, ඒව බැහැර කරගන්න දක්‍ෂවුණොත්, අපිට භාවනාව සාර්ථක කරගන්නට පුළුවන්.

අපිට තියෙන ගැටලුව තමයි, භාවනාවට බාධාවෙන කරුණු දේවල් හඳුනාගන්ට දන්නෙ නෑ. ඊළඟ දේ තමයි, ඒ භාවනාවට බාධාවෙන කරුණු බැහැරකරන්ට දන්නෙත් නෑ, භාවනාවට බාධාවෙන කරුණු බැහැර කරන්ට වීරිය උපදින්නෙත් නෑ. මේ ගොඩක් කරුණු වලට හේතුවෙන දෙයක් තමයි සිහි නුවණ නැතිකම. සිහි නුවණ උපදවා නොගැනීම. ඒ නිසා භාවනාවට තියෙන බාධාව අඳුරන්නෙ නෑ. ඒ වගේ ම ඒක බැහැර කරන්ට එයා උනන්දු වෙන්නෙත් නෑ, දක්‍ෂ වෙන්නෙත් නෑ.

අපිට සිහිය නුවණ තියෙනවා නම්, සිහි නුවණ උපදවා ගන්නවා නම්, අපිට තෝර බේරගන්ට පුළුවන් සිත භාවනා අරමුණේ පවතිනවද? එහෙම නත්තම් ඊට බාධාවන දෙයක් පවතිනවද? කියල. එහෙම දැනගත්තොත් එයාට පුළුවන්කම තියෙනව, ඒ බාධාව ඉවත් කරගන්ට කටයුතු කරන්ට. ඒ බාධාව ඉවත්කර ගත්තොත් සිත භාවනා අරමුණේ පවත්වන්ට පුළුවන්. එතකොට ඒ සිත කාමයන් ඔස්සේ දුවන ස්වභාවය, විසිරෙන ස්වභාව, හැකිළීමේ ස්වභාවය, සිතේ නිදිමත ඇතිවෙන ස්වභාවය අපි තෝර බේර ගත්තොත්, ඊට සුදුසු පිළියම් යොදල, ඒ බාධා ඉවත්කරගන්ට අපිට පුළුවන්කම තියෙනව. ඊට පස්සෙ තමයි භාවනාව සාර්ථකවෙන්නේ. ඊට පස්සෙයි සිත වැඩෙනවද? නැද්ද? කියන කාරණාව තීරණය වෙන්නේ. ඒ කියන්නෙ එයාට සමථය වැඩෙනවද? විදර්ශනාව වැඩෙනවද? කියල තීරණය වෙන්නෙ ඒ බාධා ඉවත් වුණායින් පස්සෙ.

ඒ නිසා, අපි ආරම්භයේ දී ඉඳළම සිහිය උපදවගෙන, නුවණ මෙහෙයවමින්, භාවනාවට බාධාවෙන කරුණු තෝර බේරගන්ට ඕන. හඳුනගන්ට ඕන. ඒ සඳහා සුදුසු පිළියම් යොදමින් ඒ බාධා ඉවත්කරගන්ට කටයුතු කරන්ට ඕනෑ. එහෙම නැත්තම් අපි ඒ බාධාවට යටවෙනව. යටවෙලා අපිට භාවනාව කරගන්ට බැරුව යනව. පීඩාවට පත්වෙනවා. ටික කලකින් එයා භාවනාව අතහැරල දානව, මේක කරන්ට බෑනේ කියන තැනට වැටෙනව. ඒක අපිට වෙනවද නැද්ද? වෙන්ට පුළුවන්. ඒ නිසා භාවනාව පටන්ගත්තු දවසෙ ඉඳන්ම බාධා වෙන කරුණු බැහැර කරගන්ට දක්‍ෂ වෙන්ට ඕනැ.

මේ බාධා අතර බලවත් දෙයක් නිදිමත කියන එක, ථීනමිද්ධය, ථීනමිද්ධය බැහර කර ගත්තොත් අනිකුත් ඒව බැහැර කරගන්ට පුළුවන්කමක් තියෙනව. ථීනමිද්ධය බැහැර කරගන්ට බැරිවුණොත් අනිකුත් ඒවා බැහැර කරගන්ට අපිට බැරුව යනව. ඇයි ඒ? නින්දට යටවුණාම අනිත් ඒව හොයන්ට බෑ. ඒ නිසා අපි ථීනමිද්ධය කියන එක බැහැර කරගත්තොත්, දුරුකර ගත්තොත් අනිත් ඒවා දුරුකර ගන්නට පහසුවක් තියෙනවා. ථිනමිද්ධය තියාගෙන අනිත් ඒව දුරු කරගන්නට අපහසුයි.

ඊළඟ දේ තමයි ගොඩක් අය ථීනමිද්ධය අඳුනන්නෙත් නෑ. සිතේ හැකිළීම අඳුනන්නෙත් නෑ. ඊළඟ දේ තමයි ගොඩක් අය විසිරීම අඳුරන්නෙත් නෑ. කාමයන් ඔස්සේ දුවනවා කියන එක අඳුරන්නෙත් නෑ. ඒව අඳුරන්නෙ නැති නිසා ඒව දුරුකරගන්ට බෑ. අඳුණාගත්තොත් නේද දුරුකරන්නේ? ඒ නිසා අපි ඒව අඳුනාගන්ට ඕනෑ. ඒව අඳුන ගැනීම පිණිස අපි නුවණ පාවිච්චි කරන්නට ඕනැ. දහම් දැනුම තියෙන්ට ඕන. ගොඩාක් අය සිත විසිරෙනවා කියල කියනව. සිත විසිරෙනවා කියන එක අඳුනාගන්නෙ කොහොමද? අඳුනාගත්තොත් නේද ඒක දුරුකරන්නෙ? කාමයන් ඔස්සේ සිත දුවනවා කියලා අපි දැනගන්නෙ කොහොමද? ඒක අඳුනා ගත්තොත් නේද එක දුරු කරන්නෙ. ඒක අඳුනා ගත්තෙ නැත්නම් අපිට දුරු කරන්ට බෑ. ගොඩාක් අය කාමයන් ඔස්සේ සිත දුවන එක තමයි, විසිරෙනව කියල සිතන්නෙ. අහල බලපුවාම සිත විසිරීම නෙමෙයි, ඒ කාමයන් ඔස්සේ සිත දුවනව, එයා දන්නෙ නෑ.

ඒක අඳුනාගන්ට පුළුවන් පුංචි ක්‍රමයක් මම කියල දෙන්නම්, දැන් කාමයන් ඔස්සේ සිත දුවනවා කියල කියන්නේ, අපි ඇහෙන් දැකපු පි‍්‍රය මනාප රූප, කනෙන් අහපු පි‍්‍රය මනාප ශබ්ද මේවගේ කරුණු සිහි කර කර ඉන්නව. ඒව සිතට එනව, ඒව සිහිවෙනව, මිහිරි වූ කන, බොන කරුණු මේ ආදී කරුණු සිහිවෙනවා. ඒ කියන්නෙ පංච කාමයන් සිහිවෙනව. ඒක තමයි කාමයන් ඔස්සේ සිත දුවනව කියල කියන්නෙ. ඉතින් මේක තේරුම් ගන්නට අමාරු දෙයක් නෙමෙයි. කාමයන් ඔස්සේ සිත දුවන කෙනාට සිද්ධවෙන දේ තමයි, එයාට ඉඳගෙන ඉන්ට පුළුවන් බොහෝ වෙලාවක් ඇස් වහගෙන කයට අමාරු එන්නෙ නෑ, ඇඟ කඩාගෙන වැටෙන්නෙ නෑ. එයා කාමයන් ගැන සිත සිතා, ඒ ඔස්සේ එයාගෙ සිත දුවනව. එයා භාවනා ඉරියව්වෙන් ඉන්නව, හැබැයි භාවනා අරමුණේ සිත තියෙන්නෙ නෑ. ටික වෙලාවකින් මතක් වෙන්න පුළුවන් ආ..., භාවනාව නෙමෙයි නේ කරන්නේ කියල. කයට අමාරුවක් දැනෙන්නෙ නෑ. කාමයන් ඔස්සේ සිත දුවන එක අඳුනගන්නට පුළුවන් පුංචි විදිහක් මම මේ කිව්වෙ. එතකොට සිහිය තිබුණොත් තේරුම්ගන්ට පුළුවන් මගේ සිත කාමයන් ඔස්සේ දුවනවා නේද කියල. සිහිය තියෙන්ටත් ඕන, මේ කාරණය දැන ගන්නත් ඕනෑ. දැන් මේ කාරණය දන්නෙ නැත්තම් අපිට බෑ නේද පාලනය කරගන්ට. මේ කරුණු ඉගෙන ගෙන හිටියෙ නැත්තම් සිතෙයි, මේ මොකද මට භාවනා කරගන්න බෑනේ කියල? ඒ නිසා මේ කාරණය අපි ඉගෙනගන්ට ඕන. ඉගෙනගෙන හොඳට සිහියෙන් වාසය කරනකොට තේරෙයි සිත කාමයන් ඔස්සේ දුවනවද? භාවනා අරමුණේ සිත පවතිනවද කියල.

ආරම්භයේදී ම ඒ කරන භාවනාවේ ආනිසංස කල්පනා කරල, භාවනාවට අපේ සිතේ කැමැත්ත උපදවාගත්තොත්, භාවනාවට හොඳින් සිත පිහිටුවගත්තොත්, අපිට කාමයන් ඔස්සේ දුවන ස්වභාවය පාලනය කරගන්ට පුළුවන්කම තියෙනව. ඒ කියන්නේ අපි කරන භාවනාවේ ආනිශංස කල්පනාකරන්ට ඕනෑ. එතකොට ඒ භාවනාවට සිත කැමැතියි. කාමයන් ඔස්සේ දුවන ගතිය අඩු කරගන්න, ඒක එක උපක්‍රමයක්. ඊළඟ දේ තමයි, ඒ කාමයන් ඔස්සේ සිත දුවනකොට, සිහිය උපද්දවාගෙන කල්පනා කරන්න, ඒ කාමයන් ඔස්සෙ සිත දුවන එක අර්ථයක් නැති දෙයක්, ඒක මට වැඩක් නැති දෙයක්, මම මේ භාවනා අරමුණට සිත පිහිටුව ගන්ට ඕනෑ කියල, ඒ භාවනා අරමුණේ සිත පිහිටුවා ගන්න.

මතු සම්බන්ධයි

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]