UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බහුශ්‍රැත බව


දෘෂ්ටිය වැටහීමකට පැමිණිය හැක්කේ ද ධර්මය විමසා බැලීමෙන් පමණි. විමසීමෙන් තොරව ඒ වැටහීමට පැමිණිය නො හැකිය. “ දිට්ඨියා සුප්පටිවිද්ධා” යන වැටහීම ධර්මය අවබෝධ වීමක් නොවේ. මෙය බහුශ්‍රැතභාවයේ ඉහළම තැනයි. මෙයින් අදහස් වන්නේ නිවන් අවබෝධය පිණිස මේ අයුරින් නිවන් මාර්ගය වැඩිය යුතුයි යන නිවැරැදි වැටහීමක් ලබා ගැනීමයි. මේ වැටහීම ලබාගත් තැනැත්තාට ඉවසීමෙන් යුතුව ක්‍රමයෙන් නිවන් මග ප්‍රගුණ කළ හැකිය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම සාකච්ඡාව පැවැත්වීම, ධර්මය ඇසීම ආදියෙන් සිහිය වීර්ය දියුණු කර ගැනීමට උදව් ලැබේ.


“බහුශ්‍රැත” බව යන්නට සාමාන්‍ය සිංහල තේරුම බොහෝ ඇසූ පිරූ තැන් ඇති බව යන්න යි. මෙහි ඇසූ “ යන්නෙන් අසා ඇති බවත් ,පිරූ යන්නෙන් මතක තබා ගෙන ඇති බවත් කියැවේ. මේ අනුව බොහෝ දේ අසා මතක තබාගෙන ඇති තැනැත්තා සමාජ ව්‍යවහාරයේ අයුරින් බහුශ්‍රැතයෙකු වේ. එසේ නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ ආකාරයට බහුශ්‍රැත බව යනු ඊට වඩා බොහෝ උසස් දෙයකි. ධර්මය බොහෝ සේ අසා මතක තබා ගත් පමණින් ම ඔහු බහුශ්‍රැතයෙකු නොවේ. අංගුත්තර නිකාය පඨම නාථකරණ සූත්‍රය ආදි සූත්‍ර දේශනාවන් හි බහුශ්‍රැතභාවය හඳුන්වා දී ඇති ආකාරය විමසා බැලීම මෙහි දී වැදගත් වේ.

“ යෙ තෙ ධම්මා ආදි කල්‍යාණා, මජ්ඣෙකල්‍යාණා පරියොසාන කල්‍යාණා සාත්ථා සබ්‍යඤ්ජනා කේවල පරිපුණ්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදන්ති.

තථාරූපාස්ස ධම්මා බහුස්ස්‍රතා හොන්ති, ධතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා “මුල යහපත් වූ මැද යහපත් වූ අවසානයද යහපත් වූ අර්ථ සහිත ව්‍යඤ්ජන සහිත මුළුමනින්ම නිවන් මග පෙන්වා දෙන යම් ධර්මයක්වේ ද? ඒ ධර්මය මැනවින් අසා (සුතා) මතක තබාගෙන (ධතා) නැවත නැවතත් වචනයෙන් පුරුදුකොට (වචසා පරිචිතා) ඉතා හොඳින් නුවණින් විමසා බලා (වනසානුපෙක්ඛිතා) දෘෂ්ටිමය වශයෙන් නිවැරදි වැටහීමකට පැමිණියේ වෙයි”

බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවන්ට අනුව අසා මතක තබා ගැනීම පමණක් බහුශ්‍රැත බව නොවේ. මතක තබා ගත් දෙය නැති වී නො යන ලෙස නැවත නැවත පුරුදු කොට නුවණින් විමසා බැලිය යුතු ය. නුවණින් විමසීමෙන් ඔහු දෘෂ්ටිමය වශයෙන් නිවැරැදි වැටහීමක් ලැබ තිබිය යුතුය. මෙහි කියැවෙන නුවණින් විමසා බැලීමත් දෘෂ්ටිමය වැටහීමත් යන කරුණු දෙක ඉතා වැදගත් වේ.මෙ කල ධර්මය අසන බොහෝ දෙනෙකුගෙන් මතක තබා ගන්නේ ඇතැම් විට ඉතා ටික දෙනෙකි. විලාසිතාවක් ලෙස ධර්මය ඇසූවත් මතක තබාගැනීමට උනන්දු නොවන අය ද වේ. අංගුත්තර නිකායට අයත් සුස්සුස්සති සූත්‍රයේ දී, ධර්මය ඇසීමේදි ඉතා හොඳින් අසන්න (සූස්සූස්සති) කන් යොමාගෙන අසන්න (සෝකං ඕදහති) අවබෝධය පිණිස සිත පිහිටුවා ගන්න (අඤ්ඤාය චිත්තං උපට්ඨඵති) අර්ථවත් දේ ගන්න (අත්ථං ගන්හාති) අර්ථවත් නැති දේ අත හරින්න (අනත්ථං රිඤ්වති) යනුවෙන් බුදු පියාණන් වහ්නසේ පෙන්වා වදාළහ. ධර්මය ඇසීමට ද පූර්ව සූදානම තිබිය යුතුය. එසේම මේ සූත්‍රයේ සඳහන් වන ආකාරය ධර්මය ඇසීමේ යම් අරමුණක් (නිවන් අවබෝධය) තිබිය යුතුය. එවැනි උතුම් අරමුණක් ඉටු කර ගැනීම පිණිස ධර්මය අසන තැනැත්තා ඉතා හොඳින් එම ධර්මය මතක තබා ගනි.

මතක තබා ගැනීම පමණක් ප්‍රමාණවත් නොවේ. අමතක වී නො යන ලෙස නැවත නැවත සිහි කළ යුතුය. නුවණින් විමසා බැලිය යුතුය.ධර්මය නුවණින් විමසා බැලීමේදී නිවන් අවබෝධය යන අරමුණ තිබීම ඉතා වැදගත් වේ.ඇසූ ධර්මය නිවන් අවබෝධය පිණිස උපකාර වන්නේ කෙසේ දැයි ආර්ය සත්‍යයන්ට ගලපා විමසා බැලිය යුතුය.

ඇතැම් දෙනෙකු නුවණින් විමසා බැලීමට නොව දහම් දැනුම වැඩිකර ගැනීමට උත්සාහ කරයි. පංච උපාදානස්කන්ධය ගැන අසා ඇතත්. කොතැනක හටගන්නා කෙසේ හටගන්නා දෙයක් දැයි ඇතැම් විට නොසිතයි. දොළොස් ආයතන, අටළොස් ධාතු ආදි අවබෝධයට අදාළ වන ධර්ම කරුණු පිළිබඳ දැනුමක් ඇතත්, ජීවිතයට ගලපා ගනිමින්, ආර්ය සත්‍යයන්ට ගලපා ගනිමින් විමසා බැලීමක් නැත. ඒවා හුදු දැනුමක් පමණි.

දෘෂ්ටිය වැටහීමකට පැමිණිය හැක්කේ ද ධර්මය විමසා බැලීමෙන් පමණි. විමසීමෙන් තොරව ඒ වැටහීමට පැමිණිය නො හැකිය. “ දිට්ඨියා සුප්පටිවිද්ධා” යන වැටහීම ධර්මය අවබෝධ වීමක් නොවේ. මෙය බහුශ්‍රැතභාවයේ ඉහළම තැනයි. මෙයින් අදහස් වන්නේ නිවන් අවබෝධය පිණිස මේ අයුරින් නිවන් මාර්ගය වැඩිය යුතුයි යන නිවැරැදි වැටහීමක් ලබා ගැනීමයි.මේ වැටහීම ලබාගත් තැනැත්තාට ඉවසීමෙන් යුතුව ක්‍රමයෙන් නිවන් මග ප්‍රගුණ කළ හැකිය. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය, ධර්ම සාකච්ඡාව පැවැත්වීම, ධර්මය ඇසීම ආදියෙන් සිහිය වීර්ය දියුණු කර ගැනීමට උදව් ලැබේ. ස්කන්ධ, ධාතු, ආයතන වශයෙන්, අනිත්‍ය දර්ශනය ඇති කර ගන්නේ කෙසේ දැයි නිවැරැදි වැටහීමක් ඔහුට ඇත.

බහුශ්‍රැත භාවයට අයත් මේ සියලු අංග සම්පූර්ණ කර ගැනීමට උනන්දුවීම ඉතා වැදගත් වේ. ඒ වැදගත් කම පෙන්වා දෙන සූත්‍ර දේශනා දෙකක් අංගුත්තර නිකායේ ඇතුළත් වේ. චතුක්ක නිපාතයට අයත් “සෝතානුධත” සූත්‍රයේ දී මේ බහුශ්‍රැත බවෙහි ආනිසංස හතරක් පෙන්වා දේ.

මේ සූත්‍ර දේශනාවට අනුව මරණින් පසු දිව්‍ය ලෝකයකදී හෝ ධර්මය අවබෝධය පිණිස මේ බහුශ්‍රැතභාවය ඇත කර ගැනීම ඉතා වැදගත්වේ.

අංගුත්තර නිකාය දසක නිපාතයට අයත් “ මිගසාලා” සූත්‍රයෙහි ද මේ බහුශ්‍රැතභාවයේ වටිනාකම පිළිබඳව කියැවේ.

එම සූත්‍ර දේශනාව ට අනුව,මෙලොව ජීවත් වන එක් පුද්ගලයෙකුගේ සීලයෙහිද අඩුපාඩු කම් ඇත. සමාධිය ප්‍රඥාව පිළිබඳවද ඇති සැටියෙන් දන්නා නුවණක් නැත. සීලයෙහි අඩුපාඩු සකස් කර ගෙන සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම පිළිබඳ ව අසා දැන ගැනීමක් හෝ බහුශ්‍රැතභාවයක් හෝ දෘෂ්ටිමය වශයෙන් වටහා ගැනීමක් හෝ නැත. ඔහු මරණින් පසු පිරිහෙන පුද්ගලයෙක් බවට පත් වේ. විශේෂගාමී පුද්ගලයෙකු නොවේ.

මෙලොව ජීවත්වන තවත් පුද්ගලයෙකුද සීලයෙහි අඩු පාඩුකම සහිත වේ. නමුත් සමාධිය ප්‍රඥාව පිළිබඳව ඇති සැටියෙන් දන්නා නුවණක් ඇත. ඔහුගේ සීලයෙහි අඩු පාඩු සකස් කරගෙන සමාධි ප්‍රඥා දියුණු කර ගැනීම පිළිබඳ ව අසා දැනගෙන ඇත. බහුශ්‍රැතභාවයෙන් යුක්තය. දෘෂ්ටිමය වශයෙන් වටහා ගැනීමක් ඇත. ඔහු මරණින් පසු නො පිරිහෙන පුද්ගලයෙකි. විශේෂගාමී වේ. ඒ පුද්ගලයාගේ නුවණින් විමසීම බාහිර කිසිවෙකුට නො පෙනේ. නමුත් ඒ විමසා බැලීම හේතුකොට ගෙන ඔහු දහම් සැඩ පහරට ඇතුල් වන බව (මාර්ගඵලයන්ට පත් වන බව) එම දේශනයෙහි සඳහන් වේ.

මේ අනුව බාහිරින් දක්නට ලැබෙන සීලයෙහි ඇති දුර්වලතා අනුව පුද්ගලයන් ප්‍රමාණ කළ නොහැකි බව බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළහ. කෙනෙකු කොපමණ සිල්වත් වුවත් නුවණින් විමසා බැලීමක් නැති නම් ඔහු ප්‍රමාදී පුද්ගලයෙකි. නමුත් සීලයෙහි යම් දුර්වලතා ඇතත් නුවණින් විමසා බැලීම ඔහුගේ දියුණුවට හේතුවේ. එසේ නමුත් මේ කරුණ වැරැදි ලෙස තේරුම් නො ගත යුතුය. මෙයින් දුස්සීල වීමට හෝ සීලය අවතක්සේරුවට ලක් කිරිමට හේතුවක් නොවේ. බුදුපියාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාව දේශනා කොට වදාළේ සීලය පමණක් මුල් කරගෙන පුද්ගලයන් ප්‍රමාණ කිරීම වැරැදි බව පෙන්වා දීමට යි. ඒ නිසා අපි හැකිතාක් දුරට සිල්වත් ජිවිත ගත කරමින් ධර්මය නුවණින් විමසා බැලීමට උනන්දු විය යුතුය. එය අපගේ දෙලොව දියුණුව සලසා දෙයි.

 

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]