UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

නිකිණි පෝය

ශාසනික වැදගත් කමින් යුත් උතුම් පෝය දිනයක් වශයෙන් නිකිණි පුනු පොහෝ දිනය හැඳින්විය හැකි ය. භික්ෂූන් වහන්සේ මෙන් ම කාරුණික සැදැහැති දායකයන් විසින් ද උදාර පෞරාණික බුද්ධ නියමයක් ඉටුකරන පෝය දිනයක් ලෙස නිකිණි පුර පසළොස්වක් පොහෝ දවස සලකනු ලැබේ. ශාසනය ආරක්ෂාවීමට, ගුණ ධර්ම වර්ධනයට භික්ෂූන් වහන්සේත් ගිහියාත් අතර අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් තිබිය යුතු ය.

ගිහි පැවිදි දෙපක්ෂය තුළින් සිදුවිය යුතු යුතුකම් නියම අවස්ථාවන් හි නිසිලෙස ඉටුවිය යුතුය. නිකිණි පුනු පොහෝ දිනය භික්‍ෂූන්වහන්සේ හා ගිහියා අතරත් අන්‍යෝන්‍ය සම්බන්ධතාවක් ඇතිව ගිහි පැවිදි දෙපක්‍ෂය තුළින් යුතුකම් ඉටු වෙන දිනයක් වශයෙන් සඳහන් කළ හැකිය.

ශාසන ප්‍රතිපත්ති වලට අනුව භික්ෂූන් වහන්සේලාට වස් එළඹීමට දින දෙකක් නියම ව ඇත. පෙරවස පසුවස වශයෙන් ඒ දින දෙක හඳුන්වනු ලැබේ. ඇසළ පුනු පොහෝ දිනයෙහි පෝය කොට, ඇසළ අවපෑලවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතු ය. නිකිණි පුනු පොහෝ දා පෝය කොට නිකිණි අවපෑළවිය දා පසු වස් එළඹිය යුතු ය. අවුරුද්දේ එළැඹෙන හේමන්ත, ගිම්හාන, වස්සාන යන ඍතු තුනෙන් මේ උදාරතර ශාසනික කාර්යයන් නියම ව ඇත්තේ වස්සාන ඍතුවට යි. වස්සාන කාලයෙහි නියමිත දිනයන් හි භික්ෂූන් වහන්සේලා විසින් පෙරවස් හෝ පසුවස් හෝ එළඹීම අනිවාර්යයෙන් ම කළ යුතු ය. එය බුද්ධ නියමය යි. මේ දෙදිනෙන් එක් දිනක හෝ වස් එළඹීම නො කළ භික්ෂුවට න භික්ඛවෙ වස්සං න උපගන්තබ්බං යො න උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස යනුවෙන් මහණෙනි, වස් නො එළඹිය යුතු නොවේ. යමෙක් වස් නො එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ. යැයි මහා වග්ගයේ වස්සුපනායිකක්ඛන්ධකයෙහි දී බුදුහු වදාරා ඇත්තා හ. ඒ වස් විසීමේ දීත් පෙරවස් එළඹීම ප්‍රධාන වශයෙන් කළ යුතුය. පසු වස් එළඹිය යුත්තේ යම්කිසි කරදරයක් නිසා පෙරවස් එළඹීමට නො හැකි වූ භික්ෂූන් විසිනි. කඨින චීවර ලබා ගැනීමේ අයිතිය ඇත්තේ පෙරවස් වැස මහා පවාරණයෙන් පවාරණය කරන ලද භික්ෂූන්ට පමණකි. ඒ වස් එළඹීමත් ගස් යට, එළි මහන්වල, ඡත්‍ර යට, රුක් වෙළෙප්හි, ගස් සිදුරෙහි, සොහොන් කිළියෙහි ආදි ස්ථාන වල නො එළඹිය යුතුය. “න භික්ඛවෙ අසේනාසනිකෙන වස්සං උපගන්තබ්බං යො උපගච්ජෙය්‍ය ආපත්ති දුක්කටස්ස” යනුවෙන් ‘මහණෙනි! සෙනසුන් නැත්තහු විසින් වස් නො එළඹිය යුතුය. යමෙක් එළඹෙන්නේ නම්, දුකුළා ඇවැත් වේ යැයි’දේශනා කොට ඇත. වහලක් හා දොරක් ඇති සෙනසුනක් ම සොයා ගෙන නියමිත දිනයෙහි වස් එළඹීම භික්ෂුව විසින් කළ යුතුය.

වස් විසීමට සෙනසුනක් කරවා දෙන දායක කාරකාදී කෙනෙකුන් නැතිනම් උපකාරකයන් සොයාගෙන හෝ සෙනසුනක් කරවා ගත යුතු බවත් උපකාරකයන් ද සොයා ගන්නට නො හැකි නම් තමා විසින් ම හෝ සකස් කරගෙන වස් එළඹිය යුතු බවත් වදාරා ඇත. කොතරම් සැලකිල්ලකින් මේ ශාසන ප්‍රතිපත්ති රැකිය යුතු ද යනු මේ බුද්ධ නියමයෙන් පැහැදිලි වෙයි.

වස් විසීමේ ආරම්භය

ප්‍රථම බෝධියෙහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට වස් විසීමේ ප්‍රඥප්තියක් නො පනවන ලදී. දම්සක් පැවැතුම් සූත්‍ර දේශනාවෙන් පසු බුදුරජාණන් වහන්සේ පස්වග මහණුන් සමග මිගදායෙහි ඉසිපතනාරාමයෙහි ප්‍රථම වස් කාලය ගත කළහ. ඒ වැසි කාලය එසේ එක් තැනක ගත කිරීම දඹදිව ප්‍රාග් බෞද්ධ යුගයේ සිට පැවැත ආ සිරිතක් වශයෙන් ආවේණික ධර්මයක් වශයෙන් මිස බුද්ධ ප්‍රඥප්තියක් වශයෙන් නො වීය. ක්‍රමයෙන් භික්ෂූ සමාජය විකාශනයට පත් වෙන විට භික්ෂූහු වස්සාන ඍතුවේත් චාරිකාචරණයෙහි යෙදෙමින් දඹදිව පැවැති පෞරාණික ධර්මයන් උල්ලංඝනය කරන්නට වූහ. මෙය සිදු වූයේ බුදුරාණන් වහන්සේ රජගහ නුවර වේළුවනාරාමයෙහි වැඩ වෙසෙන සමයෙහි ය. භික්ෂුන් වහන්සේලා ගේ මේ චාරිත්‍රධර්මයන් උල්ලංඝනය කරමින් කරනු ලබන චාරිකාචරණය දුටු මහ ජනයා උද්ඝෝෂණය කරන්නට වූහ. තීර්ථකයන් පවා වස් එළඹී ඇති මේ කාලයෙහි ශ්‍රමණ ශාක්‍ය පුත්‍රයයෝ හේමන්තයෙහි ද, ගිම්හානයෙහි ද, වස්සානයෙහි ද නිල් තණ මඩිමින් පා ගමනින් ඒකීන්ද්‍රිය ජීවිත පෙළමින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් චාරිකාවෙහි හැසිරෙති. අන්‍ය තීර්ථක පරිබ්‍රාජකාදීහු එක්තැන් ව වස් විසීමෙහි ඇලී වෙසෙති. කුරුල්ලෝ ද ගස් මුදුන්හි කූ®ඩු සාදාගෙන වැසි කාලයෙහි ඒ කූඩු වල ඇලී වෙසෙති. ගොදුරු සෙවීමෙහි උත්සාහ නැති ව නිතර එක්තැන් ව වසති. එහෙත් මේ ශ්‍රමණ ශාක්‍ය මුනි පුත්‍ර‍්‍රයයෝ හේමන්තයෙහි ද ගිම්හානයෙහි ද වස්සානයෙහි ද නිල් තණ මඩිමින් ඒකීන්ද්‍රිය ජීවයන් පෙළඹින් බොහෝ කුඩා සතුන් විනාශයට පමුණුවමින් කවර කරුණක් නිසා චාරිකාවෙහි හැසිරෙන්නා හුදැයි අවමන් කෙරෙති. නින්දා කෙරෙති. දොස් කියති. අවමන් කරන නින්දා කරන දොස් කියන ඒ මිනිසුන්ගේ බස් ඇසූ භික්ෂූහු ඒ කාරණය බුදුන් හට දැන්වූහ.

මේ නිමිති කොට ගෙන භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන් වහන්සේලාට “අනුජානාමි භික්ඛවෙ වස්සානෙ වස්සං උපගන්තුං” යනුවෙන් මහණෙනි, මම වස්සාන ඍතුවෙහි වස් එළඹෙන්ට අනුදනිමි’යි භික්ෂූන් ඇමතූසේක. එකල් හි භික්ෂූන් වහන්සේලාට වස් එළඹීම් කෙතෙක් දැයි විමතියක් ඇති විය. එය භාග්‍යවතුන් හට දන්වා සිටියහ. ඉක්බිති බුදුරජාණන් වහන්සේ “දෙව මා භික්ඛවෙ වස්සුපනායිකා පුරිමිකා පච්ඡිමිකා ච අපරජ්ජුගතාය ආසාළ්භියා පූරිමිකා උපගන්තබ්බා මාසගතාය ආසාළ්භියා පච්ඡිමිකා උපගන්තබ්බා ඉමාඛො භික්ඛවෙ දෙව වස්සුපනායිකා යනුවෙන් මහණෙනි, පෙරවස් එළඹීම පසුවස් එළඹීම යැයි මේ වස් එළඹීම් දෙකකි. ඇසළ පුනු පොහොයට පසු දින, එනම් අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹිය යුතුය.ඇසළ පුනු පොහොය දිනයෙන් මසක් ඉක්ම ගිය කල්හි නිකිණි අවපෑළවිය දිනයෙහි පසුවස් එළඹිය යුතුය. මහණෙනි, මේ වස් එළඹීම් දෙකයි’ වදාළහ.මෙතැන් සිට දඹදිව තීර්ථක පරිබ්‍රාජකාදීන් තුළ පැවැති එනම්, ප්‍රාග් බෞද්ධ යුගයේ සිට දඹදිව පැවැති ආවේණික චාරිත්‍ර ධර්මයක් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ ද ප්‍රධාන ප්‍රඥප්තියක් බවට පත් විය. මේ අනුව සලකන විට බෞද්ධ භික්ෂූන් වහන්සේලා ගේ වස් විසීමේ ශාසනික චාරිත්‍ර ධර්මයේ ආරම්භය මහජන උද්ඝෝෂණයක ප්‍රතිඵලයක් වශයෙන් ඇති වූවක් බව සැලකිය යුතුය.

ව්‍යාප්තිය

ආරම්භයේ දී ඇසළ පුනු පෝයට පසු අවපෑළවිය දිනයෙහි පෙරවස් එළඹීම පැවැතුණි. එහෙත් එය වැඩි කලක් නො පැවැත්තේ ය. ඇසළ පුනු පොහෝ දිනයෙහි භික්ෂුන් වස් එළඹෙනු දකිනු කැමැති වූ බිම්බිසාර රජතුමා ඒ බව දූතයකු ගේ මාර්ගයෙන් භික්ෂූන්ට දැන්වි ය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට මේ වග සැල කළහ. එය ඇසූ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් අමතා අනුජානාමී භික්ඛවෙ රාජුනං අනුවත්තිතුං යනුවෙන් මහණෙනි, රජුනට එකඟව පවතින්නට අනුදනිමි යි වදාළ සේක. එතැන් සිට ඇසළ පුනු පොහෝ දා වස් එළඹිය හ. බුදුරජාණන් වහන්සේ විසින් පනවන ලද ප්‍රඥප්ති බොහොමයක් ම ඒ ඒ රටවල දේශගුණය හා පරිසරය අනුව සකස් වූවකි. එබැවින් මධ්‍ය මණ්ඩලයට පනවන ලද ප්‍රඥප්ති ප්‍රත්‍යන්ත දේශවල වෙනස් වෙයි. වස්සික සාටිකය හෙවත් වැසිසළුව වස් වසන භික්ෂූන් විසින් වස්වසන දිනයෙහිම අධිෂ්ඨාන කොට වස් සාර මාසයෙහි පරිහරණය කළ යුතු සිවුරක් වශයෙන් නියම කොට ඇත. නාන කඩය යන නමින් හඳුන්වන මේ චීවරය භික්ෂූන්ට වාග් විඥප්තියෙන් වුවද ඉල්ලාගෙන පරිහරණය කළ හැකි වස්ත්‍රයක් වශයෙන් සලකනු ලැබේ. මෙය භික්ෂූන්ට ලබා ගැනීමට පහසුව ප්‍රථමයෙන් ම ඇතිකර දෙන ලද්දේ විසාඛා උපාසිකාවගේ ඉල්ලීමක් අනුවය. වස් විසූ භික්ෂූන් චාරිකාචරණයෙහි නො යෙදුණත් පිණ්ඩපාත සෙවීමාදි කටයුතු වල දී වැස්සෙන් තෙමෙමින් පීඩා විඳින්නට සිදු විය . මෙය දුටු විසාඛා උපාසිකාව “ඉච්ඡා මයං භන්තෙ සංඝස්ස යාවජීවං වස්සකි සාටිකං දාතුං” යනුවෙන් ස්වාමීනි! මම ජීවිතාන්තය දක්වා සංඝයාට වැසි සළු පුදන්නට කැමැත්තෙමියි ප්‍රකාශ කළාය.ඇය ගේ බසට කන් දීමක් වශයෙන් බුදුරජාණන් වහන්සේ “අනුජානාමි භික්ඛවේ වස්සිකසාටිකං වස්සානං - චාතු මාසං අධිට්ඨාතුං තතොපරං විකජ්පෙතුං යනුවෙන් “මහණෙනි, වස් සාරමාසයෙහි වැසි සළුව අධිෂ්ඨාන කොට ප්‍රයෝජනයට ගන්නටත් එයින් පසු විකප්පනය කරන්නටත් අනුදැන වදාරමි,යි වදාළහ. මේ වැසි සළු සැදැහැති දායකයන් විසින් භික්ෂූන් වහන්සේලාට පූජා කරනවාත් සමඟ ම උතුම් ශාසනික චාරිත්‍ර ධර්මයක් ද ඉටුවන්නේය. ස්වාමීනි, මේ වස් සාර මාසය තුළ අපි නුඹ වහන්සේලාට සිවු පසයෙන් ශක්ති ප්‍රමාණයෙන් උපස්ථාන කරන්නෙමු. අප කෙරෙහි අනුකම්පාවෙන් මෙහි වස් එළඹීම සිදු කරනු මැනැවැ’යි සදැහැවත් දායක කාරකාදීහු වැසි සළු හා දැහැත් ගොටු පිරිනමමින් සංඝයාට ආරාධනා කරති. එයින් භික්ෂූන් වහන්සේලාගේ වස් විසීමත් දායකයනගේ ආරාධනයත් දෙක ම ඉටුවෙයි.

වස් එළඹ වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේලා ඒ ආරාමයෙන් පිටත යන විට සත්තාහකරණයෙන් යා යුතු වෙත්. අනුජානාමි භික්ඛවෙ සත්තන්නං සත්තාහ කරණීයෙන පහීතෙ ගන්තුං “ යනුවෙන් මහණෙනි! පණිවුඩ එවූ කල්හි සත් දෙනෙකුන් වෙතට සත්තාහ කරණීයයෙන් යන්නට අනු දනිමි “ යි දේශනාකොට ඇත්තා හ. සත්තාහ කරණයෙන් යෑම නම් සත් දිනක් ඉක්ම වන්නට පෙර වස් විසූ ස්ථානයට පැමිණ ඒ වස් එළඹී ආරාමයෙහි අරුණ නැගීම යි. ඒ සත්තාහ කරණයෙන් යන්නට හැක්කේ ද සත් දෙනෙකුන් වෙත පමණි. භික්ෂුව, භික්ෂුණිය, ශික්ෂමානාව, සාමණේර , සාමණේරිය , මවය, පියාය, යන මොවුන් සත්දෙනා උදෙසා ආරාධනාවක් ඇත ද නැති ද සත්තාහකරණයේ යන්නට පුළුවන. එහෙත් සතිය ඉක්මෙන්නට ප්‍රථමයෙන් වස් විසූ ආරාමයට පැමිණිය යුතුය. මේ බුද්ධ නියමයයි.

එසේම ගිලන් භික්ෂුවක රෝගි ව සිටින විට ඒ භික්ෂුවට පහසුවක් ඇති කරලීමටත් සස්නෙහි කලකිරී සිටින භික්ෂුවකට අවවාද කරනු පිණිසත්, උපන් යම් කුකුස් ඇත්නම් එය දුරු කරනු පිණිත්, උපන් මිථ්‍යා මතයන් දුරු කරනු පිණිසත් පරිවාස මූලාය පටිකස්සන , මානත්ත , අබ්භාන, තජ්ජනීය , නියස්ස, පබ්බාජනීය ,පටිසාරනීය උක්ඛෙපනීය යන මේ සංඝ කර්මයන් සඳහාත් මවු පිය සහෝදර ඥාතීන් රෝගීව සිටින විට ඔවුන් දැකීම පිණිසත් සත්තාහ කරණයෙන් යන්නට හැකිය.

වස්සච්ඡේදය

වස් විසූ භික්ෂූන්ට ඒ ඒ ආරාමයන් හි යම් යම් උවදුරුවලට මුහුණ පාන්නට සිදුවේ නම් සත්තාහ කරණයක් නැති ව සුදුසු ආරක්ෂක ස්ථානයකට යා හැකිය.

වස්සච්ඡේදයෙන් එනම්,වස් බිඳීමෙන් සිදුවෙන ඇවතින් නිදහස් ඒ භික්ෂූනට තිබේ. නයි, පොළොං ආදී විෂඝෝර සර්පයන්ගෙන් යක්ෂාදීන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අන්තරා ඇති කල්හි වස් විසූ ආරාමයෙන් සත්තාහ කරණය නැති ව ඉවත යා හැකිය. එසේම වස් විසූ ආරාමය පිහිටි ගම වෙනස් වුවොත් ගම්වැසියන් ගිය තැනට වස් විසූ භික්ෂූන්ට යන්නට ඉඩ ඇත. ගම දෙකකට වෙන් වූ විට සැදැහැති පිරිස සිටින ස්ථානයට යන්නට පුළුවන. වස් විසූ භික්ෂූනට යැපෙන පමණ පිණ්ඩපාත නො ලැබේ නම් පථ්‍ය බෙහෙත් ආදිය නොලැබේ නම්, සුදුසු කැපකරු ආදීන් නො ලැබේ නම් සංඝ භේදයකට හෝ සීලාන්තරායකට ඉඩ ලැබේ නම් වස් විසූ ආරාමය වෙනස් කරන්නට හැකිය. වස්සච්ඡේදයෙන් ඒ භික්ෂූන්ට ඇවැත් සිදු නොවේ.

මෙබඳු නොයෙක් කරුණු වලින් ශාසනික වැදගත් කමින් යුත් වස් විසීම ලංකාවට පැමිණියේ බුද්ධ ශාසනය පිහිටුවා ලීමෙන් පසුවය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසිය සතිස් වැන්නෙහි ලක්දිවට වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ප්‍රධාන ධර්මදූත පිරිසත් අරිටිඨ සිංහල රහතන් වහන්සේ ප්‍රධාන සපනසක් රහතන් ද ඇතුළු දෙසැටක් රහතන් වහන්සේලා දෙවන පෑතිස් නිරිඳුන්ගේ ආරාධනයෙන් එතුමා විසින් කරවා පූජා කරන ලද අට සැට ලෙන්වල වස් එළඹිය හ.

මෙය ලක්දිව සිදුවූ ප්‍රථම වස්සූප ගමනයයි. මෙතැන් පටන් මේ උතුම් ශාසනික චාරිත්‍ර ධර්මය අවුරුදු දහස් ගණනක් මුළුල්ලෙහි බෞද්ධ පින්වතුන් විසින් පරම්පරාවෙන් පරම්පරාවට නො සිඳ පවත්වා ගෙන එනු ලැබේ.

ප්‍රථම සංගීතිය

මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ගේ ප්‍රධානත්වයෙන් පන්සියයක් රහතුන් විසින් පවත්වන ලද “පඤ්චසතිකා විනයසංගීති” නමින් දැක්වෙන ප්‍රථම සංගීතිය නිකිණි අවපෑළවියදා ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

ඇසළ පුන් පොහෝදා රජගහ නුවරට වැඩම කළ මහ කසුප් මාහිමියන් ඇතුළු පන්සියයක් දෙනා වහන්සේ ඇසළ මස අව පෑළවියදා වස් එළඹියහ. ප්‍රථම මාසයෙහි විහාරාරාම පිළිසකර කරවා නිකිණි මස අවදියවක්දා (සම්බුද්ධ පරිනිර්වාණයෙන් සිවුවන මස දෙවන දා) රජගහ නුවර වේහාර පර්වතයෙහි සප්තපර්ණී ගුහාද්වාරයෙහි දි සංගීතිය ආරම්භ කොට සත් මසකින් නිම කරන ලදී.

ආනන්ද හිමියන් රහත් වීම

ප්‍රථම සංගීතියට ධර්ම සංග්‍රාහකයන් තෝරන මහා කාශ්‍යප මාහිමියෝ එක් නමක් වන අඩු පන්සියයක් මහ රහතුන් තෝරා ගත්හ. ඉතිරි අසුන ආනන්ද හිමියන්ට වෙන් කරන ලදී. සෙඛව සිටි ආනන්ද හිමියෝ ධර්ම සංගීතියට පළමු දා රාත්‍රියෙහි බොහෝ වේලාවක් විදසුන් වඩමින් සක්මනින් කාලය ගත කළත් අධිගමයන් ලබා ගන්නට සමත් නො වූහ.

වීය¸ සමතාව නො ලැබ ශරීරය ඍතු ගැන්වීම් සඳහා අලුයම් වේලෙහි සක්මන් මළුවෙන් බැස පා දොවා විහාරයට වැද මඳක් විවේක ගෙන විඩා සන්සිඳුවා සිරුර යහනට එළවූ හ. දෙපා පොළොවෙන් මිදිණ. හිස කොට්ටයට නො පැමිණියේය.

මේ අතරතුර දී ආනන්ද හිමියෝ සියලු කෙලෙසුන් නසා රහත් වූහ. උන්වහන්සේගේ රහත් ඵලය සිවු ඉරියව්වෙන් තොරව සිදු විය. එය නිකිණි පුන් පොහෝදා අලුයම සිදු විය.

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]