UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර

උතුරු මැද වත්මන් ප්‍රධාන අමාත්‍ය, එවකට සමාජසේවා අමාත්‍යවරයා ලෙස කටයුතු කළ බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතාගේ නොපසුබට උත්සාහයක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස එක්දහස් නවසිය අනූහතේ (1997) ආරම්භ කරන ලද අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර පහළොස් වන (15) වතාවටත් මෙම ජූලි මස 24 – 25 යන දෙදින තුළ අත්‍යාලංකාරයෙන්, අනුරපුර පින්බිමේ දී පැවැත්වේ.

එදා අනුරාධපුර රාජධානියෙහි මහසෙන් රජුගේ පුත් කිත්සිරි මෙවන් රජදවස දඹදිව කළිඟු රට රජකළ ගුහසීව රජුගේ දියණිය වූ හේමමාලා කුමරිය හා දන්ත කුමරු දඹකොළ පටුනෙන් බැස ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම කළහ.

පසුව දේවානම්පියතිස්ස රජු විසින් ඉදිකරන ලද ධම්මචක්ක මාලිගයෙහි වඩා හිඳුවා, පුද පූජා පවත්වා ආකර්ෂණීය පෙරහරක් පැවැත් වූ බව අපේ පෙරහර ඉතිහාසය සඳහන් කරයි.

ශ්‍රී දළදා වහන්සේ කිත්සිරිමෙවන් රජ දවස මෙරටට වැඩම කළ කල්හී එතුමා විසින් දළදා වහන්සේ ඇතුළු නුවරට වඩා හිඳුවා එහි භාරකාරත්වය, අභයගිරි විහාරයේ උත්තර මූලයට භාරදී වාර්ෂිකව පෙරහර පැවැත් වූ බව මහාවංශයෙන්ද පෙන්නුම් කරයි.

එසේම මේ බව මහා වංශයෙන් පමණක් නොව පිනකාලමලී පූජාවලිය යන ග්‍රන්ථවලින් ද පෙන්නුම් කර දී ඇත.

කිත්සිරි මෙවන් රජ දවසින් පසුව ශ්‍රී දළදා පෙරහර වංශකතාවේ නව පිටුවක් සරසමින් අනුරාධපුර ඓතිහාසික ශ්‍රී දළදා පෙරහර එක්දිනකට සීමා වී, ප්‍රථම පෙරහර අනුරාධපුර ශුද්ධ නගරය කේන්ද්‍ර කරගෙන පැවැත්වූයේ 1997 ජූලි මස 18 වෙනි දිනදීය.

එම පෙරහර ආරම්භ කළ 1997 පෙරහර කමිටුවේ අනුශාසක ලෙසට හිටපු අටමස්ථානාධිපති අපවත් වී වදාළ පල්ලේගම සිරිසුමන රේවත ඤාණරතන නාහිමියන් හිටපු දිසාපති ජයම්පති පී.හෙට්ටි ආරච්චි, මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්‍ෂක ආචාර්ය රෝලන්ඩ් සිල්වා සංවිධායක කමිටුවේ ප්‍රථම ලේකම්, වත්මන් ප්‍රධාන අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් ප්‍රේමසිරි හෙට්ටිආරච්චි යන මහත්වරු මෙහිලා සිහිපත් කිරීම කෘතවේදී බව පවසමි.

මෙවර පෙරහර කමිටුවේ මාධ්‍ය සම්බන්ධිකරණ කටයුතු ප්‍රධාන අමාත්‍යාංශ මාධ්‍ය ලේකම් ඉන්දික රංගජීව මහතා මෙහෙයවන අතර එම කටයුත්ත කළ දිවංගත සරත් බණ්ඩාර හිටපු ප්‍රධාන අමාත්‍යාංශ මාධ්‍ය ලේකම්වරයා මෙහිලා සිහිපත් කරමි.

පෞරාණික සම්ප්‍රදායන්ට අනුව සහ සංස්කෘතික ලක්‍ෂණයන්ට අනුව හැකිතරම් පෙරහරේ සියලු අංග පැවැත්වීම මෙවර සුවිශේෂ ලක්‍ෂණයකි. එදා පෙරහර සම්බන්ධව අලියකු පිට නැඟුන පණිවිඩකරුවකු විසින් රට වැසියාට දැනුම් දුන් අතර අද එය අණබෙරකරුවකු ලවා හෝ වත්මන් සමාජරටාවට අනුව විවිධ මාධ්‍ය ඔස්සේ දැනුම් දීම සිදු කෙරේ.

තවද එදා පෙරහරේ පිරිත් සජ්ඣායනා කරමින් පිරිත් නූලක් ගෙනගිය අන්දමට සමගාමීව පෙරහරේ පිරිත් සජ්ඣායනා කරමින් දර්ශනීය රථයක් ගමන් කරවනු ඇත.

එසේම එවකට පෙරහරේ ගමන් මඟ තැනින් තැන ජාතක කතා වස්තූන් පසුබිම් කරගෙන රංගනයන් ප්‍රදර්ශනය කළ අතර, මෙවර පෙරහරේ ජාතික කතා චිත්‍රයට නංවන ලද පෙතිකඩ පන්සියයක් රැගෙන යනු ඇත.

අලි, ඇතුන්, කොඩි, සේසත්, පංචතූර්යනාද, උඩරට, පහත රට ඇතුළු සබරගමු නැටුම් ද, හේවිසි, පන්තේරු, සවරන්, වෙස්, කසකරුවන්, රබන් හා ගිනිබෝල කරකවන්නන්, කෝල්මුර කණ්ඩායම්, ලී කෙළි, මල් බයිසිකල් කරුවන්, කෝලම් නැටුම්, දවුල්, තම්මැට්ටම්, ගිනි පන්දම් කරුවන්, සමග පෙරමුණේ ධජ, බෞද්ධ කොඩි ඇතුළු නැටුම් කණ්ඩායම් සියයක් (100) සමග විවිධ විචිත්‍රාංග රැසක් පෙරහරට, එක් කරමින් පෙරහරේ අලංකාරත්වය නංවනු ඇත.

මේ අතර ඉතා අලංකාරවත් අන්දමින්, සරසන ලද රන්සිව් ගෙයක තැන්පත් කරන ලද කරඬුව හස්තිරාජයකු පිට පෙරහරේ ගමන් කැරේ.

පෙරහරේ ප්‍රථම දිනය වන ජූලි මස 23 වන දින රාත්‍රී 08.00 ට විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ නැ‍ෙගනහිර වාහල්කඩ දොරටුව අබියසදී කරඬුව උතුරු මැද පළාත් ආණ්ඩුකාර කරුණාරත්න දිවුල්ගනේ, ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක යන මහත්වරු විසින් මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා මධ්‍යයේ හස්තිරාජයා මත රන්සිවි ගෙය තුළ තැන්පත් කිරීමෙන් පසුව පෙරහර ආරම්භ වේ.

මේ සමග දේවාල පෙරහර ගමන් කරවන අතර නිලමේවරු පෙරමුණේරාළ ඇතුළු ඓතිහාසික අභිමානවත් සංස්කෘතීන් විදහා දක්වන විවිධ, විචිත්‍රාංග රැසක් පෙරහරට එක් කිරීමට සංවිධායක කමිටුව පියවර ගෙන ඇත. 23 වැනිදා රාත්‍රී 08.00 ට පෙරහර බෝ සමිඳුන් වටා ඇති මාර්ගයේ ගමන් කර රුවන්මැලි මහ සෑ රදුන් අබියස පෙත්මග හරහා ඉදිරියට ගමන් කර ථූපාරාම චෛත්‍යයට හැරෙන පැරණි රෝහල් හන්දිය දක්වා ගමන් කරනු ඇත.

පෙරහර මදකට හන්දියේ නවත්වා කරඬුව සහිත හස්තිරාජයා සහ නැටුම් කණ්ඩායම් කිහිපයක් පමණක් ඇතුල්නුවර, සංඝමිත්තා මාවතේ පිහිටි පැරණි හා ප්‍රථම දළදා මාලිගාව කරා ගමන් කර එහිදී උතුරු මැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ගේ ප්‍රධානත්වයෙන් හා අභයගිරි විහාරාධිකාරී ශාස්ත්‍රවේදී පණ්ඩිත කල්ලංචියේ රතනසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් පුද පූජා පවත්වනු ලැබේ. අනතුරුව එම පිරිස නැවත පෙරහරට එක්ව ගමන් කර ථූපාරාමය අබියසින් අනුලාමාවත ඔස්සේ ගමන්කරවයි. හන්දිය පසුකර අභයගිරි ව්‍යාපෘති කාර්යාලය ඉදිරිපිටින් ගමන්කරන පෙරහර මධ්‍යම රාත්‍රී පසුවන විට අභයගිරි විහාරයට ගෙවදීමෙන් ප්‍රථම දින පෙරහර අවසන් වේ.

දෙවන දින (ජූලි 24) පෙරහර ප්‍රථම දින ආරම්භ කළ ස්ථානයෙන්ම ආරම්භකර, බෝසමිඳු වටා ඇති මාර්ගයෙන් ගමන් කර ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ සිංහකණුව දුම්රිය නගරය මාර්කට් හන්දියෙන් දකුණට හැරී මෛත්‍රිපාල සේනානායක මාවත (මහවීදිය) නව නගරයේ ඔර්ලෝසු කණුව වටරවුමෙන් ලේක්හවුස් අනුරාධපුර මන්දිරය ඉදිරිපිටින් ගමන් කර මධ්‍ය මහා විද්‍යාලීය වටරවුමෙන් දකුණට හරවා බුද්ධ ජයන්ති මාවත ඔස්සේ නැවත සිංහ කණුව වටරවුමෙන් වමට හරවා ශ්‍රී මහා බෝධි මාවත ඔස්සේ මහවිහාරයට ගෙවදීමෙන් දෙදහස් එකොළහ (2011) වසරේ අනුරාධපුර ශ්‍රී දළදා පෙරහර නිමාවට පත් වේ.

පෙරහර නිමවූ පසු කරඬුව රැගෙන ගිය හස්තිරාජයා සිය ඇඳුම්, ආභරණ ආදිය ගැලවීමෙන් පසුව මහ බෝ සමිඳුන්ට දණගසා වන්දනා කර සමුගැනීම දැක බලා ගැනීමට බැතිමතුන් විශේෂයෙන් රැස්ව සිටිති.

එසේම අවසානයේ පෙරහර සාර්ථකව පැවැත් වූ බවට සම්ප්‍රදායික ක්‍රමයට අනුව දන්වා සිටීම උතුරුමැද ප්‍රධාන අමාත්‍ය බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා විසින් නිවේදනය කරනුයේ මේ උතුම් කාර්යයට අතදුන් සැමට සිය කෘතවේදීත්වය පළ කරමිනි.

එසේම 1997 මෙම පෙරහර පටන් ගැන්මට පෙර වසර ගණනාවක් මුළුල්ලේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් අභයගිරි ව්‍යාපෘතිය මඟින් දිවා පෙරහරක් වාර්ෂිකව පැවැත් වූ අතර මෙම පෙරහර වෙනුවෙන් මහා සංඝරත්නය ප්‍රධාන අන්‍ය ආගමික නායකයින්ගේද රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන ඇතුළු විවිධ පාර්ශ්වයන්ගේ සහය ලබාදීමට තරම් මෙම පෙරහර අති මහත් අලංකාරත්වයෙන් මෙන්ම අපේ ඓතිහාසික අභිමානය වටිනාකම පිළිබිඹු කරවන මානව පරපුර තවත් පරපුරකට දායාද කරන සංස්කෘතිමය ප්‍රතිබ්ම්බයක් ලෙසට අද මෙම පෙරහර පත්ව ඇත.

ඇසළ අව අටවක පෝය

ඇසළ අව අටවක පෝය ජූලි 22 සිකුරාදා අපර භාග 09.22 ට ලබයි.
23 වන දා සෙනසුරාදා අපර භාග 11.39 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූලි මස 23 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
ජූලි 30 වන සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජූලි 23

New Moonඅමාවක

ජූලි 30

First Quarterපුර අටවක

අගෝස්තු 06

Full Moonපසෙලාස්වක

අගෝස්තු 13


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]