UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අන්තවාදයේ මිථ්‍යාවන් බැහැර කරන මධ්‍යම ප්‍රතිපදාව

සම්මා දිට්ඨියෙන් ආරම්භවන මධ්‍යම ප්‍රතිපදාව සම්මා සමාධියෙන් අවසන් වේ. අංග අටකින් සමන්විතය. මෙය පටිච්ච සමුප්පාද මූලධර්මයට අනුව ප්‍රඥාව, අවබෝධය, නිවන පසක් කරලීමේ ක්‍රියාවලියකි. එය ජීවිතයට පුරුදු පුහුණු කරගත යුත්තකි. එය පිළිපැදිය යුත්තකි. තමා විසින්ම තමාගේ සිත, කය, වචනය, නිවැරැදි ක්‍රියාවන්හි යෙදවීමකි. තමා විසින් තමන් පිරිසුදු කර ගැනීමකි. නිවැරැදි කර ගැනීමකි. තමා විසින්ම ලෝකය නිවැරැදිව අවබෝධ තර ගැනීමකි. එම අවබෝධය අත්තකිලමථානුයෝගය හෝ කාමසුඛල්ලිකානුයෝගය යන අන්ත දෙකෙන් අවබෝධ කර ගැනීමට නො හැකිය.

මිථ්‍යාව සහ අන්තවාදය අතර ඇතැම් විටෙක ගැඹුරු සම්බන්ධතාවයක් ගොඩ නැගේ. අන්තවාදයෙහි නිමග්න වූවෝ එයින් තොර වෙනත් දෙයක් ගැන නො සොයති. මිථ්‍යාවෙන් මංමුළාවූවෝ සත්‍ය නො දනිති. එහෙයින් අන්තවාදයෙහි නිමග්න වූවෝ මිථ්‍යාවෙන් මංමුළා වන අතර මිථ්‍යාවෙන් මංමුලා වූවෝ අන්තවාදයෙහි නිමග්න වූවෝ වෙති. බුදුරජාණන් වහන්සේ මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළේ මිථ්‍යාවේ සහ අන්තවාදයේ අන්ධකාරය වෙනුවට යථාර්ථයේ ආලෝකය දල්වමින්ය.

යමක් පිළිබඳව අන්තවාදී නිගමනවලට පැමිණි ආකාර හතරක් අරවිල කස්සප සූත්‍රයේ සඳහන් වේ. පළමුවැන්න “ සයං කතා” යන්නයි. තමන් කරයි. තමන්ම විඳියි යනු එහි අර්ථයයි. තමන් කර්තෘ ලෙස කරයි. තමන්ගේම ක්‍රියාවට තමන්ම යටත්වෙයි. සියල්ල පෙර කර්මයට ( පුබ්බේකත හේතුවාදය ) අනුව සිදුවන්නේ යයි යන මිථ්‍යාව මත පිහිටා කටයුතු කරන්නෝ අන්තවාදයෙහි නිමග්නවූවෝය.

දෙවැන්න “ පරං කතං” වේ. එනම් සියල්ල තමන්ගෙන් පරිබාහිරව පවතින බලවේගයකට යටත් වේ යයි විශ්වාස කිරීමයි. සියල්ල දේව නිර්මාණ ලෙසත්, දේව බලපෑම් ලෙසත් විශ්වාස කරන්නෝ පරං කතං වාදීහු ය. ලෝක ජනගහණයෙන් විශාල ප්‍රමාණයක් මෙම අන්තවාදයෙහි ගිලෙති. එනම් මරණින් මතු ස්වර්ගයට කැඳවා ගෙන යන දේව බලයක් වැනි බාහිර බලවේගයක් ඇතැයි යන මිථ්‍යාවෙන් මංමුළාවෙති.

තෙවැන්න “ සයං කත, පරං කත” යන සංකල්ප දෙකෙහිම සංකලනය යි. ජෛන දහමෙහි කර්මවාදය හොඳම නිදසුනකි. ජෛන දහමට අනුව තමන්ම සියලු දේ කරයි. සියලු සැප මෙන්ම දුක ද තමන්ගේම ක්‍රියාවන්හි ප්‍රතිඵලයන් ය. තමන් විසින් කරන ලද කර්ම තමන්ගේ පාලනයෙන් ඉවත් වී තමන්ටම නියතියක් ලෙස විපාක ගෙනදේ. එයින් අත්මිදීමට දුෂ්කරය. එම කර්ම දුරු කළ හැකිවන්නේ තමන්ම විඳීමෙන් ය. “ ආත්මතාපනය” ලෙස මෙය හැඳින්වේ. මේ සඳහා ශරීරයට දැඩි දුක් ලබාදෙයි. බුදු රජාණන් වහන්සේ අත්තකිලමතානුයෝගය ලෙස නම් කොට නිෂ්ප්‍රයෝජන පිළිවෙතක් බැවින් බැහැර කළයුතුයයි දෙසූහ.

සිව්වැන්න අසයංකාර අපරංකාර අධිච්ච සමුප්පත්තිය ලෙස හැඳින්වේ. තමන්ගේ වගකීම, තමන්ගේ ක්‍රියාවේ ප්‍රතිඵල ප්‍රතික්‍ෂේප කෙරේ. අනෙක් අතට බාහිර බලවේගවල බලපෑමද ප්‍රතික්‍ෂේප කෙරේ. සියල්ල හේතු ප්‍රත්‍ය රහිතව නිරායාසයෙන්ම සිදුවන බවට විශ්වාස කරති. ඔවුහු පිනෙහි සහ පවෙහි විපාක හෝ ආනිසංස නැතැයි විශ්වාස කරති. නැවත ඉපදීමක් නැතැයි විශ්වාස කරති. ජීවත්ව සිටින කාලයේ දී කවර හෝ ක්‍රමයකින් කම් සැප විඳීමට උත්සාහ කරති. මෙය බුදුරදුන් කාමසුඛල්ලිකානු යෝගය ලෙස නම් කොට එහි නිෂ්ප්‍රයෝජන බව, අන්තරායකර බව අවබෝධ කර ගනිමින් බැහැරලූහ. තමන්ගේ ලෞකික සහ අධ්‍යාත්මික දියුණුව විනාශ කරන ක්‍රමවේදයක් ලෙස ප්‍රතික්‍ෂේප කළහ.

ඉහත සතර ආකාරයන්ම අන්තවාදී පිළිවෙත්ය. එම පිළිවෙත් මිථ්‍යාව කරා අප පොළඹවාලයි. එම අන්තවාදයන් තුළ මිථ්‍යා ද, එම මිථ්‍යා තුළ අන්තවාදයන් ද එකිනෙකට වෙලී පවතී. නිරන්තරයෙන් වෙනස් වන ලෝකය මෙවැනි අන්තවාදී මිථ්‍යාමය ඉගැන්වීම්වලින් තේරුම් ගැනීමට නොහැකිය. වෙනස් වන යමක් පිළිබඳව මනා අවබෝධයක් ලැබීමට ඉවහල් වන්නේ පටිච්ච සමුප්පාදය බව අවේල කස්සප සූත්‍රයේදී දේශනා කළහ.

පටිච්ච සමුප්පාදය මූලධර්මයක් ලෙස කොටස් සතරකි. “ මෙය ඇති කල්හී මෙය වෙයි” “ මෙය ඉපදීමෙන් මෙය උපදී” “ මෙය නැති කල්හී මෙය නොවේ” “ මෙය නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ” මෙම මූලධර්මය මත පදනම්ව සියලු ධර්මයන් දේශනා කළහ. එහෙයින් යමෙක් පටිච්ච සමුප්පාදය අවබෝධ කළේ නම් හෙතෙම ධර්මය අවබෝධ කරන්නේ යැයි බුදුරදුහු දෙසූහ.

ඉහත කරුණ මැනවින් අවබෝධ කර ගැනීමට නිදසුනක් ගැන අවධානය යොමු කරමු. බුද්ධකාලීන ආගමික සහ දාර්ශනික ඉගැන්වීම් අන්ත දෙකක පිහිටා පුද්ගලයාගේ පැවැත්ම පිළිබඳව කරුණු විග්‍රහ කර තිබුණි. එනම් ඉහත විස්තර කළ පර කතං වාදය සයං කතං වාදය මත පිහිටාය. මෙම අන්ත දෙක බුදුරදුන් ප්‍රතික්‍ෂේප කළහ. පුද්ගලයාගේ පැවැත්ම පටිච්ච සමුප්පාදය මූල ධර්මයට අනුකූ®ලව දේශනා කළහ. භවගාමී පුද්ගලයා කරුණු දොළසක එකතුවකි. එනම් අවිජ්ජා ප්‍රත්‍යයෙන් සංඛාර ද, සංඛාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය ද, විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් නාමරූප ද, නාමරූප ප්‍රත්‍යයෙන් සළායතන ද සළායතන ප්‍රත්‍යයෙන් ඵස්ස ද ඵස්ස ප්‍රත්‍යයෙන් වේදනා ද, වේදනා ප්‍රත්‍යයෙන් තණ්හා ද, තණ්හා ප්‍රත්‍යයෙන් උපාදාන ද, උපාදාන ප්‍රත්‍යයෙන් භවය ද, භව ප්‍රත්‍යයෙන් ජාති ද ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ, ශෝක, පරිදේව, දුක්ඛ දෝමනස්සයෙන් යුක්ත සංසාර පැවැත්ම දේශනා කළහ.

පටිච්ච සමුප්පාද මූලධර්මයට අනුව සියලු ප්‍රපංචයන් අවබෝධ කර ගැනීම යනු මධ්‍යම ප්‍රතිපදාවට අනුව ලෝකය හෙවත් ප්‍රපංචයන්වල ස්වභාවය අවබෝධ කර ගැනීමයි. එවැනි ප්‍රඥාවන්ත තැනැත්තා හෙතෙම කරයි, හෙතෙම විඳී යයි සලකන සයං කතං වාද හෙවත් ශාස්වත දෘශ්ටියෙන් අන්තවාදියෙක් නොවේ. එමෙන්ම අනෙකෙක් කරයි, අනෙකෙක් විඳී යයි සැලකෙන පරං කතං වාදය හෙවත් උච්ඡේදවාදී දෘෂ්ටියෙන් අන්තවාදියෙකු නොවේ. තමන් කරයි. තමන්ම විඳියි, යන ශාස්වතවාදී දෘෂ්ටියෙන් යුක්තවූවෝ කළ පව්වලින් මිදීම උදෙසා අනන්ත දුක් වේදනා විඳීමට පෙළෙඹෙති. ඇතැම්හු ගිහිගෙය අත්හරින්න සූදානම් වෙති. තවත් විටෙක දෛවඥයන්ගේ හෝ වෙනත් අයගේ අනාවැකි පරම සත්‍ය ලෙස විශ්වාස කරති. භාවනාව වරදවා තේරුම් ගෙන අන්තවාදී කටුක ව්‍රෘතවලින් කයට දුක් දෙන්නෝ ද මොවුන්ම ය. බුදු රජාණන් වහන්සේ මෙම අන්තවාදය දුක් සහිත, අනාය¸ අනර්ථකර අත්තකිලමථානු යෝගය ලෙස හැඳින්වූහ.

තමන් කරන ක්‍රියාවල ප්‍රතිඵලයන් නැතැයි විශ්වාස කරන උච්ඡේදවාදී දෘෂ්ටියෙන් යුක්තවූවෝ යහපත් ක්‍රියාවන්හි ආනිසංස ද, අයහපත් ක්‍රියාවන්හි විපාක ද නොපිළිගනිති. පටිච්ච සමුප්පාද මූලධර්මය මත පිහිටා ලෝකය අවබෝධ නො කරගන්නා වූ මොවුහු කවර වර්ගයේ ක්‍රියාවක නිරතවුණත් කුසල් හෝ අකුසල් වර්ධනවීමක් නො පිළිගනිති. සියල්ල නියත වශයෙන් පවතින බවට විශ්වාස කරති. ජීවත්වන කාලයේ දී පින් හෝ පව් ගැන නොව කම්සුවවල ඇලී ගැලී වාසය කිරීමට උනන්දු වෙති. බුදුරජාණන් වහන්සේ මෙය පහත්, ග්‍රාම්‍ය අනර්ථකාරී, අනාර්ය කාමසුඛල්ලිකානු යෝගය ලෙස හඳුන්වා එය ප්‍රතික්‍ෂේප කළහ.

අත්තකිලමථානු යෝගය සහ කාමසුඛල්ලිකානු යෝගය යන අන්ත දෙකෙහි අනර්ථය, අනාර්ය බව, පහත් බව බුදුරජාණන් වහන්සේ අවබෝධ කරගත්හ. මෙම අන්තවාද පුද්ගලයන් මිථ්‍යා විශ්වාස, ක්‍රියාමාර්ග විෂයෙහි ඇද දමයි. මිථ්‍යා විශ්වාස, ක්‍රියාමාර්ග වලින් මුළාවෙති. බුදුරජාණන් වහන්සේ අන්තවාදී මිථ්‍යාවන්ගෙන් මිදීමේ මාර්ගය ලෙස දෑස් ලබා දෙන, නුවණ ලබා දෙන, උපසමයටත්. අභිඥාවටත්, සම්බෝධියටත්, නිර්වාණයටත් හේතු වන ආර්ය අෂ්ඨාංගික මාර්ගය හෙවත් මධ්‍යම ප්‍රතිපදාව දේශනා කළහ.

සම්මා දිට්ඨියෙන් ආරම්භවන මධ්‍යම ප්‍රතිපදාව සම්මා සමාධියෙන් අවසන් වේ. අංග අටකින් සමන්විතය. මෙය පටිච්ච සමුප්පාද මූලධර්මයට අනුව ප්‍රඥාව, අවබෝධය, නිවන පසක් කරලීමේ ක්‍රියාවලියකි. එය ජීවිතයට පුරුදු පුහුණු කරගත යුත්තකි. එය පිළිපැදිය යුත්තකි. තමා විසින්ම තමාගේ සිත, කය, වචනය, නිවැරැදි ක්‍රියාවන්හි යෙදවීමකි. තමා විසින් තමන් පිරිසුදු කර ගැනීමකි. නිවැරැදි කර ගැනීමකි. තමා විසින්ම ලෝකය නිවැරැදිව අවබෝධ තර ගැනීමකි. එම අවබෝධය අත්තකිලමථානුයෝගය හෝ කාමසුඛල්ලිකානුයෝගය යන අන්ත දෙකෙන් අවබෝධ කර ගැනීමට නො හැකිය. මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරන්නා එවැනි අන්තවලින් මුළා නොවේ.

මධ්‍යම ප්‍රතිපදාව යනු යමක මධ්‍යය නොවේ. පනහට පනහේ සීමාවන් නොවේ. පටිච්ච සමුප්පාද මූලධර්මයට අනුව දේශනා කොට ඇති ආර්ය අෂ්ටාංගික මාර්ගය මධ්‍යම ප්‍රතිපදාවයි. එමගින් අනර්ථකාරී, නිෂ්ප්‍රයෝජන අන්තවාදයන් ප්‍රතික්‍ෂේප කෙරේ. එනම් මිථ්‍යා විශ්වාසවලින් තොරවූවකි. තමාගේම නුවණින් සලකා නිවැරදි ක්‍රියාමාර්ගයෙහි, නිවැරදි දෙයෙහි, තමන්ට සහ අනුනට ප්‍රයෝජනවත් දෙයෙහි, වෙනත් නුවණැත්තන්ගේ ප්‍රශංසාවට ලක්වන දෙයෙහි හැසිරීම, නිරතවීම මධ්‍යම ප්‍රතිපදාවයි. එබදු තැනැත්තා ප්‍රඥාවන්තයෙකි.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]