UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

2011-10-04 වනදා අඟහරුවාදා වප් පුර අටවක

දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීම

රිදා දින හා පසළොස්වක පොහෝ දින දහම් අධ්‍යාපනය අනිවාර්ය කිරීමේ නව නීති සම්පාදනය කොට ක්‍රියාත්මක කිරීමට පසුගිය 24 වන දා ඇඹිලිපිටිය සෙන්චූරියා නිවාඩු නිකේතනයෙහි පැවැති 29 වන ප්‍රධාන අමාත්‍ය සමුළුවේ දී තීරණය කැර තිබේ. සියලුම පළාත් සභාවන්හි ප්‍රධාන අමාත්‍යවරුන් ගේ එකඟතාව පළ වූ මේ තීරණයෙන් අපේක්‍ෂා කැරෙනුයේ සදාචාර සම්පන්න අනාගත පරපුරක් ගොඩනැඟීම ය. මෙය රටේ සියලු දෙනා ගේ අවධානය යොමු විය යුතු කරුණක් වුව ද ජනමාධ්‍යන් හි පවා ඊට ප්‍රමුඛත්වයක් නො ලැබිණ.

සදාචාර සම්පන්න සමාජයක් ගොඩනැඟීම සඳහා ප්‍රධාන අමාත්‍යවරුන් ගන්නා මේ උත්සාහය අගය කරන අතර ම එය වඩාත් පුළුල් සාකච්ඡාවක් බවට පත් කිරීම අප ගේ අරමුණ යි.

වත්මන් සමාජ පිරිහීම කුමක් ද? ඊට හේතු කවරේ ද? මේ තත්ත්වය වෙනස් කිරීම සඳහා කුමක් කළ යුතු ද? යන ප්‍රශ්නවලට පිළිතුරු සොයා ගැනීම එ තරම් පහසු නැත. එය, සමස්ත සමාජ දේහය ම පරීක්‍ෂා කොට එළඹිය යුතු නිගමනයකි.

නිදහස ලබා වසර හැටක කාල පරාසයක් තුළ සන්නද්ධ තරුණ කැරැලි තුනකට මුහුණ දුන් අප සමාජය මේ වන විට නිහඬ අවධියකට අවතීර්ණ වී ඇති බව ඇත්ත ය. එහෙත්, පවුල නමැති කුඩා ම ඒකකයේ සිට ආගමික ආයතන දක්වා සියලු සමාජ කණ්ඩායම් විශාල අර්බුදයකට ගොදුරු වී සිටිති. මේ තත්ත්වය පිළිබඳ ව විධිමත් අධ්‍යයනයක් නොමැති නිසා අපට යැපීමට සිදු වී ඇත්තේ පැරැණි මූලාශ්‍ර මත ය. එ බඳු වැදගත් මූලාශ්‍රයක් ලෙස සැලැකිය හැකි මහාචාර්ය ලක්ෂ්මන් ජයතිලක මහතා සභාපතිත්වය දැරූ තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව (1990 දී )මෙහි උපුටා දැක්වීමට කැමැත්තෙමු.

“සම්ප්‍රදායික පවුල් ව්‍යුහය පිරිහීයෑමට හේතු වී ඇත්තේ වැඩ කරන ස්ත්‍රීන් සංඛ්‍යාවේ වැඩිවීම යැයි බොහෝ සමාජ විද්‍යාඥයෝ විශ්වාස කළ හ. දෙමව්පියන් විදේශීය රටවල රැකියාවන් සඳහා යෑම නිසා ද පවුල් සම්බන්ධය කැපී පෙනෙන ලෙස දුර්වල විය. වැඩිහිටියන්ට ගෞරව දැක්වීම වැනි පවුල් සම්බන්ධය රැක ගැනීමට තුඩු දුන් සාරධර්ම ද විවිධ හේතූන් නිසා දුර්වලව ගොස් තිබේ. මේ තරුණ අසහනයට හේතු වූ සැඟවුණු කරුණු වලින් සමහරකි. කැරැල්ලට සම්බන්ධ වූ තරුණ තරුණියන්ගෙන් වැඩි කොටසක් කැඩුණු පවුල්වලින් එන අය බව බන්ධනාගාර කොමසාරිස්වරයාත් අනුරාධපුර සම්බන්ධීකරණ නිලධාරියාත් කොමිසම ඉදිරියේ පැවසූ හ.”

“සම්ප්‍රදායික පවුල් යන්නෙන් අදහස් කෙරෙන උසස් තත්ත්වය බොහෝ විට තාත්වික නො වේ. ගෙදර දොර සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බව මූලික පර්යේෂණ වලින් පැහැදිලි වන අතර මෑත අවුරුදුවල දී මේ ප්‍රශ්නය නො සලකා හැර තිබේ. ප්‍රචණ්ඩ ක්‍රියා ගෙදර දී ඉවසනු ලැබේ නම් සමාජයෙන් ද එය පිළිගනු ලැබේ. මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සියුම් ආකාරයටත් අර්ථවත් ආකාරයටත් කටයුතු කිරීමට උත්සාහ කරන ලෙස රජයෙන් ද අදාළ රාජ්‍ය නොවන සංවිධානවලින් අපි තරයේ ඉල්ලා සිටිමු. කැඩුණු පවුල්වල ළමයින් සඳහා උපේක්‍ෂා සහගතව බැලීමේ, උපදෙස් සැපයීමේ හා විශේෂ සැලකිල්ලක් දැක්වීමේ ක්‍රමයක් ඕනෑම ප්‍රජාවක් හෝ ගමක් තුළ අත්‍යවශ්‍යයෙන් ම තිබිය යුතු අංගයකි. ‘පවුලේ අර්බුදය’ යනුවෙන් හඳුන්වනු ලබන මේ ප්‍රශ්නය විසැඳීමේ මාර්ග ප්‍රජා මට්ටමෙන් වැඩ කරන සියලුම රජයේ නොවන සංවිධාන විසින් සෙවිය යුතු ය. ජාතික තරුණ සේවා සභාවෙන් තරුණ පෙළට මේ සම්බන්ධයෙන් වැදගත් මෙහෙයක් ඉටු කළ හැකි බව අප විසින් පෙන්වා දී තිබේ.”

“අපේ සමාජයේ ‘මූලික රැක බලාගැනුම්’ ඒකකය වන පවුල බොහෝ විට ළමයා වෙනුවෙන් හැසිරීම් හා සාරධර්ම රටාවන් සපයා දෙන අතර ඒවා අනාගත ජීවිතයේ දී ඔහු කෙරෙහි තියුණු වශයෙන් බලපායි. පවුල් සංස්ථාව සුව පහසු කිරීම සඳහාත් එයට සහාය හා ධෛර්යදීම සඳහාත් රජය විසින් සෑම ප්‍රයත්නයක් ම දැරිය යුතු ය. ජනමාධ්‍ය වලට ද තමන් මතුකොට දක්වන ප්‍රතිරූප මඟින් එ වැනි සාරධර්ම වඩාත් තහවුරු කිරීමේ වගකීමක් තිබේ. බොහෝ ගෙවල්වල විශේෂයෙන් ම නාගරික ප්‍රදේශවල කාන්තා පක්‍ෂයට රැකියා සොයා යෑමට සිදුවන්නේ ආර්ථික පීඩනය නිසා ය. බොහෝ අවස්ථාවල පවුලේ මව වශයෙනුත් පියා වශයෙනුත් කෑම බීම සපයා දෙන්නා වශයෙනුත් සිටින්නේ කාන්තාව ය. අනෙකුත් අවස්ථාවල පවුලට ඇගේ ආදායම නැතිව කොහෙත්ම පැවතිය නො හැකි ය. කාන්තාවන් විසින් වැඩ කිරීමේ අවශ්‍යතාව නැත්තේ පොහොසත් පවුල්වලට පමණි. කාන්තාවන් ගෘහ සේවිකාවන් ලෙස මැද පෙරදිගට යන්නේත් තම පවුල්වලට අයත් අයගේ ජීවිත වඩා හොඳ තත්ත්වයට පත්කර ගැනීමේ අදහසිනි. එහෙත් ආපසු එන ඔවුනට ඇතැම් විට දකින්නට ලැබෙන්නේ තමන් විසින් ඉතා ඉහළින් අගය කරනු ලැබූ පවුල් සංස්ථාව දෙදරා ගොස් ඇති බව ය.”

මේ අනුව බලන කල ප්‍රධාන අමාත්‍යවරුන් ගේ සමළුවේ මේ තීරණය සාර්ථක කර ගැනීම එ තරම් පහසු නැති බව පැහැදිලි ය.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]