UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ආලෝකය උදාකර ගැනීමට...

නමෝ තස්ස භගවතෝ
අරහතෝ සම්මා සම්බුද්ධස්ස
“ ජ ඉමේ භික්ඛවේ අනුත්තරියානි,
කතමානි ජ?
දස්සනානුත්තරියං ,
සවණානුත්තරියං, ලාභානුත්තරියං
සික්ඛානුත්තරියං,
පාරිචරියානුත්තරියං අනුස්සරණා
නුත්තරියංති
(අංගුත්තර නිකායේ අනුත්තරිය සූත්‍රය)

ශ්‍රද්ධාවන්ත පින්වතුනි,

ඉහත සඳහන් කෙළේ අංගුත්තර නිකායේ අනුත්තරිය සූත්‍රයේ පාඨයක්. බුදුරජාණන් වහන්සේ විසින් සැවැත්නුවර ජේතවනාරාමයේදි සිය ශ්‍රාවක පිරිස අමතා මේ සූත්‍රය දේශනා කොට වදාළා. අනුත්තරිය කියල කියන්නේ උසස් ශ්‍රේෂ්ට කියන එකයි. මේ සූත්‍රයේ සඳහන් කරුණු දෙස බැලීමෙන් අපට පැහැදිලි වන්නේ අපගේ මනසේ දියුණුව ආලෝකය උදා කර ගැනීමට සමත් ධර්ම කරුණු මෙහි අන්තර්ගත බවයි.

ශ්‍රාවක පිරිස අමතන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා “ජ ඉමානි භික්ඛවේ අනුත්තරියානි” මහණෙනි මේ ලෝකයේ උතුම් ශ්‍රේෂ්ට කරුණු හයක් තිබෙනවා. කතමානි ජ? මොනවද මේ ශ්‍රේෂ්ට ධර්ම හය.දස්සනානුත්තරියං ශ්‍රේෂ්ට දර්ශණය. සවණානුත්තරියං ශ්‍රේෂ්ට ඇසීම ලාභානුත්තරියං ශ්‍රේෂ්ට ලාභය, සික්ඛානුත්තරියං ශ්‍රේෂ්ට හික්මීම ශික්‍ෂණය, පාරිචරියානුත්තරියං ශ්‍රේෂ්ට මෙහෙවර අනුස්සරණානුත්තරියන්ති ශ්‍රේෂ්ට සිහිකිරීම යන කරුණු හයක් පවතිනව කියල.

පින්වතුනි,

දැන් අපි බලමු මේ එකිනෙක කරුණු ශ්‍රේෂ්ට වෙන්නෙ උතුම් වෙන්නේ කොහොමද? කියල. කතං ච භික්ඛවේ දස්සනානුත්තරියං මහණෙනි මේ දර්ශණ අතර ශ්‍රේෂ්ට දර්ශනය කුමක්ද? බුදුහාමුදුරුවෝ වදාළා මේ ලෝකයේ විවිධ දර්ශණ පවතිනව ඒවා බලන්න. මිනිසුන් සම්බන්ධ වෙනව කියල. “හත්ථි රතනං දස්සං ගච්ඡන්ති අස්ස රතනං දස්සනං ගච්ඡන්ති රතනං දස්සනං ගච්ඡන්ති උච්චාවචංචා දස්සනං ගච්ඡන්ති” ඇතුන් බලන්න අශ්වයින් බලන්න පියකරු අශ්ව කරත්ත බලන්න උසස් පහත් දේ දකින්න බලන්න. මිනිසුන් ගමන් කරනවා. නූතන මිනිසුන් චිත්‍රපටය නාට්‍යය ආදී විවිධ සංදර්ශන බලන්න යනවා. මේවා දර්ශණ මෙදෙස ඉතා සෞම්‍ය ලෙස බලන බුදුහාමුදුරුවෝ වදාරණවා. “අත්ථේතං දස්සනං නේතං දස්සනං” මේවායෙහි අර්ථයක් ඇත කියා හෝ නැත කියා මා ප්‍රකාශ කරන්නේ නැ කියල. අර්ථයක් නැහැයි කියල ප්‍රකාශ ‍ෙනාකරන්නේ යම් යම් දෙනා මේවායින් තෘප්තියක් ලබන නිසා. අර්ථයක් ඇත කියල ප්‍රකාශ නොකරන්නේ මන්ද? “ තේසං හීනෝ ගම්මෝ පෝථුප්ජනිකෝ අනරියෝ අනත්ථ සංහිතො “ ඇතුන් අශ්වයින් අශ්ව කරත්ත නාට්‍ය සංදර්ශනාදිය බැලීම හීනො බොහොම හීන දේවල් ගම්මෝ ග්‍රාම්‍යයි. පෝථුජ්ජනිකෝ පුහුදුන් මිනිසුන්ගෙ වැඩ අනරියො ආර්යයන් වහන්සේලාගේ වැඩ නෙවෙයි. අනත්ථ සංහිතො මේවා බැලීමේ අවසාන ප්‍රතිඵලය කුමක්ද? කාලය ධනය වැය වීමයි. අනර්ථය උදාවීමයි. එපමණක්ද ‘න නිබ්බිදාය” ඒ කරණ කියන දේවල් නිර්වේදනය සඳහා ඉවහල් වන්නේ නෑ. “නූපමාය” කෙළෙස් සංසිඳවීම සඳහා හේතු වෙන්නේ නෑ. “අභිඤ්ඤාය “ ශ්‍රේෂ්ට දැනුම පිණිස උපකාර වෙන්නෙත් නෑ. ‘න සම්බෝධාය” යහපත් අවබෝධය සඳහා උදව් වෙන්නේ නැහැ. “නිබ්බානාය” නිර්වානාවබෝධය පිණිස උපස්ථම්භක වන්නෙත් නෑ. නමුත් පින්වතුනි අත්ථේතං තාවකාලික සැනසීම සතුට තෘප්තිය පිණිස පවතිනවා.

මෙනිසා බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා . මෙයට වඩා උතුම් ශ්‍රේෂ්ඨ දර්ශනයක් පවතින බව “යෝච ඛෝ භික්ඛවේ තථාගතං වා තථාගත සාවකං වා දස්සනාය ගච්ඡති විවට්ට සත්තො” යම් කිසි සැදැහැවතෙක් අභීප්පසන්නො ඉතා උසස් ප්‍රසන්නතාවයෙන් “ ඒකාන්තගතො” තමන්ට විමුක්තිය සැළසේවි යන ඒකාන්ත විශ්වාසයෙන් යුතුව තථාගතයන් වහන්සේ හෝ ශ්‍රාවකයන් වහන්සේලා දකින්න යන්නේ නම් එය උත්තරීතර දර්ශනයක් වන බව. කොහොමද බුද්ධ ප්‍රමුඛ ශ්‍රාවක සංඝ රත්නය දැකීම උසස් දර්ශනයක් වන්නේ “ඒතං සත්තානං විසුද්ධියා” සිතේ පිරිසිදුකම ඇතිවෙනවා. දොම්නස බැහැර කරන්නට උපකාර වෙනව. දෝමනස්සං අතික්කමාය. එපමණක් නෙවෙයි. විරාගාය, රාගය තුනී කරගන්නට නිබ්බාණාය නිවන පසක් කර ගන්නට උපකාර වෙනවා. ඒ අනුව බලන විට පැහැදිලි වන්නේ ලොව තිබෙන උත්තරීතර දර්ශන අතුරින් උසස් බවට පත්වන්නේ බුදුරජාණන් වහන්සේ හා ශ්‍රාවක පිරිස දැකීමයි.

දෙවෙනි කාරණය “ කතඤ්ච භික්ඛවෙ සවණානුත්තරියං” මෙලොව ඇති ශ්‍රේෂ්ට ඇසීම කුමක්ද? “ තථාගතස්ස ධම්මං සවණාය ගච්ඡති තථාගත සාවතස්ස ධම්මං සවණාය ගච්ඡති “ බුදුපියාණන් වහන්ස්ගේ ධර්මය ඇසීම අප හැමදෙනාගේම සිතේ පිරිසුදුකම විශුද්ධිය ඇති වෙනවා. ශ්‍රාවකයන් වහන්සේලාගේ ධර්මය ඇසීමද එළෙසමයි. රාගය තුනී කරගන්නට කෙළෙස් ප්‍රහීණ කරගන්නට නිවන් ලබන්නට හේතුවනවා. තථාගත දේශනය මෙතරම් වැදගත් වන්නේ ඇයි. මුල මැද අග වන ස්ථාන තුනෙහිම සම්පූර්ණ නිසා.මේ ආත්මයේදීම ප්‍රතිඵල උදාකරගන්නට පුළුවන් නිසා. කවදාවත් අපව සසර ගමනේ අතරමං නොකරන නිසා. අප නිවනට පමුණුවන නිසා.

මීළඟට ලාභානුත්තරිය යනු කුමක්දැයි බලමු. මේ ලෝක වශයෙන් බොහෝ දෙනා “ පුත්තලාභං ලභති දාර ලාභං ලභති” යනුවෙන් අඹුදරුවන් ලැබීම යාන වාහන ලැබීම ගේදොර ඉඩකඩම් ලැබීම තමන් ලබන ශ්‍රේෂ්ට ලාභය ලෙස සළකනු ලබනවා. මේවා තාවකාලිකයි. එසේනම් බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධාලාභං ලෝකයේ ඇති උත්තරීතර ලාභය ශ්‍රද්ධාව බවයි. නිවනේ දොරටුව ශ්‍රද්ධාවයි.

සිව්වෙනුව දේශනා කරනවා කතංච භික්ඛවෙ සිකඛානුත්තරියං මෙලොව තිබෙන ඉතා උසස් වූ ශ්‍රේෂ්ට වූ හික්මීම කුමක්ද? ඇතුන් අශ්වයින් රථවාහන හික්මවීමද? අධ්‍යාපනයෙන් ලබන ශික්‍ෂණයද? නැහැ. මෙමගින් සිතේ ශාන්තිය ඇතිකර ගන්න රාග දෝස මෝහාදිය වනසා දමන්න නිවන් ලබන්න බෑ. එසේ නම් හික්මීම ඇතිකරගත යුත්තේ කෙසේද? “තථාගතස්ස පවේදිත ධම්ම විනයේ අධිසීලං අධි සික්ඛං අධිපඤ්ඤං සික්ඛති” යමෙක් අධිශීලයෙහි පිහිටනවා නම් එය ඉතා ශ්‍රේෂ්ටයි. “ආචාරගෝචර සමාපන්නෝ” සිරිත් විරිත් දැන ගැනීම පිළිපැදීම අධිශීලයයි. අනුමන්තේසු වජ්ජේසු භය දස්සාවි. ශික්‍ෂාපද කඩ නොකොට ආරක්‍ෂාකිරීම සික්ඛති සික්ඛාය දෙසූ උසස් ප්‍රඥාව ලැබීම උත්තරීතර ශික්‍ෂණයයි.

මීළඟට දේශනා කරනවා පාරිචරියානුස්සරිය මෙහෙවර පිළිබඳ මෙලොව වශයෙන් විවිධ මෙහෙවර අපට දකින්න ලැබෙනවා. ඇතැම් විට ජීවත්වීම ගරුනම්බුනාම ලාභාපේක්‍ෂාවෙන් විය හැකියි. මේ සමාජ ක්‍රමය දෙස ඉතා සුපරික්‍ෂාකාරිව බැලූ බුදුරජාණන් වහන්සේ මේවා ප්‍රතික්‍ෂේප කළේ නෑ. නමුත් පින්වත්නි මේවා නිවන් ලබන්නට අදාළ වන්නේ නෑ. එසේ නම් අප මෙහෙවර කළ යුත්තේ කාටද? කවරෙකුට මෙහෙවර කිරීමෙන්ද මේ පියකරු ගොරතර සසරින් නිදහස් විය හැක්කේ. “බුදධං පරිචරති” බුදුන් පසුපස යනවා නම් මෙහෙවර කරනවා නම් අන්න එතකොට අපට පුළුවන් නිවන ලබන්නට. උන්වහන්සේ අපට පෙන්වා වදාළේ සත්‍ය මාර්ගයයි. උන්වහන්සේට මෙහෙවර කිරීමෙන් ගුණ නුවණ දියුණු කර ගන්නට පුළුවන්. එතකොට මෙහෙවර අතුරින් ශ්‍රේෂ්ට වන්නේ තුනුරුවන්ට මෙහෙවර කිරීමයි.

අවසන් අනුස්සරිය ධර්මය කුමක්ද? “අනුස්සරති” සිහිකිරීමයි. පුහුදුන් මිනිසුන් මට දූ දරුවන් වස්තුව උගත් ශිල්පශාස්ත්‍ර ඇතැයි සිතමින් කාලය ගෙවනවා. ඇතැම්විට දුකට පසුතැවීමක් විටෙක උද්දාමයටත් පත් වෙනවා. මේවා සිහිකිරීමෙන් තම හදවතේ සිතේ කෙලෙස්මල දුරුවන්නේ නෑ. එසේ නම් සම්බුදුරදුන් දේශනා කරනවා ලෝකයේ තිබෙන ඉතා උසස්ම ශ්‍රේෂ්ටතම සිහිකිරිම බුද්ධානුස්සතියයි. ධම්මානුස්සතියයි සංඝානුස්සතියයි කියල.

මේ අනුසාරයෙන් ගත්තාම තථාගතයන් වහන්සේ හා ආර්යන් වහන්සේලා දැකීම, ධර්ම ශ්‍රවණය කිරීම ශ්‍රද්ධාවෙන් යුක්තවීම, ශික්‍ෂණය ලැබීම තුනුරුවන් ගුණ මෙනෙහි කිරිමාදිය සිත පිරිසුදු කරගන්නට, රාගාදී කෙලෙස් දුරු කර ගන්නට නිර්වාන සම්පත් අවබෝධ කර ගන්නට උපස්ථම්භක වෙනවා. එබැවින් සැමදෙනම මේ සයවැදෑරුම් අනුස්සරිය ධර්ම ජීවිතයට එකතු කරගෙන මෙලොව පරලොව වාසනාවන්ත කරගෙන අමා මහ නිවන් සුව ලබන්නට උත්සාහ ගනිමු.

තෙරුවන් සරණයි

 

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]