UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බුද්ධ වන්දනාවේ මූලාරම්භය

බුදුන් වහන්සේ වෙනුවෙන් වූ පූජනීය වස්තු හෝ ස්තූප වන්දනාව වෙනත් වන්දනා ක්‍රමයනට වඩා පැරැණි ය. විනය පිටකයේ සහ සූත්‍ර පිටකයේ විවිධ තැන්හි පිහිටි සුප්පතිට්ඨ, අග්ගාලව, ගෝතමක, සත්තම්බ, බහුපුත්තක, උදේන, චාපාල, සාරන්දද, ආනන්ද සහ මකුටබන්ධන වැනි චෛත්‍ය පිළිබඳ තොරතුරු අසන්නට ලැබෙයි. විශිෂ්ට පුද්ගලයනට ගෞරවය පිණිස ගොඩනංවන ලද චෛත්‍ය සහ අනුස්මරණය පිණිස වූ ස්තූප වන්දනාව ප්‍රාග් බෞද්ධ සම්ප්‍රදායක් විය. තථාගත, තථාගත ශ්‍රාවක, චක්‍රවර්තිරාජ යන අයගේ ධාතු නිදන් කළ තන්හි ස්තූප ගොඩනැඟිය යුතු බව බුදුන් වහන්සේ මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරති.

පහත දැක්වෙන පරිවර්තනය Mahabodhi Centenary Commemorative Volume -SAMBHASHA සඟරාවෙන් උපුටා ගන්නා ලද Date of Buddha Worship මැයෙන් වූ ලිපියෙනි. එහි ලේඛකයා ආචාර්ය බිනෙයින්ද්‍ර චෞධ්රී වන අතර එය ඔහු විසින් 1966 දී මයිසෝර්හි ඉන්දියානු ඉතිහාස කොන්ග්‍රසයේ දී කියවන ලද්දකි.

බුද්ධ වන්දනාව අද නොයෙක් රටවල බෞද්ධයන්ගේ පොදු චාරිත්‍රයක් වී තිබේ. සාහිත්‍යයික සහ පුරාවිද්‍යාත්මක වාර්තාවලින් හෙළි වන පරිදි බුද්ධ වන්දනාවේ ආරම්භයට දිගු ඉතිහාසයක් ඇත. බුදුන් වහන්සේගෙන් සිය ධර්ම මාර්ගය තුළ කවර ආකෘතියක හෝ බුද්ධ වන්දනාවකට අනුබලයක් ලැබී නැත. උන්වහන්සේ හේතුවාදී චින්තකයෙක් ද, උපදේශකයෙක් ද වූහ. බුදුන් වහන්සේ ජනතාවට දේශනා කළ සේක් “ඒහි පස්සික” හෙවත් එන්න, බලන්න, ඇවිත් බලා අවබෝධ කර ගන්න ආදි ධර්මයකි.

උන්වහන්සේගේ උපදේශය වූයේ තමන් වෙත අවුත් ධර්මය අසා එය මැනව යි වැටහේ නම්, පිළිගන්නා ලෙස හෙවත් පරිහරණය කරන ලෙසයි. එහෙත් හුදු අන්ධ භක්තියෙන් සහ වැඳුම් පිදුම් වලින් පමණක් එය පිළිගන්නා ලෙස අනුදැන වදාළේ නැත. උන්වහන්සේ ආනන්ද හිමියනට මෙසේ උපදෙස් දෙති.

“ආනන්ද, අත්තදීපෝ භවථ, අත්තසරණෝ, අනඤ්ඤසරණෝ, ධම්මදීපෝ, ධම්මසරණෝ, අනඤ්ඤසරණෝ” ලෙසිනි. එනම්, “ආනන්ද, තමාට තමා පහනක් හෙවත් ආලෝකයක් වන්න. තමාට තමා පිහිටක් වන්න. ධර්මාවබෝධයට අන් සරණ නොපතන්න. ධර්ම පහනක් හෙවත් ආලෝකයක් වන්න. ධර්ම සරණක් වන්න. එහිලා අන් සරණ නොපතන්න”, යනුයි. – මහා පරිනිබ්බාන සූත්‍රය.

බුදුන් වහන්සේගේ මුල් ඉගැන්වීම් ප්‍රධාන වශයෙන් ආචාර විද්‍යාත්මක මූලධර්ම සහ ධර්මානුකූ®ල විවරණ පදනම් කර ඇත්තේ විය. බුදුන් වහන්සේ විසින් සිය හතළිස් පස් වසරක් පුරා දීර්ඝ ධර්මදූත සේවා සමය තුළ සිය දහස් ගණනින් වූ අනුගාමිකයෝ පිරිසක් තමන්ගේ ධර්මය කෙරෙහි පහදවා ගනු ලැබූහ. එහෙත්, ඔවුන්ගෙන් සියලු දෙනා ම එක සේ උන්වහන්සේගේ සදාචාරය පිළිබඳ දැඩි විනය නීති පිළිපදින්නට සහ ගැඹුරු ධර්මය තේරුම් ගන්නට තරම් හැකි අය නොවූහ. එසේ වුවත් ගිහියන්ගෙන් විශාල පිරිසක් ද, භික්ෂූහු ද බුදුන් වහන්සේ කෙරෙහි සිය ප්‍රණාමය පුද කරන්නටත්, උන්වහන්සේ වෙනුවෙන් ඇප කැප වන්නටත් දැඩි කැමැත්තක් දැක්වූහ. ඒ අතර භක්තිවාදය ද කෙමෙන් බුදුදහම විනිවිද යන්නට පටන් ගත්තේ ය.

මහා වස්තු අවදානය නොයෙක් පුද පූජා ගැන විචිත්‍රත්වයෙන් වර්ණනා කරයි. ඒවා කෙටියෙන් සඳහන් කරතොත් මෙසේ ය. 1.බුදුන් වහන්සේට ගෞරව දැක්වීම පිණිස නිර්මිත ස්තූ®පයනට ගරු බුහුමන් දැක්වීම. 2. බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු තැන්පත් කරන ලද ස්තූ®ප මත කොඩි සවි කිරීම හෝ මල්දම් තැබීම. 3. පූජාසනය මත මල් පිදීම සහ සුවඳ දුම් දැල්වීම, 4. බුදුන් වහන්සේ පිළිබඳ පූජනීය වස්තු මත කොඩියක් ඔසොවා තැබීම. 5. ස්තූ®පය මත එක් පහනක් පමණක් දල්වා තැබීම. 6. ස්තූ®පය මත ඡත්‍රයක් පිහිටුවීම. 7. බුදුන් වහන්සේට ගෞරව දැක්වීමට චෛත්‍යය තුළ සංගීත භාණ්ඩයක් වාදනය කිරීම. 8. අලංකාරය පිණිස චෛත්‍යය මත සැරසිල්ලක් සැකසීම. 9. ස්තූපයක් පිරිසුදු කිරීම සහ දූවිලි සෝදා හැරීම. 10. චෛත්‍යය තුළ ගිනි දැල්වීම පිණිස වියළි ගොම වැරටි පිදීම. 11.ස්තූපයට තෙල් බිඳුවක් හෝ පිදීම. 12. චෛත්‍යයට ගඩොල් සැපයීම සහ ඒවා චෛත්‍යය වෙත ගෙන යෑම. 13. චෛත්‍යය සුවඳ දුමින් නැහැවීම සහ සුවඳ වර්ග ආලේපනය කිරීම. 14. චෛත්‍යය මත මිණිමුවා මාල තැන්පත් කිරීම. 15. බුදුන් වහන්සේ වෙනුවෙන් පිහිටුවා ඇති පූජනීය වස්තු වෙත භක්තිමත් සිතිවිල්ලෙන් ගෞරව දැක්වීම 16. ජාල ගෙත්තමකින් දාගැබ හෝ ස්තූපය ආවරණය කිරීම 17. පූජ්‍ය ස්ථානයන්හි පුදන ලද මැලවී ගිය මල් ඉවත් කර ඒවා සුදුසු තැනක දැමීම 18. දාගැබ්, ස්තූප ආදී පූජ්‍ය ස්ථාන සහ පූජා භාණ්ඩ මත සඳුන් කුඩු විසුරුවා හැරීම 19. ස්තූප ඉදිරිපිට හිස නමා ආචාර පැවැත්වීම . 20. බුදුන් වහන්සේ නමින් පාත්‍රයක් පූජා කිරීම. 21. පූජනීය වස්තු වලට ආහාරපාන පිදීම 22. තමන් දුකින් මුදා නිදහස් කරන ලෙස සිතින් අධිෂ්ඨාන කිරීම.

බුද්ධ වන්දනාවේ ආනුභාවය ගැන සලකා මහා වස්තු අවදානය මෙසේ සඳහන් කරයි : “මෙවන් වන්දනා කවරකින් නමුත් වැදුම් පිදුම් කරන්නා වෙත තමා සිතන පතන හැම දෙයක් ම අත්පත් කර ගත හැකි ය. ඒ අතර දිව්‍ය සැප සම්පත් පවා ලැබ, සියලු දුක් කරදර වලින් මිදී, පීඩකත්වයෙන් නිදහස්ව, අවබෝධය වෙතවූ මාර්ගයට පිවිසෙන්නට පුළුවන. එවන් පුද්ගලයකුගේ ගුණවත්කම වචනයෙන් කියා නිම කළ නොහැකිය. බුදුන් වහන්සේ කෙරෙහි උපකාරකයන් වන්නාහු ද, උන්වහන්සේට වැදුම් පිදුම් කරන්නාහු ද, කිසිදු ආකාරයක ලෞකික දුක් පීඩාදියෙන් කරදරයට පත් නොවන්නාහු සතුටට සහ සමෘද්ධියට එළඹෙන්නෝය.”

පසුකාලීනව බෙහෙවින් ජනප්‍රියත්වයට පත් බුදුපිළිම වන්දනාව පිළිබඳ කිසිදු සඳහනක් මහාවස්තු අවදානයේ හෝ වෙනත් කිසිදු පාලි ග්‍රන්ථයක හමු නොවේ. කුස ජාතකයේ රජුගේ ප්‍රධාන රන්කරුවා විසින් නිමවන ලද රන්පිළිම ගැන සඳහන් වෙයි. මගධ රාජ බිම්බිසාර, රෙදිකඩක් මත බුදුන් වහන්සේ නියෝජනය කැරෙන අනුරුවක් පින්තාරු කරවා ගන්නට කැමැති වූ කල්හි, උන්වහන්සේ සිය සෙවණැල්ල රෙදිකඩ මත පතිත වන්නට සලසා, පිට මායිම වර්ණ ගන්වා අවකාශය තුළ විශ්වාසය පිළිබඳ උධෘත පාඨ සටහන් කරන්නට අවසර දුන් බව දිව්‍යවදානයේ සඳහන්ව ඇත. දුටුගැමුණු රජතුමන් විසින් කරවන ලද රුවන්මැලි දාගැබෙහි බුද්ධත්වයට පත් ඉරියවුවෙන් බුදුන් වහන්සේගේ රන් පිළිමයක් තැන්පත් කළ බවට මහාවංශයෙහි සඳහන් වෙයි. ( ක්‍රි. පූ. 161 – 131 )

දේශීය විසින් නිමවන ලද බුදුපිළිම ඇතුළුව පිළිම වන්දනාව නියත විසින්ම ක්‍රිස්තු යුගයටත් පෙරාතුව, ග්‍රීකයන්ගේ පැමිණීමටත් කලින් සියවස් කීපයක් ම ජනප්‍රියව පැවැති බව ඔප්පු කරන්නට මේ සියලු සාහිත්‍යයික සාධක නැඹුරුව පවතී. එහෙත් හාර්හුත් ( ක්‍රි. පූ. 185 – 72 ), සාංචි ( ක්‍රි. පූ. 300 – ක්‍රි. ව. 50 ) සහ පැරැණි අමරාවතී ( ක්‍රි. පූ. 200 – 100 ) ආදියෙහි බෞද්ධ කලාව තුළ බුදුන් වහන්සේ මානව ආකෘතියෙන් නියෝජනය වන බවක් සොයා ගත නොහැකි ය. ඉහත සඳහන් කැටයම්හි බුදුපිළිමයක් දකින්නට නොලැබීමෙන් පෙනෙන්නේ එසමයෙහි බුදුපිළිම වන්දනාව ව්‍යාප්තව නොතිබුණු බවයි.

ඉහත සඳහන් කැටයම්හි බුදුන් වහන්සේ නියෝජනය වන්නේ සංකේත මාර්ගයෙනි. සිදුහත් කුමරුන්ගේ පිළිසිඳ ගැනීම නියෝජනය කැරෙන්නේ සිහිනයක් මඟින් මහාමායාවන්ගේ කුසට සුදු ඇත් පැටවකු ඇතුළු වන්නට සැලැස්වීමෙනි. සිදුහත් උපත සංකේතවත් කැරෙන්නේ නෙළුම් මලකිනි.

මහාභිනිෂ්ක්‍රමණය ආරෝහකයකුගෙන් තොර අශ්වයකුගෙන් දැක්වෙයි. බුද්ධත්වයට පත්වූ බව හිස් අසුනකින් දක්වනු ලැබේ. බුදුන් වහන්සේ බෝරුක් පාමුල වැඩ සිටින බව පතුල් සටහන් දෙකකින් නිරූපිතය. පළමුවන ධර්ම දේශනාව ධර්ම චක්‍රයෙන් ද ,මහා පරිනිර්වාණය ස්තූපයකින් ද නියෝජනය කැරෙයි. කැටයම්වල දැක්වෙන පරිදි ගිහියන්ගේ ආකල්පයෙන් සහතික කැරෙන්නේ බුද්ධ වන්දනාවේ පුළුල් ව්‍යාප්තිය සහ ක්‍රි. පූ. දෙවැනි සහ තුන්වැනි සියවස් තුළ බුද්ධ සංකේත සම්මානයට පාත්‍ර වුණු ආකාරය යි.

බුදුන් වහන්සේ වෙනුවෙන් වූ පූජනීය වස්තු හෝ ස්තූප වන්දනාව වෙනත් වන්දනා ක්‍රමයනට වඩා පැරැණි ය. විනය පිටකයේ සහ සූත්‍ර පිටකයේ විවිධ තැන්හි පිහිටි සුප්පතිට්ඨ, අග්ගාලව, ගෝතමක, සත්තම්බ, බහුපුත්තක, උදේන, චාපාල, සාරන්දද, ආනන්ද සහ මකුටබන්ධන වැනි චෛත්‍ය පිළිබඳ තොරතුරු අසන්නට ලැබෙයි. විශිෂ්ට පුද්ගලයනට ගෞරවය පිණිස ගොඩනංවන ලද චෛත්‍ය සහ අනුස්මරණය පිණිස වූ ස්තූප වන්දනාව ප්‍රාග් බෞද්ධ සම්ප්‍රදායක් විය. තථාගත, තථාගත ශ්‍රාවක, චක්‍රවර්තිරාජ යන අයගේ ධාතු නිදන් කළ තන්හි ස්තූප ගොඩනැඟිය යුතු බව බුදුන් වහන්සේ මහාපරිනිබ්බාන සූත්‍රයේ සඳහන් කරති.

ස්තූපයක් ගොඩනැංවීම සඳහා බෙහෙවින් සුදුසු තැන ලෙස නියම කර ඇත්තේ මහා මාර්ගයන්හි සිවුමංසලකි. ස්තූප වන්දනාවට මල්දම්, සුවඳ ද්‍රව්‍ය හෝ වර්ණ ගන්වන ලද කුඩුවර්ග යොදා ගැනීම කුසල් අත්කර ගැනීමට හේතු වන බව කියනු ලැබේ. එයින් ප්‍රකාශ වන්නේ පුද්ගලයාගේ පුණ්‍ය චේතනාත්මක කැපවීම යි. මහා පරිනිබ්බාන සූත්‍රය අවසානයේ, ආදාහනයෙන් පසු ඉතිරි වූ භෞතික ද්‍රව්‍ය නොයෙක් ගෝත්‍ර සහ රජවරුන් අතර බෙදා දුන් බව සඳහන් වෙයි. ඔවුහු තම තමනට අදාළ කොටස් තැන්පත් කර ස්තූප ගොඩනංවා වැඳුම් පිදුම් කළහ.

විශේෂයෙන් ම බුදුන් වහන්සේ නිමිති කොට ස්තූප ගොඩනැගීම, පුද පූජා පැවැත්වීම සහ එමගින් පින් එක්රැස් කිරීම පිළිබඳ සියලු තොරතුරු බුද්ධ පරිනිර්වාණයෙන් බොහෝ කලකට පසු මහාපරිනිබ්බාන සූත්‍රයට එකතු කරන්නට ඇතැ යි ඇතැම් වියතුන් විසින් සලකනු ලැබේ. එහෙත්, සාංචි ස්තූපයෙන් සැරියුත් සහ මුගලන් හිමිවරුන්ගේ ශාරීරික ධාතු සොයා ගැනිමෙන් පසු, බුදුන් වහන්සේ ජීවත්ව සිටියදී පවා, බෞද්ධ සැදැහැවතුන් විසින් පූජ්‍ය වස්තු ලෙස ශාරීරික ධාතු තැන්පත් කිරීමේ සිරිත පිළිබඳ සත්‍යය තහවුරු වෙයි.

නොයෙක් තැන්වලින් බුදුන් වහන්සේගේ ශාරීරික ධාතු සොයා ගැනීම පිළිබඳ සත්‍යය ද සාම්ප්‍රදායික මතය තහවුරු කරයි. සුමංගල විලාසිනියට අනුව, අජාසත් රජ බුදුන් වහන්සේගේ ශාරීරික ධාතූන්ගේ වැඩකට ගත හැකි කොටස් එකතු කර වැඳ පුදා, අනතුරුව ඒවා රජගහ නුවර ස්තූපයක තැන්පත් කර ඇත. ඉක්බිති යථා කල්හි අශෝක රජ එම ධාතූ®න් වහන්සේ එකතු කර ඉන්දියාව පුරා පූජ්‍යස්ථානයන්හි සුදුසු පරිදි තැන්පත් කළේ ය. එබැවින්, විය හැකි පරිදි අශෝක රාජ සමය තුළ ස්තූප වන්දනාව බුදු සමයෙහි අඛණ්ඩ අංගයක් බවට පත් වූයේය.

බුදුන් වහන්සේගේ ජීවිතයේ ප්‍රධාන සංසිද්ධි සමඟ බැඳුණු නොයෙක් තැන්වලට කැරෙන වන්දනා ගමන් පිළිබඳ මහා පරිනිබ්බාන සූත්‍රයේ දැක්වෙන තොරතුරු සහ එයින් අත්වන පුණ්‍ය සම්භාරය එම සූත්‍රයට පසුව එකතු කළ ඒවා විය හැකි වුණත්, අශෝක ලුම්බිණියට සහ බුද්ධගයාවට ගිය ගමනින් පෙනෙන්නේ එවන් බුද්ධ වන්දනා චාරිකා අශෝක පූර්ව යුගයේ පවා බෞද්ධයන් අතර ව්‍යාප්තව තිබුණු බවයි.

බෙහෙවින් පැරැණි ඇතැම් සම්භාව්‍ය පෙළපොත්හි බුද්ධ වන්දනාව පිළිබඳ යොමු කිරීම් වෙයි. ධම්මපදයේ 14 වැනිවූ බුද්ධ වග්ගයේ 17 සහ 18 ගාථා දෙකෙහි මෙසේ සඳහන් වෙයි.

පූජාරහෝ පූජයතෝ
බුද්ධේ යදි වා සාවකේ
පපංච සමතික්කන්තේ
තීණ්ණසෝක පරිද්දවේ
තේ තාදිසේ පූජයතෝ
නිබ්බුතේ අකුතෝභයේ
න සක්කා පුඤ්ඤං සංඛාතුං
ඉමෙත්තමිති කේනචි

එයින් මෙසේ කියනු ලැබේ. “සියලු පූජාවනට සුදුසු වූ, තණ්හා මාන ඉක්මවූ, ශෝක සහ වැළපීම් නැති කළ, බුදුනට හෝ බුදු සවුවනට යමෙක් පුදයි ද, කෙලෙස් ගිනි නිවා ගත්, කවර හැටියකින් හෝ බියක් නැති එබඳු උතුමනට පූජා කරන්නාට ලැබෙන පින මෙපමණකැ යි ගණන් බලා කියන්නට කිසිවකුට නොහැකි ය.”

ඛුද්දක නිකායට අයිති ඛුද්දකපාඨ සහ සුත්තනිපාත යන දෙකෙහි ම දකින්නට ලැබෙන රතන සූත්‍රයේ ආකාශස්ථ සහ භූම්‍යස්ථ දෙවිවරුන් සේ ම බෞද්ධ ත්‍රිරත්නය ( බුද්ධ, ධම්ම, සංඝ ) වන්දනාමාන කිරීමේ චාරිත්‍රය අපට දකින්නට ලැබෙයි.

තව දුරටත් මහාපරිනිබ්බාන සූත්‍රය විමසන විට බුදුන් වහන්සේ භික්ෂු - භික්ෂුණී, උපාසක – උපාසිකා පිරිස් විසින් සිය ධර්මය තරයේ නිරීක්ෂණය කළ යුතු බවට අවධාරණය කළ බව පෙනේ. එහිදී උන්වහන්සේ අදහස් කළේ තමාට දක්වන උපරිම ගෞරවය හෙවත් පරම පූජාව එය බවයි. නැවත උන්වහන්සේ භික්ෂූනට උපදෙස් දුන්නේ තමාට භෞතික වශයෙන් කරන පුජා කෙරෙහි කරදර නොවන ලෙසයි. එහිදී උන්වහන්සේ ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ ගෘහපති පණ්ඩිත සහ වෙනත් අය අතර තමාට ගරු බුහුමන් දැක්වීම පිළිබඳ පිළිවෙත ඉස්මතු කර අගය කළේ නැත.

මේ සියලු සාහිත්‍යාංගත යොමු කිරීම් වලින් පැහැදිලි වන්නේ බුදුන් වහන්සේගේ ජීවමාන සමයේ පවා උන්වහන්සේට පුද පූජා සහ වන්දනාමාන කිරීම විෂයයෙහි කැපී පෙනෙන නැඹුරුවක් තිබුණු බවයි. එහෙත් එහිලා උන්වහන්සේගේ අනුබලයක් නොලැබීම නිසා එතරම් සාර්ථක වූයේ නැත. එසේ වුවත් උන්වහන්සේගේ පිරිනිවනින් පසු වහ වහා පුළුල් වපසරියකින් ඒවා ප්‍රචාරයට යෑම නියතයෙන් විය හැක්කක්ව තිබිණ.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]