UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මිතුරා කවරෙක් ද?

සැබෑ මිතුරෙකුගේ ස්වභාවය වන්නේ නිධානයක් මතුකර පෙන්වන්නාක් මෙන් දුර්ගුණ මතුකර පෙන්වමින් ඒවා තුරන්කර යහගුණ වර්ධනයෙන් මිතුරා තුළ දියුණුවක් ඇතිකිරීම බව ධම්මපදයේ දී පෙන්වා දෙයි.

මංගල සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙන්නේ බාලයන් ඇසුරු නොකරන ලෙසත්, නුවණැති පණ්ඩිතයින්ම ඇසුරු කරන ලෙසත්ය. එහිදී බාලයන් වශයෙන් හඳුන්වනු ලබන්නේ ගුණධර්මයන්ගෙන් පිරිහී ගිය අයයි. නිවන් සුව සලසා ගැනීමට පමණක් සීමා නොවූ බුදුදහම සමාජය පිළිබඳව පුළුල් විග්‍රහයක්ද කර ඇත. සිඟාලෝවාද සූත්‍රයේදී සමාජය කොටස් හයකට බෙදා ඒ ඒ සමාජ කණ්ඩායමට හිමි යුතුකම් සහ වගකීම් වෙන් වෙන් වශයෙන් දක්වා ඇත. ඒ අතර හිතමිතුරු සබඳතාවටද විශේෂත්වයක් හිමිවී ඇත. බුදුරදුන් ශාසනය පිළිබඳව සඳහන් කිරීමේදී මිත්‍රත්වය පදනම් කරගෙන තිබෙන අයුරු පෙනේ. මිතුරුකම යනු මෛත්‍රියයි. මෙත් සිතිවිල්ල පදනම් කොටගෙන ක්‍රියාකරයි නම් සමාජය තුළ ඇතිවන්නේ දියුණුවකි.

යම් අයකු තම ඤාතීන් නොවන අය අතරට ගමන් කරන්නේ මිත්‍රත්වයේ නාමයෙනි. එලෙස මිත්‍රත්වය ගොඩනගා ගැනීමට මෙන්ම එය පවත්වා ගැනීමටද යුතුකම් රාශියක් පිළිබඳව බෞද්ධ දර්ශනය තුළ හඳුන්වා දී ඇත. කලණ මිතුරන් ඇසුරු කරන කල්හි පුද්ගලයාගේ දියුණුව ඇතිවන්නා සේම පාප මිත්‍රයන් ඇසුරුකරන විට පුද්ගලයාගේ පරිහානියද සිදුවේ. කල්‍යාණ මිත්‍ර ඇසුර නිසා ස්වකීය ජීවිත තුළින් දොලොව යහපත උදාකර ගත් අවස්ථා අනන්ත අප්‍රමාණ ලෙස ශ්‍රාවක ශ්‍රාවිකා චරිත තුළින් ආදර්ශයට ගත හැකිවේ. බුදුරදුන් ප්‍රමුඛ මහා රහතන් වහන්සේගේ ඇසුර ලද ,අනේපිඬු සිටුතුමා, බිම්බිසාර රජු, විශාඛාව ආදි ගිහි පිරිස් ස්වකීය ජීවිත ආලෝකයෙන් ආලෝකය වෙතම ගමන් කළ අකාරය දැකීය හැකිය. එසේම අතීතයේදී බෞද්ධ ශාසනික ඉතිහාසය හා සම්බන්ධ බොහෝ කථා ප්‍රවෘත්ති තුළින් වර්තමාන සමාජයේ ජීවත්වන්නන්ට ගත හැකි උපදේශබොහෝ වෙති. එකී උපදේශ තුළින් සැබෑ මිතුරන් සහ ව්‍යාජ මිතුරන් කවුරුන්දැයි පුද්ගලයාට හඳුනා ගැනීමට පහසුවේ.

සැබෑ මිතුරෙකුගේ ස්වභාවය වන්නේ නිධානයක් මතුකර පෙන්වන්නාක් මෙන් දුර්ගුණ මතුකර පෙන්වමින් ඒවා තුරන්කර යහගුණ වර්ධනයෙන් මිතුරා තුළ දියුණුවක් ඇතිකිරීම බව ධම්මපදයේදී පෙන්වා දෙයි.

ඇසුරුකළ යුතු නොකළ යුතු මිත්‍රයන් පිළිබඳ ව වර්ගීකරණයක් සිඟාලෝවාද සූත්‍රයේදී හඳුන්වා දී ඇත. ඇසුරු කළ යුතු කල්‍යාණ මිතුරන් හතර දෙනෙකු සඳහන් වෙයි. එනම් .

1. උපකාරක මිත්‍රයා
2. අත්ථක්ඛායි මිත්‍රයා
3. සමාන සුඛ දුක්ඛ මිත්‍රයා
4. අනුකම්පක මිත්‍රයා යනුවෙනි.

මෙම මිතුරන් හඳුනාගැනීමට අදාළ ලක්ෂණ වෙන වෙනම දක්වා ඇත. උපකාරක මිත්‍රයාගේ ස්වභාවය වන්නේ ප්‍රමාද වූ මිතුරා ආරක්‍ෂා කිරීම, එසේ ප්‍රමාද වූ මිතුරාගේ ධනය, වස්තුව, ආරක්ෂා කිරීම බියක් පැමිණි අවස්ථාවකදී පලානොගොස් පිහිට වීමත් පිහිටක්, උදව්වක් අවශ්‍ය වූ විටකදී පිහිට වීමත්ආදියයි.

සමාන සුඛ දුක්ඛ මිත්‍රයාට ආවේණික ලක්ෂණ වන්නේ තම රහස් නොසඟවා මිතුරාට කීම, මිතුරා කියන ලද රහස් ඒ අයුරින්ම ආරක්ෂා කිරීම, විපතක් දුකක් පැමිණි කළ කිසිවිටෙත් අත් නොහරින ඔහු අදාළ අවස්ථාවේදී ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කරයි.

අත්ථක්ඛායි මිත්‍රයා හඳුනා ගැනීමටද ලක්‍ෂණ පවතී. එනම් එම මිත්‍රයා පස්පව් , දස අකුසල් වැනි පාපි ක්‍රියාවන්ගෙන් වළකාලයි. කළයුතු සුචරිත යහපත් ක්‍රියාවන්හි නිරත කරලීමට ක්‍රියා කරයි. ආර්ථික , අධ්‍යාත්මික , සාමාජික,ආගමික,ආදී අංගයන්ගෙන් නොදන්නා දේ කියාදී දැනුවත් කරයි. හැමවිටම වැරැදි මගින් ඉවත් කරමින් සුචරිත ක්‍රියාවලටම සමීප කරවනු ලබයි.

අනුකම්පක මිත්‍රයා මිත්‍රයාගේ ආර්ථික හා අධ්‍යාත්මික පිරිහීම පිළිබඳ කිසි විටෙකත් සතුටු නොවේ. මිතුරාගේ දියුණුව විෂයෙහි අප්‍රමාණව සතුටු වෙයි. මිතුරා පිළිබඳ විවිධ දොස් නගන්නවුන් වළකයි. ගුණ ප්‍රසාදය පළ කරන්නවුන් හැමවිටම පැසසීමට ලක් කරයි.

මෙලෙස කල්‍යාණ මිතුරා කවුරුන්දැයි තෝරා බේරා ගෙන ඇසුරු කළ යුතුය. “භජේථ මිත්තේ කල්‍යාණෙ –හජේථ පුරිසුස්තමේ “ යනුවෙන් බෞද්ධ දර්ශනයේ පෙන්වා දෙන්නේ සැමවිටම කල්‍යාණ මිතුරන්ම ඇසුරු කරන ලෙසයි.

කල්‍යාණ මිතුරු ඇසුර නිසා තමන්ට කවර හෝ අවැඩක් සිදු නොවන අතර ඇතිවන්නේ ආර්ථික හා අධ්‍යාත්මික වශයෙන් දියුණුවකි.

කලණ මිතුරන් ඇසුරු කිරීමටත් පාප මිත්‍රයන්ගේ ඇසුර නොලැබීමටත් උපදෙස් දෙන බෞද්ධ දර්ශනය පාප මිත්‍රයන් හඳුනාගන්නා ආකාරයද විග්‍රහ කර ඇත. ඇසුරුනොකළ යුතු පාපි මිත්‍රයන් සිව් දෙනෙකු පිළිබඳ සිගාලෝවාද සූත්‍රයේ දක්වා ඇත.

1. අඤ්ඤදත්ථුහර
2. වචීපරම
3. අනුප්පියභාණී
4. අපායසහය

මෙම මිත්‍රයන් හැමවිටම ක්‍රියා කරන්නේ ඔවුන්ගේ හුදු ආත්මාර්ථකාමී පටු ආකල්ප මුදුන් පත් කර ගැනීමටය. පාප මිත්‍රයා හඳුනාගත හැකි ලක්ෂණ කිහිපයක්ද වෙයි.

අඤ්ඤදත්‍ථුහර පුද්ගලයාගේ ලක්ෂණ අතර කෙසේ හෝ යමක් පැහැරගෙන යාමට උත්සාහ කරයි. සුළු දෙයක් දී බොහෝ වස්තුව බලාපොරොත්තුවෙන් ක්‍රියා කරයි. තමාට අත්වන විපතක් හෝ බියක් නිසාම ඇසුරු කරයි. තම ප්‍රයෝජනය සඳහාම ඇසුරු කරයි.

වචීපරම පුද්ගලයා අතීතයෙන් සංග්‍රහ කරයි. අනාගතයෙන් සංග්‍රහ කරයි. හිස්දෙයින් පමණක් සංග්‍රහ කරයි. මිතුරාට ඉදිරියට යා හැකි ඉදිරිපත් වන සියලු කටයුතු වලින් වළකාලයි.

අනුප්පියභාණී පාප මිත්‍රයා නරක දෙයද හොඳ දෙයද අනුමත කරයි. මිතුරා ඉදිරියේ ගුණ කියයි. මිතුරා නැති තැන දොස් පවරයි.

අපාය සහාය මිත්‍ර ප්‍රතිරූපකයා සුරාපානයට සහාය වෙයි. නොකල්හි වීදි සංචාරයට සහාය වෙයි. නෘත්‍ය දර්ශනයට සහාය වෙයි. දූ කෙළියෙහි සහාය වෙයි.

මෙවන් පාප මිත්‍රයන් ඇසුරු කරන්නා ට කවර හෝ දියුණුවක් අත් නොවේ. ඒ තුළින් පුද්ගලයා පරිහානියට විනාශයටම පත් වෙයි. පාප මිතුරන් ආර්ථික වාසි ඇති විට පමණක් වැඩි ඇසුරක් දක්වන අතර ආර්ථිකය දුබල අවස්ථාවේදී ක්‍රමයෙන් ඈත් වෙයි. තමන්ගේ ආර්ථිකය මෙන්ම අධ්‍යාත්මික සංවර්ධනයද බිඳ දමන පාප මිතුරන් ඇසුරු නොකළ යුතුවේ. පාප මිත්‍රයාගේ ඇසුර නිසා හැමවිටම තමා නිකරුනේ විවිධ චෝදනාවලට ලක්වෙයි.

පාප මිත්‍රයන් ආශ්‍රය කරන්නන්ට කවර හෝ ප්‍රසාදයක් ඇති නොවෙයි. කිසිදු වගකීමක් නොපවරනු ලබන්නා සේම ඔහුගේ ඇසුර පවා අන් අය ප්‍රතික්ෂේප කරනු ලබයි. නීතියේ රැහැනට විවිධ වැරැදි ක්‍රියා නිසා හසුවී දඬුවම් විඳීමට පවා සිදුවිය හැකිය. පවිටු මිතුරන් ඇසුරු කරන පුද්ගලයාගේ මෙලොව,පරලොව උභය ජීවිතයම පරිහානියට පත්වෙයි.

ඇසුරු කිරීමට සුදුසු මිතුරා තම තමන් තෝරාගත යුතුය. එසේ සුදුසු කවරකු හෝ නොමැති නම් බාලයන් ඇසුරට වඩා හුදකලා වාසය වඩාත් සුදුසු බව ද මෙහි දක්වා තිබේ.

කලණ මිතුරන්ම ඇසුරට තෝරාගෙන ජීවිතය සෞභාග්‍යමත් කරගන්නවා හැර පවිටු මිතුරන් නිසා ජීවිතය අකාලයේ විනාශ නොකරගැනීමට තම තමන් සැලකිලිමත් විය යුතුමය. පුණ්‍ය කර්ම සිදුකොට ප්‍රාර්ථනා කළ යුත්තේද කලණ මිතුරෙකු ඇසුරට ලැබේවා යන්නයි. ලෞකික ලෝකෝත්තර යන දෙලොව දියුණුවටම හේතුවන්නේ කලණ මිතුරු ඇසුර බව මේ අනුව පෙනී යනු ඇත.

ඇසළ අමාවක පෝය

ඇසළ අමාවක පෝය ජූලි 30 වන දා සෙනසුරාදා පූර්ව භාග 02.03 ට ලබයි.
31 වන දා ඉරිදා පූර්ව භාග 00.08 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම ජූලි 30 වන දා සෙනසුරාදා ය.

මීළඟ පෝය
අගෝස්තු 06 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13

Second Quarterඅව අටවක

අගෝස්තු 21

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]