UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඉන්ද්‍රිය සංවරය නිවන් මගේ ආරම්භය යි

“ප්‍රත්‍යවේක්‍ෂා කිරීම”

නිවන් මගේ ආරම්භය ‘ඉන්ද්‍රිය සංවරය’ යි. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කෙනාට සිත කෙලෙස් වලින් තෙමෙන ස්වභාවය වළක්වා ගන්ට පුළුවන්. කෙලෙස් වලින් යට වෙලා අපහසුවෙන් ඉන්න ස්වභාවය නැති කරගන්ට පුළුවන්. ඒක නැති වෙනව, ඒක ධර්මතාවක්. සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරන කෙනා තුළ, සිත කෙලෙස් වලින් තෙමෙන්නෙ නෑ. ප්‍රමුදිත භාවය උපදිනව.

නිවන් මගේ ප්‍රමාදයට පත් කරවන ස්වභාවයන් වගේම නිවන් මගේ අප්‍රමාදී බව ඇති කර ගන්නා ආකාරයත් අපි පසුගිය ලිපිවලින් කතා කළෙමු. ඒ භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙන්නේ බැඳිල යන ස්වභාවයේ දේවල් ගැන ආශ්වාදයට අනුව කල්පනා කර කර ඉන්න කෙනාට තණ්හාව උපදිනව, ඒ තණ්හාව හේතු කොට ගෙන බැඳීයාම සිද්ද වෙනව, බැඳිල ගිය කෙනාට භවය ඇති වෙනව, බැඳිල ගිය කෙනා තුළ භවය සකස් වෙනව, භවය ඇතිවීමෙන් ඉපදීම සිද්ද වෙනව, ඉපදුන කෙනාට ජරා, මරණ, දුක් දොම්නස් සියල්ල හට ගන්නව කියලයි.

එතකොට භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා දෙනව යම් කෙනෙක් ඇස කියන ඉන්ද්‍රිය අසංවර කරගෙන වාසය කරනවා නම්, එයා දකින ප්‍රිය මනාප රූප මතක තියාගන්නව. ඒවායේ සටහන් එයාට මතක තියෙනව. ඉතින් එයා ඒව ගැන කල්පනා කරනව. ඊට පස්සෙ එයාගෙ සිත කෙලෙස් වලින් තෙත් වෙලා යනව. සිත අපිරිසුදු වෙලා යනව.

එයාගෙ සිත සම්පූර්ණයෙන් කෙලෙස් වලින් තෙත් වෙලා යනව. අන්න ඒ විදියට ඉන්න කොට එයාගෙ සිතේ ප්‍රමුදිත භාවය උපදින්නෙ නෑ. සිතේ නැවුම් ස්වභාවය ඇති වෙන්නෙ නෑ. සිත කෙලෙස් වලින් යට වෙලයි තියෙන්නෙ. ප්‍රමුදිත භාවය නැති කෙනාගෙ සිතේ ප්‍රීතිය ඇති වෙන්නෙ නෑ. සිතේ ප්‍රීතිය නැති කෙනාට කායික සැහැල්ලුව ඇති වෙන්නෙ නෑ. එයා දුක සේ වාසය කරනවා කියල භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව. එසේ දුක සේ වාසය කරන කෙනාට සමථ, විදර්ශනා ධර්මයන් පහළ වෙන්නෙ නෑ. ඒ කියන්නෙ සමාධිය උපදවා ගන්ට බෑ. ඒ සමාධිය උපදින්නේ නැත්තෙ කොහොම කෙනාටද ? ඇස අසංවරව වාසය කරන කෙනාට, අන්න එබඳු කෙනෙකුට කියනව ‘පමාද විහාරී’ කියල. ප්‍රමාදව වාසය කරන කෙනා කියල කියන්නෙ එයාට යි.

එතකොට යම් කෙනෙක් කන අසංවර කරගෙන ඉන්නව නම්, ඒ කෙනාටත් ඒ විපාකය ම තමයි සිද්ධ වෙන්නෙ. එයා කනට ඇසෙන ප්‍රිය මනාප ශබ්ද මතක තියාගෙන ඉන්නව. ඒව කල්පනා කර කර ඉන්නව. සිත කෙලෙස් වලින් තෙත් වෙලා යනව. එයාට ප්‍රමුදිත භාවය උපදින්නෙ නෑ. ප්‍රමුදිත භාවය නැති කෙනා තුළ ප්‍රීතිය ඇති වෙන්නේ නෑ. ප්‍රීතිය නැති කෙනාට පස්සද්ධිය ඇති වෙන්නෙ නෑ.

පස්සද්ධිය නැති කෙනාට සැප සේ වාසය කිරීමක් නෑ. එයා දුක සේ වාසය කරන්නෙ. එයාට සමථ විදර්ශනා ධර්මයන් පහළ වන්නෙ නෑ. ඉතින් ඒ වගේ, නාසය, දිව, ශරීරය, සිත, අසංවර කරගෙන වාසය කරන කෙනා දුකසේ වාසය කරන කෙනෙක් බවට පත්වෙනව. ඇයි එයාගෙ සිත කෙලෙස් වලින් තෙමිල, වැහිල යනව. එයාට ප්‍රමුදිත භාවය ඇති වෙන්නෙ නෑ. ප්‍රමුදිත භාවය නැති නිසා ප්‍රීතිය උපදින්නෙ නෑ. ප්‍රීතිය උපදින්නෙ නැති කෙනාට පස්සද්ධිය ඇති වෙන්නෙ නෑ. පස්සද්ධිය නැති කෙනා දුක සේ වාසය කරන්නෙ. එයාට සමථ, විදර්ශනා ධර්මයන් පහළ වෙන්නෙ නෑ. ඉතින් ඒ වගේ කෙනෙකුට කියනව ප්‍රමාද විහාරී, ප්‍රමාද වී වාසය කරන කෙනා කියල. එයාට නිවන් මගට පිවිසෙන්ට බෑ, ප්‍රමාදයි.

එතකොට තේරුම් ගන්න නිවන් මගට පැමිණෙන්ට බැරි වෙන්ට, ප්‍රමාදය ඇති කරන්ට මොකක්ද හේතු වෙන්නෙ? ඉන්ද්‍රිය අසංවර කරගෙන වාසය කිරීම යි. අසංවර වූ ඉඳුරන්ගෙන් යුක්තව වාසය කිරීම යි. එතකොට භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව යම් කෙනෙක් ඉන්නව එයා ඇස සංවර කරගන්නව. ඇස සංවර කරගෙන වාසය කරනව.

ඇස සංවර කරගෙන වාසය කරන කෙනාට ප්‍රිය මනාප රූප දැකල නිමිති සටහන් මතක තියාගෙන ඒව සිහි කිරීමක් සිද්ධ වෙන්නෙ නෑ. ඒ නිසාම සිත කෙලෙස් වලින් තෙත් වෙන්නේ නෑ. එයාට ප්‍රමුදිත භාවය උපදිනව. ප්‍රමුදිත භාවය උපදින කෙනා තුළ ප්‍රීතිය ඇති වෙනව. ප්‍රීතියෙන් වාසය කරන කෙනා, ප්‍රීතියෙන් බණ භාවනා කරන කෙනා තුළ පස්සද්ධිය ඇතිවෙනව. පස්සද්ධිය ඇතිවෙන කෙනාට කායික සැපය ඇතිවෙනව.

එයාට සැපසේ වාසය කරන්ට පුළුවන්. සැප සේ වාසය කරන කෙනා තුළ සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙනව. භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දෙනව එයා ප්‍රමාද විහාරී කෙනෙක් නෙවෙයි. එයා නිවන් මෙග් අප්‍රමාදි කෙනෙක්.

ඒ වගේ තමයි කන, නාසය, දිව, ශරීරය යන ඉන්ද්‍රියන් අසංවර කරගන්න කෙනා ප්‍රමාදයට පත්වෙනව. සංවර කරගන්න කෙනා අප්‍රමාදී බවට පත්වෙනව. ඒ අප්‍රමාදී බව ඉපදෙන්නෙ කොහොමද ? සංවර ඉඳුරන්ගෙන් යුක්තව වාසය කිරීමෙන්. සංවර වූ ඉඳුරන්ගෙන් යුතු කෙනාගේ සිත කෙලෙස් වලින් තෙත් වෙන්නෙ නෑ. ඇයි? එයාට ප්‍රිය මනාප රූප, ශබ්ද, ගන්ධ, රස ආදී දේවල් දැකල ඒවායෙ සටහන් නිමිති ගැන සිත සිතා ඉන්ට දෙයක් නෑ. එයා ඒව අතහැරල. ඒනිසා එයාගෙ සිත කෙලෙස් වලින් තෙත්වෙන්නෙ නෑ. ඒ කියන්නෙ නීවරණ බලවත් නෑ. නීවරණවලට ආහාර සැපයීමක් නෑ. එබඳු කෙනෙකුගේ සිත නැවුම්, ප්‍රමුදිතයි කියන්නෙ ඒකයි. එයාට බණ භාවනා කිරීමට බොහොම පහසුවෙන් සිත නැමෙනව. ප්‍රබෝධයෙන් වාසය කරන්ට පහසුවෙන් සිත නැමෙනව. එයා බණ භාවනා කරන්නෙ තව කෙනෙකුගෙ බලපෑමට නෙවෙයි. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව. ඇයි ප්‍රබෝධයෙන් ඉන්නෙ. ප්‍රබෝධය කියල කියන්නෙ ඒ වගේ එකක්. ප්‍රමුදිත බව කියන්නෙ ඒ වගේ එකක්. තව කෙනෙකුගෙ බලපෑමකට නෙවෙයි එයා කටයුතු කරන්නෙ. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව.

ආකාසෙ පැහැදිලි දවසට උදේට ඉර පායනකොට ‘නැවුම්’ පරිසරයක් තියෙනවා. ඒ පරිසරය නැවුම් ප්‍රබෝධයක් තියෙනව. අන්න ඒ වගේ තමයි ඉන්ද්‍රිය සංවරයෙන් යුක්තව වාසය කරන කෙනාගෙ සිත කෙලෙස් වලින් තෙමිල නෑ. එයාට කම්මැලි කම්, අපහසු කම්, පීඩා ස්වභාවයන් නෑ.

නැවුම් සිතක් එයාට තියෙනවා. එයා ප්‍රබෝධයෙන් වාසය කරනව කියන්නෙ ඒකයි. එයාගෙ සිතේ කරදර නෑ, පහසුයි. තමන්ගෙ කැමැත්තෙන් කටයුතු කරනව. එයා කැමැත්තෙන් ම දහම් පොත පත බලනව, ධර්මය අහනව, ධර්ම සාකච්ඡා කරනව, කලට වෙලාවට එයා කටයුතු කරනව. එයා තුළ උපන් කැමැත්තක් තියෙනව ධර්මයේ හැසිරීමට.

එයා වාද භේද කරගන්නෙ නෑ. එයා තුළ වාද භේද හටගන්නෙත් නෑ. ඇයි ඒ ? වාද භේද ආරවුල් හට ගන්නෙ මේ සිත ඇතුළෙ තියෙන යුද්ධයෙන්. සිත අසංවර නම්, සිත ඇතුළෙ තියෙන්නෙ යුද්ධයක් නේද? ඒව තමයි එළියට යන්නෙ වචන විදියට. කායික ක්‍රියා විදියට කරන්නෙ ඒ සිතේ තියෙන දේවල්.

වාචසික ක්‍රියා විදියට එළියට එන්නෙ මේ සිත ඇතුළෙ තියෙන අරගලය. අර ඉන්ද්‍රියන් සංවර කරපු කෙනා තුළ සිත කෙලෙස් වලින් තෙමිල නෑ, ප්‍රමුදිතයි. ඒ සිත තුළ යම් මෙල්ල වීමක් තියෙනව. ඉතින් එයාගෙන් ආරවුල් හට ගන්නෙ නෑ. එයා සතුටින් වාසය කරන කෙනෙක්. අප අන්න ඒ ස්වභාවයට කැමැති වෙන්ට ඕනෑ.

ඔබ කැමැති සිතේ අසංවර භාවයෙන්, අපහසු භාවයෙන් වාසය කරන්ට ද? නැවුම් සිතෙන් වාසය කරන්ටද ? ප්‍රබෝධයෙන් වාසය කරන්ට අප කැමැති වෙන්ට ඕනැ. ඒක හරි ප්‍රියමනාපයි. සුන්දරයි. සැප සහිතයි. අපහසු කම් නෑ. එබඳු පහසුවකින් වාසය කරන්ට නම්, අප කැමැති වෙන්ට ඕනැ සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරන්ටයි.

එහෙනම් නිවන් මගේ ආරම්භය ‘ඉන්ද්‍රිය සංවරය’ යි. ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කෙනාට සිත කෙලෙස් වලින් තෙමෙන ස්වභාවය වළක්වා ගන්ට පුලුවන්. කෙලෙස් වලින් යට වෙලා අපහසුවෙන් ඉන්න ස්වභාවය නැති කරගන්ට පුළුවන්. ඒක නැති වෙනව, ඒක ධර්මතාවක්. සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරන කෙනා තුළ, සිත කෙලෙස් වලින් තෙමෙන්නෙ නෑ. ප්‍රමුදිත භාවය උපදිනව. ප්‍රමුදිතව ඉන්න කෙනා තමන්ගෙ කැමැත්තෙන්ම බණ භාවනා කරනවා. එයා තමන්ගෙ පිරිසටත් ප්‍රියශීලියි. ඒ විදියට බණ භාවනා කරන කෙනා තුළ ටික ටික නීවරණ බි‍ෙඳන්ට පටන් ගන්නව. නීවරණ සිතේ දුරුවෙලා යනව.

නීවරණ දුරු වෙන්ට වෙන්ට, සිතේ විවේකය හටගන්නව. විවේකීව බණ භාවනා කරන්ට එයාට පුළුවන්. ඒ සිතේ තියෙන විවේකය හේතුකොට ගෙන සිතේ ප්‍රීතිය ඇති වෙනව. භාවනා කරනකොට ඇතිවෙන ස්වභාවයක් මේ ‘ප්‍රීතිය’ කියන්නෙ. එයා ප්‍රීතියෙන් යුක්තව බණ භාවනා කරගෙන යනව. ප්‍රීතියෙන් යුක්තව බණ භාවනා කරන කෙනාට කායික පහසුව ඇති වෙනව. සුව පහසුව ඇති වෙනව. කය සැහැල්ලු වෙනව.

ඒකට කියන්නෙ පර්ස්සද්ධිය’ කියල එතකොට එයාට ඉතාම පහසුවෙන් භාවනා කරන්ට පු‍්‍රළුවන්. කයට අපහසුවක් නෑ. පහසුවෙන් බණ භාවනා කරන කොට සිතේ සැපය ඇති වෙනව. එයා සැපසේ භාවනා කරනව. ඒ සැපසේ භාවනා කරන කෙනා තුළ සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙනව. සමාධිය උපදිනව. එතනදී සමාධිය කියල කියන්නෙ බලවත් සමාධිය. භාග්‍යවතුන් වහන්සේ අන්න එයාට ‘අප්‍රමාදී කෙනා’ කියල කියනවා. එයාට නිවන් මඟේ ප්‍රමාදයක් නෑ.

අප කැමැති විය යුත්තේ අප්‍රමාදී කෙනෙක් වෙන්ට යි. ඒකට කැමැති වෙන්න. ප්‍රමාදීව වාසය කරන්ට අකමැති වෙන්න. ඒ ප්‍රමාදී බව ඇති කරල දෙන්නෙ කුමකින් ද? බැඳිල යන දේවල් ගැන ආශ්වාදයෙන් බල බලා ඉන්න කොටයි.

ආශ්වාදයෙන් යුක්තව සිත සිතා ඉන්නව කියන්නෙ එයා අසංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරනව. ප්‍රියමනාප දේවල් බලා ඒ සටහන් අරගෙන ඒවා ගැන සිත සිතා ඉන්නව. ආශ්වාදයෙන් යුක්තව බල බලා ඉන්න කෙනා තුළ ඉන්ද්‍රිය සංවරයක් නෑ, අසංවරයි.

ආදීනව අනුව බලන කෙනා තුළ ඉන්ද්‍රිය සංවරය පිහිටනව. එයා ඉන්ද්‍රිය අසංවර වීමෙන් ඇතිවන දුක් විපාක කල්පනා කරනව. ඒකයි ආදීනව කල්පනා කරනව කියන්නෙ. ඉන්ද්‍රිය අසංවර වීම නිසා තමාට විඳින්ට සිද්ධවෙන අපහසු කම් පීඩා ගැන කල්පනා කරනව. එයා ඒ ආදීනව සිතනව.

එතකොට එයා ඉන්ද්‍රිය අසංවරයට කැමැති නෑ. කවුරු හරි බල කරනවද ඉන්ද්‍රිය අසංවර කරගන්ට එපා කියල? නෑ. තමා තුළම අකැමැත්තක් උපදිනව ඉන්ද්‍රිය අසංවර වීම පිළිබඳව. අකැමැත්ත උපදින්නෙ කුමක් මුල් කරගෙන ද? ඒ ඉන්ද්‍රිය අසංවරයේ ආදීනව කල්පනා කිරීමෙන්. ඉන්ද්‍රිය සංවර වීම නිසා සිද්ධ වෙන දේ ගැන එයා කල්පනා කරනවා.

ආදීනව අනුව බලමින් වාසය කරනවා. ආදීනව අනුව බලමින් වාසය කරන කෙනා තුළ ඉන්ද්‍රිය සංවරය ඇති වෙනව. එතකොට එයා සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරනව. සංවර වූ ඉන්ද්‍රියන්ගෙන් යුක්තව වාසය කරන කෙනා තුළ සිත කෙලෙස්වලින් තෙමිල යන්නෙ නෑ.

එයා තුළ ප්‍රමුදිත භාවය උපදිනව. ප්‍රමුදිත භාවයෙන් යුක්තව වාසය කරන කෙනා තුළ ප්‍රීතිය උපදිනව. ප්‍රීතියෙන් යුක්ත කෙනා තුළ පස්සද්ධිය ඇති වෙනව. පස්සද්ධියෙන් යුක්ත කෙනා තුළ සැපය ඇති වෙනව. එයා සැප සේ වාසය කරනව. ඒ සැප සේ වාසය කරන කෙනාට සමථ විදර්ශනා ධර්මයන් පහළ වෙනව. ඒක තමයි නිවන් මඟ. එහෙනම් අප කවුරුත් අන්න ඒ සුවපහසුව උපදවන සුවපහසු වූ නිවන් මගට කැමැති වෙන්ට ඕනෑ.

පොසොන් අමාවක පෝය

පොසොන් අමාවක පෝය ජූනි මස 30 වන දා බ්‍රහස්පතින්දා අපර භාග 2.50 ලබයි.
ජූලි 01 වන දා සිකුරාදා අපර භාග 02.21 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජූනි 30 වන දා බ්‍රහස්පතින්දාය.

මීළඟ පෝය
ජූලි 08 වනදා
සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

ජූනි 30

First Quarterපුර අටවක

ජුලි 08

Full Moonපසෙලාස්වක

ජූලි 14

Second Quarterඅව අටවක

ජූලි 23

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]