UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අම්බලන්ගොඩ මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරස්ථානයේ අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමේ පුණ්‍යෝත්සවය 11 වන දා

දක්‍ෂිණ ලංකාවේ අම්බලන්ගොඩ නගරයේ දකුණු ඉම මහදම්පා මුවදොර පසුකොට කිලෝමීටර් භාගයක් පමණ ගාල්ල දෙසට යන්නෙකුට නැඟෙනහිර දෙස රමණීය උස් වූ ගල් තලාවක් මත පිහිටි මාදම්පේ චේතියගිරි පුරාණ මහා විහාරස්ථානය නිතැනින්ම ඇස ගැසෙන්නේ ය.

දඹදෙණි රාජධානි සමය තරම් ඈත ඉතිහාසයක් ඇතැයි ඇතැමුන්ගෙන් පැවසෙන මෙම විහාරස්ථානය පෘතුගීසීන්ගේ මුහුදුබඩ වෙහෙර විහාර විනාශකර ලීමේ ක්‍රියාවලියකට ගොදුරුව මුළුමනින්ම නෂ්ඨ ප්‍රාප්ත විය. එදා විශාල භූමි භාගයක් වූ බවත් භික්‍ෂූන් වහන්සේ වැඩ සිටි ගල්ලෙන් පැවති බවත් කියවෙයි. එම ගල්ලෙන් හා ගල් පර්වතය මුහුදුබඩ දුම්රිය මාර්ගය තැනීමේ දී කැඩීමට ලක්ව ඇත. පෘතුගීසීන්ගේ ක්‍රියාවලියෙන් විනාශව සියවස් හතරක් පමණ ස්ථානය ජරාවාස වූවත් බලගතු හාස්කම් පවතින්නේ යැයි අදහස් කෙරෙන ඓතිහාසික පුරාණ කොස්වඩුවේ දේවාලය තුළින් ප්‍රදේශවාසීන් මහත් ඵල ප්‍රයෝජන ගත් බව ප්‍රකට කරුණකි. ප්‍රදේශය පිළිබඳව මනා දැනුමකින් හෙබි රන්දොඹේ මහාචේතිය පරිවේණස්ථානය පිහිටුවා වදාළ ආභිධම්මිකාචරිය තොටගමුවේ පඤ්ඤමෝලී තිස්සාභිධාන අමරපුර නිකායේ මහා නා හිමියන් විසින් ප්‍රදේශයේ ප්‍රභූවරුන් කීප දෙනෙකුගේ සහය ද ලබමින් 1910 දී චේතියගිරි පුරාණ විහාරස්ථානය යළි ආරම්භ කරන ලද්දේ ය.

මේ වන විට සියවසක් සපිරි විහාරස්ථානය ජනතාවට මහත් සේවාවක් සපයමින් බැබළෙන විහාරස්ථානයක් බවට පත්ව ඇත්තේ ය. විහාර ඉතිහාසයේ අද ලියැවෙන්නේ මෙතෙක් අඩුවක්ව පැවති අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහිත බුද්ධ ප්‍රතිමා කුටි විසි අටක් සම්පූර්ණ වීමේ පුවතය.

එම විහාරස්ථානය ඉතා පැරණි බව නොයෙක් සාධක තුළින් පෙනී යයි. දේවාලය අසල භූමිය කැනීමේ දී පෘතුගීසි, ඕලන්ද කාසි මතු වූ බවත් දේවාලය අසළ පවතින මහා නුග වෘක්‍ෂය වසර 600 කටත් වඩා පැරණි වනු ඇතැයි පේරාදෙණීය උද්භිද විද්‍යා ආයතනයේ නිලධාරී මහත්වරුන් විසින් නිරීක්‍ෂණය කරමින් පවසමින් එම නුගරුක ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම පැවසූ බවත් වර්තමාන විහාරාධිපති නාහිමියෝ පවසති. විහාරස්ථානය මෙන්ම ඒ අවට ගලින් යුතු අතර මේ ගල් නිසාම චේතියගිරි පුරාණ විහාරය ‘ගල්කැටිය පන්සල’ නමින් බොහෝ දෙනා අතර ප්‍රචලිත වී ඇත. බෝධීන් වහන්සේට මදක් ඔබ්බෙන් මදක් දිගු හැඩයෙන් යුතු ගල් ඔරුවක් බඳු කොටස පත්තිනි දේවතාවියගේ පා සටහන යැයි ද ඇතැමුන්ගේ කියමනකි. ඓතිහාසික පුරාණ කොස්වඩුවේ දේවාලය දායක කාරකාදීන් පමණක් නොව බොහෝ ඈත ප්‍රදේශවලින් පවා පැමිණ සෙත්කවි, සෙත් ශාන්තිකර්ම ඔස්සේ දේවාශිර්වාද ලබා ගන්නා ස්ථානයකි.


තොටගමුවේ පඤ්ඤාමෝලි
නා හිමි

වලගෙදර සෝමාලෝකතිස්ස
නා හිමි

මාදම්පේ සෝමාරාමතිස්ස
 නාහිමි

බම්බලපිටියේ
ආනන්ද තිස්ස
නා හිමි

පුනරාරම්භක පඤ්ඤාමෝලි තිස්ස මා හිමියෝ 1910 සිට 1948 දක්වා විහාරස්ථානය ගොඩ නැංවීමෙහිලා අප්‍රතිහත උත්සාහයක් ගෙන ඇත. ජනතාවට මහත් සේවාවක් සිදුකළ අතර අනතුරුව පිළිවෙළින් ත්‍රිපිටකපරියත්ති විශාරද රාජකීය පණ්ඩිත වලගෙදර සෝමාලෝක තිස්ස මාහිමි, රාජකීය පණ්ඩිත මාදම්පේ සෝමාරාම තිස්ස මාහිමි ආදී විහාරාධිපතීන් වහන්සේලාගෙන් බැබළුණු මෙම විහාරස්ථානය අද දක්‍ෂිණ ලංකාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක බම්බලපිටියේ ආනන්ද තිස්ස මාහිමියෝ බබුළුවති.

විහාරස්ථානයේ වර්තමාන ප්‍රබෝධයේ පුරෝගාමී ආනන්ද තිස්ස මාහිමියන් ජාතික, ආගමික, සාමාජික පොදු මහත් කටයුතු රැසක් සිදු කරමින් විහාරස්ථානයේ සංවර්ධනය ද නොඅඩුව සිදු කරති. පැරණි විහාර මන්දිරය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය කිරීම, චේතියගිරි මහා සෑය, සඳකඩ පහන, මුරගල්, සමාධි බුද්ධ ප්‍රතිමාව, සප්ත මහා දේවාල, විශාල ගණදෙවි ප්‍රතිමාව, ධර්ම ශාලා, දාන ශාලාව ආදී නොයෙක් කටයුතු රැසක් උන්වහන්සේගෙන් සිදු වූ අතර විහාරස්ථානයත් පුණ්‍යායතනය ලෙස ප්‍රකාශයට පත් කිරීමද උන්වහන්සේගේ උත්සාහයේ ප්‍රතිඵලයක් විය.

විහාරස්ථානයේ ශත වර්ෂ පූර්ණ සැමරුම් මහා පුණ්‍යෝත්සවය 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සැමරුම ද සමග සිදු කිරීම විහාරාධිපති නාහිමියන්ගේ අභිප්‍රාය විය. දායක කාරකාදීන්ගේ සහාය ද ලබමින් සංඝාවාසය, බුද්ධ ප්‍රතිමා මන්දිරය ආදී නොයෙක් සංවර්ධන කටයුතු අතර අටවිසි බුද්ධ ප්‍රතිමා මන්දිරයක් ද සැලසුම් කළහ.

කෙටිකලක් තුළදී ආනන්ද තිස්ස මා හිමියන්ගේ අනුශාසනා පරිදි දායක කාරකාදී පින්වතුන්ගේ ධනව්‍යයෙන් නිර්මාණය කළ අටවිසි බුදුකුටි විවෘත කිරීම ද අටවිසි බුද්ධ ප්‍රතිමා තැන්පත් කිරීම ද මෙම ඔක්තෝම්බර් මස 11 දින ශුභ මුහුර්තයෙන් සිදු කිරීමට නියමිතය.

මෙදින පස්වරු 01 ට උඩ පහත දෙරට නැටුම් අටවිසි බුදු ගුණ ගී භේරි වාදන ආදී නොයෙක් අංගයන්ගෙන් සමලංකෘතව පරිත්‍රාණ, දේශනා මාධ්‍යයේ අලංකාර ප්‍රදර්ශන රථයෙන් අටවිසි බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩමවීමේ දර්ශනීය පෙරහර විහාරස්ථානයෙන් පිටත් වේ. මාදම්පේ, ඌරවත්ත, හිරේවත්ත ප්‍රදේශ පසු කරමින් ගමන් ගන්නා පෙරහර යළි හැරී පැරට් හන්දිය, උස්මුදුලාව ඔස්සේ ගාලු පාරේ ද දායක ගම් පෙදෙස් හිද සාදු නාද මධ්‍යයේ ගමන් ගනිමින් පස්වරු 05.30 ට පමණ විහාරස්ථානයට ලගා වනු ඇත. පස්වරු 05.45 ට සෙත්පිරිත් සජ්ඣායනා මධ්‍යයේ බුද්ධ ප්‍රතිමා වහන්සේලා තැන්පත් කරමින් අෂ්ඨපරිෂ්කාර විසි අටක් පූජා කිරීම, ප්‍රථම පුෂ්පෝපහාර පූජා, පහන් පූජා ආදී කටයුතු සිදුකැරේ විශේෂ අටවිසි බුද්ධ පූජාව සිදු කිරීම බලපිටිය ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ ලේකම් ශාස්ත්‍රවේදී රන්දොඹේ ඤාණිස්සර තිස්ස හිමියන් විසින් ද අටවිසි බුදුගුණ ධර්ම දේශනාව රාජකීය පණ්ඩිත කිරම විජයඥාන හිමියන් විසින් ද සිදු කරනු ලැබේ.

බම්බලපිටියේ ආනන්ද තිස්ස නා හිමියන්ගේ අනුශාසකත්වයෙන් විහාරාධිකාරී තලවතුගොඩ මුදිත, හා රත්නපුරේ කෝලිත යන හිමිවරුන්ගේ මාර්ගෝපදේශකත්වයෙන් දායක සභාව විසින් විහාරයට සියවස සපිරීම හා 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කොට ගෙන ද පවත්වනු ලබන එම පුණ්‍යෙීත්සවයට ප්‍රදේශයේ මහා සංඝරත්නය ද දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා මහතා ඇතුළු විශාල ගිහි පැවිදි පිරිසක් සහභාගී වනු ඇත.

වප් මස පුර අටවක පෝය

වප් මස පුර අටවක පෝය ඔක්තෝබර් 03 වන දා සඳුදා අපරභාග 09.09 ට ලබයි. 4 වන දා අඟහරුවාදා අපරභාග 08.44 දක්වා පෝය පවතී. සිල් සමාදන් වීම ඔක්තෝබර් 04 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය ඔක්තෝබර් 11 වන දා අඟහරුවාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ඔක්තෝබර් 04

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 11

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 20

New Moonඅමාවක

ඔක්තෝබර් 26


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]