UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

කඩුවෙල සිරි ගෞතම ධම්මරාජික මහ සෑය

අප මහත් ගෞරවයෙන් සරණගිය ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සම්මා සම්බෝධිය සාක්ෂාත් කොට පසුගිය වෙසක් පුන් පෝ දිනට වසර දෙදහස් හයසියයක් සම්පූර්ණ වූවා. එම සම්බුද්ධත්ව ජයන්තිය මුල් කර ගනිමින් මහමෙවුනා භාවනා අසපු සංචිතය තුළිනුත් බොහෝ පින්සිදු කර ගන්න විවිධ පින්කම් සංවිධානය කරනු ලැබූවා. ඒ අතර භාග්‍යවතුන් වහන්සේගේ සර්වඥධාතුන් වහන්සේලා තැන්පත් කොට ස්ථූප රාජයාණන් වහන්සේලා ඉදිකිරීම ද සිදුවූවා. ඒ පිළිබඳව දැනට කඩුවෙල මහමෙවුනා බෝධිඥාන අසපුවේ වැඩවසන අළුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේ සමඟ සාකච්ඡා කළා.

ස්වාමින් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන්වහන්සේ තැන්පත් කොට ස්ථූප ඉදිකිරීමේ ආරම්භය කුමක් ද?

ස්ථුප ඉදිකිරීම සම්බන්ධයෙන් අපට මූලිකවම කරුණු හමුවන්නේ දීඝ නිකායේ පරිනිබ්බාන සූත්‍රයේ දී. එහිදී භාග්‍යවතුන් වහන්සේ වදාළා පින්වත් ආනන්ද, ථූපාරහ පුද්ගලයන් හතර දෙනෙක් සිටිනවා. ඒ තමා තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ, පසේබුදුරජාණන් වහන්සේ, නිකෙළෙස් සිත් ඇති උතුම් රහතුන් වහන්සේ සහ මේ ලෝකයට පිනකට පහළවන සක්විති රජතුමා. මේ සතර දෙනා ආදාහනය කළාට පසුව ඉතිරිවන ධාතුන් වහන්සේ තැන්පත් කොට ථූපයක් තැනවීම සුදුසු බව. මෙසේ ස්ථූප තැනිය යුත්තේ් ඇයි කියලත් උන්වහන්සේ වදාළා. මේ ලෝකයට කලාතුරකින් පහළ වන ආශ්චර්ය ගුණ ඇති ඒ අසිරිමත් තථාගතයන් වහන්සේගේ ස්ථූපය නේද මේ කියලා ඒ ස්ථූප රාජයාණන් වහන්සේ දකින මිනිසුන් පහන් සංවේගයට පත්වෙලා වන්දනා කරනවා. ඒ තුළින් ඔවුන්ට අප්‍රමාණ පින් එක්රැස් වෙනවා.


කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි

ඒ වගේම භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේදී බාහිය දාරුචිය ආදී මහරහතන් වහන්සේ පිරිනිවන් පෑවට පසුව ඒ දේහය ආදාහනය කර ස්ථූප රාජයාණන් වහන්සේ තනවා තිබෙනවා. ඒ ආකාරයෙන් ස්ථූප රාජයාණන් වහන්සේ තැනීම අනුදැන වදාලීම තමයි මේ ස්ථූපය තැනවීමේ ආරම්භය. භාග්‍යවතුන්වහන්සේ පිරිනිවන් පෑ පසුව උන්වහන්සේගේ සම්බුද්ධ සිරුරෙන් ඉතිරි වූ ධාතුන් වහන්සේලා තැන්පත් කර ප්‍රධාන වශයෙන් ස්ථූප රාජයාණන් වහන්සේ ඉදිකිරීම ආරම්භ වුණා.

ධාතුන් වහන්සේ තැන්පත් කොට මහමෙවුනා අසපු තුළ මෙසේ ස්ථූප ඉදිකිරීමෙන් අපේක්ෂා කරන්නේ කුමක්ද?

ගෞතම බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයට පත්වෙලා වසර 2600 සම්බුද්ධත්ව ජයන්තිය උදාවන කාලයේදී ඒ සඳහා චෛත්‍යරාජයාණන් වහන්සේ නමක් ඉදිකළ යුතු බවට අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ වන කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන්ට සිතේ අදහසක් ඇතිවූවා. ඒ අදහස ඉස්මතු කරමින් මාතර අපරැක්ක මහමෙවුනා භාවනා අසපුවේ ‘’ස්වර්ණමාලි’’ නමින් චෛත්‍යයක් ද, 2600 සම්බුද්ධත්ව ජයන්තිය සමරනු පිණිස කුණ්ඩසාලය මහමෙවුනා අසපුවේදී ‘’සිරි ගෞතම සම්බුදු මහ සෑය’’ ද, භාග්‍යවතුන් වහන්සේගේ උතුම් දම්සක් පවත්වා වසර 2600 උදා වූ ඇසළ පුර පෝ දා උතුම් ධර්මචක්‍රය සැමරීම පිණිස පොල්ගහවෙල භාවනා අසපුවේදී ‘’සිරි ගෞතම දම්සක් මහ සෑය ද’’ ඉදිකරනු ලැබුවා. පින් රැස්කර ගැනීමට අවස්ථාව සලසාදීම පිණිසයි මහමෙවුනා අසපු තුළ ස්ථූප රාජයාණන් වහන්සේලා ඉදිවන්නේ. මේ උතුම් ත්‍රිවිධ ජයන්තියම සමරනු පිණිස තමයි කඩුවෙල මහමෙවුනා අසපුවේ ‘’සිරි ගෞතම ධම්මරාජික මහ ස්ථූප රාජයාණන් වහන්සේ ඉදිවන්නේ.

මේ ස්ථුපයට ‘’සිරි ගෞතම ධම්මරාජික ස්ථූපය’’ ලෙස නම් කළේ ඇයි?

ඒ සඳහා විශේෂිත හේතුවක් තිබෙනවා. ඔබට මතක ඇති පසුගිය දිනවල පාකිස්ථාන ගන්ධාර ප්‍රදේශයේ භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතුන් වහන්සේ දෙනමක් ලංකාවට වැඩමවනු ලැබුවා. ධර්මාශෝක අධිරාජ්‍යයා විසින් ‘’ධම්මරාජික මහ ස්ථූපය’’ නමින් අසිරිමත් ස්ථූපයක් ඉදි කරවූවා. ඒ ස්ථූප රාජයාගේ කැණීම්වලින් ලැබුණු සර්වඥධාතුන් වහන්සේ පාකිස්ථාන රජයෙන් ශ්‍රී‍්‍ර ලංකා රජය කළ ඉල්ලීමකට අනුව අපගේ රටට වැඩමවනු ලැබුවා. ලක් දෙරණට වැඩම වූ ඒ උතුම් ධාතුන් වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගේ ධාතුන් වහන්සේ බව පුරා විද්‍යාත්මකවද සනාථ වී තිබෙනවා. ඒ ධාතුන් වහන්සේ කඩුවෙල මහමෙවුනා භාවනා අසපුවටත් වැඩමවනු ලැබුවා. ඒ ධාතූන්වහන්සේලා මහත් හරසර මැද මල් මාවත් මැද, මල් උඩුවියන් මැදින් තමයි අසපුවට වැඩමවනු ලැබුවේ. ඒ අවස්ථාවේදී මේ ඉදිවෙමින් පැවති ස්ථුපයේ ඝර්භය තුළට සුළු කාලයකට ඒ උතුම් ධාතුන් වහන්සේ වැඩමවා තැන්පත් කළා.

ඒ අවස්ථාව නියෝජනය කරමින් පාකිස්ථානයේ තානාපතිනිය ශ්‍රීමා බැලොඩ් මැතිණියද, පාකිස්ථානයේ රජයේ දූත පිරිස වශයෙන් පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල්තුමා වන ෆාකීර් ෆාසල් මහතා ඇතුළු දූත පිරිසත්, ශ්‍රී‍්‍ර ලංකා රජය නියෝජනය කරමින් කතානායකතුමා ඇතුළු දූත පිරිසත් ආර්ය සංඝ රත්නය නියෝජනය කරමින් ශ්‍රී කල්‍යාණවංශ නිකායේ මහනායක ධුරන්ධර දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන් වහන්සේත් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නය සහභාගි වුණා. ඒ උතුම් ධාතුන් වහන්සේ මේ ස්ථූපය තුළ මොහොතක් වැඩ සිටි නිසා ඒ ගන්ධාර ප්‍රදේශයේ තිබූ ස්ථූපරාජයාණන් වහන්සේගේ නමින්ම ‘’සිරි ගෞතම ධම්මරාජික මහ ස්ථූප රාජයාණන් වහන්සේ’’ නමින් නිල වශයෙන් නම් කිරීම ඒ ආකාරයෙන් සිදුවූවා.

මේ උතුම් චෛත්‍යරාජයාණන් වහන්සේ ඉදි වූ ආකාරය පැහැදිලි කළොත්....?

මේ ස්ථූප රාජයාණන් වහන්සේ ඉදිවීම ඉතාමත් අසිරිමත් සිද්ධියක්. මීට මාස දහයකට පමණ ඉහත දී තමයි වැඩ කටයුතු ආරම්භ වූයේ. ඉතාමත් ශ්‍රද්ධාවෙන්, ගෞරවයෙන් පින්රැස්කර ගැනීමේ අරමුණු ඇතුවයි ආරම්භ කළේ. ධම්මරාජයන් වහන්සේ වන අපගේ භාග්‍යවතුන් වහන්සේ උදෙසා ඉදිකරන ඒ ස්ථූපයට ශ්‍රද්ධාවෙන් සහ සැදැහැවත් මිනිසුන්ගේ උපරිම ශ්‍රම දායකත්වයෙන් මේ සියලු වැඩකටයුතු සම්පාදනය වුණේ.

විශේෂයෙන් චෛත්‍යරාජයාණන් වහන්සේගේ මංගල ශිලා ප්‍රතිෂ්ඨාපනය කරද්දී භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ගුණත්, ධර්මයේ අසිරිමත් ගුණත්, ශ්‍රාවක සඟ රුවනේ අසිරිමත් ගුණත් ඒ වගේම චතුරාර්ය සත්‍යයත්, නිවන පිළිබඳවත් කරුණු අන්තර්ගත පත්ඉරු ඒ ස්ථූප පාදම තුළ තැන්පත් වූවා. ඒ මත තමයි මේ ධම්මරාජික මහා ස්ථූපය ඉදිවූයේ.

ඒ වගේම මේ සඳහා බොහෝ ශ්‍රද්ධාවන්ත පිරිසක් ශ්‍රමයෙන් දායක වුණා. තවත් සැදැහැවත් පිරිස් නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළා. මේ උතුම් ස්ථූප රාජයාණන් වහන්සේගේ ඝර්භය තුළ ධාතුන් වහන්සේ තැන්පත් කරවීම විශේෂයෙන් සෑදු අඩි හතරක් පමණ උස රිදී කරඬුවක් තුළ කරනු ලබනවා. ඒ රිදී පැහැ කරඬුව තුළ අඩියක් පමණ උස රන් කරඬුවක් තැන්පත් වෙනවා. මේ රන් කරඬුව තුළ මැණික් කරඬුවක් තැන්පත් වෙනවා. ඒ මැණික් කරඬුව ඇතුලේ සුවඳ සඳුන් අරටුවෙන් කර වූ සුවඳ මංජුසාවක් තුළ තමයි අපි කවුරුත් මහත් ශ්‍රද්ධා භක්තියෙන් සරණගිය භාග්‍යවතුන් වහන්සේගේ උතුම් ධාතුන්වහන්සේ තැන්පත් වන්නේ.

මේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ හැඩයත් ඉතාම රමණීයයි. එදා දුටුගැමුණු රජතුමා අනුරාධපුරයේ ඉදිකළ ‘’ස්වර්ණමාලි’’ ස්ථූපරාජයාණන් වහන්සේගේ හැඩරුව ඒ ආකාරයෙන්ම මේ ස්ථූප රාජයාණන්ටත් ලැබී තිබෙනවා. ඉතාමත් ශෝභමාන ආකාරයට ඉතාමත් සියුම් ආකාරයට කැටයම් කරන ලද දේවරූප දේවතා කොටුවටත් ශ්‍රී සද්ධර්මයට ගෞරවයෙන් සක් පිබිනා දර්ශන ඇතුළත් කොටස් ආදී තවත් විචිත්‍රවත් වූ දේ මේ ස්ථූප රාජයාණන් වහන්සේගේ ඉහළ කොටසේ නිමවනු ලැබුවා.

ඒ වගේම අප කලින් ප්‍රකාශ කළ රිදී පැහැ කරඬුව තැන්පත් කිරීමට රන් පැහැයෙන් කළ රමණීය ආසනයක් නිමකරවා මේ ගර්භය තුළ තැන්පත් කර තිබෙනවා. ඒ ආසනය මත තමයි මේ කරඬුව තැන්පත් වන්නේ. මේ ගර්භයට ඉහළින් රන් පැහැති ඡත්‍රයක් තිබෙනවා. මේ ඡත්‍රය තමයි මේ කරඬුවට සෙවණ සලසන්නේ. ගර්භය ඇතුළත භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක වූ උන්වහන්සේ සරණ ගිය දෙව් බඹු පිරිස් උතුම් ධාතුන් වහන්සේට වන්දනා කරන අයුරු දැක්වෙන ඉතාමත් ශෝභමාන සජීවි යැයි හැඟෙන දෙවිවරු බඳු සිත්තම් නිමවෙලා තිබෙනවා. ඒ ආකාරයට ඉතාමත් මනරම්ව තමයි මේ සෑ ගර්භය ඉදිවන්නේ.

මේ චෛත්‍යය රාජායාණන් සම්බන්ධයෙන් කථා කරන විට සඳහන් කළ යුතුයි මේ ස්ථූපයේ හතරැස් කොටුව පිළිබඳවත්. එයත් ඉතාමත් සුවිශේෂයි. ඒ හතරැස් කොටුව තුළ උතුම් ධර්මය තැන්පත් වෙනවා. ඔබ දන්නවා ත්‍රිවිධ ජයන්තිය සැමරීම පිණිසයි මේ චෛත්‍ය ඉදිවන්නේ. භාග්‍යවතුන් වහන්සේගේ සම්බුද්ධ ජයන්තිය සැමරීමට සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් වන අතරේ ඒ උතුම් දම්සක් ජයන්තිය සැමරීම පිණිස මුළුමහත් දීඝ නිකායටම අයත් දීර්ඝ දේශනා සියල්ලම තඹ පත්ඉරු සටහන් කර ග්‍රන්ථාරූඪ කර ඉතාමත් ගරුසරු ඇතිව අනාගත පරම්පරාවට දායාද කිරීම පිණිස තැන්පත් කිරීමට නියමිතව තිබෙනවා.

මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ධර්ම සංගායනා කරද්දී ආනන්ද රහතන්වහන්සේගෙන් පළමුව විමසුවේ දීඝ නිකාය පිළිබඳවයි. මාතලේ අලුවිහාරේදී එදා ග්‍රන්ථාරූඪ කළ පසුව අපට ඉතිහාසය කියනවා ස්ථූපයක් තුළ ඉතාමත් පැහැදිලිව පිරිසුදු තඹපත් ඉරුමත දීඝ නිකාය තැන්පත් වන පළමු අවස්ථාව මෙය බව.

මේ ස්ථූප රාජයාණන්ගේ කොත් වහන්සේත් ඉතාම සුවිශේෂියි. ඒ කොත් වහන්සේ මතුපිට තැන්පත්වන චුඩාමාණික්‍යය ඉතාමත් සුවිශේෂ චුඩාමාණික්‍යයක්. ඒ චුඩා මාණික්‍යය දැනට ශ්‍රී ලංකාවේ තිබෙන පලුදු ඉතාමත්ම අල්ප, විශාලතම චුඩා මාණික්‍යයක්.

චෛත්‍ය රාජ්‍යයාණන් වහන්සේ නමින් ඉදිවනවිට එහි තැන්පත් වන ධාතුන් වහන්සේලා සුවිශේෂියි. මේ ස්ථූපයේ වැඩ සිටින ධාතුන් වහන්සේලා...

පසුගිය දිනවල පාකිස්ථාන ගන්ධාර ප්‍රදේශයෙන් අපේ රටට ප්‍රදර්ශනය කිරීම පිණිස ධාතුන් වහන්සේ වැඩම කරනු ලැබුවා. එම ධාතුන් මහමෙවුනා අසපුවේදී වන්දනා මාන කිරීමටත් කටයුතු සිදුවුණා. එහිදී එම ධාතුන් වහන්සේ නමකගේ් කොටසක් ඡේදනය වෙලා තිබුණා. කණ්ඩනය වෙලා තිබුණා. එම ධාතූ®න් වහන්සේලා සමඟ සපැමිණි පකිස්ථාන රජයේ නියෝජිතයන් විසින් එම ධාතුන් වහන්සේ අපගේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ තැන්පත් කිරීම පිණිස ලබා දුන්නා. එයත් ඉතාමත් අසිරිමත් සිදුවීමක්. ඒ වගේම පැරණි ස්ථූපයන්ගෙන් ලැබුණු මහ රහතන් වහන්සේලාගේත් තථාගතයන් වහන්සේගේ නොයෙක් ධාතුන්වහන්සේලා සෑගබේ තැන්පත් වෙනවා. ඒ සියලුම ධාතුන් වහන්සේලා මේ ධම්මරාජික ස්ථූපයේ තැන්පත් වීමට නියමිතයි. ඒ නිසා මේ ස්ථූපය තවත් එක් ස්ථූපයක් පමණක් නොවෙයි ඓතිහාසික වටිනාකමකින් යුත් මහ ස්ථූපයක් ලෙස හඳුන්වන්න පුළුවනි.

මල් ලක්ෂයක් පමණ උපයෝගි කරගෙන ස්ථූපයේ අවට සරසමින් නොයෙක් ලෙස වර්ණවත් කරමින් මෙම මස 13 වැනි පුන් පෝදා ස්ථූප ගර්භයේ ධාතු නිදන් කිරීම හා හතරැස් කොටුවේ ධර්මය නිදන් කිරීමත්, කොත්වහන්සේ නිරාවරණය වීමත් සිදුවෙනවා. මේ අසිරිමත් පින්කම දැකබලා පින් රැස්කර ගන්න ඔබටත් අවස්ථාව උදා වී තිබෙනවා.

සටහන - නයනා නිල්මිණි

නිකිණි පුර පසළොස්වක පෝය

නිකිණි පුර පසළොස්වක පෝය අගෝස්තු 12 වන දා සිකුරාදා අපර භාග 11.49 ට ලබයි.
14 වන දා ඉරිදා පූර්ව භාග 00.31 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම
අගෝස්තු 13 වන දා
සෙනසුරාදාය.

මීළඟ පෝය
අගෝස්තු 21 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

New Moonඅමාවක

අගෝස්තු 28

First Quarterපුර අටවක

සැප්: 04


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]