UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්ද්‍රිය සංවරය බලවත් කර ගනිමු

නාවලපිටියේ
අරියවංශ හිමි

අපි දහම් මගෙහි අප්‍රමාදී බව ඇති කරගත යුතු වෙමු. අප්‍රමාදී බව ඇතිකර ගැනීම කවදා සිට ද කළ යුත්තේ ? ධර්මය ඇසූ මොහොතේ සිටම අප්‍රමාදී බවට එන්ට බලන්න. අප්‍රමාදී බවට එන්නේ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කර ගැනීමෙන්.

යමෙක් ධර්මය අහල ඒ ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගත්තොත්, ඒ වෙලාවේ සිට එයා ඒ ධර්මය පුරුදු කරන්නට කැමැතියි. අන්න එතනයි අප්‍රමාදී බව උපදින්නේ. ඒ අප්‍රමාදී බව උපදින්නේ ඒ ධර්මය පුරුදු කරන්නට එයා තුළ ඇති කැමැත්ත නිසා. කැමැත්ත උපදින්නේ ඒ ධර්මයට ඇති පැහැදීම නිසා. එයා පිළිගන්නව ඒකාන්තයෙන් මේ නිවන් මඟ කියල. එයාට ඒ නිවන් මඟ පිළිබඳ විශ්වාසයක් තියෙනවා. නිවන් මඟ කෙරෙහි විශ්වාසයක් ඇතිවුණ තැනැත්තාගේ ස්වභාවය තමයි එයා ඒ මඟ පුරුදු කරනවා.

නිවන් මඟ පිළිබඳ විශ්වාසය නැති කෙනා මොකද කරන්නේ. එයා තව හොයනව, පුරුදු කරන්නේ නෑ. බලමු තව දිහාවක, බලමු තව දෙයක් කියල හොයනවා, ඒක හරියට මේ වගේ. කඳු මුදුනට නඟින්ට ඕනෑ කෙනා මොකක්ද කළ යුත්තේ ? එයාට කදු මුදුනට නඟින්ට කැමැත්තක් තියෙන්නට ඕනෑ. සමහර විට මුදුන පෙනෙන්නේ නෑ. දැන් සිරීපාදෙ නඟින්ට කෙනෙක් කැමැති වෙනව. එපමණකින්ම සිරිපාදේ පද්මෙ පේනවද ? නෑ පේන්නේ නෑ. එයා මොකක්ද කරන්නේ ? කන්ද නගින්න පටන් ගන්නට ඕනෑ. පටන් ගන්නෙ නැති කෙනා කන්ද වටේ කැරකි කැරකි ඉන්නවා. එයාට කවදාවත් කන්දට නැග ගන්ට බැහැ.

ඒ නිසා, භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය ශ්‍රවණය කළාම ඒක නිවන් මඟ කියල පැහැදුන පුද්ගලයා ඒ ධර්මය පුරුදු කරනවා. පුරුදු නොකරන පුද්ගලයා හොය හොය ඉන්නවා. එයාට කවදාවත් නිවන කරා යන්නට බෑ. එයා අන්තිමට වාද කරන, තර්ක කරන, දැනුම ප්‍රදර්ශනය කරන්නට උත්සාහ කරන කෙනෙක් බවට පත් වෙයි. එයා කන්දේ අහලකටවත් නඟින්නට සිතල නෑ. හැබැයි කන්ද නැඟල බැස්ස තැනැත්තා වගේ කතා කරන්නේ. අන්න එතෙන්ට වැටෙන්නට එපා. භාග්‍යවතුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය ශ්‍රවණය කළාම මේ ඒකාන්තයෙන්ම නිවන් මඟ යි කියල අපි පිළිගත යුතු වෙමු. එසේ පිළිගත් පුද්ගලයා ඒ මග පුරුදු කරනවා. පුරුදු කරන තැනැත්තා යම් දවසක නිවන කරා යනවාමයි. පුරුදු නොකරන කෙනා කොයි තරම් ධර්මය ශ්‍රවණය කළත් නිවනට යන්නට බෑ. ඇයි එයා කන්ද වටේ කැරකි කැරකී ඉන්නව වගේ. දේශනා කියවනව කියවනව, කතා කරනව මුකුත් පුරුදු කිරීමක් නැහැ.

ඒ නිසා, මතක තියා ගන්න, මේ ධර්මය ප්‍රායෝගිකව පුරුදු කරන එකක්. අප ප්‍රායෝගිකව පුරුදු නොකර කොයි තරම් දේශනා ඇහුවත් වැඩක් නෑ. කොච්චර පොත පත කියෙව්වත් වැඩක් නෑ. ඒ අහන ධර්මය පුරුදු කරන්න. පුරුදු කරන්ට නම් විශ්වාසයකට එන්ට ඕනෑ. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ වදාළ හැම ධර්මයකම නිවන් මඟ තියෙනවා කියල අප පිළිගත්තොත්, ඒකයි ශ්‍රද්ධාවෙන් අදහා ගන්නව කියල කියන්නෙ. පළමුවෙන්ම කරන්නෙ මෙතන ඒකාන්ත වශයෙන් නිවන් මඟ තියෙනවා කියල ශ්‍රද්ධාවෙන් අදහා ගන්න එකයි. අන්න එහෙම අදහා ගත්ත කෙනාගෙ ස්වභාවය තමයි එයා පුරුදු කරනවා. පුරුදු කරන කොට අදහා ගත්ත දේ එයාට ප්‍රත්‍යක්‍ෂ දෙයක් බවට පත්වෙනවා. තමාටම දැනෙන දෙයක් බවට පත්වෙනවා. ඇත්තයි කියල තමන්ටම තේරෙනවා. අන්න එදාට එයාට අදහා ගත්ත දේ වෙනස් නොවෙන, තමා තුළම පිහිටි විශ්වාසයක් බවට පත්වෙනවා. ඒක කාටත් වෙනස් කරන්නට බෑ. ඒ ප්‍රසාදය වෙනස් වෙන්නේ නෑ. එහෙම නොවෙන්නේ පුරුදු කරන කෙනාට. පුරුදු නොකරන කෙනාට එබඳු විශ්වාසයක් එන්නේ නෑ. දැන් බලන්න ඉන්ද්‍රිය අසංවර වුණහම දුක සේ වාසය කරන්නට සිද්ධ වෙනවා. ඉන්ද්‍රිය සංවර වුණහම සැප සේ වාසය කරන්නට පුළුවන්කම තියෙනව කියන කාරණාව. ඒක තව කෙනෙක් තුළින් නෙවෙයි දකින්නේ. තමන්ම දැකිය යුතුයි. ධර්මය තමා තුළින් දකිනවා කියල කියන්නෙ ඒකට. ධර්මය පුරුදු නොකර අපිට මේ දේ තේරුම් ගන්නට බැහැ.

ඉන්ද්‍රිය අසංවර වුණහම දුකට පත්වෙන්ට වෙනව කියල යමෙක් තේරුම් ගත්තොත් ඒ වගේම ඉන්ද්‍රිය සංවර කර ගත්තාම එයා තුළ මහත් වූ සැප සතුට උපදිනව කියල එයාම තේරුම් ගත්තොත්, එයා ඒ ධර්මයට පහදිනවද ? නැද්ද ? පහදිනව. ඇයි ? දුකට කවුද කැමැති වෙන්නෙ. සිහි බුද්ධිය තියෙන, නුවණ තියෙන කිසි කෙනෙක් දුකට කැමැති වෙන්නේ නෑ. සැප පහසුවට කැමැතියි. ඉතින් ඉන්ද්‍රිය අසංවරය තුළින් දුක් පීඩා උපදිනව කියල එයා දැක්කොත්, ඉන්ද්‍රිය සංවරය තුළින් ඒ දුක් පීඩා දුරු වෙලා සැප පහසුව ඇති වෙනව කියල දැක්කොත්, එයා ඒ ඉන්ද්‍රිය සංවරය කියන උතුම් දහම අත හරියි ද ? කවදාවත් ඒ ධර්මය අතහැරල වෙන හීන දේවල් කරයිද ? කිසි දවසක එයා වෙන එකක් කරන්නේ නෑ. ඒකයි අචල ප්‍රසාදයට පත් වෙනවා කියල කියන්නේ.

ඒ විදියට ධර්මය කෙරෙහි නොසෙල්වෙන පැහැදීමකට එන්ට නම්, අප මුලින් ම ඒ භාග්‍යවතුන් වහන්සේ ගේ අවබෝධය ඒකාන්තයෙන් සත්‍යයක් කියල අදහා ගන්නට ඕනෑ. ඒ අදහා ගත්ත තැනැත්තා ඒ ධර්මය පුරුදු කරනවා. ඒ ධර්මය පුරුදු කරන කෙනාට ප්‍රතිඵල ඒකාන්ත වශයෙන්ම ලැබෙනවාමයි. ඇයි ? මේ ධර්මය අකාලිකයි. පුරුදු කරපුවාම ප්‍රතිඵල තියෙනව. ඒ නිසා අපි ඒ විදිහට ධර්මය කෙරෙහි පැහැදීම ඇති කරගෙන, ධර්මය පුරුදු කරන්න බලන්නට ඕනෑ.

ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට මහන්සි වෙන්න. උනන්දු වෙන්න. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට නම්, ඉන්ද්‍රිය අසංවර වීමෙන් ඇති වෙන හානිය, දුක් පීඩාවන් තේරුම් ගන්ට ඕනෑ. ඉන්ද්‍රිය අසංවර වුණ ගමන් රාග ගින්නට ඇදගෙන වැටෙනවා. එතකොට සිතත් කයත් ඒ ගින්නෙන් දැවෙනවා. ඒ නිසා සිතට ගිනි තියා ගන්ට එපා. සිතට ගිනි තියා ගන්ට කැමැතිද ? හිසට ගිනි තියා ගත්තොත් නම්, කවුරුහරි කෙනෙක් ඇවිල්ල ඒ ගින්න නිවයි. සිතට ගිනි තියා ගත්තොත් එයාට බේරෙන්නට බෑ. ඒ නිසා කිසි දවසක සිතට ගිනි තියා ගන්නට එපා.

කොහොමද සිතට ගිනි තියා ගන්නේ ? ඉන්ද්‍රිය අසංවර වුණ ගමන් එයා සිතට ගිනි තියා ගන්නව. එයාට රාගය කියන ගින්නෙන් දැවෙන්ට වෙනවා. අසංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරන කෙනාට ඒ රාග ගින්න නිවා ගන්ට බැරි වෙනවා. ඒ නිසා සිතට ගිනි ඇවිලෙන දේ අත් හරින්ට පුරුදු වෙන්ට කැමැති වෙන්න. ඒ විදියට සිත ගිනි ගත්තොත් එයාට බේරෙන්ට බැරුව යනව. ඒ නිසා කවදාවත් ඒ වගේ දුක් සහිත ඉරණමක් අත් කරගන්ට කැමැති වෙන්නට එපා.

මේ ධර්මය අද්භූත දෙයක් නෙවෙයි කියල දැන් තේරෙනව ද ? ප්‍රායෝගිකව කළ හැකි දෙයක් කියල කල්පනා කරන්නට පුළුවන් නේද ? ඉන්ද්‍රිය සංවර කර ගත්තාම එපමණකින්ම මේ සිත කෙලෙසන දේවල් සිතට එන එක මඟ හැරිල යනව නේද ? අප අන්න එතනින් පටන් ගන්ට ඕනෑ. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නෙ නැතුව පැය ගණන් භාවනා කරන්ට උත්සාහ කළත් අපිට කවදාවත් සිත දියුණු කර ගන්නට බෑ.

ඒ නිසා සමාධිය උපදවා ගන්නට කැමැති කෙනා මොකක්ද කළ යුත්තේ ? ඉන්ද්‍රිය සංවර කරන්ට පටන් ගන්න. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට සමාධිය උපදවා ගන්නට පුළුවන් කම තියෙනවා. ඒක බැරි වෙන්නේ නෑ. ඉන්ද්‍රිය සංවරය කරන කෙනාට සමාධිය උපදිනවා කියන එක සිද්ධ වෙනවාම යි. ඉන්ද්‍රිය සංවර කරන්නේ නැතුව එයා පැය ගණන් මහන්සි වුණත් භාවනා කරන්නට, සමාධිය උපදවා ගන්නට, පුළුවන්ද ? කවදාවත් කරන්නට බෑ. ඇයි ඒ ? එයාගේ සිත කෙලෙස් වලින් තෙමිල ගිහිල්ල. ප්‍රමුදිත භාවය උපදින්නේ නෑ. ප්‍රීතිය ඇති වෙන්නේ නෑ. එහෙම කෙනා තුළ සමාධිය උපදින්නේ නෑ. සමාධිය උපදවා ගන්නට කැමැති කෙනා විසින් කළ යුත්තේ ඒ සිත කෙලෙස් වලින් තෙමිල යන ස්වභාවය වළක්වා ගන්නට ඕනෑ. ප්‍රමුදිත භාවය ඉපදෙන විදියට අපි ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්නට ඕනෑ. අන්න එයාට සමාධිය ඉපදෙනවා. ඒක වළක්වන්නට බෑ. ඒ නිසා සමාධිය උපදවා ගන්ට කැමැති කෙනා, ඒ නිවන් මඟ පාද ගන්නට කැමැති කෙනා, ඉන්ද්‍රිය සංවරය ඇති කර ගන්න කැමැති වෙන්නට ඕනෑ. ඒ ඉන්ද්‍රිය සංවරය පිටස්තර තැන්වලදි පමණක් නෙවෙයි තම තමන් ඉන්න තැන් වලදීත් කරන්නට පුරුදු විය යුතුයි.

ඉතින් අප ආශිර්වාද කරනවා කාටත් ඒ සිතට දුක් උපදින සිත ගිනි ගන්න ස්වභාවයන් වළක්වා ගෙන මහත් වූ සැප උපදවල දෙන ඒ ධර්මයන් උපදවා ගැනීම පිණිස ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්නට කාටත් කැමැත්ත බිහිවේවා කියල.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]