UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

නිකිණි පුර පසළොස්වක 2011.08.13

රාජ්‍ය බලයේ සංස්කෘතික ප්‍රකාශය

ජාතියේ මහා සංස්කෘතික ප්‍රදර්ශනය වන ශ්‍රී දළදා මාලිගයේ වාර්ෂික ඇසළ උත්සවයේ අති උත්කර්ෂවත් අවස්ථාව ලෙස සැලැකෙන අවසන් රන්දෝලි පෙරහර අද දින රාත්‍රියේ වීදි සංචාරය කැරේ. දිය කැපීමේ චාරිත්‍රයෙන් හෙට දින නිමාවට පත්වන මේ මහා සංස්කෘතික මංගල්‍යය පිළිබඳ ව කතා කිරීම යනු ජාතියේ සංස්කෘතික අධ්‍යාත්මය විමසා බැලීමකි. ඒ සඳහා අවශ්‍ය තොරතුරු ඇතුළත් ලිපි කිහිපයක් ම අද මෙහි පළකැර තිබේ. එ සේ වුව ද එය ගැඹුරින් විමසා බැලීම පිණිස කතුවැකියත් යොදා ගැනීම වරදකැයි නො සිතමු.

මෙහි දී ප්‍රථමයෙන් ම මහනුවර ඇසළ පෙරහර පිළිබඳ ව පවත්නා අර්ථකථන වෙත අවධානය යොමු කළ යුතු ය. ආචාර්ය සාලිය කුලරත්න විසින් සිංහලට පරිවර්තනය කරන ලද මහාචාර්ය අනුරාධ සෙනෙවිරත්නයන් ගේ The Kandy Asala Perahara නමැති කෘතිය ඒ සඳහා උපුටා දක්වමු.

“ ශ්‍රේෂ්ඨ සමාජ, සංස්කෘතික සහ සෞන්දර්යාත්මක ප්‍රසංගයක් වූ ඇසළ පෙරහර, බොහෝ විද්වත් අධ්‍යනයන්ට භාජන වූ තියුණු කලාත්මක අගයකින් යුතු වූවකි. මේ සංදර්ශනයෙහි ආරම්භය පිළිබඳ ව මූලධර්ම හා අර්ථකථන කිහිපයක් ඇති අතර, සැබවින් ම ඒවා එකිනෙකට අනන්‍ය සාධාරණ හා අනුපූරක ද වෙයි. ඒවා නම්,

1. ඇසළ පෙරහර අසුරයනට එරෙහි ව සිදු වූ සුරයන්ගේ විජයග්‍රහණය සමරන්නකි.

2. මේ වාර්ෂික උත්සවය, ගජබාහු රජුගේ චෝළ දේශාක්‍රමණය අනුස්මරණය කරන්නකි. ගජබාහු රජතුමා චෝළ දේශය ආක්‍රමණය කොට (ක්‍රි.ව. 174 – 196) සිය පියරජුගේ සමයෙහි චෝළ රජු විසින් දිවයිනෙන් පැහැරගෙන යනු ලැබූ දොළොස් දහසක් සිංහලයන් හා තවත් දොළොස් දහසක දමිළ සෙන¼ගක් රැගෙන පැමිණි අතර එහි දී ඔහු ගේ සේනාපති වූ නීල ආධාර වූයේ ය. ඒ ගමනේ දී ගජබාහු රජතුමා පත්තිනි සළඹ ද සිවු දෙවියන්ගේ දේවාභරණ ද, පාත්‍රා ධාතුව ද රැගෙන ආවේ ය.

3. ඇසළ මාසය මේ සඳහා තෝරා ගැනුණේ එය විෂ්ණු දෙවියන්ගේ උපත සිදු වූ කාලය හෙයිනි.

4. කෘෂිකාර්මික කටයුතු සඳහා වැසි ලබා ගැනීම අරමුණු කරගත් ඇසළ උත්සවය දෙවියන් සතුටු කිරීම සඳහා පැවැත්වෙන්නකි. ගැමියන් අතර පැතිර ඇති විශ්වාසය පරිදි, මෙය සංකීර්ණ අංග සන්ධානයකින් යුතු සශි‍්‍රක ලබ්ධියකි.

තවත් විශ්වාසයක් අනුව ලංකාවේ පළමු ඇසළ උත්සවය ක්‍රිස්තු වර්ෂ දෙවන ශතවර්ෂයේ දී පළමුවන ගජබාහු රජුගේ සමයෙහි පැවැත්වී ඇති ශ්‍රේෂ්ඨ ද්‍රවිඩ වීර කාව්‍යයක් වූ ‘සිලප්පදිකාරම්’ හි සඳහන් වන අන්දමට , කේරළයේ සෙංගුට්ටුවන් රජු විසින් පත්තිනි දේවිය උදෙසා අභිනවයෙන් ගොඩනඟන ලද දෙවොලෙහි පැවති නානුමුර මංගල්‍යය සඳහා ගජබාහු රජු ඇරැයුම් ලැබී ය.

‘උත්සවයට සහභාගි වූ ගජබාහු රජතුමා පත්තිනි දේවියගේ ස්වර්ණ සිලම්බුව ද රැගෙන විත් පත්තිනි දේවිය උදෙසා තැනවූ දෙවොලක තැන්පත් කෙළේ ය. පත්තිනි දේව අනුහසින් අශුභ බලවේග ඉවත්ව යැතැයි යන අපේක්‍ෂාවෙන් රජතුමා පත්තිනියගේ පුදසුන අබියස දිනපතා මාහැඟි පුද පිළිවෙත් පැවැත් වීය. එ සේ ම එතුමා සෑම වසරක පළමු මාසයේ දී පත්තිනි පූජා උත්සවයක් ද සංවිධානය කෙළේ ය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, නිසිකලට වැසි ලැබුණු අතර ඉන් සාරවත් වූ පොළොව මනා අස්වනු ලබා දුන්නේ ය. කෙ සේ හෝ ශ්‍රී ලාංකේය වංශකථා මූලාශ්‍ර අනුව, මේ වාර්ෂික පූජෝත්සවය පැවැත්වීමට දිගු කලකට පෙර ක්‍රි.පූ. 3 වන සියවසෙහි මෙ බඳු පිළිවෙතක් තිබී ඇත. වැසි දෙවියන් සතුටු කරනුවස්, කඳු මුදුන් හි මෙබන්දක් පැවැත් වී ඇත. බොහෝ විට ඒ වෛදික දෙවියකු වූ පර්ජන්‍ය සඳහා විය යුතු ය. වාර්ෂික ව රාජානුග්‍රහයෙන් පැවැති මේ උත්සවය ‘ජෙට්ඨමූල’ නමින් වෙසෙසිණි. ඉන්පසු එළඹි ශතවර්ෂ වල දී බොහෝ විට මේ සාම්ප්‍රදායය බෞද්ධ වත් පිළිවෙත් සමඟ එක්ව පවතින්නට ඇත.”

මේ දීර්ඝ පැහැදිලි කිරීම මඟින් ඇසළ පෙරහර සමඟ බැඳී පවතින ඓතිහාසික තොරතුරු රාශියක් අපට දැන ගැනීමට පුළුවන. එහෙත් මෙහි දී තවත් එක් කරුණක් අප ගේ අවධානයට යොමු විය යුතු ය. එ නම්, රාජත්වය පිළිබඳ ඓතිහාසික මතය යි.

රාජ්‍ය බලය පිළිබඳ අයිතිය මෙ කල මෙන් ලිඛිත ව්‍යවස්ථාවක් මත තීරණය නො වූ අතීතයේ දී ඒ සඳහා තිබූ ප්‍රධාන සුදුසුකම වූයේ බෞද්ධකම ය. මේ තත්ත්වය ක්‍රි.පූ 3 වන සියවසෙහි පටන් ක්‍රි.ව. 19 වන සියවස දක්වා පැවතිණ. ක්‍රිව. 10 වන සියවස පමණ වන විට ලංකාවේ රජු බෞද්ධයකු පමණක් නො ව බෝධි සත්වයකු වීම අවශ්‍ය වූ බව 4 වන මිහිඳු රජුගේ (ක්‍රි.ව. 956 – 972) සෙල්පුවරු ලිපිය අනුව පැහැදිලි ය. රාජත්වය සඳහා දළදා වහන්සේ ගේ භාරකාරත්වය තිබිය යුතු බවට ඇති වූ පසුකාලීන පිළිගැනීම (ක්‍රි.ව. 4 වන සියවසේ දී දළදා වහන්සේ සිරිලකට වැඩම කිරීමෙන් පසු) පෙර සිරිත පැහැදිලි ලෙස අර්ථකථනය වීමකි. එ බැවින් දළදා වහන්සේ ගේ භාරකාරත්වය රාජත්වය සඳහා අත්‍යවශ්‍ය කොන්දේසිය බවට පත්වීම රාජ්‍ය පාලනය පිළිබඳ ඉතා සියුම් සංකේතාත්මක විවරණයකි. එ නම් අති පූජනීය දළදා වහන්සේට රැකවරණය සැලැසීම යනු, පෙර සිරිත් රකින, බොදු ගුණ සපිරි, සවිමත් ආරක්ෂකයකු සිරිලක රාජ්‍ය පාලකයා විය යුතුය යන අලිඛිත ව්‍යවස්ථාමය නියමය සපුරාලීම ය. එම ආරක්‍ෂකයා විසින් දළදා වහන්සේට රැකවරණ සලසමින් කරනු ලබන පුද සත්කාර ජනතාව හමුවේ කලාත්මක ව ප්‍රකාශ කිරීම ඇසළ පෙරහර පැවැත්වීමේ අරමුණ යි. දැහැමි රාජ්‍ය පාලකයකු ගේ එම මහජන ප්‍රකාශය අදටත් වලංගුව පවතී.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]