UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පියුම මඩෙහි ඉපිද දියෙහි වැඩී දියෙන් මතුපිට පිපේ

සාමාන්‍ය ලෝකය තුළ ජීවත්වන මිනිසුන්ගේ සිත් සතන් ඇතැම් විට කෝපයෙන් පිරී තිබේ. කුඩා කාරණයකදී පවා අන්‍ය පුද්ගලයා කෙරෙහි කෝපයෙන් තරහවෙන් බැලීමට ඔවුහු පුරුදුව සිටිති. මිනිසා පිළිබඳව කෝප සහගතව බලන පුද්ගලයාට ඔහුගේ හැම ක්‍රියාවක්ව නුහුරු ලෙස දැනෙන්නට පටන් ගනී. එම පුද්ගලයා සෑම විටම සිතන්නේ තමාට අවශ්‍ය ආකාරයට අන්‍යයා වැඩ කටයුතු සිදුකොට දිය යුතු බවයි. එසේ නොකරන කල්හි ඔහු කෙරෙහි වෛරය තරහව ඇතිකර ගනී.

අ‍ෙක්‍කාචඡි මං අවධිමං - අජිනි මං අහාසි මෙ
යෙ තං උපනයහන්‍ති - වෙරං තෙසං න සම්මති

කෝපය මනස තුළ ඇතිකරගනු ලබන්නේ නොදැමුණු මිනිසුන්ය. දැමුණු මිනිසාගේ ස්වභාවය වටහාගෙන තැන්පත් වීමය. ඉහත ගාථාවට අනුව නොදැමුණු මිනිසුන් කෝපය ඇතිකර ගන්නට යොදාගන්නා හේතු සාධක පිළිබඳව එනම් අසවලා මට නින්දාසහගත ලෙස කතාකොට දොස් කියුවේය. අසවල් පුද්ගලයා මට පහර දුන්නේය. මෙය අතින් පයින් පහර දීමක් විය හැකි මනෝ ප්‍රහාරයක් විය හැකි. (අවධි මං) අසවල් පුද්ගලයා මට වඩා දක්‍ෂකම් පෙන්වයි. ඔහු මා පරදවා ජයග්‍රහණය කරනු ලැබීය. මා පරාජයට පත් විය (අජිනි මං) අසවල් පුද්ගලයා මා සතු දේ පැහැරගනු ලැබීය. (අනාසි මෙ) අනුවන පුද්ගලයා සහ නොදැමුණු පුද්ගලයා අන්‍යයා කෙරෙහි සිතන්නේ ඔහු තමාගේ විරුද්ධකාරයකු ලෙසය. එසේ සිතන ඔහු අන්‍යයා කෙරෙහි වෛරයක් ඇති කරගනී. මට බැන්නේය. මට පහර දුන්නේය. මා දිනාගත්තේය. මගේ වස්තුව පැහැර ගත්තේය යනාදි වශයෙනි.

කෝපය යනු කුමක්ද? කෙනෙකුගේ සිතෙහි හටගන්නා යම් අරමුණකට විරුද්ධ වන ස්වභාවය, කේන්තිය, කිපීම, ක්‍රෝධය යන අදහස් මෙහිලා දැක්විය හැකිය.කෝප චිත්තය යනු කෝපය නිසා පහළවන සිතයි.

ද්වේෂ සහගත උරණ වූ සිතයි. කෝපයට වඩා පුද්ගලයාට හානිකරනු ලබන්නේ කෝප චිත්තයයි. කෝප සිත විසින් සෑම අවස්ථාවකම මිනිසා නැඹුරු කරවනු ලබන්නේ සමාජ අයහපත කෙරෙහි විෂමාචාර ක්‍රියා පිළිබඳවය. කෝප සිතින් ගනු ලබන හැම ක්‍රියා මාර්ගයක්ම වැරැදි සහගත වන නමුත් කෝපී පුද්ගලයාට එය දැනෙන්නේ නිවැරදි දේ ලෙසය.

එසේ දැනෙන නිසාම ඔහු එබඳු දේ කරයි.අන්‍යයා පහත්කොට සලකා තමන් උසස් කොට සැළකීම හෙවත් පරවම්භනය සහ අත්තුක්කන්සන ගති සිරිත් ඇතිවේ. බුදු දහමෙහි දක්වන්නේ වැඩිපුර කෝප සහගත තත්ත්ව ඇතිකර ගන්නේ සමාජ අවබෝධය අඩු පුද්ගලයන් බවය. මිනිස් මනසෙහි ජනිතවන කෝපය නමැති සිතිවිල්ල මෝරා යාමේ ප්‍රතිඵලයක් වශයෙන් බද්ධ වෛරය ලෙස සිතෙහි තැන්පත් වෙයි. මෙහි අවසානයක් නැත. සතිය දෙක විය හැකිය. ජීවිත කාලය පුරා විය හැකිය.ඇතැම් විට සංසාරය පුරාද විය හැකිය. නිම වීමක් නොමැති වෛරය සසර පුරා මිනිසා පසුපස එමින් ඔහු දුක්ඛ දායක බවට පත්කරයි.

බුදුරජාණන් වහන්සේ මෙම ගාථාව දේශනා කරනු ලැබුයේ බුද්ධ කාලයෙහිදී ඇතිවුනු කිසියම් සිද්ධියක් මුල්කරගෙන පොදු මිනිස් සිතෙහි අවලක්‍ෂණ ස්වභාවය සහ එම අනෙක් පක්‍ෂය පිළිබඳවය.

අනෙක් පක්ෂය යනු වෛරී සහගත නැති උපශාන්ත මිනිස් සිත පිළිබඳවය. මෙය දේශනා කිරීමට හේතු වනුයේ චුල්ල තිස්ස හිමියන් සම්බන්ධ සිද්ධියකි. උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ඥාති සම්බන්ධකමක්ද පැවැති කෙනෙකි.

එනම් බුදුරජාණන් වහන්සේගේ පියාගේ සහෝදරියගේ පුතණුවන්ය. නමුත් අධ්‍යාපනික මට්ටම අතින් බොහෝ පහත්ය. ශරීර ස්වභාවය අතින්ද බුදුරජාණන් වහන්සේට තිබෙන ඥාතිත්වය අතින්ද බොහෝ උසස් චුල්ල තිස්ස හිමියන් අධ්‍යාපනික මට්ටමද ගුණ සම්පන්න බවද අඩු නිසාම බුදුරජාණන් වහන්සේ පිළිබඳවද කල්පනා කරනු ලැබුයේ වැරැදි සහගත ලෙසය. එනම් බුදුරජාණන් වහන්සේ තමන්ගේ ළඟම ඥාතිත්වය නිසාම ශාසනික සියලුම භික්‍ෂූන් වහන්සේ තමන්ටද ගෞරව පූර්වක ලෙස සිටිය යුතු බවය. නමුත් බුදු දහම තුළ එබදු සැළකිලි පිළිවෙතක් බුදුරදුන් අනුමත නොකළහ. චුල්ල තිස්ස හිමියන්ගේ සාවද්‍ය චිත්ත ස්වභාවය අනුව උන්වහන්සේ කටයුතු කරයි. බුදුරජාණන් වහන්සේගේ සිල් ගුණය නිසාම උන්වහන්සේට ලැබෙන මියුරු ආහාරපාන සුවසේ වළදා චුල්ල තිස්ස හිමියන් ශරීර ස්වභාවයෙන් ස්ථූල ගති ඇතිවූ නමුත් උන්වහන්සේ වත් පිළිවෙත් නොපිරූ කෙනෙකි. සිල් ගුණය අඩු කෙනෙකි.

දිනක් විහාරය ඉදිරියේ ලොකු පුටුවක වාඩිවී පන්සලේ ප්‍රධාන හාමුදුරුවන් මෙන් එහි වැඩ සිටිමින් උජාරු ලීලාවෙන් කල්ගෙවන්නට විය. එම අවස්ථාවේ දුර බැහැර ප්‍රදේශයක සිට භික්‍ෂූන් වහන්සේ පිරිසක්ද එම ආරාමයට වැඩම කළහ. සාමාන්‍යයෙන් භික්‍ෂුවක් තවත් කෙනෙකු මුණ ගැසුණු විට විමසනු ලබන ප්‍රශ්නය වන්නේ “ දැන් වස් කීයද?” යන ප්‍රශ්නයයි. එමගින් අදහස් වන්නේ වැඩිමහල්ලා කවුදැයි සොයාගෙන ගරුසරු දැක්වීමයි. වස් ප්‍රමාණය අඩු භික්‍ෂුව පැවිද්දෙන් බාලය. දුර බැහැර සිට වෙහෙරට පැමිණි භික්‍ෂූන් වහන්සේ වෙහෙර බිමෙහි ලොකු පුටුවක උජාරු ලීලාවෙන් වැඩ සිටින බුදුරජාණන් වහන්සේට ළඟම ඥාතිත්වයක් ඇති චුල්ල තිස්ස හිමියන්ගෙන් වස් විචාරනු ලැබීය.

චුල්ල තිස්ස හිමියන්ගේ වස් ප්‍රමාණය අඩු නිසා අනෙක් හිමිවරු චුල්ල තිස්ස හිමියන්ට වැදුම් පිදුම් නොකර සිය කටයුත්තට වැඩම කළහ. ශාසනික පිළිවෙත අනුව වැඩිමහලු භික්‍ෂුවට වැදුම් පිදුම් කිරීම කළ යුතු වුවත් එසේ නොකළ චුල්ල තිස්ස හිමියන් කල්පනා කළේ බුදුරදුන්ට ආසන්නම නෑ කමක් තියෙන තමන්ට මොවුන් ගරුසරු නොදැක්වීම මහා මදිකමක් ලෙසය. වහා ගොස් බුදුරදුන් වෙත වැද වැටී මේ අවනඩුව කියා ඥාතිත්වයේ නාමයෙන් ආගන්තුක භික්‍ෂූන් වහන්සේට දඩුවම් කරන ලෙස චුල්ල තිස්ස හිමියෝ බුදුරදුන්ගෙන් ඉල්ලා සිටියහ. බුදුරජාණන් වහන්සේ චුල්ල තිස්ස හිමියන්ට පැහැදිලි කරනු ලැබුයේ ආගන්තුක භික්‍ෂූන් වහන්සේ අනුගමනය කරනු ලැබූ ක්‍රියා පිළිවෙත නිවැරැදි බවය.

චුල්ල තිස්ස හිමියන් තමන් වහන්සේ ගේ ඥාති වුවද කළ ක්‍රියාව වැරැදි බව ඇසූ චුල්ල තිස්ස හිමියෝ බුදුරදුන්ටද නිගරු වන අයුරින් කටයුතු කළහ. බුදුරදුන් නෑයන්ටද නොසලකන කෙනෙක් යැයි චෝදනා කරනු ලැබීය.

බාලයාගේ මනස හැසිරෙන ස්වභාවය සහේතුකව පැහැදිළි කිරීමට බුදුරජාණන් වහන්සේට හේතු වූයේ එම කරුණයි. නුවණැති පුද්ගලයා අසවලා මා දිනා ගත්තේය. අසවලා මාගේ වස්තුව පැහැර ගත්තේය. යන සිද්ධි තමන්ගේ මනසින් නැවත නැවත නොසිතන ලෙසය. එවිට ඔහුගේ සිතෙහි අන්‍යා පිළිබඳව වෛරය ඇතිවන්නේ නැත.

මෙම පුද්ගල සන්තාන ස්වභාවය නිවැරැදිව හඳුනාගැනීම ඉතා වැදගත්ය. එය වැදගත් වන්නේ තමාටමය. තමා කරනු ලබන, කියනු ලබන දේ ඉතා මැනවින් ඉෂ්ට සිද්ධ කිරීමට පහසු වීම සඳහාය. මනස දකින්නට අපහසු වුවද මිනිසා කටයුතු කරන්නේ සිතෙහි පවතින දැමුණු සහ නොදැමුණු ස්වභාවයන් අනුවය. බුදු දහමෙන් පැහැදිලි කරනු ලබන්නේ එකී ස්වභාවය වහාම හදුනා ගත යුතු බවය. වෛරී සහගත පුද්ගලයාගේ ස්වභාවය ජීව අජීව සියලු දෙය කෙරෙහිම වෛරය පැතිරවීමය. සිත දමනය කළ හෝ එයට උත්සාහ කරනු ලබන පුද්ගලයා කල්පනා කරන්නේ තමන්ගේ සිතට ආ නරක සිතිවිල්ල වුව ඉක්මනින් පහකර හැර සමාජයට මෛත්‍රිය පතුරුවන්නේ කෙසේද කියාය.

බුදුරජාණන් වහන්සේ ආස විස සූත්‍රයේදී මිනිස් මනසේ පවතින මෙකී ස්වභාවය සර්පයන් හා සම්බන්ධ උපමාවක් භාවිතා කර ගනිමින් පැහැදිළි කරනු ලැබ ඇත. එහිදී උන්වහන්සේ සර්ප විෂ කොටස් හතරකට බෙදා දක්වා තිබේ. එනම්

1. දෂ්ට කරන විට විෂ සහිත දෂ්ට කළායින් පසුවත් මාරාන්තික විෂ සහිත සත්තු
2. දෂ්ට කරන අවස්ථාවේ විෂ සහිත දෂ්ට කළ පසුව විෂ නැතිවී යන සත්තු
3. දෂ්ට කරන මොහොතේ විෂ නැති දෂ්ට කළායින් පසු මාරාන්තික විෂ සහිත සත්තු
4. දෂ්ට කරන මොහොතේ විෂ නැති දෂ්ට කළායින් පසුවත් විෂ නැති සත්තු

මෙහි දක්නට ලැබෙන වර්ගකරණය සර්ප විෂ පිළිබඳවය. එම සූත්‍රයේදී ඉන් පසුව දක්වන්නේ මිනිස් සිත පිළිබඳවය. මහණෙනි මේ ලෝකයේ මෙබදු සිවු වර්ග මිනිසුන්ද දක්නට ලැබේ. එනම්

1. වහා කිපෙන පසුවත් කිපිනු සිතින්ම කටයුතු කරන මිනිස්සු
2. වහා කිපෙන පසුව එය අමතක කර දමන මිනිස්සු
3. වහා කිපෙන්නේ නැති ස්වභාවය පෙන්වන පසුව එය නැවත නැවත සිතා සිතා පළිගන්නා මිනිස්සු
4. වහා නොකිපෙන පසුවත් ඒ ගැන සිත සිතා කේන්ති නොගන්නා මිනිස්සු

මේ වර්ගකරණය අනුව ලෝකයේ ජීවත්වන හැම කෙනෙක්ම ඒ ඒ පුද්ගල ස්වභාවය අනුව කිසියම් වූ ප්‍රතිචාරයක් දක්වන අය වෙති. ඇතැම්හු එම ප්‍රතිචාර තමාගේද අයහපත පිණිස සහ සමාජයේ අයහපත පිණිස පතුරුවන්නෝ වෙති. තවත් කෙනෙක් තමන්ගේද සමාජයේද යහපත හිත සුව පිණිස ප්‍රතිචාර දක්වති. බුදු දහමට අනුව මිනිසා පිළිබඳව සහ මිනිස් සිත පිළිබඳව නැවතද නැවතද මෙනෙහි කර බලන පුද්ගලයාට විශේෂතාවයක් හිමිවේ. එය එසේ වන්නේ එම පුද්ගලයා තමා තුළ තිබෙන වැරැදි පුළු පුළුවන් විදිහට අවම කර ගැනීමට උත්සාහ ගනු ලබන නිසාය.

දුර්ජන මිනිසා සහ සුදන මිනිසාත් සමාජය තුළ දක්නට ලැබේ. මේවා අඩු වැඩි වශයෙන් පවතින විවිධ ස්වභාව සහිත අය සමාජයේ ජීවත් වෙති. ඇතැම්හු තමන් දන්න හදුනන තැනැත්තාට ඥාතිත්වය සහිත තැනැත්තාට තමන්ට ලාභ ප්‍රයෝජන ලැබෙන තැනැත්තාට වැඩිපුර සැළකීමද අන්‍යයන් හෙළා දැකීමද කරති.

සමහරු නිවැරැදි ක්‍රියාව සහිත පුද්ගලයාට එම ක්‍රියාව නිසාම සැළකිලි කරති. ලාභ ප්‍රයෝජන දැන හැදුනුම්කම් ඥාති බන්ධන නොසලකති. සමාජගත ජීවිතයේදී දුර්ජන මිනිස් ඇසුරෙන් ඈත්විය යුතු බව බුදු දහම දක්වයි දුර්ජනයා හඳුනාගැනීම පිළිබඳ ගැටළුවට විසදුම ලබාගත යුත්තේ එම පුද්ගලයන් ඇසුරු කිරීමෙන්ම මිස වෙනත් ක්‍රමයකින් නොවේ. දුර්ජන මිනිස් සිත සහිත පුද්ගලයන්ගේ කොපමණ දුරකට ඈත්විය යුතුද යන්න දහමෙහි දක්වා ඇත්තේ මෙසේය. එනම්

1. ඉර පායන තැන සහ ඉර බැස යන තැන අතර පවතින දුර ප්‍රමාණය මැන කිව හැකිද?
2. හඳ පායන තැන සහ හඳ බැස යන තැන අතරත පවතින දුර කිව හැකිද?
3. මහ පොළොව සහ අහස අතර පවතින දුර මැන කිව හැකිද?

ඒවා කිව නොහැකි වුවද කිව්වා යැයි සිතමු. නමුත් දුර්ජන අයුරින් ඈත්වීම හෙවත් දුර්ජනයාට වඩා කොපමණ දුරකින් ඈත්වී සිටිය යුතුද යන්න කිව හැකි නොවේ.

මිනිස් මනස හොඳ දෙයට සහ නරක දෙයට නැඹුරු කිරීමට පැතිකඩ පවතින්නේ එම පුද්ගලයාටමය. බුදු දහමෙන් මිනිසා යොමු කරන්නේ යමක් කීමට සහ කිරීමට ප්‍රථම මනසින් හොඳින් සිතා බලා එය කීම සහ කිරීම කළ යුතු බවය. සාමාන්‍ය මිනිසා හැම අවස්ථාවකම කල්පනා කරන්නේ අනුන් අතින් සිදුවුනු වැරදි කතා සහ වැරැදි ක්‍රියා පිළිබඳවය. ධර්මය පිළිබඳ දැනුම් තේරුම් සහිත මිනිසා හැම විටම කල්පනා කරනු ලබන්නේ තමන්ගේ අතින් සිදුවුණු වැරැදි සහගත දේවල් මොනවාද? යන්න සිතෙහි පවතින වෛරයද තරහවද අවම කරගත හැක්කේ අප දැක්වූ බුද්ධිමත් චින්තනයට අනුගතව කල්පනා කරන තැනැත්තාට බව බුදු සමයේ අදහසයි.

අනුන්ගේ අඩුපාඩුව නැවත නැවත නොසිතා සිටීම ( න උපමාය හන්ති) ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ භේදවලින් තොරව මිනිස් මනසෙහි පවතින මෙම ස්වභාවය ක්‍රියාත්මක වන බව අප දැක්වූ ගාථා ධර්මය අනුව හෙළිවේ. මෙහිදී තේරුම් බේරුම් කරගත යුතු වන්නේ තමාගේ සිත සහ අනුන්ගේ සිත වටා හැසිරෙන්නේ කෙසේද කියා ජෛන ධර්මයෙහි උගන්වන්නේ “ මනහං පර්යාය ඥානය” දක්වා සිත දියුණු කළ යුතු බවයි.

බුදු දහමෙහි උගන්වන්නේ පරචිත්ත විජානන ඤාණය දක්වා සිත දියුණු කරගත යුතු බවයි. එබදු තත්ත්ව දක්වා සිතින් දියුණු කරගැනීම හැම තැනැත්තාටම කළ නොහැකි නිසා අවම වශයෙන් තමාගේ තරම දැන හඳුනාගෙන කටයුතු කළ යුතුවේ. සුභාසිතයෙහි දක්වන්නේ මිනිසා හට විවිධ හැකියාවන් පවතින බවයි. ඒවා අතර සුගුණ සහ දුගුණ වේ.

හැම කෙනෙකු තුළම සොදුරු යහපත් ගතිගුණ ද නරක ගතිගුණ ද පවතින බව ඉන් කියවෙතත් බුදු දහම අපේක්‍ෂා කරන්නේ එබදු සාම්ප්‍රදායික මිනිසුන් නොවී කළයුතු අවස්ථාවේ හොඳ සිහි කල්පනාවෙන් විමසා බලා එය කරන කිව යුතු දෙය පමණක් හොඳින් විමසා බලා එය කියන මිනිසුන්ය. එබඳු අය බුදු දහමෙහි උපමාවකින් දක්වා ඇත. එනම්

” පද්මෝපමාවයි” පියුම මඩෙහි ඉපිද දියෙහි වැඩි දියෙන් මතුපිට පිපී තිබේ. බුද්ධිමත් මිනිසාද සමාජයේ හැදී වැඩි අන්‍ය දුර්ගති ස්වභාවයන් ඉවසා දරා ඒවා නොකොට “අන්ත හිත පරහිත “ ක්‍රියාවල නිරත වෙයි. මේ දක්වා මිනිස් මනස හසුරුවා ගැනීම කළ යුතුයි. එය පුරුදු පුහුණු කිරීමෙන් පමණක් කළ හැකි දෙයක් මිස බුදුරදුන්ට ඥාති සම්බන්ධකම් තිබුණු පමණින් හෝ ආර්ථික හැකියාවන් තිබූ පමණින් හෝ උසස් කුළයක උප්පත්තිය ලැබීම නිසා හෝ කළ හැකි දෙයක් නොවන බව වටහා ගත යුතුයි.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]