UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

දැහැමිව ධනය උපයමු

ඔබ සමාජය තුළ යහපත් ව , ගුණවත් ව හා චරිතවත් ව ජීවත් වෙන කෙනකු විය හැකි ය. ඔබ එසේ ජීවත් වන කෙනකු නම් ඔබට සමාජයේ යහපත් ව ජීවත්වීම සඳහා බොහෝ කැපකිරීම් කරන්නට සිදු වනු ඇත.

වර්තමාන සමාජයේ යහපත් ව ජීවත් වීම අපහසු බව බොහෝ දෙනා පවසති. ඒ අය එසේ පවසන්නේ සමාජයේ බොහෝ දෙනා වැරදි කරද්දි ඒ වැරදි කරන සමාජය තුළ යහපත් ව දැහැමිව ජීවත්වීම අසීරු බැවිනි. වැරදි කරන අය හොඳින් ජීවත් වෙන බවත් ඒ අයට කිසිම කරදරයක් නොමැති බවත් වැරදි විදිහට මුදල් ඉපයීම පහසු බවත් සමහරු පවසති.

ඇත්තෙන් ම වැරදි කරන පිරිසක් අතරේ දැහැමිව ජීවත් වෙන ඔබට ජීවත්වීම අපහසු විය හැකිය. ඒ ඔබත් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයකු බැවිනි. ඔබට සිදුවන අසාධාරණය සමහරවිට ඔබට ඉවසීමට අපහසු විය හැකිය. එබැවින් සමාජය පිළිබඳ ව බොහෝ දෙනා කලකිරීමෙන් යුතු ව කතා කරති.

සමාජයේ වැරදි ආකාරයෙන් ජීවත්වන පුද්ගලයන් හතර දෙනකු පිළිබඳ ව ධම්මපදයේ මළ වර්ගයේ සඳහන් වේ. ඇදැහැමිව දුෂ්චරිතවත්ව ජීවත් වන මේ අය වැරදි විදිහට පහසුවෙන් හම්බ කළත් සතුටින් ජීවත් විය නොහැකිය. හිරි ඔතප් නැති ගසාකෑමෙහි සූර වූ කිලිටි දිවිපැවතුම් ඇතියහුට ජීවත්වීම ඉතා පහසු බව අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළහ .එම පුද්ගලයන් හතර දෙනා නම්

01. ලජ්ජා භය දෙක නැති පුද්ගලයා (අහිරිකේන)
02. කපුටෙකු මෙන් ගසා කෑමෙහි දක්ෂ පුද්ගලයා (කාකසූරේන)
03. අන්ගුණ සඟවා තම ගුණ පමණක් මතුකර දක්වමින් ජීවත් වෙන පුද්ගලයා (ධංසිනා)
04. සිත කය හා වචනය යන තුන්දොර වැරදි ආකාරයෙන් හසුරුවන පුද්ගලයා (සංකිලිට්ඨෙන)

සමාජයේ වැරදි ආකාරයට පහසුවෙන් හම්බ කරමින් ජීවත් වන මෙහි පළමු වන පුද්ගලයා වන්නේ ලජ්ජා භය දෙක නොමැති කෙනා ය (අහිරිකේන) සමාජය තලා පෙලා ධනය උපයන මොවුහු තම ලාභය හා වාසිය පිණිස ම කටයුතු කරති. ලජ්ජා , භය දෙක නැති කෙනාට ඕනෑම පහත් වැඩක් කිරීමේ හැකියාව ඇත. ඒ අය දෙමාපියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට මෙන් ම ගුණවතුන්ට ද නොසලකති. ඔහු සමාජයට හානියක් කරන කෙනකු පමණක් නොව තමාටත් හානියක් කරගන්නා කෙනෙකි. එවන් ලජ්ජා භය දෙක නැති අය වැරදි ආකාරයට මුදල් හම්බ කළත් සතුටක් නොමැතිව සමාජයේ ජීවත්වෙති.

එමෙන්ම සමාජයේ වැරදි විදිහට ජීවත් වෙන දෙවන පුද්ගලයා වන්නේ කපුටෙකු මෙන් ගසා කෑමෙහි දක්ෂයාය. (කාකසුරේන) . සමාජය තලා පෙලා තම ලාභය හා වාසිය පිණිස ම වැඩ කරමින් ජීවත්වෙන පුද්ගලයා මේ ගණයට අයත් වේ. අනුන්ගේ දේවල් කඩා වඩාගෙන පහත් ආකාරයෙන් ජීවත්වෙන මේ අයට මුදල් හම්බ කිරීම පහසු වුවත් ජීවිතයේ සතුටක් නොමැත.

අපේ බුදුරජාණන් වහන්සේ සමාජයේ වැරදි විදිහට ජීවත්වෙන තුන්වෙනි පුද්ගලයා ලෙස දේශනා කළේ අන්ගුණ සඟවා තම ගුණ පමණක් මතුකර දක්වමින් ජීවත් වෙන පුද්ගලයා ය (ධංසිනා) අනික් අයගේ ගුණ සඟවා තමා තුළ නැති ගුණ පෙන්වමින් ජීවත්වෙන පිරිසක් ද අප සමාජය තුළ ජීවත් වෙති.අනෙක් අය පාගා දමමින් තම දියුණුව පමණක් ප්‍රාර්ථනා කරමින් බොරුවෙන් ජීවත්වෙන කෙනාට ද සමාජයේ සතුටින් ජීවත් විය නොහැකිය.

සමාජයේ වැරදි ආකාරයට ජීවත්වෙන හතරවන පුද්ගලයා හැටියට අපේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සිත, කය හා වචනය යන තුන් දොර වැරදි ආකාරයෙන් හසුරුවන පුද්ගලයා ය(සංකිලිට්ඨෙන) තුන් දොර වැරැද්දට යොමු කළ පුද්ගලයා යනු සිල්වත් කමක් නොමැති දුෂ්චරිතවත් පුද්ගලයෙකි. මෙසේ සීලයක් හා විනයක් නොමැති පුද්ගලයාත් වැරදි අයුරින් පහසුවෙන් ධනය හම්බ කළත් සතුටින් ජීවත් විය නොහැකිය.

වැරැද්දෙන් ජීවත්වීම පහසු වුවද වැරදි ජීවිත ගත කරන තැනැත්තා මෙලොව ජීවිතයත් පරළොව ජීවිතයත් තැවෙමින් පිච්චෙමින් ජීවත් වෙති (ඉධ තප්පති පෙච්ච තප්පති) එබැවින් අපහසුවෙන් වුව ද කැපකිරීමෙන් යුතු ව සමාජයටත් තමාටත් හිතකර වූ සතුට ගෙනදෙන යහපත් දැහැමි ජීවිතයක් ගත කරන්නට උත්සාහ කළ යුතුය.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]