UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

භේදයෙන් තොර බෞද්ධ සමාජයක්

උපතින් ශාක්‍යවංශික වූ බුදුරජාණන් වහන්සේ චතුර් වර්ණ සංකල්පය දැඩි විවේචනයට භාජනය කිරීම කාලීන සමාජයේ අපූර්ව සංසිද්ධියක් වූ බව නිසැකය. උන්වහන්සේ අස්සලායන, වාසෙට්ඨ, වාසල ආදී සූත්‍ර දේශනාවල සඳහන් වන අන්දමට සමාජ විද්‍යාත්මක,ඓතිහාසික, ආචාර විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක තර්කයක් මගින් වර්ණ සංකල්පය නිෂ්ප්‍රභා කළේ ප්‍රතිවිරෝධී මතධාරීන් නිරුත්තර කරමිනි.

ක්‍රි.පූ. 6 වැනි සියවස වන විට භාරතයේ වැඩුණු සමාජ පිළිලයක් බවට කුලභේදය පත්ව තිබිණි. පෑගී සිටි කුලහීනයන්ගේ මානුෂික අයිතීන් වෙනුවෙන් බුදුරජාණන් වහන්සේගෙන් සිදු වුයේ අප්‍රමාණ මෙහෙවරකි. ‘මහා බ්‍රහ්මයා විසින් ලෝකය මවන ලදී’ යන නිර්මාණ වාදි සංකල්පයට මුවාවෙමින් බමුණෝ ඓතිහාසික පරිනාමයේ ඵලයක්ව තිබුණු චතුර්වර්ණය සමාජය තුළ සංස්ථාගත කළහ.

එමඟින් විශේෂයෙන්ම වෛශ්‍යයන් සූරාකෑමට ලක් වූ අතර ශුද්‍රයෝ කිසිදු මානව අයිතියක් නැති හුදෙක් උසස් කුලවලට සේවය කිරීමට බැඳී සිටි, නිදහස සීමාකරනු ලැබූ අන්ත දුක්ඛිත තත්ත්වයට පත් වුණු පිරිසක් බවට පත් වූහ. මනුස්මෘතිය නම් නීති ග්‍රන්ථයෙහි එන

එකමෙවතු ශුද්‍රස්‍ය
ප්‍රභුඞ කර්ම සමාදිශත්
එතෙෂාමෙව වර්‍ණණාං

ශුශෲෂා මනුසූයසා ‘ යන ශ්ලෝකයෙන් කියැවෙන්නේ ශුද්‍රයා උසස් යයි සම්මත කුලවලට වහල්කම් කිරීම සඳහා මහබඹු විසින් මවන ලද බවයි.

උපතින් ශාක්‍යවංශික වූ බුදුරජාණන් වහන්සේ චතුර් වර්ණ සංකල්පය දැඩි විවේචනයට භාජනය කිරීම කාලීන සමාජයේ අපූර්ව සංසිද්ධියක් වූ බව නිසැකය.උන්වහන්සේ අස්සලායන, වාසෙට්ඨ, වාසල ආදී සූත්‍ර දේශනාවල සඳහන් වන අන්දමට සමාජ විද්‍යාත්මක, ඓතිහාසික, ආචාර විද්‍යාත්මක හා ජීව විද්‍යාත්මක තර්කයක් මගින් වර්ණ සංකල්පය නිෂ්ප්‍රභා කළේ ප්‍රතිවිරෝධී මතධාරීන් නිරුත්තර කරමිනි. වාසෙට්ඨ මානවයාට බුදුරදුන් චතුර්වර්ණ සංකල්පය පදනම් රහිත බව පෙන්වා ඇත්තේ මෙසේය.

‘ න හෙත්‍ථහි න පාදෙහි – නඞගුලිහි නඛෙහි වා
න ජඬඝාහි න ඌරූහි – නවණෙණන සරෙනවා
ලිඞගං ජාතිමයං නෙව - යථා අඤ්ඤුසුජාතිසු ‘

මිනිසා අතර අන්‍ය සත්ව වර්ගයා කෙරෙහි මෙන් අත්වලින් හෝ ඇඟිලි වලින් හෝ නියවලින් හෝ ජඞඝා වලින් හෝ කලවාවලින් හෝ වර්ණයෙන් හෝ ස්වරයෙන් හෝ වෙනසක් දක්නා නොලැබේ.

අස්සලායන සූත්‍රයේදී කරුණු කීපයක්ම සාධක කොට ගනිමින් මිනිසා වර්ණවලට බෙදීම පිටු දකිති

(අ) අනෙකුත් වර්ණ හීන වන අතර බමුණා මහබඹුගේ මුඛයෙන් උපන් බැවින් ශ්‍රේෂ්ඨය. යන මතය ඍතුනී වූ ගැබිනි වූ හා දරුවන් බිහිකරන හා දරුවන්ට කිරි පොවන බැමිණියන් සිටිනු දක්නට ලැබීමෙන් සාවද්‍ය වන බව

(ආ) යොන කාම්බොජ ජනපදවල ආය්‍ය¡ දාස යන ප්‍රභේදය පමණක් දක්නා ලැබෙන අතර කලින් කල ආය¸යන් දාසයන් වන බව හා දාසයන් ආය¸යන් වන බව

(ඇ) ප්‍රාණ ඝාතාදි දස අකුසල්වල යෙදෙන බ්‍රාහ්මණ ක්‍ෂත්‍රිය වෛශ්‍ය ශුද්‍රයන චතුර්වර්ණ යම මරණින් මතු අපාගත වන බව හා ඉන් වැලකුණු අය අවිශේෂයෙන් ස්වර්ගයට යන බව

(ඈ) වෛරයෙන් තොරව ද්වේෂයෙන් තොරව මෛත්‍රි සිත වඩන්නට බමුණාට සේම ශුද්‍රයාටත් එකසේ හැකි බව

(ඉ) ගඟට ගොස් දූවිලි සෝදා හැරීමට පොදුවේ වර්ණ හතරටම හැකි බව

(ඊ) ගිනිගානා දණ්ඩක් ගෙන ඒ ඒ කුලවල අය ගිනි නිපද වූවොත් ශුද්‍රයන් නිපද වූ ගින්නෙන් ද අග්නි කර්ම (ගින්නෙන් කරන කටයුතු ) කළ හැකි බව

(උ) ක්‍ෂති‍්‍රය හා බ්‍රාහ්මණ ස්ත්‍රි පුරුෂයන්ගේ එක්වීමෙන් උපදින දරුවන් ක්‍ෂත්‍රිය හා බ්‍රාහ්මණ යන දෙනමින්ම ව්‍යවහාර කරන බව.

(ඌ) බමුණන් ද ජාතියටත් මන්ත්‍ර උගැන්මටත් වඩා කල්‍යාණ වූ සිල්වත්කම ප්‍රමුඛකොට සලකන බව, යනුවෙනි.

බුදුරදුන් විසින් කුලභේදය දේශනා මඟින් පමණක් නොව ක්‍රියාවෙන් ද ප්‍රතික්‍ෂේප කරන ලද බව උපාලි කපුවා සුනීත, සෝපාක, ලෝසක, රජ්ජුමාලා ආදින් පැවිදි කිරීමෙන් වටහාගත හැකිවාසේම පිඬුසිඟා යාමේදී මග පිළිවෙළින් වැඩම කළා මිස කුලගෝත්‍ර සැලකීමක් කෙසේවත් නොකරන ලදී.

බුදුරදුන් විසින් දැඩිසේ ප්‍රතික්ෂේප කරන ලද නමුදු දසක විසිතුනක පමණ බෞද්ධ ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවේ කිසියම් ප්‍රමාණයකට කුලභේදය පැවතීම කනගාටුවට කරුණකි. දකුණු අපි‍්‍රකාවේ කළු සුදු භේදය තරමට හෝ ඉන්දියාවේ අදත් දක්නා ලැබෙන තරමට හෝ උග්‍ර ලෙස නැතත් ඇතැම් සමාජ හා ආගමික කාර්යයන්හිදී කුල භේදය ඉස්මතු කොට දැක්වීම බුදුරදුන් ශාස්තෘත්වයෙහිලා සලකන සමාජයකට ගෞරවයක් නොවේ.

ශ්‍රී ලංකාවේ වෛවාහික සබඳතා ගොඩ නැඟීමේදී කුලය බොහෝ විට සලකා බලති. මැතිවරණ සමයන්හිදී කුලභේදය ඇවිස්සීමෙන් මනාප ලබාගන්නට පසුගිය කාලපරිච්ඡේදයේදී ඇතැම් දේශපාලනඥයන් වෙර දැරූ බව රහසක් නොවේ. ශ්‍රී ලංකාවේ සමහර ප්‍රදේශවල ජනකණ්ඩායම් කුලහීනයන් ලෙස පහත් කොට සලකා සමාජ ආගමික හා දේශපාලන කටයුතුවලදී ඔවුන්ට අඩුසැලකිල්ලක් දක්වා කටයුතු කරන බව අසන්නට ලැබේ.

විවිධ ජාති හා ආගම් අතර සහජීවනය ගැන කථා කරන මේ වකවානුවේදී ජාතියෙහි අභ්‍යන්තරය තුළ භේදභින්නතා අකාමකාගෙන සමඟිය ගොඩනැඟීම අත්‍යවශ්‍යය. සමාජවාදි ප්‍රජාතන්ත්‍රවාදි මතයන්ට ගරු කරන වර්තමානයේදී වැඩවසම්වාදී අතීතයෙන් ශේෂව පවතින ධර්ම විරෝධී මුල් උපුටා දැමිය යුතුය.

කුලභේදය පිටු දැකීම නීතියෙන් කළ හැක්කක් නොවේ.එහි මුල් උදුරා දැමීමට අවශ්‍ය නෛතික වට පිටාව ගොඩ නඟා කුල සංලක්‍ෂණ දියාරුවී යාමට ඉඩ සැලසීම ඒ සඳහා යොදාගත යුතු ප්‍රතිකර්මයයි. මීට වසර පනහකට හැටකට පෙර අවධියේ කුලීන කුලහීන වෙනස ඉස්මතු කර දක්වන අනන්‍ය ලක්‍ෂණයක් වූයේ භාවිතා වූ පුද්ගල නාමයයි.

දැන් ඕනෑම පුද්ගලයකුට ඕනෑම නමක් භාවිතා කිරීම සඳහා නිදහස තිබීම සුබදායක ලක්‍ෂණයකි. තාමත් කුලය සංලක්‍ෂණය කරන ප්‍රමුඛතම කාරණයකි. වාසගම ඇතමුන් වාසගමත් සමඟම නම වෙනස්කොට ගැනීමට පෙළඹෙනු පෙනේ.

නම් ගම් වෙනස්කර ගැනීමට නීතියෙන් බාධාවක් නැතත් ඒ සඳහා පෙළැඹවීමක් නැතිකම, අඩුපාඩුවකි. පැරැණි නම් හා වාසගම් වෙනස්කර ගැනීම පිළිබඳ උනන්දුවක් මහජනතාව අතර පවතින බව පෙනෙන නමුත් පරිපාලනමය අවහිරතා නිසා ඒ සඳහා උත්සුක වන්නෝ ටික දෙනෙකි. ඉදින් එය පහසුවෙන් කළ හැක්කක් නම් මීට වඩා විශාල වශයෙන් ජනතාව ඒ සඳහා උත්සාහවන්ත වනු නොඅනුමානය.

කුලය සංලක්‍ෂණය කෙරෙන මුල් උපුටා දැමූ විට සමාජ ආගමික හා දේශපාලන සංවිධානවලට කුලය හුවා දක්වමින් එම සමාජ කොටස්වලට අගතිගාමී ලෙස සැලකිලි දැක්වීමට ඉඩ නොලැබෙනවා පමණක් නොව කල් නොයවාම සියලු ජන කණ්ඩායම් මිශ්‍ර වීමෙන් කුලය යන සංකල්පය කාලයේ වැලිතලාවෙන් යට වී යනු ඇත.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]