UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අග්‍රශ්‍රාවක විහාරයේ දී ධාතු තේවා පින්කමක්

ගෞතම බුදුරජාණන් වහන්සේගේ අගසව් දෙනම සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලා දෙනම සමස්ත බෞද්ධ ලෝකයාගේම ගෞරවයට, වන්දනාවට පාත්‍ර වන මහ රහතන් වහන්සේ දෙනමක් වේ.

මෙම රහතන් වහන්සේලා දෙනමගේ ශාරීරික ධාතූන් වහන්සේලා 1851 දී ජෙනරාල් ඇලෙක්සැන්ඩර් කනිංහැම් පුරා විද්‍යාඥයා විසින් ඉන්දියාවේ සාංචි ස්තූපයේ සිදුකරන ලද කැණීම් වලදී සොයා ගනු ලැබීය. එම ධාතුන් වහන්සේලාගෙන් කොටසක් ලංකා ආණ්ඩුවේ සහ මහාබෝධි සංගමයේ ඉල්ලීමකට අනුව 1955 මාර්තු 19 වැනි දා ලංකාවට වැඩම කරවා කොළඹ 10 මහාබෝධි අග්‍ර ශ්‍රාවක විහාර මන්දිරයේ තැන්පත් කෙරුණි.

ඉන්දියාවේ සාංචි ස්තූපයෙන් සොයා ගන්නා ලද සැරියුත් – මුගලන් මහරතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේලාගෙන් කොටසක් ශ්‍රී ලංකාවේ ද කොටසක් මියන්මාරයේ ස්වේතගෝන් විහාරයේ ද අනෙක් කොටස ඉන්දියාවේ සාංචි විහාරස්ථානයේ ද තැන්පත් කොට ඇත.

වසරකට වරක් ඉන්දියාවේ හා ශ්‍රී ලංකාවේ තැන්පත් කර ඇති මෙම ධාතූන් වහන්සේලා වැඩ සිටින කුටියෙන් එළියට වඩමවා සැදැහැවතුන්ට සියැසින් දැක වන්දනාමාන කිරීමේ භාග්‍යය ද උදා වී ඇත. ඒ අනුව ඉන්දියාවේ සාංචි විහාරයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා සෑම වසරකම නොවැම්බර් මාසයේ අන්තිම සතියේ ඉරිදා දින වැඩසිටින කුටියෙන් එළියට වැඩමවා මහජන ප්‍රදර්ශනයට විවෘත කෙරේ.

ලක්‍ෂ සංඛ්‍යාත බැතිමතුන්ගේ හා ඉන්දීය රජයේ ප්‍රභූවරුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන එම ධාතු ප්‍රදර්ශනය එක් දිනකට පමණක් සීමාවන අතර ගිය වසරේ පමණක් මුල්වරට දින තුනක් ප්‍රදර්ශනය කරනු ලැබීය.

ලංකාවේ අග්‍රශ්‍රාවක විහාරයේ තැන්පත් කර ඇති ධාතූන් වහන්සේලා සෑම වසරකම වෙසක් පුන් පොහෝදිනයේ වැඩ සිටින කුටියෙන් එළියට වැඩමවා නැවත ප්‍රදර්ශනයට විවෘත කෙරේ. මෙහිදී වෙසක් පුන් පොහෝ දින හා ඊට පසුදිනයේදී අතිවිශාල ජනතාවක් සැරියුත් මුගලන් මහරහතන් වහන්සේගේ ශාරීරික ධාතූන් වහන්සේලා මෙහිදී සියැසින් දැක වන්දනා මාන කරති.

ශාන්තිනායක අමාමෑණි බුදුරජාණන් වහන්සේගේ ශාරීරික ධාතූ®න් වහන්සේලා වන්දනාමාන කිරීමට බෞද්ධයන් දක්වනුයේ අසීමිත භක්තියකි. සර්වඥධාතූන් වහන්සේලා සියැසින් දැක වන්දනා මාන කර පහන් සංවේගය ඇතිකරගැනීම තරම් උත්තම සතුටක් ලෝකවාසී බෞද්ධයන්ට නැති තරම් ය.

මේ නිසාම සර්වඥ ධාතූන්වහන්සේලා සියැසින් දැක වන්දනාමාන කර ගැනීමට නොහැකි වූවද එම ධාතූන් වහන්සේලා නිදන් කොට ඇති ස්ථානයන්ට වැඳුම් පිඳුම් කිරීමට සැදැහැවත්හු උත්සුක් වෙති.

ලෝකවාසී බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන අතිපූජනීයත්වයට පත් ශ්‍රී මත් දන්ත ධාතූන් වහන්සේ වන්දනාමාන කිරීමටත් දළදා ප්‍රදර්ශනය පැවැත්වෙන අවස්ථාවකදී දන්ත ධාතූන් වහන්සේ සියැසින් දැක වන්දනාමාන කර ගැනීමටත් බැතිමතුන් දක්වන උත්සාහය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාවට තිබෙන අසීමිත ගෞරව භක්තිය ප්‍රකට කරයි.

බුදුරජාණන් වහන්සේගේ අග්‍රශ්‍රාවක මහරහතන් වහන්සේලා දෙනම වූ සැරියුත් හා මුගලන් මහරහතන් වහන්සේලාගේ ධාතූන් වහන්සේ පූජනීයත්වයෙන් වන්දනාමාන කිරීමේ භාග්‍යයද ලක්වාසී බෞද්ධයන්ට මෙයට වසර පනස් හයකට පමණ පෙර සිට උදාවිය.


බානගල උපතිස්ස නා හිමි

සැරියුත් – මුගලන් අගසවු ධාතූන් වහන්සේලා මහත් ගෞරව බැතියෙන් වැඳුම් පිඳුම් කොට පින් රැස් කර ගැනීමේ පුණ්‍ය කටයුත්තට දායක වීමේ භාග්‍යයද දැන් ලක්වාසී බෞද්ධයන්ට උදා වී ඇත.

අග්‍රශ්‍රාවක විහාරාධිපති මහාබෝධි සංගමයේ සභාපති බානගල උපතිස්ස නාහිමියන්ගේ උපදෙස් පරිදි දෛනිකව සිදු කෙරෙන එම තේවාව භාර කෘත්‍යාධිකාරී ලෙස මොනරාගල පඤ්ඤාලංකාර හිමියන් කටයුතු කරති.

එම පූජාව සම්බන්ධ කරගන්නා හැම පූජා භාණ්ඩයක්ම යම් හේතුවක් සහිතව සම්බන්ධ කරගැනීමද විශේෂත්වයකි. සැරියුත් – මුගලන් මහරහතන් වහන්සේලා අනෝමදස්සී බුදුරදුන් සමයේ සල් මල් පූජා කරමින් තථාගතයන් වහන්සේගේ අග්‍රශ්‍රාවක තනතුරු ලැබේවායි කළ ප්‍රාර්ථනය සිහිකිරීම් වස් මෙම පින්කම සඳහා රතු නෙළුම් මල් යොදා ගැනේ.

බෙහෙත් වර්ග 108ක් අඩංගු ඖෂධ පූජාව තුළින් අපේක්‍ෂා කරනුයේ සසර වසනතුරු ලෙඩරෝග නොසෑදී නිරෝගී බවට පත්වේවා යන ප්‍රාර්ථනයයි. මෙවැනි හේතු කාරණා බොහොමයක් වෙනුවෙන් පින්කම සඳහා පොල්තෙල් බෝතල් දෙකක්, හඳුන්කූරු පැකට් එකක්, ඉටිපන්දමක්, රතු නෙළුම් මල් සියයක් පමණ, පිච්ච මල් හැකි පමණ, පස්පංගුව තම්බාගත් ගිලන්පස ලීටරයක් පමණ බෙහෙත් වර්ග 108 ක් (හැකිනම් ගෙන ආ හැක. නැතහොත් විහාරස්ථානයෙන් ලබා ගත හැක.) පිරිත් කිරීමට වතුර බෝතලයක්, හැකිනම් පමණක් සැරියුත් – මුගලන් මහ රහතන් වහන්සේලාට පැළඳවීමට සිවුරු දෙකක් හෝ අටපිරිකරක්, පස්තෙල් කාලක් පමණ, අවශ්‍ය වේ. ධාතු තේවා පින්කම මුළු මාසයේම උදේ, දවල්, සවස (හේවිසි) නෙළුම් මල් හා ආහාර පූජාව ඇතුළු සිදු කෙරේ. මෙම පින්කම ආගම් භේදයකින් තොරව භාරගෙන සිදුකළ හැකි පින්කමකි. වාර්ෂික වශයෙන් හෝ මාසික වශයෙන් වුවත් මෙම පින්කමට දින වෙන්කරවා ගැනීමට හැකියාව ඇත. විහාරස්ථානයට පැමිණ හෝ 011 –2685460 දුරකතන අංකයට කතා කිරීමෙන් මෙම අග්‍රශ්‍රාවක ධාතු තේවා පින්කමේ දායකත්වය හෝ වැඩි විස්තර දැන ගත හැකි ය. කලින් විහාරස්ථානයට පැමිණ පූජාව බාර ගැනීමට අපහසු අයට එක් දිනක පූජාව සඳහා යන රුපියල් පන්සියක මුදල මරදාන, ලංකා බැංකුවේ ගිණුම් අංක 372310 අග්‍රශ්‍රාවක මහා විහාරය නමින් බැර කර පින්කම භාර ගැනීමට කැමති දිනය හා වේලාව දුරකතනයෙන් විහාරස්ථානයට දැන්විය හැකියි. එවැනි අවස්ථාවක පූජාවට පැමිණෙන විට නිවසෙන් ගිලන්පස බෝතලයක් හා පිරිත් කිරීමට වතුර බෝතලයක් පමණක් එන පින්වතුන් රැගෙන පැමිණීම කළ යුතු ය.

අග්‍රශ්‍රාවක තේවා පින්කමට අමතරව අගෝස්තු මස තුන්වෙනිදා සිට දහවෙනිදා දක්වා පුරා දින හතක් විශේෂ පින්කමක් පැවැත්වීමට ද මහාබෝධි අග්‍රශ්‍රාවක මහා විහාරය මේ දිනවල කටයුතු සූදානම් කරමින් සිටී. මෙම විහාරස්ථානයේ විහාරාධිපතිව සිටි අපවත් වී වදාළ හැඩිගල්ලේ පඤ්ඤාතිස්ස නාහිමියන්ගේ දසවෙනි ගුණානුස්මරණ පින්කම මූලික කොට පැවැත්වෙන මෙම පින්කම් මාලාව පිළිබඳ තේවාභාර මොනරාගල පඤ්ඤාලංකාර හිමියෝ මෙසේ පවසති.

දින හතක් පුරා, දිවා රාත්‍රී නොකඩවා සිදු කරනු ලබන පිරිත් බල පිහිටුවීමේ පින්කමක් හා දින හතක් පුරා ව්‍යංජන තිස් දෙකකින් සමන්විත ධාතු තේවා පින්කමක් පැවැත්වෙනවා. විහාරස්ථානයේ වැඩ සිටින සර්වඥ ධාතූන් වහන්සේලා හා සැරියුත් මුගලන් ධාතූන් වහනසේලා වෙනුවෙන් පැවැත්වෙන මෙම ධාතු තේවා පින්කම සඳහා පින්කැමති ඕනෑම සැදැහැවතෙකුට ශ්‍රමයෙන්, ධනයෙන් මේ සඳහා සහභාගිවීමෙන් දායක විය හැකි ය. පංචතූර්ය වාදන දේවදූත පෙරහරකින් මේ ආශිර්වාදාත්මක පින්කම නිමාවට පත්වනවා යැයි ද උන්වහන්සේ පැවැසූහ.

 

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]